පරදාර සේවනයට ලොල් වූ රවින්ද්‍රගේ දිවි වැනසෙයි


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

 

අම්බලන්තොට හේමාල් ගමගේ මහතා ලියා එවූ කතාවකි.


ධර්මදාස රාලහාමි ගමේ යමක් කමක් තිබූ පවුල් අතර ප්‍රමුඛයෙක් විය. කුඹුරු,පොල්, ඉඩම් හා සෙසු වස්තු රැසක් සතුව පැවති ඔහු හැම දෙනාගේම සිත් දිනාගත් සාධාරණ තැනැත්තෙකි. ගමේම, පවුලකින් සිය සහකාරිය තෝරා ගත් හේ, ආදර්ශවත් දිවියක් ගත කළේය. දූවරුන් තිදෙනෙකුගේ හා පුතුන් දෙදෙනෙකුගේ හුරතල් බැලීමට තරම් ඔහු භාග්‍යවන්ත විය.   


මූලික අධ්‍යාපනය සඳහා ගමේ පාසලට දරුවන් යොමු කළ අතර ඉහළ අධ්‍යාපනය නගරයේ පාසලෙන් ලබාදීමට පියවර ගත්තේය. දරුවන් පස් දෙනාම ඉගෙනීමේ දක්‍ෂයෝ වූහ. එහෙත් ඔවුන් අතරින් වැඩිමලා වූ රවින්ද්‍ර සෙසු සොයුරු සොයුරියන් අබිබවා ඉගෙනීමෙන් පෙරට පැමිණියේය. උසස් පෙළ ලියූ ප්‍රථම වාරයේදීම ඉහළ ලකුණු ලබා විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පීඨයට ඇතුළත් විය. එහිදී ඔහු පරිගණක ඉංජිනේරු ශිල්පය හැදෑරීය.   


ඉගෙනීමේ දක්‍ෂයකු වුවද සෙසු සහෝදර සහෝදරියන් අතර දක්නට නොවූ දුබලතාවක් රවින්ද්‍ර තුළින් දිස් විය. එනම් විරුද්ධ ලිංගිකයින් කෙරෙහි දැක්වූ අසීමාන්තික රුචිකත්වයයි. නගරයේ පාසලේදී එක්වර සිසුවියන් කිහිප දෙනෙකු ඇසුරු කළ අතර ඇතැම්හු ඔහු නිසා අමාරුවේද වැටුණා. විශ්වවිද්‍යාලයට ගිය පසු එහි පවත්නා නිදහස උපරිම ලෙස භුක්ති විඳි රවින්ද්‍ර, සිත් සේ තරුණියන් ඇසුරු කළේය. ගමේ මිත්‍ර කරගෙන සිටි තරුණියකගේ සහෝදරයන්ට විශ්වවිද්‍යාලයේ ගත කරන සෙල්ක්කාර ජීවිතයේ තොරතුරු හෙළි විය. ගමට පැමිණි දිනක ඔවුන්ගෙන් පහර කෑමට පවා රවින්ද්‍රට සිදුවිය.   


උපාධි සම්පූර්ණ කළද රවින්ද්‍ර තුළ රජයේ රැකියාවක යෙදීමට කැමැත්තක් නොවීය. පරිගණක උපාංග සහිත පෞද්ගලික ව්‍යාපාරයක් ආරම්භ කළේ එහෙයිනි. දිනෙන් දින දියුණුව වෙත පියනැගූ ව්‍යාපාරය රවින්ද්‍රට පමණක් තනිවම මෙහෙයවීම අපහසු විය. පුවත්පතක පළ කළ දැන්වීමට අනුව තරුණියන් දහ පහළොස් දෙනෙක් සම්මුඛ පරීක්ෂණයට පැමිණියහ. ඔවුන් අතරින් සුරූපී තරුණියන් තිදෙනෙක් රැකියාව සඳහා තෝරා ගැනිණි.   


මොවුන් අතරින් වඩාත්ම සුරූපී තරුණිය වෙළෙඳ සේවිකාවක් නොව සිය පෞද්ගලික ලේකම්වරිය ලෙස පත්කර ගත්තේය. සිය හාම්පුතුගේ කරුණාව හා ළෙන්ගතුකම සැබෑ මිනිස්කමේ යථාර්ථය ලෙස ඇය සැලකුවාය. ඇතැම් දිනවල වෙළෙඳසල වැසූ පසුවද සේවයේ යෙදීමට ඇයට සිදු විය. එවැනි දිනවල සිය රථයෙන් ඇය නිවසට කැදවාගෙන යෑමට තරම් රවින්ද්‍ර කාරුණික විය.   


මේ සියල්ල තුළ සැඟවුණු අරුත කවරේදැයි ඇයට වැටහුණේ එක්තරා දිනක හෝටල් කාමරයකදී සිය පිවිතුරු දිවිය විනාශ වීමෙනි. තමන් කිසි දිනෙක ඇය අමතක නොකරන බව ශපථ කළ හේ ඉක්මනින් විවාහ කර ගන්නා බවද පවසා සිත සැනසුවේය.   


මේ කිසිත් නොදත් ධර්මද‌ාස රාලහාමි සිය පුතුට මනාලියක් සෙව්වේය. ඈත ගමක කුල ගොත් ගැළපෙන ධනවත් පවුලක සුරූපී තරුණියක සිය ලේළිය කර ගැනීමට කැමති වූ රාලහාමි පුතු සමඟ ඇය බලන්නට ගියේය. පුතුගේ කැමැත්ත පළ වූයෙන් විවාහය ඉක්මනින් නගරයේ හෝටලයකදී සිදු කෙරිනි.   


මේ බව කන වැටුණු පෞද්ගලික ලේකම්වරියට දෙලොව රත් විය. කළ යුත්තේ කුමක්දැයි තීරණයකට එළඹීමට තරම් සිහි කල්පනාව මද විය. සෙසු මිතුරියන් දෙදෙනාට කීවේ දිවි නසා ගන්නවා හැර අන් විකල්ප විසඳුමක් නැති බවයි. එය ක්‍රියාත්මක කිරීමේ අරමුණ සිතෙහි රඳවා රේල් පාර අසල බොහෝ වේලාවක් ගැවසුණාය.   


එහෙත් කුමක් හෝ හේතුවක් නිසා දුම්රිය ප්‍රමාද විය. තමා වෙත නෙත් හතරක් යොමුව ඇති බව නොදත් ඇය තවත් මද වේලාවක් ගත කළාය. දුම්රියේ නළා හඬ කන වැටෙත්ම දුම්රිය මඟට තවත් සමීප වූවාය. අත් හතරක බාහු බලයෙන් පසුපසට ඇදුණු ඇය සිර වී සිටියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ග්‍රහණයටය. පොලිස් පොතේ සියල්ල සටහන් වූ පසු මව්පියන්ට ඇය භාර කෙරුණේ උසාවිය මගිනි. දිවි තොර කර ගැනීමේ අදහස යටපත් කරගත් ඇය හිස මුඩු කොට කසාවන් හැඳ දසසිල් උපාසිකාවක් බවට පත් වූවාය.   
රවින්ද්‍රගේ යුග දිවිය සාමකාමීව ගෙවී ගියේ කෙටි කාලයකි. ඔවුනොවුන් අතර අඩදබර ඇති විය. සැමියාගේ සල්ලාල දිවියේ තොරතුරු එකිනෙක හෙළි වන්නට වීම ඊට හේතුවය. යහපත් බිරිඳක ලෙස මුලදී එ්වා විශ්වාස නොකළද, සියුම් ලෙස කළ නිරීක්‍ෂණවලදී එහි සත්‍යතාව ඇයට වැටහුණි. වැරදි මාර්ගයෙන් සැමියා මුදාගැනීමට ඇය ගත් ක්‍රියා මාර්ගවලින් ඵලක් නොවිණ. අවසන දරුවෙකු ලබා නොදීම පවුල් දිවිය අවසන් කළාය.   


එතැන් සිට පෞද්ගලික ව්‍යාපාරයද, අතිශය පෞද්ගලික ව්‍යාපාරයද සාර්ථකව ඉදිරියට ගියේය. වසර කිහිපයක් ගෙවී ගියේය. රවින්ද්‍රගේ උදරයේ වරින් වර වේදනාවක් හට ගත්තේය. ටික වේලාවකින් එය නිමා වෙයි. සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත්තද සුවයක් නොවීය. මත්පැන් පානයෙන් වැළකීමට වෛද්‍ය උපදෙස් උපකාරි විය. ළං ළංව වේදනාව නැගෙන්නට විය. විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වුණේ එහෙයිනි. විවිධ පරීක්‍ෂණ රැසක් කළ වෛද්‍යවරයා ඒවායේ වාර්තා ලබාගැනීමට පසු දිනෙක පැමිණෙන ලෙස දැන්විය. දැන්වූ දින වෛද්‍යවරයා හමු වූ රවින්ද්‍රට මෙලොව අසන්නට අකැමැතිම වදන සවන් පත් රිදවමින් හදවතට දැනුණි. පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව පිළිකාවක් පැතිර ඇති බව ඉන් කියවිනි.   


එතැන් සිට මානසිකව හා කායිකව රවින්ද්‍ර විඳි වේදනාව මෙපමණකැයි කිව නොහැක. පිරුණු තුරුණු දේහය එකවර දිරා ගිය සෙයක් ගත්තේය. ඇස් ගිලිණි. හිසෙහි කෙස් ගැලවිණි. හම හා ඇට පමණක් ගත ඉතිරි විය. මේ ආකාරයට වසරක් පමණ නොවිඳිනා වේදනා දුක් විඳ කෙළවර අවසන් හුස්ම පොද වාතලයට මුදා හළේය. ඔහු නිසා කතුන් කී දෙනෙක් සිය දුක් සුසුම් වාතලයට මුසු කරන්නට ඇද්ද? ඒ සියල්ලටම මෙලොවදී ලද දඬුවම වූයේ පිළිකා රෝගය වැලඳී අකාලයේ මෙලොවින් සමු ගැනීමට සිදුවීමය.  

 



අම්පාර මිහිදුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවකි.   

බැල්ලියගේ කොන්ද කැඩූ දියෝනිස්ගේද කොන්ද බිඳුණු හැටි   


කලකට පෙර උඩරට පළාතේ පිටිසර ගමක පවුල් විසිපහක පමණ ජනතාව ජීවත් වූයේ කෘෂිකර්මාන්තයේ යෙදීමෙනි. දරු තිදෙනකුගේ පියෙකු වූ දියෝනිස්ගේ පවුලද එසේය. ඔහු පවුලේ නඩත්තුව ගෙන ගියේ කිතුල් පැණි හකුරු සාදා නගරයට ගෙන ගොස් විකිණීමෙනි. කටු මැටි ගසා ඉළුක් සෙවිලි කළ කුඩා නිවසේ විසූ දියෝනිස් පැණි හකුරු සෑදීම සඳහා නිවෙස පිට පැත්තේ මඩුවක් සාදාගෙන පැණි උණුකිරීම හා හකුරු සෑදීම කරගෙන ගියේය.   


සවස පහට පමණ මල්කැපීමට යන දියෝනිස් තෙලිදිය ගෙනවිත් මඩුවේ ලිප පත්තු කොට එම තෙලිදිය උණුකොට පැණි හකුරු සාදා නිම කරන විට රාත්‍රී අට නවය පමණ වේ. ඔහුගේ බිරිඳ නිවසේ වැඩ කටයුතු නිම කරන තෙක් සිට ආහාර ගෙන නින්දට යන්නේ රාත්‍රී දහයට පමණය.   


සමහර දිනවල ඔහුට නිදා ගන්නට ලැබෙන්නේ පැයක් දෙකක් වැනි සුළු වේලාවකි. එයට හේතුව නිවසේ දොර වසා නිදා ගත් පසු දඩාවතේ යන බල්ලන් පැමිණ මඩුවේ බිම වළවල් හාරා එහි ලගින්නට පටන් ගැනීමය. උන් බිම හාරන ශබ්දය ඇසෙන විට ඔවුන් එළවීමට දොර හැර නිතර නිතර එළියට ඒමට සිදුවීම නිසා දියෝනිස්ට මෙසේ නිදිමැරීමට හේතුවිය. ඒත් කිසිම දිනක ඔහුට මඩුවේ ලගින බල්ලෙකු දකින්න නොලැබුණේ දොර අරින ශබ්දය ඇසෙන විට බල්ලන් පැන දිවීම නිසාය.   


මඩුවේ බලුමැක්කන් හා කිනිතුල්ලන් බෝවීම නිසා දියෝනිස්ට එහි දී පැණි හකුරු සාදාගැනීමට නොහැකි තත්ත්වයක් උදා විය. මෙම කරදරය මගහරවා ගැනීමට දියෝනිස් උපායක් කල්පනා කළේය. ඔහු කඹ දෙකක් ගෙනවිත් ගේ බිත්තිය උඩින් කෙළවරක් එළියට දමා අනෙක් කෙළවර ගෙය ඇතුළේ ගැටගැසුවේය. පිටට දැමූ ලණු කෙළවර දෙක මඩුවේ යට ලීයට උඩින් දමා බල්ලන් ලගින්නට වළවල් හාරන තැන් ඉලක්ක කර අමාරුවෙන් එසවිය හැකි ප්‍රමාණයේ ගල් දෙකක් වහලය කිට්ටුවට වන ප්‍රමාණයේ උසට එල්ලා තැබුවේය.   
රෑ කාලයේ බල්ලන් පැමිණ මඩුවේ බිම පහුරුගාන ශබ්දය අසෙන විට දොර නොහැර ඇතුළේ ගැට ගසා ඇති ලණු කෙරවල් දෙක එක වරම ලිහා දැමුවේය. දිනක් රාත්‍රී එම ගල්දෙක බිම වැටෙනවාත් සමඟම බල්ලකුගේ කෙඳිරිලි හඬක්ද ඇසුණේය.   


දියෝනිස් දොරහැර පැමිණ බලන විට එක ගලක් බල්ලකුගේ ඇඟ මතට වැටී තැලී පොඩි වී ගොස් කටින් හා නාසයෙන් ලේ බේ​ෙරමින් බල්ලාපණ අදිමින් සිටි​ෙය්ය. දියෝනිස්ගේ බිරිඳ හා දරුවන් තද නින්දේ පසු වූ බැවින් වහාම උදැල්ල ගත් ඔහු විදුලි පන්දම රැගෙන වත්ත පහළට දුවගොස් වළක් කපා බල්ලා ඇදගෙන ගොස් වළදමා පැමිණියේය.   
ගල් සූත්තරය අටවා තැබූවත් පසු දින මඩුවට බල්ලන් පැමිණියේ නැත. එහෙත් ඊළඟ දිනයේ බල්ලන් පැමිණ මඩුවේ බිම පහුරුගානා හඬ ඇසුණි. දියෝනිස් පුරුදු පරිදි ගෙය ඇතුළේ ගැටගසා තිබුණ ලණු දෙපට හෙමිහිට ලිහා දැමුවේය. දඩාස් ගා ගල්දෙක බිම වැටෙනවාත් සමගම බල්ලෙක් මර හඬ දී කෑගසන්නට පටන් ගත්තේය. දියෝනිස් වහාම දොරහැර මඩුවට ගොස් බැලුවේය. පසු පස කොටසට එක් ගලක් වැටීමෙන් කකුලක් හා කොන්ද කැඩී ගිය බැල්ලියක් නැගිට ගැනීමට නොහැකිව මරහඬ දෙමින් ඇදි ඇදී යාමට වෙරදරමින් සිටිනු දුටුවේය.   


දියෝනිස් ඉක්මනට ලණුවක් ගෙන බැල්ලියගේ කරට දමා ඇදගෙන ගොස් නිවසට බඹ හැට හැත්තෑවක් දුරින් ඇති තේ කඩය ළඟ පාරට දමා ලණුව ලිහා​ෙගන වහ වහාම නිවසට පැමිණියේය.   


දින කිහිපයක් ගත විය. ඉන්පසු පැණි හකුරු හදන මඩුවට බල්ලන් පැමිණියේ නැත. දියෝනිස් මඩුවේ බිමට පස් පුරවා සමතලා කොට හොඳට සාදාගත්තේය. බලු මැක්කන් හා කිනිතුල්ලන්ද නැතිවිය. ඉන්පසු කරදරයක් නැතිව ඔහුගේ පැණි හකුරු ව්‍යාපාරය කර ගෙන යාමට හැකි විය.   


කොන්දත් කකුලත් කැඩී පාර අයිනේ තණකොළ බිස්සේ වැතර සිටින බැල්ලිය දුටු බොහෝ දෙනා ඇයට කෑම ගෙනවිත් දැමූහ. සති දෙක තුනක් ගතවන විට බැල්ලිය ඉදිරි පාද දෙකෙන් සිටගෙන ඇදි ඇදී ගොස් ගෙවල්වලින් දෙන දෙයක් හෝ විසිකරන දෙයක් කා ජීවත්වන බව ගමේ කාටත් දකින්නට ලැබුණි.   


මාස හත අටක් ගතවන විට එක් දිනක් හැන්දෑ යාමේ දියෝනිස් අයියා කිතුලෙන් වැටිලා හුඟක් අමාරුලු, කට්ටිය එකතු වෙලා ඉස්පිරිතාලේ ගෙනිච්චෙත් හරි අමාරුවෙන්ලු යන පුවත ගම පුරාම පැතුරුණි. පසු දින බොහෝ දෙනෙක් දියෝනිස් බැලීමට රෝහලට ගියහ. කිතුලෙන් වැටීමෙන් දියෝනිස් ගේ කොඳුඇට පෙළට හානි සිදුවී ඇති බව දැනගැනීමට ලැබිණ.   


මාස තුනකට වැඩි කාලයක් රෝහල් ගතව දියෝනිස් නිවසට එක්ක ආවත් ඔහුට ඇවිදීමට නොහැකි විය. කොන්ද දිගහැර නැගිටීමට නොහැකි නිසා නිවසට වී වැතිරී සිටීමට සිදුවිය. එම නිසා දියෝනිස් රෝද පුටුවක් ගෙන්වා ගෙන බිරිඳගේ උදව්වෙන් එහි හිඳගෙන මිදුලේ හා නිවෙස අසල පාරේ අමාරුවෙන් ටික දවසක් ගමන් කොට එය හොඳට හුරුකර ගත්තේය. ඉන් පසු විටින් විට තේ කඩයටද ගොස් එහි යන එන අය සමඟ කතා බහ කරමින් රැඳී සිට කාන්සිය මගහරවා ගත්තේය.   


ඒ අතර ඉඳහිට කොන්ද කැඩුණ බැල්ලිද ඇදි ඇදී කඩය අසලට ආවේය. එවැනි අවස්ථාවල කඩය අසල සිටි සමහරු ‘‘අන්න දියෝනිස් අයියා වගේ තවත් අබ්බගාතයෙක් එනවා’’යි කියමින් හුළං විස්කෝත්තුවක් හෝ ගෙන බැල්ලී ළඟට විසිකළ විට එය ඇහිඳ කන බැල්ලී ඇදි ඇදී යනවිට දියෝනිස්ද ඒ දෙස බලා සිටියත් කතා බහට ගියේ නැත.  


දියෝනිස් බැල්ලිගේ කොන්ද කැඩූ බව ගමේ කවුරුත් දැනසි​ටියේ නැත. එහෙත් රෝද පුටුවේ ඇළවී සිටින විට බැල්ලි ඇදි ඇදී එනවා දකින ඔහු සිතින්  කොපමණ වාරයක් මැරි මැරී උපදින්නට ඇද්ද.  

 



මතුගම පියසේන දොඩන්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.  

ගිනි පොලියාට නයෙක් ගහලා  


එදා ගමේ ගොඩේ මංමාවත් තට්ටු නිවාස යාන වාහන ආදිය නොතිබුණත් ගහකොළ සතා සීපාවාගෙන් ගහණ වූ සාන්ත සුන්දර පරිසරයක් තිබුණි. ගම් වැසියන්ට කෑමෙන් බීමෙන් අගහිඟතාවක් නොවීය. ගමේ කුඹුරුයායෙන් සරු අස්වැන්නක් ගත් ගම්වාසීන් එළවළු පලතුරු අල බතල ආදිය පමණක් නොව කොස්, දෙල්, පොල්, පුවක්, බුලත් හා අවශ්‍ය කරන සියලු දෙයම වවා කියාගෙන කෑමට හුරු පුරුදු වී තිබුණි

.   
ගමේ ජීවත් වූ ‘‘කිරිහාමි’’ ගමේ කෙල්ලක් හා විවාහ වී තම නිවසේම සුළු වෙළෙඳාමක් ඇරඹුවේ මතු දියුණුව බලාපොරොත්තුවෙනි. එහෙත් ටික දිනකින්ම ණයට තුරහට බඩු විකිණීම නිසා තම සිල්ලර වෙළෙඳ‌ාම කඩාවැටෙන්නට වූ විට ඔහු හොර මත්වතුර වෙළෙඳාමට යොමුවිය.   


කෑමට බීමට මුදල් නැතත් සුරාබීමට මුදල් සෙවූ බේබද්දන් නොකඩවා පැමිණීම නිසා කිරිහාමිගේ අතමිටද සරුවිය. ඒ මුවාවෙන් හොර සුරා විකිණීමත් ජයටම කරගෙන යෑමට ඔහු සමත් වූ බව නොරහසකි.  


ධාර්මිකව ජීවත්වීමෙන් ඉක්මන් දියුණුවක් ලැබිය නොහැකිවුවත් ඉදිරි අනාගතයේදී කුමන විපතක් සිදු වුවත් අධර්මයෙන් ජීවත්වෙන අය බලා සිටියදීම මිල මුදල් වස්තුව අතින් ලබා ගන්නේ ලොකු දියුණුවකි. මුදල් හදල් යහමින් අතේ මිටේ ගැවසුණු කිරිහාමි ගමේ දුප්පතුන්ගේ තොවිලෙට, මඟුලට, මරණයට හෝ වෙනත් ඕනෑ එපා කම්වලදී ඉඩකඩම්, ගේ දොර හා වතුපිටි ආදී නිශ්චල දේපොළ ඇපයට තබාගෙන සියයට විස්ස, තිහ බැගින් ගිනි පොලියට මුදල් හදල් ණයට දුන්නේය.   


‘‘ගිනිපොලියා’’ නමින් ගම්මුන් හැඳින්වූ කිරිහාමි ලොකු ධනවතෙක් බවට පත්වුවද හොර සුරා වෙළෙඳාමද නතර කළේ නැත. පිනට දහමට හෝ යදියෙකුටවත් සත පහක් නොදුන් කිරිහාමි වස්තුව රැස් කළා මිස තමා කවදා හෝ මැරෙන බව සිහිනෙකින්වත් නොසිතීය.  


සීනි කරිඤ්ඤං, හිටපන් මචං, ගල් බමුණා, ඇති හිටියා, කටුකම්බි හා ගහපන් මචං ආදී විවිධ නම්වලින් හැඳින්වූ කිරිහාමිගේ කසිප්පු වෙළඳාමේ මූලිකව කටයුතු කරන ලද්දේ ඔහු විසිනි. මේ අතර එක් වැසිබර හැන්දෑවක කසිප්පු බැරල් සඟවා තැබීමට අසල වනරොදට ගිය කිරිහාමිට තුඹසක සිටි කුපිත වූ දැවැන්ත නාගයකු දරුණු පහරක් එල්ල කළෙන් ‘‘බුදු අම්මෝ! මං ඉවරයි!’’ කියා මරහඬ දී ඔහු බිම ඇද වැටුණි.


ඒ හඬ ඇසුණු ගමේ උදවිය වහාම පැමිණ රෝගියා ළඟම ඇති රෝහලට ඇතුළු කළත් කිරිහාමි ඒ වෙන විටත් දිවියෙන් සමුගෙන තිබුණි. ‘‘ගිනි පොලියාට නයා ගහලා’’යයි ගම පුරා පැතුරුණත් ඔහු ගැන කිසිවකුගේ අනුකම්පාවක් පළ නොවුණේ කර්මය බලවත් නිසාය.   

 


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්