පරණ කාර් එකතු කරන දොස්තර මහත්තයා


ෆොර්ඩ් ෆෙයාර් ලේන් ගැලැක්සි 500 වර්ගයේ දිගම කාරය

 

කිසියම් ජාතියක ඉතිහාසය වැදගත් වන්නා සේ ම, කාර් රථවල ඉතිහාසය ද ඒ තරම් ම වැදගත් යැයි සිතෙන්නේ නැතිද ? ඊට හේතුව වන්නේ කුමන රටෙක වුවද, මිනිසා ගේ දක්ෂතා, නිර්මාණශීලී හැකියාවන් එමඟින් හෙළි වන බැවිනි. එහෙත් ලංකාවේ එම තත්ත්වය වෙනස්ය. ඉතිහාසය ලෙස පිළිගන්නේ විහාර දාගැබ්, ගල් කණු ආදිය පමණි. මෙරට මුලින්ම ධාවනය වූ වාෂ්ප දුම්රිය, ට්‍රෑම් රථ, ට්‍රොලි බස් සහ පැරණි කාර් ගැන අමතකය.   


පෞරාණික කාර් රථ ගැන සඳහන් කිරීමේදී, චෙකෝස්ලෝවේකියාව (Skoda) ඇමෙරිකාව (Ford Fair Lane) ඕස්ට්‍රේලියාව (Holdon) ප්‍රංශය (Peugeot) එංගලන්තය (May Flower) සහ ඉතාලිය (Fiar Topoleeno) ඇතුළු රටවල් කිහිපයක පැරණි කාර් තිහක පමණ සංඛ්‍යාවක් සහ ඊට අදාළ කෞතුකාගාරයක් හිමි වෛද්‍යවරයෙක් පේරාදෙණිය, පමුණුවප්‍රදේශයේ ජීවත් වන බව ඔබ දන්නවාද? නැසීගිය ප්‍රවීණ රංගනවේදී ගාමිණී ෆොන්සේකා, හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන යන මහත්වරුන්ට අයත් කාර් රථ දෙක පමණක් නොව දිගම කාර් එක ද ඔහුගේ එකතුව සතුය.නමින් ඔහු උපාලි සූරියආරච්චිය. 


කටේ කිරි සුවඳ පිටවෙන කාලයේ දී ම වාහන ගැන උනන්දු වූ සූරියආරච්චි මහතා තම අතීතය ආවර්ජනය කළේ මෙසේය. 


මගේ මව සහ පියාගේ පියවරුන් 1900 දශකයේ මුල් කාලයේ කරත්ත, අශ්ව කරත්ත මඟින් ප්‍රවාහනය ආරම්භ කළ අයයි. පසුව මගේ ලොකු තාත්තා මාතලේ ප්‍රදේශයට පළමු Ruby කාර් එක ගෙනත් තිබෙනවා. ඉන් අනතුරුව බස් ප්‍රවාහනය ආරම්භ කරමින් වාහන බොහෝ සංඛ්‍යාවක හිමිකරුවන් බවට පත් වුණා. 
සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා මමයි. මගේ උපන් ගම මාතලේයි. ඉගෙන ගත්තේ මාතලේ ශාන්ත තෝමස් විදුහලෙන්. අපොස(උපෙ) විභාගයෙන් සමත් වී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වී, උපාධිය ලබා ගෙන, වෛද්‍යවරයකු විදියට වතු ක්ෂේත්‍රයේ සේවය කළා. 
මට තේරෙන වයසට එන කොටත් තාත්තා ළඟ ඔස්ටින් සෙවන් සහ වොක්ෂෝල් වයි වන් කියන කාර් රථ දෙක තිබුණා. ඒ වන විට මගේ වයස අවුරුදු තුන හතරක් වෙන්න ඇති. මම එම වාහනවලට පුදුමාකාර කැමැත්තක් දැක්වූවා. ඒ නිසා පැරණි කාර් විකුණනවට අකමැතියි. කුඩා කාලයේ පාසල් යන එන ගමන් ගැරේජ්වලට ගිහින් ඇණ කෑලි එකතු කරනවා. අම්මා රෙදි සෝදන කොට, ඒවායේ මජං ගෑවිලා. සහෝදරයෝ “මජං බාස්” “පැරණි කාර් පිස්සා” කියල නම් පවා මට දාල තිබුණේ ඒ නිසයි. 


ලොකු අක්කාට හොඳින් කාර් එක පදවන්න පුළුවන්. තාත්තාගේ දඩුෆොර්ඞ් කාර් (EY 628 ) එකේ අපවත් දමාගෙන පාසල් ගියා.සහෝදරයන් දෙන්නට පෙර වාහන පදවන්න කුඩා කාලයේදී ම ඉගෙන ගත්තේ මමයි. රැකියාවට ගියාට පස්සේ තාත්තා මට මෝටර් සයිකලයක් අරන් දුන්නා. 1999 වසරේදී ෆොර්ඩ් ෆ්‍රිපෙක්ට් 100 E රථයක් (2 ශ්‍රී 1891) මිලදී ගනිමින් පැරණි කාර් රථයක හිමිකරුවෙක් වුණා. එතැන් සිට පැරණි කාර් රථ සොයමින් ලංකාවේ හැම තැනම ගියා. මගේ බිරිඳත් ඒ සඳහා උදව් කළා. 


මේ වන විට පැරණි කාර් රථ සිය ගණනක් හුවමාරු කර තිබෙනවා.එහෙත් දැන් ඉතිරිව තිබෙන්නේ තිහකට ආසන්න ප්‍රමාණයක් විතරයි. ඇත්තෙන් ම මේවා නඩත්තු කිරිම ඉතාමත් අපහසුයි. කිසි කෙනෙක් ගෙන් සහයෝගයක් නැහැ. පැරණි කාර්වලට තිබූ ආසාව නිසාම විශ්‍රාම ගන්න පෙර, සේවයෙන් ඉවත් වුණා. පසුගියදා බිරිඳත් රැකියාවෙන් විශ්‍රාම ගත්තා. ආදායම් මාර්ග නැහැ. ඒ වුවත් කොහොම හරි පුළුවන් විදියට මේවා හදා ගනිමින් රැකගන්න උත්සාහ කරනවා. 


එංගලන්තය ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ප්‍රංශ වැනි රටවලින් මගේ පැරණි වාහන බලන්න වැඩි පිරිසක් එනවා. ඇගයීමට පවා ලක් කරනවා. එම රටවල වයස අවුරුදු දාහතේ වගේ ළමයි මටත් වඩා මේවා ගැන අවබෝධයක් තිබෙන බව පෙනෙනවා. 


එවකට ලංකාවේ වාහන අංකනය කරද්දී Ceylon ඉංග්‍රීසි නමෙහි අකුරු භාවිතා කරමින් අංක යෙදුවා. එය බොහෝ දෙනෙක් දන්නා කරුණක් වුවත්, පළමුව CE අකුරුවල සිට පිළිවෙලින් N දක්වා අකුරු යොදා ගත්තත්, CO අකුරින් අංක නැහැ. ඉන්පසුවයි ශ්‍රී අකුර ආවේ. 


දැනට මා ළඟ තිබෙන පැරණිතම වාහන වන්නේ 1934 නිෂ්පාදිත ඔස්ටින් සෙවන් කාර් එකයි. ඊට අමතරව EN කාණ්ඩයට අයත් ජර්මනියේ නිෂ්පාදිත ඕපල් ඔලිම්පියා කන්වටබල් කැබ්රියෝල් රථයත් විශේෂ එකක්. ඕපල් ඔලිම්පියා වර්ගයේ වාහන දෙකක් ලංකාවට ගෙන්වනවා. ඉන් මා ළඟ තියෙන වාහනය පමණයි ඉතිරිව තිබෙන්නේ. අනෙක් වාහනයට වූ දෙය කිසිවෙක් දන්නේ නැහැ.ඒ අනුව ලංකාවේ මේ වර්ගයේ තිබෙන එකම වාහනයේ අයිති කරුවා මමයි. 


හොඳ තත්ත්වයෙන් එය පවත්වා ගෙන යනවා. මෙහි විශේෂත්වය වන්නේ සැප පහසු බවයි. එනම් මාර්ගයේ ඇති ගැටිති උඩින් ගියත් අද කාලයේ වාහනයක තරම් වත් ගැස්සීමකට ලක් වෙන්නේ නැහැ. එංගලන්තයේ ඔටෝමෝබයිල් ආයතනයේ සභාපති, ජේ.සී ඔබේසේකර මහතා කාර් රථ පිළිබඳ විශේෂඥවරයෙක්. ඔහු 1955 වසරේදී,“ස්පෙෂල් කාර්ස් ඉම්පෝර්ටඞ් ටූ ශ්‍රී ලංකා ෆ්‍රොම් අදර් කන්ටි්‍ර ” යන ලිපිය රචනා කර ඇති අතර, එහි මේ කාරය ගැනත් සඳහන් කර තිබෙනවා. 


ඊට අමතරව එංගලන්තයේ නිෂ්පාදිත ට්‍රයම්ප් මේ ෆ්ලවර් කාර් රථ පහක් මා සතුයි. ඉන් එකක් වන්නේ CN 3934 අංකයෙන් ඇති කාර් එකයි. 1945 රෝල්ස් රේස් සමාගම පළමු කාර් එකනිපදවූවා. එය වෙනත් සමාගමකින් කොපි කළබව පවසමින් මෙම සමාගමට එරෙහිව නඩු දමනවා. ඔවුන් ඉන් පරාජය වෙනවා.එහි ප්‍රතිඵලයක් වශයෙන් වාහන නිෂ්පාදනය තහනමකට ලක් වෙනවා. ඒ වන විට ඔවුන් නිෂ්පාදනය කර තිබුණේ තුන්දහස් පන්සීයක පමණ කාර් රථ සංඛ්‍යාවක් පමණයි. එයින් CN, EY, EL කාණ්ඩ තුනේ කාර් රථ කිහිපයක් ම, මගේ එකතුව සතුයි. 


ඒවායේ විශේෂත්වය වන්නේ බොනට් එකේ උඩ ලොක් කරන කොටසේ “මේ ෆ්ලවර්” කියන නැවේ ලාංඡනය කොටා තිබීමයි. ඊට අමතරව ලෝක ගෝලයේ ලාංඡනයත් පහළින් පිහිටා තිබෙනවා. ( ජායාරූපය 3480 ) මෙහි ඉතිහාසයක් තිබෙනවා. එනම්, එංගලන්තයේ, ආගම් ද්‍රෝහීන් ඇමෙරිකාවට පිටුවහල් කර තිබෙන්නේ “මේ ෆ්ලවර්” කියන නැවේ වීමයි. අනෙක් කාර්වල මෙන් මජ්ගාඩ් වෙන් කරන්න බැහැ. කාර් එක ගොඩාක් ලස්සනයි. යුරෝපියන් මෙරට පාලනය කළ කාලයේ මෙම රථ බොහොමයක් ගෙන්වා තිබෙනවා. 
ගාමිණි ෆොන්සේකා මහතා පාවිච්චි කළ, කාර් එක, එංගලන්තයේ නිෂ්පාදිත මොරිස් මයිනර් ටුවර් වර්ගයේ, EY 3662 දරන කාණ්ඩයට අයත් එකක්. මෙහි හුඩ් එක හැකිළිය හැකියි. ඔහු රඟ පෑ චිත්‍රපට දෙකකට මෙය යොදා ගෙන තිබෙන බව දැන ගන්නට ලැබුණා. ඒ මහතා මියගිය පසුව වෙනත් අයෙකු ගෙන් එය මිලදී ගත්තා. 


හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ගේ ලේකම් රාමනායක මහතා ළඟ තිබූ 10 ශ්‍රී 4410 ජගුවර් වර්ගයට අයත් කාරයත් මා සතුයි. සිලින්ඩර් හයයි. එය ජයවර්ධන මහතා භාවිත කරන්න ඇති. ඒ ගැන, මා දන්නේ නැහැ. එහෙත් බොහෝ දෙනෙක් පවසන්නේ ඔහු එය භාවිත කළ බවයි. හොඳ තත්ත්වයේ එය පවතිනවා. නිදහස් දවසේ කාර් රථ ප්‍රදර්ශනයට පවා සහභාගි කළා. 


ප්‍රංශයේ නිෂ්පාදිත පර්ජෝ 203 වර්ගයට අයත් කාර් රථය (CL 7094 ) ද වටිනා එකක්. පර්ජෝ වර්ගයේ සිය ගණනක් තිබුණත් ඉන් පැරණිතම සහ මා දන්නා තරමින් ලංකාවේ ඇති එකම CL කාණ්ඩයේ කාර් රථයේ හිමිකරුවා මමයි. පසුව පැමිණි පර්ජෝ කාරයේ ස්ටියරින් වීල්, පසුපස අංක තහඩුව ප්‍රදර්ශනය කරන තැන, ඩිකිය ආදී තැන්වල පොඩි, පොඩි වෙනස්කම් කිහිපයක් දක්නට ලැබෙනවා. ෆෝර්ඩ් ප්‍රිපෙක්ට් ටූඩෝ (EN 1828 ). සිම් කා එරොන්ඩි (1 ශ්‍රී 9112) ප්‍රංශයේ නිපදවු තවත් මා සතු පැරණි වාහනයක්. 


එංගලන්තයේ නිෂ්පාදිත ට්‍රයම්ප් හෙරල් කූපේ (රෝස පැහැති ) ස්පෝර්ට් වර්ගයේ එකක්. සීට් දෙකක් තිබෙනවා. ට්‍රයම්ප් ස්පිට් ෆයර් (කොළ පැහැති) කාර් රථය තවත් එකක්. එහි කාබලේටර් දෙකක් ඇතුළත්. මෙය නිපදවා ඇත්තේ දෙවෙනි ලෝක සංග්‍රාමයේදී භාවිත කළ“ස්පිඩ් ෆයර්” ගුවන් යානය සිහි වීම සඳහායි. 
එංගලන්තයේ නිෂ්පාදිත ෆොර්ඩ් කැප්රි මාර්ක් වන් ටූඩෝ කාර් එකෙන් තරග කළ බොහෝ දෙනෙක් ප්‍රථම ස්ථාන හිමිකරගෙන තිබෙනවා. එහි මාර්ක් ටූ ද, මා සතුයි. එයත් ධාවන තත්ත්වයේ පවතිනවා. එහෙත් මෙම වර්ගයේ ධාවන තත්ත්වයේ පවතින වාහන ඉතාමත් අඩු සංඛ්‍යාවක් ලංකාවේ තිබෙන්නේ. 


එංගලන්තයේ නිෂ්පාදිත ස්ටෑන්ඩන්ට් ෆ්ලයින්ග් එයිට්, කාර් එක හඳුනාගත හැක්කේ එහි ඉංග්‍රීසි කොඩියෙන් පමණයි. එවකට නිපදවා ඇති බොහෝ වාහනවල වර්ගය කොහේ හරි ඉතා ආකර්ෂණීය අන්දමින්, එම්බෝස් කර හෝ කොටා තිබුණත්, මෙහි විශේෂත්වය වන්නේ නිෂ්පාදකයාගේ නම සඳහන් කර නොතිබීමයි. 
ඊට අමතරව මා සතු කාර් රථ කිහිපයක් නම්, එංගලන්තයේ නිෂ්පාදිත ඔස්ටින් ඒ ෆොර්ටි සමර්සෙට් (EN 4570) වාහනය ද විශේෂයි. එනම් එවකට යාපනයේ ඉතාමත් ජනප්‍රිය සහ එහි වැඩිපුර භාවිතා කළ වාහනයක් වීම නිසයි. 


ෆොර්ඩ් ඇන්ග්ලියා (3 ශ්‍රී 5545) එංගලන්තයේ නිෂ්පාදිත තවත් එකක්. මොරිස් මයිනර් කමර්ෂල් වාහනයකුත් මෙහි තිබෙනවා. මෙය භාවිත කළේ භාණ්ඩ ප්‍රවාහනය සඳහායි. එංගලන්තයේ තැපැල් ප්‍රවාහනය සඳහාත් භාවිත කළා. 


ෆෝඩ් කැප්රි මාර්ක් වන් (1600 CC රතු පැහැති ) සහ ටූ (2000 CC කළු පැහැති) යනුවෙන් ද කාර් දෙකක් තිබෙනවා. මෙයින් ෆොර්ඩ් කැප්රි මාර්ක් වන් වර්ගයේ කාර් එක නිසා, ප්‍රසිද්ධ ධාවකයෙකු වන ඩිලන්ත මාලගමුවට විදෙස් ගත වීමටත් බලපෑවා. එවකට ඔහුගේ තාත්තා සතුවත් මෙම වර්ගයට අයත් වාහනයක් තිබුණ අතර, එය තරග සඳහා ලබා නොදීම හේතුවෙන් ඒ ආකාරයෙන් ඔහු විදෙස් ගත වීමට සිදු වූ බව මා සමඟ ඔහු පවසා තිබෙනවා. 


ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆොර්ඩ් ෆෙයාර්ලේන් ගැලක්සි 500 (සුදු සහ නිල් පැහැති) කාර් රථය. මෙයට සිලින්ඩර් අටක් සහකාබර් ලේටර් දෙකක් හිමියි. අඩි දහනවය හමාරක් පමණ දිගයි. මෙරට මෙම වර්ගයේ ඇති දිගම කාර් රථය වශයෙන් සඳහන් කළ හැකියි. ආසන හතරයි. සැප පහසුව ඇතිව වේගවත්ව ධාවනය කළ හැකි වාහනයක්. 


ඉතාලියේ නිපදවා ඇති ෆියට් ටොපර්ලිනෝ රතු පැහැති, අංකයක් නැති වාහනයේ විශේෂත්වය වන්නේ “බග් මේෂන්” නමැති එංගලන්ත ජාතිකයා එවකට කාර් රේස් තරග සඳහා ධාවනය කර පිට පිටම ප්‍රථම ස්ථාන හිමිකර ගෙන තිබීමයි. ඒ නිසා මෙම කාර් රථය “බග් ෆියට්” යන නමින් ද ලංකාවේ හඳුන්වනවා. (ඉතාලි භාෂාවෙන් ටොපලිනෝ කියන්නේ කුඩා මීයාටයි.) 


ඕපල් රෙකෝඩ් ඔලිම්පියා කන්වර්ටබල් (EN 233) කාර් රථය ගැනත් විශේෂයෙන් ම සඳහන් කළ යුතුයි. ලංකාවට මෙම වර්ගයේ රථ දෙකක් පමණයි ගෙන්වා ඇත්තේ. ඉන් මගේ කාර් එක පමණයි ඉතිරිව පවතින්නේ. සැප පහසු වාහනයක්. වාහනය ධාවනය කරන අතරතුර තේ කෝප්පයක පවා රස බැලිය හැකි බව සදහන්. 


බස්සා මොඩ්ල් නමින් හැඳින්වෙන, ඔස්ටින් 7 රූබි 1934, ලෝ ලෑම්ප් මොරිස් මයිනර් වර්ගයේ රථයකුත් මාගේ එකතුව සතුයි. 


ඊටත් අමතරව පැරණි කාර් රථවලට අයත්, විවිධ මාදිලියේ වීල් හබ් කප් (විශාල ප්‍රමාණයක් ) ඩෑෂ් බෝඩ් වර්ග, මීටර්ස්, ඉදිරිපස ග්‍රීල් වර්ග, දොර සහ ඩිකි හැන්ඩ්ල්ස්, පෙට්ට්‍රල් ටැප්ස්, පරණ ලාම්පු, බල්බ්, හෝන්ස්, කාබයිට් ලාම්පු, ටේල් ලයිට්ස්, සිග්නල් ලයිට්ස්, පිත්තල බඩු, ඔරලෝසු, දුරකතන, ග්‍රිල්ස්, ලාංචන, එම්බ්ලම්ස් ආදී කොටස් ද ඔහුගේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 


මා ළඟ තියෙන ඇතැම් වාහන අවුරුද්දකට දෙතුන් වතාවකට වඩා දුවන්නේ නැහැ. සමහර වාහන අවුරුදු දෙකකට එක පාරක් වගේ ධාවනය කරනවා. තවත් සමහර ඒවා අමතර කොටස් නොමැතිකමින් වසර ගණනාවක් අලුත්වැඩියා කිරීමට නොහැකිව පවතිනවා.. වසර තිහ, හතළිහක පමණ කාලයක් ධාවනය නොකළ වාහනත් තිබෙනවා. 


මෙවැනි වටිනා වාහන විශාල සංඛ්‍යාවක් මා සතු නිසා සියල්ලටම වාර්ෂික බලපත්‍ර ලබා ගැනීම ගැටලු සහගතයි. එමනිසා භාවිතා නොකරන වාහන, භාවිත කරන අවස්ථාවේදී පමණක් සුළු මුදලකට බලපත්‍රයක් ලබා ගැනීමට ඉඩ ලබා දෙනවා නම් ලොකු සහනයක්.. හරි විදියට නම් මෙවැනි පෞරාණික වාහන රජය විසින්, ජාතික සම්පතක් ලෙස සලකා ආරක්ෂා කරන්න ඕනෑ යැයි ද ඔහු අවසන් වශයෙන් පැවැසුවේය.

 

මේ ෆ්ලවර් කාරයක්

ගාමිණි ෆොන්සේකා මහතා භාවිතා කළ මොරිස් මයිනර් කාරය

එවකට යාපනයේ ජනප්‍රිය ඔස්ටින් ඒ 40 සමර්සෙට් කාරය

CL කාණ්ඩයට අයත් එකම කාර් රථය

සිම් කා එරොන්ඩි

ෆොර්ඩ් ඇන්ඩි්‍රයානා

ඕපල් රෙකාඩ් ඔලිම්පියා

 

 

සටහන සහ ඡායාරූප 
සිසිර කුමාර බණ්ඩාර