පන්සලේ නාගයින් මැරූ සියදෝරිස්ට අත්වූ ඉරණම


ජිවිතය යහමගට ගැනීමට නිවැරදිව මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

අම්පාර, මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවක් මෙසේය.  

ගොළුබෙල්ලන් විනාශ කළ සිරිපාලගේ ජීවිතය ද ගොළුබෙලි කටුවකින් විනාශ විය  

එක්තරා ගම්බද ප්‍රදේශයක සිරිපාල නම් වූ ගැමියෙක් ජීවත්විය. දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු වූ හෙතෙම පවුලේ නඩත්තුව ගෙන ගියේ අක්කර භාගයක් පමණ වූ ගෙවත්තේ එළවළු වගා කිරීමෙන් හා කුලී වැඩ කිරීමෙනි. නගරබද මෙන් ගම්බද එතරම් කුලී වැඩ තිබුණේ නැත. සමහර මාසවල ඔහුට කුලී වැඩක් කිරීමට ලැබෙන්නේ දින දෙක තුනක් පමණි.  


කුලී වැඩක් කිරීමට නොලැබුණත් ගෙදරට යන එදිනෙදා වියදම් පිරිමසා ගැනීමට එළවළු කොටුවෙන් ආදායමක් ලැබීම නිසා ඔහුට කාටවත් අත නොපා ජීවත්වීමට හැකි විය. මෙසේ කාලය ගතවෙන විට ඔහුගේ එළවළු වගාවට විශාල හානියක් ගොළුබෙල්ලන් ගෙන් සිදු වෙන්නට පටන් ගත්තේය. අධික ලෙස බෝවී සිටි ගොළු බෙල්ලන් එක් රැයකට එළවළු පැළ සිය ගණනක් කාදමන බව දැනගත් සිරිපාලට අැතිවූයේ ඉවසිය නොහැකි දුකකි.  


මෙම ​ගොළුබෙලි උවදුර මඟහරවා ගැනීමට හැකි ක්‍රමයක් ගැන සිරිපාල කල්පනා කළත් ඔහුට සාර්ථක විසඳුමක් ලබාගැනීමට මාර්ගයක් සොයා ගැනීමට නොහැකි විය. මේ නිසා ඔහු ගමේ බොහෝ දෙනකුගෙන්ද මේ ගැන විමසුවේය. ගොළුබෙල්ලන්ට ලුණු වතුර දමූවිට ඔවුන් මැරීයන බව සමහරු කීය. සිරිපාල ලුණු බාල්දියක් දියකරගෙන ගොස් කොටුවේ ගැවසෙන ගොළුබෙල්ලන්ට දැම්මේය. එ්ත් පසු දින උදයේ කොටුවට ගොස් බැලූ සිරිපාල, එකම ගොළුබෙල්ලෙක්වත් මැරී නැති බවත්, එදිනද එළවළු පැළ විශාල ප්‍රමාණයක් කා දමා ඇති බවත් දක්නට ලැබුණේය. මේ ගැන කතා කරන විට තවත් කිහිප දෙනෙකු, එළවළු පැළ වටේ අළු හෝ දහයියා දැමූවිට ඒවාට උඩින් ගොළුබෙල්ලන්ට පැමිණිය නොහැකි බව කීවෝය. ඒ ආකාරයට කොටුව පුරා දැමීමට අළු හා දහයියා රැස්කර ගැනීමට අපහසු වුවත්, සිරිපාල සුළු වශයෙන් අළු හා දහයියා සපයාගෙන ගොස් එළවළු පැළ කොටසක් වටා දමනු ලැබීය. එයින්ද පලක් නොවෙනබව පෙනීගියේ පසු දින ඔහු කොටුවට ගොස් බලන විට එම එළවළු පැළ ද ගොළුබෙල්ලන් කා දමා තිබීම නිසාය.  


මේ වෙනවිට සිරිපාලට තම එළවළු වගාව අත හැර දැමීමට තරම් හානියක් ගොළුබෙල්ලන්ගෙන් සිදුවී තිබුණි. මේ නිසා තවදුරටත් තමාම කල්පනා කළ සිරිපාල ගොළුබෙල්ලන් විනාශ කර දමා තම වගා කටයුතු කරගෙන යාමට ක්‍රමයක් සොයාගත්තේය. ඒ අනුව ඔහු රැයකට දෙතුන් වරක් එළවළු කොටුවට ගොස් ගොළු බෙල්ලන් මල්ලකට එකතු කරගෙන වළක් කපා වළලා දැමීමට පටන් ගත්තේය. මේ ආකාරයට ගොළුබෙල්ලන් වළ දැමීම පටන්ගෙන සති දෙක තුනක් ගතවෙන විට ගොළුබෙලි උවදුර සම්පූර්ණයෙන්ම තුරන්කර ගැනීමට සිරිපාලට හැකි විය.   


ඉන් පසු ඔහු වසර දෙකක් පමණ කාලයක් කරදරයකින් තෙරව ඉතා සරුවට එළවළු වගාව කරගෙන ගියේ. වගාකොට ඇති එක් බෝගයක අස්වැන්න නෙළාගත් පසු උදැල්ලෙන් පොළාව කොටා පස බුරුල්කොට නැවත වෙනත් භෝගයක් එහි වගා කිරීම සිරිපාලගේ සිරිතය. මෙසේ උදැල්ලෙන් පොළොව කොටන බො​ෙහා් අවස්ථාවලදී වළදමන ලද ගොළුබෙල්ලන්ගේ කටු ගොඩවල් ද තැනින් තැන මතුවිය. ඒවා නැවත යටකර දමමින් ඔහු බිම සකස්කර ගන්නේය.  


එක් දිනක් සවස සිරිපාල වැඩ නිමකොට කොටුව මැදින් එනවිට කකුලක යටිපතුලේ ඉතා තදින් උලක් වැනි යමක් ඇනී පය එසවීමට පවා නොහැකි තරම් වේදනාවක් දැනෙන්නට විය. රෑ බෝවීම නිසා ඔහු අමාරුවෙන් නිවසට පැමිණ බලනවිට පොළොව කෙටීමේ දී උදළු පහරක් වැදී උල්ව කැඩීගිය ගොළුබෙලි කටු කෑල්ලක් යටිපතුලේ ගැඹුරට ඇනී හිරවී තිබෙන බව දැක වේදනාව දරාගෙනම එය කකුලෙන් ඉවත් කෙළේය. ඒ සමඟම තුවාලයෙන් අධික ලෙස ලේ වැගිරෙන්නට පටන් ගත්​ෙත්ය. සිරිපාලගේ බිරිඳ රෙදිපටියක් ගෙන තුවාලය තදකොට ගැට ගැසුවත් ලේ ගැනීම නතර වූයේ නැත. මේ නිසා අහල පහළ නිවෙස්වල අයගේද සහය ලබා​ෙගන ගමේ සිට සැතපුම් තුනක් පමණ ඈත පිහිටි රජයේ රෝහලට සිරිපාල රැගෙන යන විට අනතුර සිදුවී පැය පහක පමණ කාලයක් ගතවී තිබුණි.  


රෝහලට ඇතුළත්කොට පැය භාගයක් පමණ ගත වන්නට ද පෙර ඔහු ජීවිතක්ෂයට පත්විය. මෙසේ මිය ගිය සිරිපාලගේ මරණය සම්බන්ධයෙන් පවත්වන ලද හදිසි මරණ පරීක්ෂණය අනුව අධික ලෙස රුධිරය පිටවීම නිසා ඇති වූ පිටගැස්ම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවත් අනතුර සිදුවූ මොහොතේම රෝහලට පැමිණියා නම් ජීවිතය බේරාගැනීමට පුළුවන්කම තිබී ඇති බවත් වෛද්‍යවරු සනාථකොට තිබුණි.

  
සිරිපාලගේ මරණය මේ ජීවිතයේදීම කළකම් පලදීමක් නොවේද?

 



අලව්වේ රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

පන්සලේ නාගයින් මැරූ සියදෝරිස්ට අත්වූ ඉරණම  


ඇතැම් මනුෂ්‍යයෝ උෟරන්, එළුවන්, ගවයින් හා කුකුළන් කොටුකරගෙන මස් පිණිස ඇති දැඩි කරති. වනාන්තර අසල ගම්වල දඩයක්කරුවෝ මුවන් ගෝනුන් වැනි සතුන් දඩයම් කර ගනිති. ගිරා, බටිති. මලිති, කොබෙයි වැනි පක්ෂීන් කූඩුවල දමා විකුණති. ඔවුනගේ නිදහස හා ප්‍රාණය ගැන වගකිවයුත්තෙක් නැත. සතුන් කූඩු කර තැබීමේ විපාකය හිරේ විලංගුවේ වැ​ෙටන පාපකර්ම බවට විශ්වාස කෙරේ. රිලවුන්, නාගයින්, පොළඟුන් හා පිඹුරන් පෙන්නා ඇතැමුන් මුදල් උපයති. මේ ක්‍රියාකාරකම් මිනිසුන් ජීවනෝපාය කරගෙන සිටියත් එයින් සත්ව හිංසනය හා සත්ව ඝාතනය සිදුවන හෙයින් ඒ සියල්ල බුදු දහමට අනුව මහා පාපකර්​ෙයා්මය.  
‘සම්මා කම්මන්ත තුළින් සම්මා ආජීවයක්’ ගොඩ නගා ගත හැකි බව බුදු දහමින් පෙනේ. එනම් යහපත් රැකියා (කර්මාන්ත) තුළින් යහපත් දිවි පෙවෙතක් ගෙන යා හැකි බවය.  


ජීවිතය කොයි මෙහොතේ විනාශ වේදැයි නොදන්නා මිනිසාට සමීපව වෙසෙන සත්වයෙක් වන්නේ නාගයාය. නාගයින් පිළිබඳව ජනප්‍රවාද බහුලව දක්නට ඇත. දේවාලවලට හා විහාරස්ථානවලට අරක්ගත් නාගයින් සිටින බවත්, ඔවුන් එම ස්ථාන ආරක්ෂා කරන බවත් විශ්වාස කෙරේ.  


‘විෂඝෝර සර්පයා - දැක නෑර මෝඩයා’ යන්න ගැමි වහරෙහි පවතින කියමනකි. බුද්ධදාස නම් රජකෙනෙකු නාගයෙකුට වෙදකම් කර සුවපත් කළ පුවතක් ඉතිහාසයට එක්වී ඇත. නාගයන්ට හිංසා පීඩා කළවුන් කෙරෙහි ඔවුන් වෛර බැඳ ගන්නා බව කියැවෙන නිසා බියක් හා ගෞරවයක් නාගයින්ට මිනිසුන් තුළ පවතී. අදටත් නාගයින් ඇසුරෙහි තබා ගන්නා ග්‍රෝතික පරපුරක් දක්නට ඇතත්, ඔවුන්ද ​ෙබාහෝවිට එවැනි පාරම්පරික ක්‍රියාකාරකම්වලින් බැහැරව සිටිනු දැකිය හැකිය.  


දැනට දශක පහකට පමණ පෙර ගරා වැටී ගිය පැරණි පංසලක් සබරගමුවේ පිහිටා තිබුණි. පඩි පෙළ සහිත බුදු මැදුර, ආවාස ගෙය, බණ මඩුව දිරා පත්වී අබලන්වී තිබුණි. එ් නිසාම කලින් කලට ස්වාමීන්වහන්සේලාගෙන් විහාරස්ථානය සුන්‍ය විය. දරදඬු සිතක් තිබූ අවිවාහක වැඩිහිටි පුද්ගලයෙක් පංසලේ වාසය කළේය. බුද්ධ පූජාව රැගෙන ආ දායක පිරිසගෙන් මොහුට දිනපතා බත් මුල බැගින් ලැබුණේ පන්සල බලා කියාගෙන සිටින නිසාය. මොහු හැඳින්වූයේ සියදෝරිස් යන අන්වර්ථ නාමයෙනි. සියදෝරිස් පන්සලට ආ බල්ලන් හා බළලුන් මැරුවේය.   


පන්සල පුරාම හුඹස් බැඳ තිබුණි. බුදු මැදුරට ඇතුල්වීමට නොහැකි සේ හුඹස්ය. පන්සලේ මිදුලේත්, බිත්තිවලත් විශාල හුඹස්ය. හුඹස් නිසාම නාගයෝ බොහෝ සේ ගැවසෙන්නට වූහ. එහෙත් නාගයන්ට සැරිසරන්නට සියදෝරිස්ගෙන් ඉඩක් ලැබුණේ නැත. දිනකට නාගයින් එකෙක් දෙන්​ෙනක් නොමැරූ දිනයක් නැත. නාගයින් පසු පස හඹා ගොස් පොල්ලකින් ගසයි. නොඑසේ නම් දෙබලක ආධාරයෙන් බෙල්ල පොළොවට තද කර මැරෙනතෙක් බලා සිටියි. පන්සලේ සිටින මීයන් මරා හුඹස් කටේ තබා ගොදුරට නාගයා මතුවන තෙක් බලා සිට අසීමිත සතුටක් ලැබීය. සියදෝරිස්ගේ පොලු පහර කෑ ඇතැම් නාගයෝ පෙනගොබය පොළවේ ගසාගෙන මිය ගියහ.   


එක්තරා දිනක පන්සලට පැමිණි ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් නාග උවදුරෙන් මිදීමට නම් නාගයින් මැරීම නොව කළ යුත්තේ හුඹස් සියල්ලම ඉවත් කිරීමයි යැයි කීහ. එසේ උන්වහන්සේ පවසන විටත් එතෙක් නාගයින් මැරූ පාපය මෙළොවදීම පළදීමට අත ළඟටම ඇවිත් තිබූ බව සියදෝරිස් නොදත්තේය.  


එක්තරා මහා ධාරානිපාත වැසි දිනයක් පන්සලට උදාවිය. සියදෝරිස් දාන ශාලාවේ රාත්‍රියේ නිදා සිටියේය. දිරා ගිය වහලයෙන් දාන ශාලව තෙමෙන්නට විය. සියදෝරිස්ට නින්ද ගොසිනි. දාන ශාලාවේ දිරා ගිය විශාල බාල්කයක් කඩා වැටුණේ සියදෝරිස්ගේ හිස මතය. පාන්දර පන්සලට බුද්ධ පූජාව රැගෙන පැමිණි දායක මහතෙක් සිහිසුන්ව සිටි සියදෝරිස් දැක රෝහල වෙත ගෙන ගියේය. එහිදී ප්‍රතිකාර කළත් හිස තුළ වේදනාව පහව ගියේ නැත. දිගු කලක් වේදනා විඳිමින් ප්‍රතිකාර කළේය. මෙසේ කෑ ගසමින් ප්‍රතිකාර ගත් සියදෝරිස් එක් රාත්‍රියක රෝහල තුළම මියගොස් සිටියේ මේ ජීවිතයේදීම කළ පව්කම් පළදීමෙනි.  

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම්එ්වා  ඉරිදා ලංකාදීපයට යොමු කරන්න

 

 

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්