පන්සලේ චිත්‍ර අඳින තායි තරුණයා


සුමනරතන නායක හිමි සහ විනයි බොරිබූන් (Wimai Boriboon)

 

සංගීතය යනු විශ්ව භාෂාවක් යැයි කියති. සංගීතය පමණක් නොව චිත්‍ර කලාව ද එබදු අයුරින්ම සැමට එකසේ දැක බලා රසවිඳිය හැකි විශ්ව භාෂාවක් ලෙස හැඳින්වුවහොත් එහිද වරදක් නොවේ. කුමන රටක ජීවත් වුවද, කුමන භාෂාවක් කතා කළද, කුමන ආගමක් ඇදහුවද, සංගීතය සේම චිත්‍ර කලාවද සැමට එකසේ රස විඳිය හැකි මාධ්‍යයක් වීම ඊට හේතුවයි.   


උපතින්ම තායිලන්ත ජාතිකයෙකු වුවත් මෙරට බෞද්ධ විහාරස්ථානවල දක්නට ලැබෙන්නාවූ සිතුවම්වලට පෙම් බදිමින් ඒවා ඒ අයුරින්ම විදෙස් රටවල බෞද්ධ විහාරස්ථානයන් ඇතුළු ආගමික සිද්ධස්ථානයන් තුළ සිතුවමට නගන තරුණයෙකු පසුගියදා අපට මුණ ගැසිණි.   


 විනයි බොරිබූන් (Wimai Boriboon) නම් වූ මෙම තායි ජාතික තරුණයා අපට හමුවූවේ මීගහකිවුල කරමැටිය ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදීය.   
ඒ, එම විහාරස්ථානයේ පිහිටි ධර්ම ශාලාව තුළ අපූරු බෞද්ධ සිතුවම් කීපයක් නිර්මාණය කරමින් සිටියදීය. එහි පසුබිම් කතාව හරි අපූරු එකකි.   
 බෞද්ධ ආගමට මෙන්ම බෞද්ධ විහාරස්ථානයන්හි සිතුවම්වලටද එකසේ ආදරය කරන විනයි බොරිබූන් නම් මෙම තායි ජාතික තරුණයා පැමිණ ඇත්තේ තායිලන්තයේ චොන්බූර් ප්‍රදේශයේ සිටය.   


ඒ චොන්බූර් ප්‍රදේශයේ පිහිටි වට් රාට් සත්ථා විහාරස්ථානයේ වැඩ වසන ඇටඹගහකදුරේ සුමනරතන නාහිමියන් පසුගිය දිනෙක ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේගේ ආරාධනාවක් අනුවය.   
මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේ උපත ලබා කුඩා කලදීම බුද්ධ ශාසනයට ඇතුළත් වන ඇටඹගහකදුරේ සුමනරතන ස්වාමීන් වහන්සේ පසු කලෙක තායිලන්තය බලා පිටත්ව ගොස් බැංකොක් අග නගරයේ සිට කිලෝමීටර් 80 ක් පමණ ඈතින් පිහිටි වට් රාට් සත්ථා විහාරස්ථානයේ වැඩ හිඳීමෙන් ධර්මප්‍රචාරයේ නිරත වන්නේ වසර ගණනාවක සිටය.   
මේ වන විට සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින සුමනරතන ස්වාමීන් වහන්සේට බොහෝ දෛනික කටයුතු සිදුකරගන්නට සිදුව ඇත්තේ කිසිවකුගේ හෝ උදව් උපකාර ලබා ගනිමින්ය.   


සුමනරතන හිමියන්ගේ තායිලන්ත විහාරස්ථානයට නිරන්තරයෙන් යන එන පුද්ගලයෙකු වන බොරිබූන්ද උන් වහන්සේගේ ඕනෑ එපාකම් සියල්ල සොයා බලමින් උන්වහන්සේට සිව්පසින් උපස්ථාන කරන බෞද්ධ ආගමට ඉමහත් ගෞරවයක් දක්වන පුද්ගලයෙකි. හේ බෞද්ධයෙකි.   
“මහත්තයෝ මෙයා මගේ තායිලන්ත පන්සලට නිතර යන එන කෙනෙක්. මගේ පන්සලේ හැම බෞද්ධ සිතුවමක්ම ඇන්දෙත් මෙයා” සුමනරතන නාහිමියෝ බොරිබූන් අපට හඳුන්වාදෙමින් කියා සිටියහ.   

 

සිතුවම් හා ඒවා අඳින අයුරු.

 


අපි උන්වහන්සේට කියන්නට ඉඩදී නිහඬ වීමු.   


“මම දැන් අවුරුදු ගාණක් ඉන්නේ තායිලන්තේ. වට් රාට් සත්ථා විහාරස්ථානයේ. මගේ පන්සලට ආසන්නව තමයි මේ බොරිබූන් ජීවත් වෙන්නේ. මෙයා බුද්ධාගමට බොහොම ළැදි පුද්ගලයෙක්. බණ දහම් භාවනා ආදිය කරගෙන නිහඬ ජීවිතයක් ගෙවන පුද්ගලයෙක්.   
එහෙම වුණත් මෙයා හරිම දක්ෂ කලාකරුවෙක්. විශේෂයෙන්ම බෞද්ධ චිත්‍රවලට පුදුම ආශාවක් දක්වනවා. චිත්‍රයක් දැක්කොත් ඒක ඒ විදියටම අඳින්න එයාට හැකියාව තිබෙනවා. මම ලංකාවට ආව කීප වතාවක්ම එයා මාත් එක්ක ආවා. ඇවිල්ලා රටේ තැන් තැන්වල සංචාරය කරද්දී බෞද්ධ විහාරස්ථානවල තිබෙන පින්තූර බොහොමයක් මෙයා සටහන් කර ගත්තා. විශේෂයෙන්ම එක වතාවක් ආපු වෙලාවේ කැලණි විහාරයෙ තියෙන චිත්‍ර රාශියක්ම මෙයා සටහන් කර ගත්තා. ඊට පස්සේ තායිලන්තයට ගිහිල්ලා ඒවා එහි විහාරස්ථාන කීපයකම ඇන්දා. මගේ පන්සලේ තිබෙන චිත්‍ර සියල්ලම ඇන්ඳෙත් බොරිබූන්.   


මට දැන් වයසයි. තනියම යන්න එන්න බැහැ. ඒ නිසා මම ඇහුවා මෙයාගෙන් මාත් එක්ක ලංකාවේ යන්න එනවද කියලා. එයා හරිම කැමැත්තෙන් ඒකට සූදානම් වුණා. ඇවිල්ලා අපි හිටියේ මම මහණ වුණ කරමැටිය විහාරස්ථානයේ.   
ඔය ඉන්න අතරෙ තමයි මෙයා කිව්වේ, මට මේ පන්සලේ චිත්‍ර කීපයක් අඳින්න ඕනෑ කියලා. මේ විහාරස්ථානයේ වැඩ වෙසෙන නන්ද හාමුදුරුවෝ ඒකට එක පයින් කැමැත්ත දුන්නා.   


මංවත් දන්නෙ නැහැ මෙයා ඒකට අවශ්‍ය හැම දෙයක්ම තායිලන්තේ ඉදලම අරගෙන ඇවිල්ලයි තිබුණේ. ඊට පස්සේ අලුතෙන් හදපු ධර්මශාලාවේ චිත්‍ර අඳින්න එයා බාර ගත්තා.   
අපි හිටපු දවස් කීපය තුළ එයා එහි බිත්තිවල අලංකාර සිතුවම් කීපයක්ම නිර්මාණය කළා. හරිම ගෞරවයෙන් තමයි ඒ වැඩ කළේ. ඒ චිත්‍ර තායිලන්තයේ විදිහටනම් රුපියල් ලක්ෂ දහයකට වඩා වටිනවා. හැබැයි මෙයා සියල්ල කළේ නොමිලේ. පන්සලට ආව හුඟ දෙනෙක් එයාගේ චිත්‍ර දැකලා හරියට ප්‍රශංසා කළා.   
එයා මාවත් බලාගෙන මටත් ඇප උපස්ථාන කරමින් තමයි, මේ වැඩ ටික කළේ.” සුමනරතන නා හිමියෝ සිය සගයා ගැන එසේ කීහ.   


අපි සුමනරතන හිමියන්ගේද සහාය ඇතිව විනායි බොරිබූන් සමගද කතා කළෙමු.   


“මම තායි ජාතිකයෙක්. චිත්‍ර කලාව සම්බන්ධයෙන් මම ඉගෙන ගෙන තියෙනවා මම වෘත්තියක් විදිහටත් කරන්නේ ඒක. මගේ චිත්‍ර බොහොමයකට පසුබිම් වෙලා තියෙන්නේ බෞද්ධ දර්ශනය.   


සුමනරතන හාමුදුරුවොත් එක්ක ලංකාවට ආපු හුඟක් වෙලාවල්වල මම වෙහෙර විහාරවල ඇවිදලා චිත්‍ර ගැන අධ්‍යයනය කළා. ඒ නිසා මට බෞද්ධ චිත්‍ර ඒ විදිහටම අඳින්න හැකියාව තියෙනවා. මම තායිලන්තෙ විහාරස්ථාන ගණනාවකම බෞද්ධ චිත්‍ර නිර්මාණය කරලා තියෙනවා.   
ඊට අමතරව කතෝලික සිද්ධස්ථාන කීපයකත් මම චිත්‍ර ඇඳලා තියෙනවා. සුමනරතන හාමුදුරුවෝ උදව්වට එන්න කිව්වම තමයි මම ආවෙ. මම අවිවාහකයි. මම බෞද්ධයෙකු විදිහට ජීවත් වෙන කෙනෙක්. භාවනා කරලා හිත සැනසිල්ලේ ජීවත් වෙන්න තමයි මම ආසා. චිත්‍ර ඇඳීම කියන්නෙත් ඒ වගේ ම භාවනාවක් ඒ නිසයි මම ඒකට ආසා කරන්නේ.   
මේ පන්සලට එනකොටම මම හිතාගෙන ආවා මොකක් හරි දෙයක් මේ පන්සලට දීලා යන්න ඕනෑ කියලා. ඒ හින්ද මම අවශ්‍ය දේවල් අරගෙන තමයි ආවෙ. ඊට පස්සේ මට ධර්මශාලාවේ චිත්‍ර කීපයක් අඳින්න බාරදුන්නා. මම ඒකට යොදා ගත්තේ කැලණිය විහාරයේ තියෙන චිත්‍ර කිහිපයක්. චිත්‍ර ඇන්දට පස්සෙ පන්සලේ නායක නන්ද හාමුදුරුවෝ වගේම පන්සලට ආව දායක මහත්තුරුත් ඒකට හරියට ප්‍රශංසා කළා. ඒක තමයි මට තියෙන සතුට.   


ඒ වගේම සුමනරතන හාමුදුරුවන් වගේ බුදු පුතෙකුට උපකාර කරන්න ලැබීමත් මට සතුටක්. උන්වහන්සේට දැන් හරියට යන්න එන්න අමාරුයි. උන්වහන්සේට මම ඇප උපස්ථාන කරන්නෙත් හරිම සතුටින්.   


කරමැටිය ශ්‍රී ජයසුමනාරාමාධිපති කරමැටියේ නන්දසාර හිමි.   


කරමැටිය කියන්නේ දුෂ්කරතා රාශියක් මැද්දේ මිනිස්සු ජීවත්වෙන ගම්මානයක්. මේ වගේ ප්‍රදේශයක පන්සලක් පවත්වාගෙන යෑම බොහොම අසීරුයි. පන්සලේ ධර්ම ශාලාව ඉදි කර ගත්තත් එහි බිත්ති තිබුණේ පාළුවට ගිහින්. ඒ නිසා මම මොකද කරන්නේ කියලා හිත හිතා ඉද්දි තමයි අපේ නායක හාමුදුරුවොත් එක්ක ආව තායිලන්ත තරුණයා සිතුවම් අඳින්න භාරගත්තෙ.   


නායක හාමුදුරුවෝ කිව්වා බය නැතිව බාර දෙන්න කියල. ඒ විශ්වාසය උඩ මම ඒකෙ චිත්‍ර අඳින්න ඔහුට බාර දුන්නා. ඒ විශ්වාසය ඒ විදිහටම සුරකිමින් ඔහු අලංකාර චිත්‍ර කීපයක්ම එහි බිත්තිවල නිර්මාණය කළා. ඒ සියලු දේවල් ඔහු කළේ ඉතා ශ්‍රද්ධාවෙන්. ඒ වගේම ඔහුගේ මහන්සියෙන්. ඔහු කිව්ව විදිහට ඒවා ලක්ෂ ගාණක් වටිනා චිත්‍ර. ඇත්තටම ඒ සඳහා ඔහු යොදා ගෙන තිබුණේ තායිලන්තයෙන් ගෙනෙන ලද මිල අධික විශේෂ රෙදි වර්ගයක්.   


කැලණි විහාරයේ තියෙන චිත්‍ර කීපයක්ම අපේ පන්සලේ ඇඳලා තියෙනවා. ඇත්තටම ඒක අපේ පන්සලට ලොකු අභිමානයක්. පන්සලට එන හැමෝම ඔහුගේ මෙම ක්‍රියාව අගය කරනවා.   


වෙන කෙනෙක් නම් නොදන්න රටකට ආවම ඇවිදින්න යනවා. හැබැයි මෙයා පන්සලටම වෙලා හිටියා. ගියා නම් ගියේ එහා වැව පැත්තේ තියන අසපුව පැත්තට විතරයි. එහෙ ගිහිල්ලත් කිව්වේ භාවනා කරන්න ඕනි කියල. හරිම නිවිච්ච පුද්ගලයෙක්. මේ කටයුත්ත වෙනුවෙන් ඔහුටත් සුමනරතන ලොකු හාමුදුරුවන්ටත් පින් දෙනවා ඇරෙන්න අපට වෙන කරන්න, දෙන්න දෙයක් නැහැ”.   


පන්සලේ පින් කැටය පවා කඩමින් රුපියල් ශත ඉදිරියේ ඕනෑම පහත් ක්‍රියාවක් කරන්නට පසුබට නොවන සමාජයේ බොහෝ දෙනෙකුට මේ තායි තරුණයා සැබෑම ආදර්ශයකි.   


(විශේෂ ස්තූතිය - කරමැටිය විහාරාධිපති කරමැටියේ නන්දසාර ස්වාමීන්වහන්සේට සහ වියලුව කලාප කාර්යාලයේ එච්.එම්. රොෂාන් සමින්ද මහතාට.)


කතාව සහ ජායාරූප :
වියලුවේ නිශාන්ත කුමාර