නෙළුම් පොකුණේ යුද්ධයක්


 

කොළඹ හාත්පස වටපිටාව ගිනියම් කළ ප්‍රචණ්ඩ හිරු පෑල දිග අහසින් බැස යන්නට අර අදියි. අපි නෙළුම් පොකුණ භූමියේය. එය යුද පිටියක ස්වරූපයෙන් ඇළලී ගොසිනී. ​​ගොඩනැගිල්ලක් තුළ සිර වී සිටින සිවිල් ජනතාව සතුරාගෙන් මුදා ගැනීමේ අපූර්ව ක්‍රියාන්විතයක නිරතවෙන කොමාන්ඩෝ සහ විශේෂ බළකා සෙබළු එම මෙහෙයුමේය. මොහොතින් මොහොත කුතුහලය ඒකරාශී වෙමින් ඔවුහු දියකාවා මෙහෙයුමේය. සැබවින්ම එය මෙහෙයුම් අභ්‍යාසයක්ය. ගුවනින්ද සහාය යොදා ගනිමින් මොහොතකින් සතුරා පරාජය කරමින් සිවිල් ජනතාව නිරුපද්‍රිතව මුදා ගැනුණු ආකාරය​ නෙළුම් පොකුණ බිමේ අපූරුවට නිරූපණය කරන්නට කොමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළු ගත් වෙහෙස අගය කළ යුතුමය. 


මෙම අභ්‍යාසය සිදු කිරීමේ අදහස හා ඉලක්කය පිළිබඳව පැහැදිලි කිරීමකට අභ්‍යාසයෙන් අනතුරුව එක් වූයේ කිලිනොච්චි ආඥාපති හා දියකාවා අභ්‍යාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් නිශ්ශංක රණවක මහතාය. ඔහු ඉතා සරලව හා පැහැදිලිව එම අභ්‍යාස පිළිබඳව කරුණු අප හමුවේ තැබුවේය. 


‘‘අපි 21 වැනි ශතවර්ෂයට මුහුණ දෙන්න නම් ඒ ශතවර්ෂයේ තිබෙන අභියෝග හොඳින් තේරුම් ගත යුතුය. යුද හමුදාවක් විදියට අපට ඉදිරියේදී රට තුළ නැවත කෙබඳු සටනක් ඇතිවිය හැකිද? අපි කිසිසේත්ම එවැන්නක් යළිත් බලාපොරොත්තු නොවුණත් අපි ඒ පිළිබඳව පෙර සූදානමක සිටිය යුතුය. ඒ සඳහා අපි යුද නාවික හා ගුවන් හමුදා සෙබළු යොදාගෙන වසර 8 ක් තිස්සේ දියකාවා යුද අභ්‍යාස සාර්ථකව නිම කළා. මෙවර 28 වැනිදා කුච්චිවේලිහිදී පවත්වන්නේ 9 වැනි අභ්‍යාසයයි. එම පියවර 9 තුළදීම මෙම අභ්‍යාසයට යම් යම් අලුත් දේ එකතු වෙමින් වෙනස් වෙමින් ආවා. මේ වසරේ සම්පූර්ණයෙන්ම අභ්‍යාසය වෙනස් මුහුණුවරක් ගත්තා. 
විශේෂයෙන්ම 2002-2007 කාලය තුළ රටේ සිදුවූ විවිධ සිදුවීම් පාදක කරගනිමින් තමයි මෙම අභ්‍යාසය කෙරුණේ. එහි එක් අවස්ථාවක් තමයි අපි නෙළුම් පොකුණ භූමියේදී ප්‍රදර්ශනය කළේ. සතුරාගේ අත්අඩංගුවට පත්වුණු සිවිල් ජනතාව ඉන් මුදා ගන්නෙ කොහොමද කියන භාරදූර කාර්යය කොමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළු යොදා ගනිමින් ප්‍රදර්ශනය කළා. එය යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ගේත් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේත් නිරීක්‍ෂණයට ලක් වුණා. 


ලෝකය පුරාම විවිධ රටවල මෙවනි සිදුවිම් පසුගිය කාලයේ සිදු වුණා. චෙච්නියාවේත්, ලංකාවේ එල්.ටී.ටී.ඊ. ය හරහාත් මෙවැනි සිදුවීම් සිදුවුණා. ඉදිරියේදීත් නැවත වෙන්න බැරිකමකුත් නෑ. පිලිපීනයේ හෝටලයකත් මෙවැනි සිදුවීමක් සිදුවුණා. කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මෙහෙයුම් 10 ක් කරනවා. ඒ එක්කම විශේෂ බළකායේත් මෙහෙයුම් 10 ක් කරනවා. මේ එක් එක් බළකායන්ට විශේෂිත වූ සටන් ක්‍රම හා උපක්‍රම තිබෙනවා. විශේෂ බළකාය විශේෂිත පුද්ගයන්ගේ ආරක්‍ෂාව යොදා ගන්නේ නැහැ. රටේ සිදුවෙන හදිසි අවශ්‍යතාවන්ට බහින්නෙ කොමාන්ඩෝ බළකායයි. ඒ නිසා ඒ වෙනුවෙන් තමයි නෙළුම් පොකුණේදී මේ වගේ මෙහෙයුමක් කළේ. පූනානිවල කෝච්චියක සිට ත්‍රස්තවාදීන් අල්ලා ගන්නා මෙහෙයුමක්ද අපි අභ්‍යාසයක් විදියට කරනවා. මෙවර මෙම අභ්‍යාසය සංවිධානය කරද්දී හමුදාපතිවරයාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඔහු සමග සාකච්ඡා කරමින් තමයි සියල්ල සැලසුම් කළේ. ඒ වගේම විදේශ රටවල හමුදා සොල්දාදුවොත් මීට යොදා ගත්තා. අපිත් ලංකාවෙන් ගිහින් විවිධ රටවල මේවගේ යුද පුහුණුවීම්වලට අභ්‍යාසවලට සහභාගී වෙනවා. හමුදාවක් කීවාම සහයෝගීතාවයෙන් යුද අත්දැකීම් බෙදාගත යුතුයි. යුද උපක්‍රම ඇතුළුව ඒ දේවල්වල රහස්‍යභාවයක් නෑ. හමුදාවක් විදියට එකිනෙකා කතා බහ කරලා හමුවෙලා යුද අත්දැකීම් බෙදාගන්න එක වටිනවා. ඒ ඒ රටවල සංස්කෘතිය, සමාජ ක්‍රමය ගැන අපට ඉගෙන ගන්න පුළුවන්. 

 


ඒ වගේම එම යුද නිලධාරීන් ලංකාවට ඇවිත් ගියාම ලංකාව ගැන බොහෝ දේවල් ඒ රටවලට මේ අය හරහා සම්ප්‍රේෂණය වෙනවා. ඒවා එක් පැත්තකින් අපේ සංචාරක ව්‍යාපාරයට වැදගත් වෙනවා. මාසයක් පුරා මෙම විදේශ හමුදා ​සෙබළු යුද පුහුණුවත් සමග රටේ සුන්දරත්වය නරඹනා එ්වා එම රටවල ජනතාවට සම්ප්‍රේෂණය කළාම අපේ රට ගැන යහපත් චිත්‍රයක් ජාත්‍යන්තරය තුළ නිර්මාණය වෙනවා. එයින් අපට යම් යම් වාසි සැලසෙනවා. 


අපි විශේෂ​ෙයන්ම මේ පුහුණුව සඳහා යොදා ගන්නෙ කොමාන්ඩෝ හා විශේෂ බළකායයි. යාන්ත්‍රික බළඝනය, පාබළ හමුදාව හා ගුවන් සංක්‍රමණික පාබළ හමුදාව යන අංශ මෙහි අන්තර්ගතයි. විශේෂයෙන්ම මෙහිදී බලාපොරොත්තු වෙන්නේ විශේෂ ක්‍රියාන්විත බළකා සෙබළුන්ගේ යුද ශිල්පීය නිපුණතා සංවර්ධනය කිරීම, ඔවුන් ඉදිරියේදී සටනකට, හදිසි අවස්ථාවකට යොමු කරමින් සංවිධානාත්මකව හා න්‍යායාත්මකව ඉදිරියට රැගෙන යන්නේ කොහොමද කියන ක්‍රමවේදයන් සැකසීමයි. 


මේ වගේ යුද අභ්‍යාසවලින් බලාපොරොත්තු වෙන තවත් කාරණාවක් වෙන්නේ රටේ ජනතාවට තමන්ගේ හමුදාව කෙතරම් ශක්තිමත්ද යන්න හා විශ්වාසනීයත්වයක් තිබේද යන්න මැන ගැනීමට සැලැස්වීමයි. ජනතාවගේ එම විශ්වාසය තහවුරු කිරීමත් මෙම අභ්‍යාසයෙන් සැලසෙනවා. රටේ යම්කිසි හදිසි ව්‍යසනයක් ඇතිවුව​ෙහාත් රටේ හමුදාවට කෙතරම් දුරට සාර්ථකව ඊට මැදිහත් වෙමින් ජනතාව ආරක්ෂා කරගත හැකිද යන විශ්වාසය මෙවැනි අභ්‍යාස නැරඹීම තුළින් ජනතාවගේ සිත් සතන් තුළ තැන්පත් වෙනවා. 


ගංවතුර, කුණු කඳු නායයාම, වෙනත් කඳු නායයාම, හදිසි ගිනි ආදිය ඇතිවුණොත් රටේ හමුදාව නොබියව පෙරට එයි කියන විශ්වාසය අපි ඔවුන්ගේ හිත්වල ඇති කළ යුතුයි. 


ඒ නිසා මෙවැනි කාර්යයන් සඳහා කනිෂ්ඨ නායකත්වය දියුණු තැනකට ගේන්න ඕනෑ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සේවයෙන් විශ්‍රාම ගියාම කනිෂ්ඨ නිලධාරීන් ඒ තැනට ගේන්න ඕනෑ. ඔවුන් තුළ ඒ ආත්ම ශක්තිය ඇතිකරගන්න ඕනෑ. මෙවැනි අභ්‍යාසයකදි ජීව උණ්ඩ පමණයි භාවිත නොකරන්නෙ. මෙහෙයුමකදී භාවිත කෙරෙන අනෙකුත් සියලුම විධික්‍රම මෙහිදී ප්‍රායෝගිකවම සිදු කෙරෙනවා. ලෝකයේ කෙරෙන අනෙකුත් යුද අභ්‍යාස එක්ක බැලුවම මෙය ඉතාම ප්‍රායෝගික උසස් යුද අභ්‍යාසයක් විදියට සලකන්න පුළුවන්. 


මේ අභ්‍යාසයට සහභාගී වෙන විදේශ හමුදා නිලධාරීන් නියෝජනය කරන හමුදා ප්‍රධානීන් මේ අභ්‍යාසය ගැන විශේෂ අවධානයකින් පසුවෙනවා. විශේෂයනේම නයිජීරියානු හා ඉන්දියානු හමුදා ප්‍රධානීන් මා සමග පුද්ගලිකවම කතා කරලා පැවසුවේ මෙම අභ්‍යාසයෙන් උකහා ගන්නා යුද දැනුම ලබාගෙන ඒ රටවල ආරක්‍ෂක ගැටලු ඉතා හොඳින් විසඳීමට බලාපොරොත්තු වෙන බවයි. 


ඒ වගේම කුච්චවේලිහිදී පවත්වන දියකාවා යුද අභ්‍යාසයට යුද, ගුවන් හා නාවික හමුදාවල 2500 ක් පමණ සෙබළු සහභාගී කරවා ගන්නවා. නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා වගේම ගුවන් හමුදා ප්‍රහාරක යාත්‍රාත් මේ සඳහා යොදා ගන්නවා. යාන්ත්‍රික බළඝනයේ යුද ටැංකි පවා යොදා ගනිමින් පුහුණුවත් සමග විශාල සටනක් එහි නිර්මාණය කරනවා. ඒ වගේම යුද තාක්ෂණය ඉතාම උසස් මට්ටමකින් යොදවනවා. 


මෙම යුද අභ්‍යාසයේදී සෙබළු ඒකරාශී කරගන්නා යුද අත්දැකීම් ලේඛන ගත කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා ඒවා ඉවහල් කරගන්නේ කො​හොමද යන්න පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරනවා. ලෝකයේ කිසිඳු රටක හමුදාවකට තනිවම යුද්ද කරන්න බෑ. යුද, ගුවන් හා නාවික හමුදා ත්‍රිත්වයේම සහාය ඊට අවශ්‍යය. යුද බිමේ ඉන්න නිලධාරීන් ගුවනින් එන නිලධාරීන් සමග සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන කාරණා මෙම අභ්‍යාසයේදී මූලිකවම අවධානයට ගැනෙනවා. පසුගිය කාල සීමාවේ රටේ සාමකාමී වාතාවරණයක් පැවතීම නිසා එබඳු අත්දැකීම් බෙදා ගැනීමට නිලධාරීන්ට අවස්ථාව නොලැබුණත් මෙවැනි අභ්‍යාස තුළින් එවැනි අත්දැකීම් බෙදා ගන්නට අවස්ථාව සැලසෙනවා. 


ඒ වගේම මෙවනි මෙහෙයුමකදී කාලගුණික දේශගුණික බලපෑම් ජයගන්නේ කොහොමද? විශේෂයෙන් මුහුදේ රළවල ප්‍රචණ්ඩත්වය ආදී කාරණා ජයගන්නේ කොහොමද කියන දේ ගැනත් සාකච්ඡා කළ යුතු වෙනවා. අනෙක් අතට මෙවැනි අභ්‍යාස සිවිල් ජනයාට නිරීක්‍ෂණය කිරීමට සැලැස්වීම තුළින් ජනතාව ආරක්ෂා කිරීමට හමුදාව සතු ශක්තිය පිළිබඳව ඔවුන් තුළ විශාල විශ්වාසයක් ගොඩනැ​ගෙනවා. ඒ වගේම තරුණ හමුදා නිලධාරීන්ට අපෙන් පස්සේ රටට තමන්ගෙ යුතුකම ඉටු කරන්නෙ කොහොමද කියන ආත්ම විශ්වාසය මෙවනි යුද අභ්‍යාස තුළින් ඔවුනට ලැබෙනවා.

 

 

 

සටහන: 
දුෂ්‍යන්ත කුමාර
ඡායාරූප: 
ඇලෙක්සැන්ඩර් බාලසූරිය