නිහඬ විරුවන්ගේ වසර අනූහතක මතක


 

 

නළා පිඹ පිඹ, හඬ නගා ගෙන දුම්රිය දුවන්නේ වීරයකු පරිද්දෙනි. ඒ වීර ගමනට මඟ හදන්නේ දෙපස ඇති පීලි දෙකය. ‘කෝච්චි දුවන්නේ පීලි උඩින්’ යැයි බොහෝ දෙනෙක් කියන්නේද ඒ නිසාය. එහෙත් ඒ හැමෝටම පීලි රඳවා ඇත්තේ සිල්පර මතින් බව අමතකව යයි.   
මට මේ පෙරවදන ලියන්නට හිතුණේ එක්තරා ඡායාරූපයක් හේතුවෙනි.   


අරුණෝදයකදී ගත් ඒ ඡායාරූපය දුම්රිය මගකි. එහි සිල්පර මතින් ගමන් කරන්නේ යුද හමුදාවේ භාවිත කරන ගුවන් විදුලි යන්ත්‍රයක් කරේ දමාගත් සෙබළෙකි.   
බොහෝ දුරින් පෙනෙන හිරු සොයා, නැත්නම් ආලෝකය සොයා ඔහු ගමන් කරයි.   
මෙම ඡායාරූපයේ පහළින්ම ඇති සිල්පරය මත Silent Heroes යන ඉංග්‍රීසි වචන දෙක සටහන්ව තිබිණි.   
Silent Heroes යනු ‘නිහඬ විරුවන්’ය. මේ නිහඬ විරුවන් යනු කවුරුන්දැයි මසිත ප්‍රශ්න කරන්නට විය.   
මම එකී ඡායාරූපය දෙස බලා සිටිමි. කෙසේ වෙතත් මා මේ ප්‍රශ්නයට මැදිකරවන ලද්දේ ක්‍රිෂාන්ත දයානන්ද විසිනි. දශක කිහිපයකට පෙර හිරු එෆ්.එම්. නාළිකාවේදී හඳුනාගත් මෙම නිවේදකයා මගේ පසෙකිනි. මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය, බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකර සහ තවත් දෙතුන් දෙනෙක් මා සමඟ එකම මේසයකය.   
ඔවුන් මට නිහඬ විරුවන් ගැන කියා දෙනු ඇත.   

 

ජනාධිපතිතුමාට පොත පිළිගන්වමින්

 


“තිස් අවුරුද්දක් තිස්සේ අපේ රටේ දරුණු ත්‍රස්තවාදී අරගලයක් තිබුණා. මේ යුද්ධය ජයගන්න අපේ හමුදාව සමත් වුණේ ඒ වෙනුවෙන් යුද්ධයට කැපවුණු හැම රණවිරුවෙක්ම එක විදිහටම දායක වුණු නිසා.’’ මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටියගේ ගැඹුරු, නිරවුල් හඬ මගේ වම්පසින් ඇසෙයි.   
“රණවිරුවෝ සටන් බිමේ ඉදිරියට ගියේ අවශ්‍ය සියලු වෙඩි බලයන් සහ අනෙකුත් සේවාවන් සපයා ගෙන. කාලතුවක්කු වෙඩිබලය, සන්නාහ සන්නද්ධ රථ සහාය, ගුවන් ප්‍රහාර, ක්‍රේෂේත්‍ර ඉංජිනේරු සහාය, ආහාර පාන සහ නොයෙක් උපකරණ සපයා ගෙන යුද්ධයේ ඉදිරියෙන්ම සටන් කරන සේනාංක, බලසේනා සහ අනෙකුත් භට පිරිස් එකතු කරගෙන තමයි ඉදිරියට ගමන් කළේ මෙහිදී මේ සියලු වෙඩිබල සහ සැපයුම් නිසි කලට වේලාවට ලබා දීම සඳහා අඛණ්ඩ සහ විශ්වාසී පණිවිඩ හුවමාරු ක්‍රමයක් අත්‍යවශ්‍ය වුණා.   
ඒ වගේම, ඉදිරිපෙළ සෙබළුන් සහ ඔවුන් වෙත අණදෙනු ලබන නිලධාරීන් සහ මූලස්ථාන එකිනෙකා සම්බන්ධ කිරීම යුද භූමියේ අත්‍යවශ්‍ය කරුණක්. ඒ මන්ද මේ සෙබළුන් සටන් පෙරමුණේ යන්නේ ඔවුන් වෙත ලැබෙන අණ හා උපදෙස් අනුව. මේ දෙපිරිස එකිනෙකාට සම්බන්ධ කරවන්න අවශ්‍යයි.   
සතුරා ස්ථානගතව ඉන්නේ කොතැනද කියන එක සටන් පෙරමුණේ ඉන්න සෙබළුන් නිවැරැදිව දැනගෙන සිටිය යුතුයි. එහෙම නැතුව සතුරා ඉදිරියට ගියොත් සිදුවෙන්නේ අභාග්‍යයක්. ඒ නිසා සතුරා ඉන්න ඉසව්ව නිවැරදිව දැනුම්වත් විය යුතුයි.   


ඒ වගේම සටනකදී තව බොහෝ දේ සිදුවෙනවා. මේ සියල්ල සම්බන්ධීකරණය කිරීම වගේම සතුරාගේ පණිවිඩ හුවමාරු ක්‍රම අඩාළ කිරීමත් අවශ්‍ය වෙනවා. එමගින් මිතුරු හමුදාවන්හි හැකියාවන් වර්ධනය වනවා සේම සතුරු ක්‍රියාකාරකම්හි ප්‍රතිඵල අවම කිරීමට හැකිවෙනවා.   
මෙන්න මේ වගේ බොහෝ කාර්යයන් සිදුකරන්නේ යුද හමුදාවේ සංඥා බළකාය විසින්. මෙන්න මේ සංඥා බළකායට තමයි නිහඬ විරුවන් කියන නම අපි යෙදුවේ.”   
ශ්‍රීලංකා සංඥා බළකාය යනු ශ්‍රීලංකා යුද හමුදාවේ තවත් එක් බළකායකි. මෙය ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයකින්ද තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයකින්ද බල සේනා මූලස්ථානයකින්ද රෙජිමේන්තු මධ්‍යස්ථානයකින්ද ආවේණික සංඥා රාජකාරි ඉටු කරන නිත්‍ය ඒකක හයකින්ද, එක් ස්වේච්ඡා ඒකකයකින්ද, තොරතුරු තාක්‍ෂණ නිත්‍ය ඒකක දෙකකින්ද සයිබර් ආරක්‍ෂණ ඒකකයකින්ද නිත්‍ය සන්නිවේදන තාක්‍ෂණ ඒකකයකින්ද සංඥා පුහුණ පාසලකින්ද විද්‍යුත් සංග්‍රාමික බලගණයකින් ද සමන්විතවේ. මෙහි ප්‍රධාන කාර්යය වන්නේ සංඥා සම්බන්ධතා සැපයීම විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ පද්ධති ස්ථාපනය කිරීම, නඩත්තු කිරීම මෙහෙයවීම හා විද්‍යුත් සංග්‍රාමික, සයිබර් ආරක්‍ෂණ ක්‍රියාන්විත සිදුකිරීම්ය.   
1943 වසරේ ඔක්තෝබර් 19 වැනිදා එවකට පැවති ලංකා ආරක්ෂක බළකායේ කොටසක් ලෙස අරඹන ලද මෙය සංඥා ඒකකයක් ලෙස ප්‍රතිසංවිධානය කරන ලද්දේ 1949 ඔක්තෝබර් 10 වැනිදා ලංකා යුද හමුදාව පිහිටුවීමත් සමඟය. මෙය ශ්‍රී ලංකා සංඥා බළකාය ලෙස නම් ලබන්නේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කෙරුණු 1972 වසරේ පටන්ය.   
දෙවැනි ලෝක සංග්‍රාමය, 1971 කැරැල්ල, 1987-89 කැරැල්ල, තිස් අවුරුදු ත්‍රස්තවාදී අරගලය ආදියට තම දායකත්වය සපයා ඒ සියල්ලන් ජයග්‍රහණය කරන්නට සංඥා බළකායෙන් සිදුවූයේද අනුපමේය සේවාවකි.   


“සංඥා බලකායෙන් ලොකු සේවයක් සිදුවුණා. සංඥා බලකාය ආවේණික සංඥා රාජකාරින්ට අමතරව පාබල රාජකාරි වලද නියුතු වුණා. ඒ වගේම එයට අවුරුදු 77ක ඉතිහාසයක් තියෙනවා. නමුත් ඒ ඉතිහාසය නිවැරදිව පෙළගස්වලා තිබුණේ නැහැ. මං දැක්කේ මේක අඩුවක් විදිහට. ඒකයි මම අදහස් කළේ මේ බළකායේ කාර්යභාරය වගේම ඉතිහාසය විධිමත් විදිහට සටහන් කර තැබීමට.”   
මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය යළි අවධාරණය කරයි.   
SILENT HEROES කෘතිය ඔහුගේ එම සිතුවිල්ලේ ප්‍රතිඵලයයි.   
“අපි මේ කටයුත්තට අත ගැහුවේ මීට වසර තුනකට කලින්. කෘතියේ ප්‍රධාන සංස්කරණය පැවරුවේ බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකරට. ඔහු තමයි මේ කෘතිය මේ තරම් පිළිවෙළට මේ තරම් ලස්සනට නිර්මාණය කරන්නට වෙහෙසුණේ.”   
මම බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකර දෙස බලමි. කෘතිය සංස්කරණය කිරීමේදී ඔහු මුහුණ දුන් අභියෝග මෙන්ම තොරතුරු එක්රැස් කරගැනීම ආදිය ගැන ඔහුගෙන් අසා දැනගන්නට මට බොහෝ දේ තිබේ.   


“මේජර් ජෙනරාල් දෙමටන්පිටියට අවශ්‍ය වුණේ සංඥා බළකාය පිළිබඳ අංගසම්පූර්ණ ග්‍රන්ථයක්. හැත්තෑ හත් වසරක ඉතිහාසය, සංඥා බළකායේ කාර්ය භාරය, ජයග්‍රහණ වගේ හැමදේම මේ පොතේ අන්තර්ගත විය යුතුව තිබුණා. මේ නිසා සංස්කරණයේ ප්‍රධානම කටයුත්ත වුණේ ඉතිහාසය ගවේෂණය කරල නිවැරැදි තොරතුරු එක්රැස් කර ගැනීම. මේ සඳහා සංඥා බළකායේ කිහිපදෙනෙක් වෙහෙසුනා.   
සංඥා බළකාය මගින් පළකරන වාර්ෂික සඟරාවක් තියෙනවා. ඒ සඟරාවෙන් බොහෝ තොරතුරු ලබාගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම යම් යම් පුද්ගලයන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වමින් තොරතුරු ලබාගත්තා. ඒ වගේම ඉපැරැණි පොත පතින් අවශ්‍ය තොරතුරු ලබාගත්තා.මේ විදිහට ලබාගත් තොරතුරු එක් එක් පරිච්ඡේදවලට වෙන් වෙන්ව යොදාගත්තා.   
ඇත්තටම මේ කෘතිය පටන්ගන්නේ ඉතිහාසයෙන්. රාජකීය හමුදාව කාලෙන්. 1943 ඔක්තෝබර් 19 වැනිදා බලගණයක් විදිහට ආරම්භ කළ දවසෙ ඉඳලා පාවිච්චි කළ නිලඇඳුම්, ලාංඡනවල තොරතුරු, අද වනවිට සංඥා බළකායට අයත් රෙජිමේන්තුවල තොරතුරු, යුද සහභාගීත්වයන්, ලද විජයග්‍රහණ වගේ බොහෝ තොරතුරු මේ පොතේ අන්තර්ගතය වුණා.   


මේ විදිහට තොරතුරු රැස්කරගත්තට පස්සේ අපිට අවශ්‍ය වුණා පොත් ප්‍රකාශනය පිළිබඳ වෘත්තිකයන්ගේ සහාය. එහිදී අපි තෝරාගත්තේ චමින්ද කාරියවසම්.”   
චමින්ද කාරියවසම් යනු සොෆ්ට්වේව් ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් ආයතනයේ අධිපතිය. වසර ගණනාවක් තිස්සේ උසස්තම මුද්‍රණ කටයුතු වෙනුවෙන් විවිධ සම්මාන ලබාගත් චමින්ද SILENT HEROES හැඩවැඩ කරන්නට ගත් වෙහෙස ගැන කතා කරන්නට පටන් ගත්තේය.   
“මම මුලින්ම බ්‍රිගේඩියර් සහ මේජර් ජෙනරාල් සමඟ සාකච්ඡා කළේ පොතේ ප්‍රමාණය සහ නිමාව පිළිබඳව. මේ වෙනුවෙන් අපි අතීතයේ පළවෙලා තිබුණු මේ වර්ගයේ විදේශීය පොත් ගැනත් අවධානය යොමුකළා. අන්තිමේදී අපි තීරණය කළා කොෆි ටේබල් බුක් විදිහට හැඳින්වෙන වර්ගයේ පොතක් එළිදැක්වීමට. මේ සඳහා තෝරාගන්නා කඩදාසිය, වර්ණ භාවිතය, නිමාව ගැනත් සාකච්ඡා කළා. ඉන් පස්සේ මම නිර්මාණාත්මක කාර්යයන් උදෙසා ක්‍රිෂාන්ත දයානන්ද සහ අර්ජුන සෙනෙවිරත්න දායක කරගත්තා.”   
ක්‍රිෂාන්ත දයානන්ද පොත් නිර්මාණ සැලසුම් කිරීමේ දක්ෂයෙකි. මින් පෙර පළවූ දළදා පෙරහැර පිළිබඳ ‘පෙරහැරක පෙළහර’ මෙන්ම සෝම හිමියන්ගේ අපවත්වීම නිමිති කරගෙන ‘සඳකත් මිණ’, වෙඬරුවේ උපාලි මහනාහිමි චරිතාපදානය ‘ගල් පිළිමය’ ආදී කෘතිවල නිර්මාණාත්මක නිමවුම් ඔහුගේය.   
“මට අවශ්‍ය වුණේ වෙනස්ම පොතක් නිර්මාණය කිරීමට. ඒ නිසා මම මේ වර්ගයේ මීට පෙර පළවූ දේශීය විදේශීය කෘති බොහෝමයක් පරිශීලනය කළා. ඒ එක පොතකවත් නැති විශේෂත්වයක් අපූර්වත්වයක් මේ පොතට ඇතුළත් කරන්න මට අවශ්‍ය වුණා. මේ සඳහා අවශ්‍ය පින්තූර ගන්න ඡායාරූප ශිල්පියෙකුත් එක්ක රට පුරා ගියා. මේ පොතේ පිටකවරයට යොදපු රේල් පාරේ පින්තූරය ගත්තේ අවුකනදී. ඒ වගේම රට පුරා ගිහින් වෙනස් පින්තූර ගත්තා. එතකොට පිටු සැලසුම. සමහර පිටු තුන් හතර වතාවේ හැදුවා. හද හදා වෙනස් කළා. කොටින්ම මේ පිටු නිර්මාණයට මාස හයකට වැඩි කාලයක් ගතවුණා.”   


අර්ජුන සෙනෙවිරත්න දායකත්වය දැක්වූයේ ලිපි සංස්කරණය වෙනුවෙනි. ඒ ගැන ඔහුට ද කියන්නට කතාවක් තිබේ.   
“සංස්කාරක මණ්ඩලය එක්රැස් කරගත් තොරතුරු රසවත් ලෙසත් සරලවත් ලියන්න අවශ්‍ය වුණා. ඇත්තටම මම කළේ භාෂාව මටසිලු‍ටු බවට පත් කිරීමයි.”   
මම SILENT HEROES කෘතියේ පිටු පෙරළන්නට වීමි. එහි මුල්ම පිටුවක පළවන්නේ ජනාධිපතිතුමාගේ ඡායාරූපයකි.   
“අපේ ජනාධිපතිතුමා සංඥා බළකායේ හිටපු ලු‍තිනන්වරයෙක්. එතුමා යුද හමුදා ජීවිතය ආරම්භ කරන්නෙ සංඥා බළකායෙන්. එහි ලු‍තිනන්වරයෙක් දක්වා එතුමා ගමන් කළා. රටේ විවිධ ප්‍රදේශවල සේවය කරලා යාපන අර්ධද්වීපයෙත් රාජකාරි කළා. පසුව යාපනය නීති විරෝධී සංක්‍රමණයන් නැවත්වීමේ මූලස්ථානයේ සංඥා නිලධාරි වශයෙන්ද රාජකාරි කළා. ඒ වගේම එවකට පැවති කච්චතිව් මංගල්‍යය සංවිධානය කිරීමේ කටයුතු වලටද සහභාගි වුණා.   
එය සංඥා බළකායට ආඩම්බරයක්. ඒ නිසා මේ කෘතිය ආරම්භයටම එතුමා සංඥා බළකායෙහි ගත කළ කාලය සහ කළ මහඟු‍ මෙහෙය ගැන සටහනක් එකතු කළා.”   
SILENT HEROES කෘතිය එළිදැක්වීමේ සියලු කටයුතු සඳහා වත්මන් යුද හමුදාපති සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් දැක්වුණු දායකත්වය සහ උපදෙස් ඉතා අනර්ගයි. එතුමා සංඥා බළකාය යුදමය සහ සාමකාමී වකවානුවකදී ඉටුකළ මෙහෙය විශේෂයෙන් ඇගයීමට ලක් කළා. තවද සංඥා බළකාය ලබා ගතයුතු තාක්‍ෂණික සහ වෘත්තීය පරිසාධනයක් ගැන අවධාරණය කළා. එතුමා ජනවාරි 06 වන දින පැවති එළි දැක්වීමේ උත්සවයෙ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වී හරවත් දේශණයක්ද කළා. මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය පැවසුවේය.   


යුද හමුදාපතිතුමාගේ පණිවිඩයකින් ද සමන්විත කෘතියේ පිටුවෙන් පිටුව පෙරළන විට මට දැනුණේ අපූර්වත්වයකි. 

 
එහි ඇති සුවිශේෂීම පිටු කිහිපය වෙන්කර ඇත්තේ යුද මෙහෙයුම් සඳහා සංඥා බළකාය දැක්වූ දායකත්වය පිළිබඳවය. වඩමාරච්චි මෙහෙයුම ඉතා සාර්ථක ලෙස ඉදිරියට ගමන් කරමින් තිබිණි. කොටි නායකයා කොටු වෙන්නට ඔන්න මෙන්න තිබියදී, ඉන්දියාව පුමාලෙයි මෙහෙයුම ක්‍රියාත්මක කරමින් ලංකාවට ගුවනින් පරිප්පු දමන්නට පටන් ගත්තේය. ඒ අවස්ථාවන්හි දී තොරතුරු හුවමාරු කරමින් සංඥා බළකාය ක්‍රියා කළ ආකාරය විස්මිතය.   


1987 ජුලි සිට 1990 මාර්තු දක්වා පැවැති ඉන්දීය සාම සාධක හමුදා උතුරේ මෙහෙයුම් කළ අවධිය, 1987 - 1989 අතර දකුණේ වූ සිදුවීම්, 1990 දී සිංහල පොලිස් නිලධාරීන් 600 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය, කොකාවිල් ඇද වැටීම, ත්‍රිවිධ බලය මෙහෙයුම, සීබ්රීස් මෙහෙයුම, රණදෙරණ මෙහෙයුම, මාන්කුලම් ඇදවැටීම, හයිටයිඩ් මෙහෙයුම, ටයිගර් චේස් මෙහෙයුම, බලවේගය මෙහෙයුම, අකුණුපහර මෙහෙයුම, වාලම්පූරි මෙහෙයුම, බලවේගය 2 මෙහෙයුම, භූමිකම්පා මෙහෙයුම, යාල්දේවි මෙහෙයුම, ලීන් ෆෝවර්ඩ් මෙහෙයුම, ෂේක්හෑන්ඩ් මෙහෙයුම, රිවිරැස මෙහෙයුම, ත්‍රිවිධ පහර මෙහෙයුම, සත්ජය මෙහෙයුම, අධිබල මෙහෙයුම, ජයසිකුරු මෙහෙයුම, ඉන්ද්‍රසැර මෙහෙයුම, එලිෆන්ට් පාස් ඇදවැටීම, මාවිල් ආරු මෙහෙයුම, වන්නි මෙහෙයුම, ඒ-9 මෙහෙයුම ආදියේ දී සංඥා බළකායේ මෙහෙවර අප නොදැන සිටි කාරණාය.   
ශතක සැමරුම අබියස සිටින නිහඬ විරුවෝ තම නිහඬ බව බිඳ තම මෙහෙවර ගැන හඬ ගා පවසන අයුරු ඇත්තටම අපූරුය. 

 

 

ශාන්ත කුමාර විතාන