නිවන ලබන්න පිරියයුතු ගුණධර්ම හතළිස් හතර


රාග, ද්වේෂ, මෝහ නැමැති ‘සං’ වලට හසුවීම නිසා පෘථග්ජනයන් සංසාර ගමනේ යෙදෙන ආකාරය සිද්ධාර්ථ බෝධිසත්වයෝ අවබෝධකොට ගත්හ. ඒ භයංකාර වූ සංසාරයෙන් එතෙර වීම උදෙසා උන්වහන්සේ බොහෝ වීර්යය වැඩූහ. වෙසක් පුර පසළොස්වක දිනයක රාග මූල, ද්වේෂ මූල, මෝහ මූල සම්පූර්ණයෙන් ගලවා දමා එතුමෝ ලොවුතුරා සම්මා සම්බුද්ධත්වය ලැබූහ.

 
‘බුද්දෝ හං බෝධිස්සාමි
මුත්තෝ හං මෝචයේ පරේ
තින්නෝ හං තාරයිස්සාමි
සංසා රෝඝා මහබ්භයා’


‘මම බුද්ධත්වය ලැබීම්. මේ සංසාර රෝගයෙන් අන් අය එතෙර කිරීමට යොමු වෙමි’


සංසාරය මහා භයංකාර රෝගයකි. රාග, ද්වේශ, මෝහ පවතින තුරා, එයින් මත් වූවෝ දැවෙති, පිච්චෙති, ලෙඩවෙති. මෙය මාර චක්‍රයයි. එකී මාර චක්‍රයෙන් මිදීම වීතරාගී, වීත ද්වේෂ, වීත මෝහීව ලබන ධර්ම චක්‍රයට ළඟා වීමයි.


පවුසේම පින ද අයිති වෙන්නේ මාර චක්‍රයටය. එය අපි පසුගිය ලිපියක කරුණු වශයෙන් විස්තර කළෙමු. ධර්ම චක්‍රයට හෙවත් “විසංකාර” පැත්තට අයත් වන්නේ කුසලයයි. කුසලයම නිවනට, නිවීමට, විමුක්තියට හේතු වේ.


අද වෙසක් කූඩු, වෙසක් දන්සල්, වෙසක් තොරණ ඉදි කිරීමෙන් සියලු දෙනා ලබනුයේ සංතෝෂයකි. සතුටකි. විවිධ අය විවිධ පර්මාර්ථ උදෙසා ඒවා කළත් අවසන් ප්‍රතිඵලය සන්තෝෂයයි. සිතත්, හදවතත් පිනායාම පින ලෙස බුදු දහමේ විස්තර වේ. ඒ අනුව ඉහත කී දෙයින් අපට රැස්වනුයේ පිනය. ඒ පින සුගති සංඛ්‍යාත ලෝකයේ ඉපදීමට අපට හේතුවක් වේ. සන්තෝෂය උපදින්නේ රාග, ද්වේෂ, මෝහ යන සං වලිනි. නමුත් බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ සන්තෝෂය පිළිබඳව නොවේ. සන්තෂ්ටිය ගැනයි. එනම් ‘සං’ඉවත් කිරීම ගැනයි සන්තුෂ්ටිය යනු ප්‍රතිපත්තියයි. ප්‍රතිපත්තිය දියුණු කිරීම කුසලයයි.


අද සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අරමුණින් බැහැරට ගිය දේය. ධර්මය ඇත්තේ එතෙරවීම පිණිසය. ගඟේ ඔරුවක් ඇත. එය අපට එතෙරවීම සඳහාය. අද සිදුවනුයේ බෞද්ධයන් ගඟේ බැසගෙන ඔරුව කර ගසාගෙන සැඩපහරේ ගසාගෙන යාමය. බුදුරජාණන් වහන්සේ කුසලය හෙවත් ප්‍රතිපත්තිය පිළිබඳව මනා දේශනාවක් සිද්ධ කොට ඇත.


‘මජ්ඣිම නිකායේ සල්ලේළු නමින් සුත්‍රයක් තියනවා. එය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චුන්ද නැමැති පුද්ගලයාටයි. ඔහු ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, ආදී ධ්‍යානත් දියුණු කරගෙන අෂ්ට සමාපත්ති දක්වාම වඩා ගත හැකි අනාර්ය ධ්‍යාන ලැබූ කෙනෙක්. චුන්ද මේ අනාර්ය ධ්‍යාන නිසා තාවකාලික සුවයක් ලබමින් සත්තෝෂ වූ කෙනෙක්. අදත් එවැනි අය ඉන්නවා. චුන්ද ලැබුවේ නිරාමිස සතුටක් නෙවෙයි.


බුදුරජාණන් වහන්සේ චුන්දට කතා කරනවා. ‘චුන්ද මාගේ බුද්ධ ශාසනයේ ඔබ සිටින තත්ත්වයට කියන්නේ සුවසේ වෙසෙනවා කියලයි. නිරාමිස සුවය කියන්නේ ඕක නෙවෙයි. නිවන ඔබ ලබා ගෙන නෑ’ නිරාමිස සුවය සඳහා ප්‍රතිපත්ති වැඩිය යුතුයි.
එතැන් සිට සල්ලේළු සූත්‍රයේ ඒ සඳහා වන කරුණු 44 ක් උන්වහන්සේ පෙන්වා දෙනවා. ඒ කාරණා තමයි ගුණ ධර්ම කියන්නෙ. ගුණ ධර්ම කියලා අද අපි ඉන්නෙත් වැරදි අවබෝධයක.


ඒ කරුණු මොනවාද? අනෙක් උදවිය සත්ව හිංසාවේ යෙදුණත් අපි සත්ත්ව හිංසාවේ නොයෙදී නිරාමිස සුවයක් ලබනවා. අනෙක් අය සත්ත්ව ඝාතනයේ යෙදුණත් අපි සත්ත්ව ඝාතනයේ නොයෙදී නිරාමිස සුවයක් ලබනවා. මේ ආකාරයටම, සොරකමින් වැළකීම, බ්‍රහ්මචාරීව වාසය කිරීම, බොරු නොකීම, කේලාම් නොකීම, සිත් රිදෙන වචන කතා නොකිරීම, හිස් දේවල් කතා නොකිරීම, අන්සතු දේ කෙරේ ලෝභ සිත් ඇති නොකර ගැනීම, අන් අය කෙරේ ද්වේශ සිත් ඇති නොකර ගැනීම, මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී සම්මා දෘෂ්ටියේ සිටීම, සම්මා සංකල්පයේ හිඳීම, සම්මා වචන භාවිතාව, සම්මා කම්මන්තයේ යෙදීම, සම්මා ආජීවයේ යෙදීම, සම්මා වීර්යය වැඩීම, සම්මා සතියෙන් සිටීම, සම්මා සමාධියෙහි සිටීම, සම්මා ඥානයෙන් විසීම, සම්මා විමුක්තියෙන් හිඳීම, නිදිමතින් හා අලස බවින් තොරව විසීම, ආඩම්බර නොවී විසීම, සැකයෙන් තොරව වාසය, ක්‍රෝධ සිතින් තොරවීම, වෛර සිතින් ඈත්වීම, ගුණමකු නොවීම, එකට එක නොකිරීම, ඊර්ෂ්‍යා නොකිරීම, මසුරු නොවී සිටීම, කපටි නොවී සිටීම, ගුණවතුන් ලෙස මායාකාරීව රඟ නොපෑම, සාධාරණ කරුණුවලට එකඟව මෘදු ලෙස ජීවත්වීම, මාන්නක්කාර නොවී නිහතමානීව විසීම, කීකරු භාවය, පවිටු මිත්‍ර ආශ්‍රයෙන් මිදී කල්‍යාණ මිත්‍ර සේවනය, අප්‍රමාදී වීම, ශ්‍රද්ධාවෙන් විසීම, පවු කිරීමට ලැජ්ජා සහිත වීම, පවුකිරීමට බය සහිත වීම, බොහෝසේ අසන ලද දහම් දැනුමින් යුක්ත වීම, ඇරඹූ වීර්යයෙන් විසීම, හොඳ සිහියෙන් වාසය, ප්‍රඥාවෙන් වාසය, වැරදි දෘෂ්ටියට නොබැස ඒවා අත හැරීමේ උත්සාහයෙන් යුතුවීම යන කාරණයයි.


මෙම කාරණා 44 පුහුණු කරන්නා නිවනට ළං වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාරණා අපි තුළ වැඩෙන කොට “සබ්බ පාපස්ස අකරණං”සියලු පාපයන් ඉවත්වී යනවා.


‘කුසලස්ස උපසම්පදා’ කුසල් වැඩීම සිද්ධ වෙනවා. ‘සචිත්ත පරියෝ දපනං’ සිතේ දමනයක් සිද්ධ වෙනවා. ඔහු ගුණවතෙක් වෙනවා. අනික් සියලු දෙනාම ඉන්නෙ මාර චක්‍රයේයි. ඒකයි බුදුරජාණන් වහන්සේ.


‘සබ්බේ පොතුජ්ජනා උම්මන්තකා’ කිව්වේ. පෘථග්ජනයෝ උම්මන්තකයො වගේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත්වෙලා පිස්සුවෙන් වගේ වැඩ කටයුතු කරනවා.


බුදුරජාණන් වහන්සේට මාගන්දියා බැමිණිය මැරයන් යොදා නින්දා අපහාස කෙරෙවුවා. අන්‍ය තීර්ථකයෝ මිනිස්සු යොදවා අපහාස උපහාස නින්දා කළා. ආනන්ද හාමුදුරුවො වගේ රහත් නොවූ හාමුදුරුවරුන්ට මේ දරුණු අපහාස දරා ගන්න බැරි වුණා.


‘ස්වාමීනි නුවරෙහි නින්දා අපහාස එන්න එන්නම වැඩියි. අපි වෙනත් ප්‍රදේශයකට වැඩම කරමු’


බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගේ ඉල්ලීම වැළැක්වූවා. නින්දා අපහාස මැද මනා ඉවසීමෙන් කටයුතු කළා. මඳ කලෙකින් චෝදනා කළවුන්ම සත්‍ය වටහාගෙන යළිත් බුදුහිමියන් සරණ ගියා. නින්දා කළවුන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ ගයන්නට වුණා. දන් පැන් නොදී මඟ හැරි අයම මහා දන් පූජා කරන්නට වුණා. උන්වහන්සේ මේ සියලු දේ මහා පරිහාණියක් ලෙස සැලකුවෙත් නෑ. මහා දියුණුවක් ලෙස සැලකුවෙත් නෑ. මධ්‍යස්ථව උපේක්ෂාවෙන් විඳ දරා ගත්තා. මාර ලෝකයේ වෙසෙන පෘථග්ජනයන් සියල්ලන් මේ වගේයි. මොහොතකදී කෙනෙකුගේ හොඳක් කියා තවත් මොහොතකදී නුගුණ ද කියනවා. එය දරා ගත හැක්කේ, අවබෝධ කර ගත හැක්කේ ධර්ම චක්‍රයේ ආර්ය උත්තමයකුට පමණයි.


ඒ නිසා මාර චක්‍රයට අයත් ගසේ රාග පොත්ත ගලවන්න. ද්වේෂ පොත්ත ගලවන්න. මෝහ පොත්ත ගලවත්ත. අවිද්‍යා මූලය ගලවන්න. 


ඔහු ‘නිබ්බානං පරමං සුඛං” නිර්වාණය නැමැති පරම සැපයට පත්වෙනවා. ඔහු කුසල් මූල ඉපදවූ කෙනෙක්. ගුණ ධර්ම දියුණු කර ගත් කෙනෙක්. එවැන්නහුට දුක්ඛ, ශෝක, පරිදේව දෝමනස්ස නෑ.


‘පුක්‍ඳ්ක්‍ඳ පාප පහීණස්ස” පින් හා පවුයන දෙකම දුරු කර ගත් කෙනාටයි ඒ වාසිය ලැබෙන්නෙ. අපි ඔබට මග පෙන්වන්නේ මේ අස්වාභාවයෙන් මිදී ස්වභාවය කරා ළඟාවීම සඳහායි.

 

සටහන - අසංක ආටිගල