නිල්වන් උඩුගුවනත් කසළ කන්දක් කළ මිනිස්සු


 

පෘථිවි කක්ෂය වටා එකතු වී ඇති කුණු කන්ද අතිමහත් බව දැන් දැන් වාර්තාවල ලියැවේ. අභ්‍යවකාශගාමීන් පෘථිවි කක්ෂයේදී ඉවත හෙළන්නේ මොනවාදැයි කියා ඔබට දැන් ගැටලු‍වක් මතුවනවා නිසැකය. පෘථිවි කක්ෂය වටා එකතු වී ඇති කුණු කන්ද අතිමහත් වුවත් ඒ කුණු කන්ද, අප එදිනෙදා මහ මඟ යන එනවිට දකින අන්දමේ කුණු කන්දක් නොවේ. පෘථිවි කක්ෂය වටා එකතු වී ඇති කුණුවල වැඩිපුරම තිබෙන්නේ පැරණි චන්ද්‍රිකා සහ ඒවායේ කොටස්, රොකට්ටුවල කොටස්, අභ්‍යවකාශ යානාවල කොටස් වගේම අභ්‍යවකාශයට පිවිසි අභ්‍යවකාශගාමීන් ඉවත හෙළුෑ දෑ බව අමතක නොකළ යුතුව ඇත. අභ්‍යවකාශගාමීන් පෘථිවි කක්ෂයේදී ඉවත හෙළන්නේ මොනවාදැයි කියා ඔබට දැන් ගැටලු‍වක් මතුවනවා නිසැකය. අත් මේස්, පිහිය, දත් බුරුසු, අභ්‍යාවකාශ කටයුතුවලට යොදාගන්නා නොයෙක් මෙවලම් යනාදිය අභ්‍යාවකාශ ගාමීන් ඉවත හෙළන ද්‍රව්‍යය අතර තිබෙන බැව් කියැවේ.   


එවැනි කොටස් 27,000 කට ආසන්න වෙන බව උතුරු ඇමෙරිකා ගුවන් අවකාශ ආරක්ෂක විධානය කියා සිටී.   
අැමෙරිකා එක්සත් ජනපදයෙන්, අභ්‍යවකාශ ඇවිදීමකට එක්වුණු පළමු අභ්‍යවකාශගාමියා බවට පත් එඩ් වයිට්ගේ අත් මේස් යුවළ මේ ගමනේදී නැති විය. එය සිදු වුණේ 1965 වසරේදී එඩ්, අභ්‍යවකාශයේ ඇවිදීමෙහි යෙදී සිටින විට බව තහවුරු විණ. ඇමෙරිකානු අභ්‍යවකාශගාමී මයිකල් කොලින්ස් අතින් 1983 දී කැමරාවක් අස්ථානගත වූයේ ද අභ්‍යවකාශයේදී බව දැක්වේ. ඇමෙරිකානු ගගනගාමිනියක වන සුනීතා විලියම්ස් අත තිබුණු කැමරාවක් ද අභ්‍යවකාශයේදී නැති විණ. අභ්‍යවකාශයේදී ෂටලයක් අලු‍ත්වැඩියා කිරීමක නිරතව සිටි ගගනගාමී පියර්ස් සෙල්ර්ස් අත රැඳි මෙවලමක් ඔහුගේ අතින් ගිලිහුණු බව 2006 වසරේදී වාර්තා වූයේය. අභ්‍යවකාශගාමී හෙයිඩි ස්ටෙෆ්නිශයින් යටතේ තිබුණු මෙවලම් බෑගයක් 2008 දී අභ්‍යවකාශයේදී අතුරුදන් විණ. මේ බෑගය 2009දී, පෘථිවි කක්ෂයේදී ගිනිගෙන දැවුණු බව දැනගන්නට ලැබුණේය. තවත් සමහර ගගනගාමීන් තමන් අත තිබුණු කුණු බෑග අභ්‍යවකාශයට විසි කර දැමූ බැව් වාර්තාවල සඳහන් වේ.   
මේ අන්දමට නා නා විධ සුන්බුන් පෘථිවි කක්ෂයට එකතු වීමේ ඉතිහාසය වසර පනහකට මඳක් වැඩිය. ඇත්තටම කිවහොත් පෘථිවි කක්ෂය අපද්‍රව්‍යවලට විවර වූයේ මිනිසා අභ්‍යවකාශයට යන්නට පටන් ගත් දා සිටයි. 1957 වසරේදී සෝවියට් දේශය, ස්පුට්නික් නමැති චන්ද්‍රිකාව දියත් කිරීමත් සමඟම ඒ තත්ත්වය ඇති වීයැයි කියාද කියන්නට පුළුවන. එතැන් පටන් අභ්‍යවකාශ තරණය සඳහා සෝවියට් දේශය සහ අැමෙරිකා එක්සත් ජනපදය අතර පැවැතියේ පුදුමාකාර තරගයකි. එතුළ පෘථිවිය වටා ගොඩගැසෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ද එන්න එන්නම වැඩි විය. තත්ත්වය වඩාත් අයහපත් සහ බරපතළ අතට හැරුණේ චන්ද්‍රිකා ඝට්ටන සිදුවීමත් චන්ද්‍රිකා නාශක අවි භාවිතයත් නිසායැයි කියා දැක්වේ. 

 
2017 දී ජපානය අභ්‍යවකාශගත කළ මත්ස්‍ය දැලකට සමාන දැවැන්ත “දැල” පිළිබඳ ප්‍රවෘත්තියත් පළවිය. ජපානය මේ දැවැන්ත “දැල” අභ්‍යවකාශගත කළේ අප පෘථිවි කක්ෂය වටා පා වෙමින් තිබෙන අභ්‍යවකාශ සුන්බුන් තොගයක් එකතු කර ගැනීමේ අරමුණ ඇතිවය. දැවැන්ත “දැල” රැගෙන ගියේ ජපාන අභ්‍යවකාශ ඒජන්සිය දියත් කළ කොයුනොතෝරි - 6 (Kounotori - 6) නමැති අභ්‍යවකාශ යානයෙනි.   
මේ කියන දැවැන්ත “දැල” චුම්බක ක්‍රියාකාරීත්වයක් සහිත එකකි. දැල සකසා තිබෙන්නේ මල නොකන වානේ සහ ඇලු‍මිනියම් කම්බි යොදාගෙනය. එකී කම්බි ඉතා සිහින් ඒවා බව දැක්වේ. දැල යොමු කෙරෙන්නේ අභ්‍යවකාශ සුන්බුන් පෘථිවි වායුගෝලය දෙසට රැගෙන ඒම සඳහායි. පෘථිවි වායුගෝලයට යොමු කෙරෙන ඒ සුන්බුන්, පෘථිවි වායුගෝලයේදී දැවී අළු වී යනු ඇත. මේ මහා කාර්යයට අවශ්‍ය “දැල” නිෂ්පාදනය කර දුන්නේ මත්ස්‍ය දැල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පෘථුල අත්දැකීම් ඇති “නිට්ටෝ සෙයිමෝ” නමැති ජපන් සමාගමයි.   
පෘථිවි කක්ෂය වටා කුණුකන්දල් ගොඩගැසුණාට අප කාටවත් එයින් කරදරයක් නැති බව කෙනකු සිතන්නට ඉඩ ඇත. සාමාන්‍ය ජනයා වුණු අපට පෘථිවි කක්ෂයේ කුණු ගැටලු‍ව ඍජුව බලනොපාන මුත් විද්‍යාඥයන්ට එය බරපතළ තත්ත්වයකි. අභ්‍යවකාශ පර්යේෂණ සඳහා කක්ෂගත කරන යානා රැසක් මේ සුන්බුන් නිසා දැනටමත් විනාශයට පත් වී ඇත. 1981 දී විනාශයට පත් කොස්මෝස් 1275 යානයත් 1993 දී විනාශයට පත් කොස්මෝස් 1484 යානයත් මෙහිලා දිය හැකි නිදසුන් දෙකකි. ඒ හැරුණු විට චන්ද්‍රිකාවල ක්‍රියාකාරීත්වයත් මේ කුණුකන්දල් නිසා ඇනහිටි අවස්ථා ඇත. රුසියාවට අයත් එක්ස්ප්‍රස් ඒ.එම්. 11 සන්නිවේදන චන්ද්‍රිකාව 2006 වසරේ මාර්තු 29 වැනිදා හදිසියේම අක්‍රිය තත්ත්වයට පත් වුණේ හඳුනා නොගත් වස්තුවකින් ඇති වුණු බලපෑමක් මත බව තහවුරු විය. මේ හඳුනා නොගත් වස්තුව අනෙකක් නොව පෘථිවි කක්ෂයේ රැඳී ඇති අපද්‍රව්‍යයක් බව විද්‍යාඥයන්ට පසුව පැහැදිලි විණ.   


එකී තත්ත්වයන් හැරුණු විට, අපද්‍රව්‍යමය කොටස් පෘථිවියට කඩා වැටීමේ අවදානමකුත් ඇත. ඇතැම් වාර්තාවල දැක්වෙන අන්දමට පසුගිය වසර පනහ ඇතුළත ගෙවුණු සෑම දවසකම කුමන ආකාරයේ හෝ අපද්‍රව්‍යයක් පෘථිවි කක්ෂයේ සිට පෘථිවියට ඇතුළු වී ඇත. ඒ අන්දමට ඇතුළු වුණු අභ්‍යවකාශ අපද්‍රව්‍ය කොටස් නිසා පෘථිවිය මත මහා විශාල හානි සිදු වී නැත. එහෙත් එවැනි අපද්‍රව්‍ය නිසා දිනෙක මහා විශාල විනාශයක් සිදු වන්නට වුවත් බැරි නැත. මන්ද, පෘථිවියට ඒ ආකාරයට ඇතුළු වුණු අභ්‍යවකාශ අපද්‍රව්‍ය නිසා අනතුරුවලට මුහුණ දී සුළු තුවාල ලැබූවන් කිහිප දෙනකු ගැන මේ වනවිටත් වාර්තා වී ඇති බැවිනි. ජපානයට අයත් නෞකාවක ගමන් ගත් නාවිකයෝ පිරිසක් 1969 වසරේදී එවැනි අනතුරකට මුහුණ දී තුවාල ලැබූහ. අැමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමාහි කාන්තාවක් ද 1997 වසරේදී මේ ආකාරයේ අනතුරකට මුහුණ දුන්නාය. ඇගේ ඇඟේ හැපී තිබුණේ සෙන්ටිමීටර 13ක් දිගැති සෙන්ටිමීටර 10ක් පළලැති අභ්‍යවකාශ අපද්‍රව්‍ය කොටසකි.   


Starlink, Kuiper වැනි චන්ද්‍රිකා දහස් ගණනකින් සමන්විත චන්ද්‍රිකා ජාල සම්බන්ධයෙන් බොහෝ දෙනාට ඇති ගැටලු‍වක් වන්නේ මේවායේ ජීවිත කාලය අවසන් වීමෙන් පසු හෝ තාක්ෂණික ගැටලු‍ නිසා අක්‍රිය වූ පසු මේවා කක්ෂයේ රැඳෙමින් අභ්‍යවකාශ සුන්බුන් බවට පත්වීමයි. මේ වනවිටත් චන්ද්‍රිකා 5,000 ක් පමණ පෘථිවි කක්ෂයේ ඇති අතර ඒවායෙන් ක්‍රියා කරන්නේ 1,900ක් පමණි. ඉතිරි ඒවා අභ්‍යවකාශ සුන්බුන් වේ. මීට අමතරව එම චන්ද්‍රිකා යැවූ රොකට්වල ඉහළ අදියර ද චන්ද්‍රිකාවේ ගමනාන්තය ආසන්නයටම යන නිසා ඒවාත් සුන්බුන් ලෙස කක්ෂයේ රැඳී පවතී.   


පහළ පෘථිවි කක්ෂයේ ඇති චන්ද්‍රිකාවල ජීවිත කාලය සීමා කරන ප්‍රධාන සාධකයක් වන්නේ වායුගෝලයයි. පෘථිවි වායුගෝලයේ ඉහළ ස්ථර ⁣කිලෝමීටර් දහසක් පමණ ඉහළට විහිදෙන අතර මේ කලාපයේ පවතින චන්ද්‍රිකාවලට මේ තුනී වායුගෝලය නිසා සුළු බලපෑමක් ඇති වේ. දීර්ඝ කාලීනව මෙමගින් චන්ද්‍රිකාවේ වේගය කෙමෙන් අඩු කරන අතර අවසානයේ චන්ද්‍රිකාව පෘථිවි වායුගෝලයට ඇතුළු වී යයි. අභ්‍යවකාශ සුන්බුන් සඳහා එක් විසඳුමක් වන්නේ මෙයයි.   


අභ්‍යවකාශය ජයගැනීම සඳහා මිනිසා විසින් අභ්‍යවකාශගත කරනු ලබන යානා දෙවැදෑරුම්ය. ඒවා මිනිසුන් සහිත යානා සහ මිනිසුන් රහිත යානා වෙති. මිනිසුන් සහිත යානාවක් අභ්‍යවකාශ කිරීමේදී ප්‍රධානම වගකීම වෙන්නේ අභ්‍යවකාශගාමියා හෝ පිරිස නිරුපද්‍රිතව යළි පොළොවට ගෙන්වා ගැනීමය. ගගනගාමීන්ගේ සුරක්ෂිතභාවය යනු යානයේ සුරක්ෂිතභාවයයි. මෙම අභ්‍යවකාශ යානාවලින් අභ්‍යවකාශයට මුදාහැරෙන අපද්‍රව්‍ය හෝ කැළිකසළ ප්‍රමාණය බිංදුවේ සිට අවමය දක්වා වේ.   


මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා ගණයට වැටෙන්නේ විවිධ හේතූන් මත අභ්‍යවකාශගත කරනු ලබන චන්ද්‍රිකාය. මෙම චන්ද්‍රිකා ගවේෂණ හා සේවා චන්ද්‍රිකා ලෙස ද ඉතාම සරලව වර්ග කළ හැකිය. මෙම චන්ද්‍රිකා සහතික ක්‍රියාත්මක කාල සීමාවක් සහිතය. මෙම චන්ද්‍රිකාවන් පෘථිවි පාලන මැදිරියට අවශ්‍ය කාරණාව ඉටුකළ පසුව හෝ සහතික කාල සීමාව ඉක්ම ගිය පසුව, ආපසු පෘථිවියට ගෙන්වාගැනීමේ සහතිකයක් හෝ ක්‍රමවේදයක් හෝ ක්‍රියාත්මක නොවේ. එබැවින් මෙම මෙවලම් පසු කලෙක අභ්‍යවකාශයේ අතහැර දමන ලද කසළ බවට පත්වේ.   


අභ්‍යවකාශයේදී චන්ද්‍රිකාවක ක්‍රියාකාරීත්වය සඳහා බලය සැපයෙන්නේ සූර්යතාප ගබඩා කෝෂ මගින් තැන්පත් කරගන්නා විදුලිය බලය මගින්ය. මෙම සූර්යතාප ගබඩා කෝෂවල තැන්පත් වෙන විදුලිය බලය වැය කිරීමට ක්‍රියාවිරහිත චන්ද්‍රිකාවකට නොහැකිවීම හේතුවෙන්, සූර්යතාප ගබඩා කෝෂවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයේ අධිආරෝපණය චන්ද්‍රිකාව පුපුරා යාමේ අවදානමට යොමු කරයි. අක්‍රිය චන්ද්‍රිකා හා පුපුරා ගිය චන්ද්‍රිකා සුන්බුන් හා ගැලවී ගිය චන්ද්‍රිකා කොටස් සංඛ්‍යාත්මකව ලක්ෂ ගණනින් අභ්‍යවකාශයේ භ්‍රමණය වෙමින් ඇත. මේ සුන්බුන් අතර ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් දහය ඉක්මවූ කැබලි විසිඅට දහසකි. මේ අතර 2011 වසරේදී අභ්‍යවකාශයේ අතහැර දමන ලද ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය ද වේ. අභ්‍යවකාශයේ භ්‍රමණය වෙන වේගය අනුව ඉතා කුඩා ඇණයක් වුව ද දරුණු වෙඩි උණ්ඩයකි.   
මෙතෙක් සංඛ්‍යාත්මකව චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් අභ්‍යවකාශගත කර ඇත්තේ ඇමෙරිකාව, රුසියාව හා චීනයයි. අක්‍රීයව හෝ සුන්බුන් බවට පත්ව අභ්‍යවකාශයේ භ්‍රමණය වෙමින් ඇති මෙම කුණු කසළවල හිමිකරුවෝ චන්ද්‍රිකාව හිමිකරුවෝමය. වසර දෙදහ වෙන තුරුම අභ්‍යවකාශයේ ගොඩගැසෙන මෙම සුන්බුන් පිළිබඳව වැඩි අවධානයක් කිසිවකු විසින් යොමු නොකරන ලදී. නැතහොත් වගකිව යුත්තෝ මේ සඳහා අවධානය යොමුකිරීම මගහැර සිටියෝය.   


අභ්‍යවකාශගත කෙරෙන චන්ද්‍රිකාවට නියමිත කාර්යභාරය අනුව එය ස්ථානගත කෙරෙන කක්ෂ ස්ථරය ජාත්‍යන්තර සම්මුතියක් මගින් තීරණය වී ඇත. ඒ අනුව පෘථිවියේ සිට කිලෝමීටර් අටසියයක් ඉහළ අභ්‍යවකාශ ස්ථරය විද්‍යාත්මක හා හමුදාමය සේවා සඳහා වන චන්ද්‍රිකාවන් සඳහා වෙන්කර ඇත. පෘථිවියේ සිට කිලෝමීටර් තිස්දෙදහක් ඉහළ අභ්‍යවකාශ ස්ථර වපසරිය දුරකතන හා වෙනත් සන්නිවේදන චන්ද්‍රිකා සඳහා වෙන්ව ඇත. අභ්‍යවකාශයේ සුන්බුන් බහුලම ස්ථරය වෙන්නේ මේ දෙවැනිව සඳහන් කරන ලද අභ්‍යවකාශ ස්ථර වපසරියයි.   


අභ්‍යවකාශයට තවත් සුන්බුන් ගොඩනොගැසීම මෙන්ම දැනට පිරී ඇති සුන්බුන් ඉවත් කිරීම පෘථිවියට ආපසු ගෙන ඒම හෝ අභ්‍යවකාශයේදීම විනාශ කර දැමීම කෙරෙහි දැන් අවධානය යොමුව ඇත. චන්ද්‍රිකා සුන්බුන් අභ්‍යවකාශයේදීම විනාශ කිරීම හෝ යළි පෘථිවියට ගෙන ඒම චන්ද්‍රිකාව හිමි රටට බාර කටයුත්තක් සේ සැලකෙන්නේ එය රටක හෝ කිසියම් ආයතනයක පුද්ගලික දේපොළක් වෙන බැවිණි.   
බ්‍රිතාන්‍යයේ පළවෙන ‘ද සන්ඩේ ටයිම්ස් මැගසින්‘ ඇසුරෙනි. 

 

 

 සටහන - තිළිණි ද සිල්වා