නිරෝධායන මධ්‍යස්ථානයකට අත දුන් හිත හොඳ මිනිස්සු


ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා ලබාදුන් ද්‍රව්‍ය හා උපකරණ   

 

 

කොවිඩ් ආසාදිතයන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් තමන්ගේ ගමේ ආරම්භ කරනවා යැයි දැන ගත් වහාම බොහෝ දෙනා එයට විරෝධය දක්වති. ඒ ඔවුන්ගෙන් ගමට වෛරසය පැතිරේවිය යන බිය නිසාය. එහෙත් තමන්ගේ හෝටලය, උත්සව ශාලාව, නැතහොත් වෙනත් භූමියක් නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා පිරිනැමූ පුද්ගලයන් පිළිබඳවද පසුගිය කාලයේ වාර්තා විය. ඇඹිලිපිටියෙන්ද එවැනි ආදර්ශයක් ලබාදීමේ පුවතක් අපට පසුගියදා සැලවිය.   


 ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කළේ මීට මාස දෙකකට පමණ පෙරය. ඒ ඇඹිලිපිටිය දිසා මහ රෝහල යටතේ පවතින මධ්‍යස්ථානයක් ලෙසය. එහි පරිපාලන කටයුතු සිදුකරනු ලබන්නේ යුධ හමුදාව විසිනි.   


මෙම මධ්‍යස්ථානය ආරම්භ කරද්දීද ගමේ ඇතැමෙකුගේ විරෝධතා මතුවිය. එහෙත් ගමේ තරුණ පිරිසක් මැදිහත්ව එම විරෝධය යටපත් කරමින් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගමේ ජනතාවගේ සහයෝගයෙන් එකතු කර තිබේ. ඉතා සුළු පිරිසකගේ එකතුවෙන් ආරම්භ කළ සත්කාර්යයට මේ වනවිට පනහක පමණ පිරිසක් එක්ව සිටින අතර තවත් සීයක පමණ පිරිසක් එකතුවීමට කැමැත්ත පළ කරන තත්ත්වයට එම සහයෝගිතාව වර්ධනය කරගැනීමට ගමේ තරුණ කණ්ඩායම සමත්ව තිබේ.   


මේ වනවිට මූලික ආහාර වේල හා වෙනත් මූලික අවශ්‍යතා රජයෙන් සැපයෙන අතර තේ පානයට අවශ්‍ය සීනි, කිරිපිටි, තේ කොළ, වතුර රත්කිරීමට අවශ්‍ය විදුලි කේතල ආදී දේවල්, අමතර පානයන් සඳහා අවශ්‍ය කරන දේවල් වැනි ද්‍රව්‍ය ලබාදීමට මේ තරුණ පිරිස කටයුතු කර තිබේ. මාසිකව අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රමාණය එකවර ලබාදීමට ඔවුහු කටයුතු කරමින් සිටිති.   

 

කැරම් බෝඩ් සහ වෙනත් ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කරමින්  

 


මෙවැනි ස්ථානයකට කොටුවන පුද්ගලයකුගේ මානසිකත්වය තේරුම් ගැනීම පහසු වන්නේ නැත. ඇතැමෙක් මේ රෝගයට ශක්තිමත්ව මුහුණ දෙන අතර බොහෝ දෙනා මෙවැනි අවස්ථාවක මානසිකව කඩාවැටෙති. විශේෂයෙන්ම පවුලේ අයගෙන්, හිතවතුන්ගෙන් වෙන්ව සති දෙකක් හෝ තුනක් ගත කරන්නට සිදුවීම මානසිකව දරාගැනීම පහසු නැත. තමන් තනි වුණා වැනි හැඟීමක් ඇතිවිම වැළැක්විය නොහැක. ඒ නිසා ඔවුන්ගේ මානසිකත්වය ගොඩනැගීම කඩා වැටීමට නොදී පවත්වාගෙන යාම සඳහා නොයෙක් උපක්‍රම භාවිතා කරන්නට සිදුවේ. විශේෂයෙන්ම මෙවැනි මධ්‍යස්ථානවලට යොමු කරනු ලබන්නේ වෛරස ආසාදිතයන් වුවත් ඔවුහු රෝගීන් නොවේ. ඒ නිසා ඔවුන්ට එක තැන එක විදිහකට සිටීමට නොහැකිය. එහාට මෙහාට එක දිගට ඇවිදිමින් සිටීමද පහසු නැත.   


මෙයට ප්‍රතිකර්මයක් ගමේ තරුණ කණ්ඩායම තෝරාගත්හ. ඒ ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් සලසාදීමය. ඒ අනුව ඔවුහු කැරම් බෝඩ්, චෙස් බෝඩ් හා දාම් බෝඩ් කීපයක් පසුගියදා මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට පරිත්‍යාග කළහ. ඔවුන් මේ සඳහා වන අරමුදල පිහිටුවාගෙන තිබෙන්නේ එයට එකතු වන එක් පුද්ගලයකුගෙන් මාසෙකට රුපියල් දාහක පරිත්‍යාගයක් ලෙසය.   


මේ සද්කාර්යය සාර්ථක කරගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් එම තරුණ කණ්ඩායමේ කීපදෙනෙක් අප සමග අදහස් දැක්වුහ.   


ප්‍රදීප් රත්නායක මහතා   


 මේ මධ්‍යස්ථානය ආරම්භ කළාට පස්සේ අපි ඒ ගැන සොයා බැලුවා. අපිට තේරුණා ඔවුන්ගේ ආහාර පාන ඇතුළු මූලික අවශ්‍යතා සම්පූර්ණ වුවද තවත් අඩුපාඩු රැසක් තිබෙන බව. ඒ අනුව තමයි අපි හිතමිතුරන් කීපදෙනෙක් එක්ක එකතු වෙලා මේ මධ්‍යස්ථානයේ ඉන්න රෝගීන්ට උදව් කරන්න තීරණය කළේ. අපි මුලින්ම මේක පාලනය කරන ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ අධ්‍යක්ෂක හමුවෙලා මොවුන්ගේ ප්‍රමුඛතම අවශ්‍යතා හඳුනාගත්තා. ඒවා අපිට හැකි අයුරෙන් සම්පුර්ණ කළා. 

 
කිරිපිටි, සීනි, තේ කොළ, සබන්, දත් බෙහෙත්, දත් බුරුසු ආදී සියල්ල ලබාදුන්නා. ඒ විතරක් නෙවෙයි සමහරු මෙහි එන්නේ ඇඳගෙන ඉන්න ඇඳුම විතරක් ඇතිවයි. ඒ නිසා අපි ඔවුන්ට සරම් ලබාදුන්නා. මුලින්ම අපි පනහකගෙන් යුත් කණ්ඩායමක් විදිහට තමයි වැඩේ පටන් ගත්තේ. දැන් සීයකට වැඩි පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ මධ්‍යස්ථානය මෙතනින් ඉවත් කරන තෙක් අපි මේ සද්කාර්යය කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා.   


සම්පත් ජයසේකර මහතා   


 කොවිඩ් මධ්‍යස්ථානයක් යම් තැනක ස්ථාපනය කරන්න රජය තීරණය කළාම ඒක එතනට සුදුසුද නැද්ද කියලා සෞඛ්‍ය අංශ තීරණය කරනවා. ඒත් එවැනි දෙයක් ගමකට ආවාම සාමාන්‍යයෙන් සිදුවන්නේ එයට විරෝධය දැක්වීමයි. ඒවාට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. ඒත් අපි හිතුවේ ඊට වඩා වෙනස් විදිහට. මෙතන ඉන්නේ අපි වගේම සාමාන්‍ය මිනිස්සු. ඒ අය අසරණයි. ඔවුන් ලෙඩ වුණේ හිතාමතා කැමැත්තෙන් නෙවෙයිනේ. අපි වුණත් ලෙඩ වුණාම මේ අත්දැකීම විඳින්න වෙනවා. නොදන්න කාත් කවුරුවත් නැති තැනකට ඇවිත් ඒ අය ගත කරන්නේ අසීරු කාලයක්. ඒ ගැන හිතලයි අපි මේ කාර්යය පටන් ගත්තේ. මේ විදිහට අනෙක් හැමෝමත් හිතනවා නම් කොවිඩ් මර්දනය පහසු වේවි.   


ප්‍රදීප් කුමාර මහතා   


 අපි අපේ වැඩසටහන නම් කළේ මැරෙන මිනිස්සු කියලා. මොකද මැරෙන මිනිස්සුන්ට තමයි අනෙක් මිනිසුන්ගේ දුක දැනෙන්නේ. අපි හිතුවා රෝගීන්ට ආහාර පාන වගේම විනෝදාශ්වාදයත් අවශ්‍යයි කියලා. රෝග ලක්ෂණ තිබිලා, සංකූලතා තිබෙන කෙනෙක්නම් ඇඳට වෙලා ඉඳීවි. ඒත් මෙතනට එන අය කිසිවෙක් රෝගීන් නෙවෙයි. ඔවුන් ආසාදිතයන් පමණයි. ඒ නිසා ඔවුන්ද අපි වගේම සාමාන්‍ය අය වගෙයි. ඉතිං එයාලට එක තැනකට වෙලා දවස ගෙවාගැනීම හරිම අසීරුයි කියලා අපිට දැනුණා. ඒ නිසා අපි එයාලට කැරම් බෝඩ්, චෙස් බෝඩ්, දාම් බෝඩ් වගේ දේවල් ලබාදුන්නා. ඒ වගේම සෑම දිනකම උදේට දිනපතා පුවත්පතක් ලබාදෙන්නත් අපි කටයුතු කළා.   


දැන් අපි මෙතන කුඩා පුස්තකාලයක් පටන් ගන්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා නවකතා, කෙටි කතා, ළමා කතා, ආගමික පොත් ආදි පොත් ලබාදෙන්න කැමති අයගෙන් අපි ඉල්ලා සිටිනවා ඒවා අපට දෙන්න කියලා. අපි නුදුරේදීම මේ ස්ථානයට රූපවාහිනි යන්ත්‍ර කීපයක් ලබාදෙන්නත් සුදානම්.   


මොවුන්ගේ සද්කාර්යය ඇගයීමට ලක් කරමින් අදහස් දැක්වූ ඇඹිලිපිටිය දිසා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර මහත්මිය තරුණ කණ්ඩායම් මෙවැනි සද්කාර්යයන් සඳහා දායකවීම අගය කළයුතු බව පැවසුවාය. එසේම මෙය අනෙකුත් මධ්‍යස්ථාන සම්බන්ධයෙන්ද අනුගමනය කරන්නට රටේ තරුණයන් පෙළඹෙන්නේ නම් එය රෝගීන් සුවපත් කරගැනීමේදී මහඟු කාර්යයක් වෙනවා සේම රජයටද පහසුවක් බව ඇය සඳහන් කළාය. 

 
මොවුන් මේ මධ්‍යස්ථානය සම්බන්ධයෙන් රජය දැරිය යුතු වියදමෙන් රුපියල් පනස්දාහක පමණ වියදමක් ඉතිරි කර ඇති බවද එසේම රජයට මැදිහත්වීමට අසීරු ආසාදිතයන්ගේ විනෝදාශ්වාදය සම්බන්ධ කාරණා ඉටු කිරීම විශේෂයෙන් අගය කළ යුතු බවද ඇය අප සමග පැවසුවාය.

 

මුදිතා දයානන්ද සහ 
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ