නිදහස් ලංකාවකට කැප වූ එෆ්.ආර්. සහ ඩී.එස්.සේනානායක සොහොයුරෝ


රටකට ජාතියකට වීරයන් බිහිවන්නේ කලාතුරකිනි. දෛවෝපගතව හෝ අහම්බෙන් සිදුවන මෙම සිදුවීම් නිසා පරිහානියට මුහුණ දී සිටින දේශය, ජාතිය හෝ ආගම පත්ව ඇති අගාධයෙන් මුදවා ගැනීම පිණිස එම උතුමෝ ක්‍රියා කරති. 

 
දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු, මහ විජයබා ආදී දීර්ඝ නාමාවලියේ නූතන යුගය ප්‍රභාවත් කළ සේනානායක ස​ෙහා්දරයන්ට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ඈත අතීතයේදී සොළී රටෙන් පැමිණි ආක්‍රමණිකයෝ මෙරට අත්පත් කර ගත්හ. බත බුලතින් සරුසාරව ස්වයංපෝෂිත ජනතාවක්ව සිටි මෙරට ජනතාව පරාධීනත්වයේ අන්ධකාරයට තල්ලු කර දැමූ එම පරසතුරෝ අපේ ජනතාව වහල් භාවයේ අවමානයට පාත්‍ර කළහ.   
දුටුගැමුණු රජතුමා මාගමින් බිහිවූවේ එසේය.   


එවැනිම වූ දේශීය පරසතුරු උවදුරුවලින් ගහනව පවතිද්දී රට එක්සේසත් කළ මහා පරාක්‍රමබාහු රජතුමා “අහසින් වැටෙන එක් දිය බිඳක්වත් නිකරුණේ සමුදුරට යා නොදෙමි” යැයි දිරි ගන්වමින් කළ කටයුතු නිසා ශ්‍රී ලංකාව සහලින් උතුරා ගොස් විදේශයනට ද සහල් යැවිය හැකි වන පරිදි ‘පෙරදිග ධාන්‍යාගාරය’ යැයි විරුදාවලි ලබන අයුරින් ඉසුරුබර වූවේය.   


එහෙත් කාලයාගේ ඇවෑමෙන් අපේ මව්බිම බටහිර ආක්‍රමණිකයන් අතට පත්වූවේ තවත් අවාසනාවන්ත කාලයක් උදා කරමිනි. 1815 මාර්තු දෙවැනිදා උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව මුළුමනින්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් වූවාක් මෙන්ම රටේ නිදහස ද සම්පූර්ණයෙන්ම අහෝසි වී ගියේය.   


මෙරට ජනතාව බදු බරින් සූරාකමින් ද රාජ්‍යය පවත්වාගෙන යාම සඳහා ආදායම් ලබා ගැනීමට මත්ද්‍රව්‍ය ආදී දුරාචාරයන් බහුල ලෙස සමාජගත කරමින් බ්‍රිතාන්‍ය පාලකයෝ කටයුතු කළහ. මේ වනවිට සිසිර නිද්‍රාවට වැටී රට, ජාතිය, ආගම හෝ සංස්කෘතිය ගැන කිසිදු අවබෝධයකින් තොරව සිටි සිංහලයා අවදි කරවීම නොපමාව සිදු කළ යුතු යැයි ජාතිමාමක නායකයෝ අවබෝධ කර ගත්හ.   


ඒ අතර ප්‍රධානතම කාර්යභාරයක් ඉටු කළ ජන ප්‍රධානියකු වූයේ හාපිටිගම් කෝරලයේ බෝතලේ ග්‍රාමය නිජබිම කොට උපත ලද දොන් ස්පේටර් සේනානායක මහතාය.   


ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු කරමින් දානපතියකු ලෙස ප්‍රකටව සිටි ස්පේටර් ​සේනානායක මහතාට එම සමාජ සේවා කටයුතු නිසාම මූල්‍ය තනතුරක් පිරිනමා තිබුණි. එතුමා සිය පියාගෙන් උරුම වූ ඉඩකඩම්වල වැවිලි කර්මාන්තය වඩාත් දියුණු කරමින්, වතු වගාව මහා පරිමාණයෙන් කරගෙන ගියේය. අනතුරුව එම වකවානුවේ නවතම ධනෝපායන මාර්ගයක් ලෙස ජනප්‍රිය වෙමින් පැවැති මිනිරන් පතල් කර්මාන්තයට ද සම්බන්ධ විය.  එමගින් ප්‍රබල ආර්ථික ශක්තියක් ගොඩනගා ගැනීමට එතුමාට හැකි විය. කෙහෙල්ඇල්ල වලව්වේ කැතරින් එළිසබෙත් පෙරේරා ගුණසේකර මෙනවිය සමග විවාහපත් වීමෙන් ඔවුනට දොන් චාල්ස්, ෆෙඩ්රික් රිචඩ්, දොන් ස්ටීවන් යන පුතුන් තිදෙනකු සහ මේරි ෆ්‍රාන්සස් නමින් දියණියක ද ලැබුණි.  


දොන් ස්පේටර් මුදලිතුමාගේ වැඩිමහල් පුත්‍රයා වූවේ ඩී. සී. යන කෙටි නමින් ප්‍රචලිත වූ දොන් චාල්ස්​ සේනානායක මහතාය. 1878 ජනවාරි 2 වැනි දින මීරිගම බෝතලේදී උපත ලැබූ හේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ඉන්පසු සිය පියාගේ ව්‍යාපාරය සහ වතු පිටිවල පරිපාලන කාර්යභාරය උනන්දුවෙන් ඉටු කළේය.  


අක්කර සිය ගණනක් වූ වතු යායවල වැවිලි කර්මාන්තයත් ඒවායේ නිෂ්පාදිත කොප්පරා අපනයනය කිරීම මෙන්ම මිනිරන් පතල් කර්මාන්තය ඇරැඹීමෙන් පසු එම කටයුතු මෙහෙයවීම ද ඩී. සී. අතින් සිදුවිය. පහතරට නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු මෙන්ම ලංකා වාණිජ මණ්ඩලයේ උපසභාපතිවරයකු ලෙස ද ඒ මහතා ක්‍රියා කළේය.   


සිය පියා සහ බාල සොහොයු​රන් දෙදෙනා වූ ඇෆ්. ආර් සේනානායක සහ ඩී. ඇස්. සේනානායක යන මහතුන් ද සමග හාපිටිගම් කෝරලේ අමද්‍යප සභාව අරඹා පසුව එහි සභාපති ධුරයට ද පත්විය. දේශයේ පුරවැසියන් මත්පැන් දුරාචාරයෙන් ගලවා ගැනීම පිණිස දීප ව්‍යාප්තව අමුද්‍රව්‍ය ව්‍යාපාරය ගොඩ නැගීමට ද ඒ මහතා පුරෝගාමීව කටයුතු කළේය.   


එවකට රටේ නැගෙමින් තිබුණු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ උද්ඝෝෂණයන්ගෙන් හා බෞද්ධ පුනරුදයේ ආශ්වාදයෙන් දිරිගැන්වුණු තරුණ ඩී. සී. තම බාල සොහොයුරන්ව ද උනන්දු කරමින් එම ව්‍යාපාරවලට සම්බන්ධ වූයේ දැඩි කැපවීමෙනි. ඉන්පසු ලංකා මහජන සභා නමින් බහුජන සංවිධානයක් පිහිටුවාගෙන වඩා යහපත් වූ පාලන ක්‍රමයක් ශ්‍රී ලාංකිකයනට ලබාදෙන ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට බලකිරීම සඳහා සංවිධානය වූයේය.  


මෙවැනි සිදුවීම් නිසා බ්‍රිතාන්‍යයන්ගෙන් දැඩි වි​රෝධයට බඳුන්වීමෙන් 1915 සිංහල මුස්ලිම් අරගල සමයේදී සිර භාරයේ රඳවා සිටි දේශප්‍රේමීන් අතර ඩී. සී. සේනානායක මහතා ද විය. සිර භාරයෙන් නිදහස ලැබීමෙන් පසුව ඒ මහතා වඩ වඩාත් උද්‌‌යෝගයෙන් යුතුව ජනතා සේවයේ යෙදුණේය. මෙරට ජාතික නිදහස සඳහා සටන් වේදිකාව වූ ලංකා ජාතික සංගමයේ කමිටු සභාපතිවරයකු වූ ඩී. සී. දීර්ඝ කාලයක් එම තනතුර දැරීය. 1926 දී ඇෆ්. ආර්. සේනානායක මහතාගේ අභාවයෙන් පසු ලංකා මහජන සභාවේ සභාපති තනතුරට පත් ඩී. සී. දිගු කලක් එම තනතුරේ කටයුතු කරමින් රටට සේවය කළේය.  


වඩාත් පුළුල් ව්‍යවස්ථාදායකයක් හා ජනතා නියෝජනයක් මෙන්ම සර්වජන ඡන්ද බලය දිනා අවශ්‍යයෙන්ම සිදුවිය යුතු බවට ඩොනමෝර් කොමිසම ඉදිරියේ සාක්‍ෂි දීම සඳහා ලංකා මහජන සභාව වෙනුවෙන් ගිය සර් ඩී. බී. ජයතිලක, ඩී. ඩබ්ලිව්. වික්‍රමආරච්චි, ජේ. ඇන්. ජිනේන්ද්‍රදාස, එම්.එච්. ජයතිලක, දොස්තර සී. ඒ. හේවාවිතාරණ, සර් විල්ෆ්‍රඩ් ද සොයිසා, ඩී. ඇස්. සේනානායක, ජේ. ඊ. ගුණසේකර යන නායකයන් සමග ඩී. සී. සේනානායක මහතා ද සහභාගී විය.  


පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ සභාපතිවරයා ලෙස හා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපතිවරයා වශයෙන් බෞද්ධ අධ්‍යාපනය උදෙසා සුවිශාල මෙහෙයක් ඉටු කළේය. එමෙන්ම අනුරාධපුර රුවන්වැලි මහාසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද විශාල ධන පරිත්‍යාග සිදු කළ බව ද කියනු ලැබේ. කිසිදු ප්‍රතිලාභයක් අපේක්‍ෂාවෙන් තොරව ජාතික, ආගමික සද්ව්‍යාපාරයන්හි යෙදුණු ඉතා කාරුණික ජන හිතකාමියකු වූ ඔහු දුගී දුප්පත් ජනතාවට ද විශාල ලෙස උදව් උපකාර කළ බව කියනු ලැබේ.  


ඩී. සී. ගේ බාල සොහොයුරු ඇෆ්. ආර්. සේනානායක මහතා මේ රටේ බිහි වූ තවත් විශිෂ්ට ගණයේ දේශප්‍රේමී ජනතා පුත්‍රයෙකි. මහා දානපතියකු ලෙසත් ජාතික ආගමික සේවයේ නියුතු සමාජ සේවකයකු ලෙසත් ශ්‍රී ලංකා ජනතාවට අතිමහත් සේවාවක් ඉටු කළ අතර එතුමාට සම කළ හැකි වෙනත් චරිතයක් නැති තරම්ය.   


එතුමා වර්ෂ 1882 ඔක්තෝබර් 20 වැනිදා උපත ලැබුවේ ඒ හරියටම මෙයට වසර 136කට පෙරදීය. එතුමාගේ බාල සොහොයුරු ඩී. ඇස්. සේනානායක මහතාගේ උපත සිදුව ඇත්තේ එයට හරියටම වසර දෙකකට පසු 1884 ඔක්තෝබර් මස 20 වැනිදාය. මෙම ලිපිය සැපයෙන්නේ එම උදාර ජාති මාමක ලංකා පුත්‍රයන් දෙදෙනාගේ උපන් දිනය වෙනුවෙනි.   


ඇෆ්. ආර්. සේනානායක දරුවා මූලික ඉගෙනුම ලැබීමට මාතලේ ඉංග්‍ර්‍රීසි පාඨශාලාවට ඇතුළත් කරන ලද බව සඳහන් වේ. මෙම දීප්තිමත් සිසුවාගේ ඉගෙනීමේ හැකියාව දුටු එහි විදුහල්පතිවරයා උසස් විදුහලකට යොමු කරවන ලෙස දුන් උපදෙස් අනුව කොළඹ ශාන්ත ​තෝමස් විද්‍යාලයට ඇතුළත් වූ අතර අනතුරුව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙනුත් ඉගෙනීම ලැබු​ෙව්ය. එහිදී බැරිස්ටර්වරයකු ලෙස සමත් වී 1904 දී ආපසු මව්බිමට පැමිණියේය.   


යුක්තිය හා සාධාරණත්වය උදෙසා අධිකරණ කාර්ය පටිපාටියට සහාය වෙමින් වෘත්තියේ ආචාරධර්ම සුරකිමින් කෙටි කලක් අගනා සේවයක යෙදුණේය. පෙර සඳහන් කළ පරිදි බ්‍රිතාන්‍යයන් විසින් සුරාව ප්‍රචලිත කිරීමට එරෙහි අමද්‍යප ව්‍යාපාරය බිහිවන්නට පටන් ගත්තේ මෙම යුගයේදීමය.   


1912 මැයි 23 වැනිදා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේදී ප්‍රසිද්ධ මහා සභා රැස්වීමක් පවත්වා ආරම්භ කරන ලද දීප ව්‍යාප්ත මහ සටනට දොස්තර ඩබ්ලිව්. ඒ. සිල්වා, ඩී. බී. ජයතිලක, පියදාස සිරිසේන, දොස්තර සී. ඒ. හේවාවිතාරණ ආදී දේශප්‍රේමීහු ද එක්වූහ.   


වර්ෂ 1915 සිංහල - මුස්ලිම් ජාතිභේද කෝලහල අවධිය වනවිට ජන නායකයකු වශයෙන් ලබා තිබුණු ප්‍රසිද්ධිය නිසා එම අවිචාර සමයේදී බ්‍රිතාන්‍ය පාලකයන්ගේ වෛරයට ලක්ව දැඩි හිංසා පීඩාවන්ට ලක් වීමට ඇෆ්. ආර්. ට සිදුවිය.   


එහෙත් එයින් පසුබට නොවී සිරගෙදරදී ලබන ලද පන්නරය ද ඇතිව නිදහස්කාමී හැඟීම්වලින් යුතුව යටත් විජිතවාදීන් මෙරට දේශීය ජනතාවට විරුද්ධව සිදුකරන අකටයුතුකම් සහිත දුර්දාන්ත පාලනයට විරුද්ධව නොයක් මාදිලියේ උපාය උපක්‍රම දියත් කරන ලදී. විශේෂයෙන්ම එම කෝලහල අවධියේ මෙරට ආණ්ඩුකාරවරයා වශයෙන් සිටි සර් රොබට් චාමස් සහ පොලිස්පති ඩව්බිගින් ඇතුළු නිලධාරීන් විසින් කරන ලද අපරාධ සහ දුෂ්ට ක්‍රියා පිිළිබඳව එංගලන්තයේ යටත් විජිත ලේකම්වරයා වෙත රාජ නීතිඥ ඊ.ඩබ්ලිව්. පෙ​ෙර්රා මගින් සපත්තුව තුළ පෙත්සම දමා යැවීම පිළිබඳ සුප්‍රසිද්ධ සිද්ධිය සඳහන් කළ හැකිය.  


මෙම දැවැන්ත කාර්යයන් සඳහා තම පෞද්ගලික ධනය නොමසුරුව වැය කරමින් කළ උදාර සේවයට ශ්‍රී ලංකාවාදී ජනතාව සදාකාලිකවම මෙම විරුවාට ප්‍රණාමය පුද කරනු නියතය. එමෙන්ම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා දියත් කෙරුණු නොයෙකුත් ව්‍යාපෘතීන් සඳහාත් බුදු සසුනේ දියුණුව පිරිසත් කරන ලද මූල්‍යමය පරිත්‍යාග අතිමහත්ය.  


රටට නිදහස ලබාගැනීමේ ව්‍යාපාරය ඉදිරියට මෙහෙයවීම සඳහා ඒකාබද්ධ ජාතික සංවිධානයක අවශ්‍යතාව ශ්‍රී ලාංකීය ජන නායකයෝ 1818 දී ලංකා ජාතික සංගමය පිහිටුවන ලද අවස්ථාවේ ඇෆ්. ආර්. සේනානායක මහතා ද එහි පුරෝගාමියකු වූවේය. කිසිම විටෙක නායකත්වය හෝ නිලතල අපේක්‍ෂාවෙන් තොරව, හුදු ජනතා අභිවෘද්ධිය පමණක් සලකා මහජනයාට සේවය කළේය.  


එහෙයින් එතුමා විරල ගණයේ උතුමකු වූවේය. මහජනයා වෙතින් කෙරුණු බලවත් ඉල්ලීම හා අනුග්‍රහය නිසා කොළඹ නගර සභාවේ කොල්ලුපිටිය ​ෙකාට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයා ලෙස වසර පහක් පමණ එතුමා සේවය කළේය. 1914 දෙසැම්බර් දහ වැනිදා එතුමා එම තනතුරට පත්වූවේ නිතරගයෙනි. ඇෆ්. ආර්. සේනානායක මහතා රාජ්‍ය ආයතනයක තනතුරක් සඳහා ඉදිරිපත් වූ එකම අවස්ථාව එපමණක් වූ අතර එය ද එකම වාරයකින් නිමාවට පත් විය.   


‘මිනිරන් රජ්ජුරුවෝ’ යැයි විරුදාවලි ලත් ඉමහත් ධනස්කන්ධයක හිමිකරුවකු වූ කොළමුන්නේ ඩී. සී. ජී. ආටිගල මුදලිතුමාගේ බාලම දියණිය වූ ඇලන් ආටිගල මෙනවිය සමග විවා දිවියට ඇතුළත් වූ තරුණ ඇෆ්. ආර්. ඉතා වාසනාවන්ත යුග දිවියක් ගත කළේය. පසු කලෙක කීර්තිමත් දේශපාලනඥයකු බවට පත් වූ ආර්.ජී. සේනානායක, ෆිලිස් නීඩ්‍රා ​ෙස්නානායක, ෆෙඩ්රික් තිස්ස සේනානායක, චන්ද්‍ර උපාලි සේනානායක සහ නීලා ස්වර්ණා සේනානායක යන දූ පුතුන්ගේ ආදරණීය පියාණන් වූයේ ඇෆ්.ආර්. සේනානායක මහතාය.   


කලක් ලංකා ජාතික සංගමයේ සම ලේකම්වරයා ලෙස කටයුතු කරමින් ​මෙරට නිදහස් අරගලයේ වගකිවයුතු කටයුතු සම්භාරයක් ඉටු කළ නායකයකු මෙන්ම නාරම්මල රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී සිරිපාල සමරක්කොඩි මහතා එතුමාගේ බෑනණු කෙනෙකි. ‘ජාතියේ පියා’ යන විරුදාවලියකින් සම්මාන ලබමින් නිදහස් ලංකා ප්‍රථම අගමැතිවරයා ලෙස ​ෙස්වය කළ ඩී.ඇස්. සේනානායක මහතා 1884 ඔක්තෝබර් මස 20 වැනිදා මීරිගම බෝතලේ වලව්වේදී උපත ලැබීය. දොන් ස්පේටර් සේනානායක මුදලිතුමාගේ සහ එම මැතිනියගේ බාලම පුත්‍රයා වූ ඩී.ඇස්. සේනානායක මහතා ද මාතලේ ඉංග්‍ර්‍රීසි පාඨශාලාවෙන් ලද මූලික අධ්‍යාපනයෙන් පසු කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් වැඩිදුර ​ඉගෙනීම ලැබුවේය.   


සිය වැඩිමහල් සොහොයුරු ඇෆ්. ආර්. ​ෙස්නානායකයන්ගේ ජාතික හා ආගමික සේවාවන්ට සහාය දෙමින් පොදුජන සේවය උදෙසා ඇදී ආ මොහු ටික කලකින්ම ජාතික නායකයන් අතර මුල් පෙළට පැමිණීමට සමත් විය. 1915 ජාතිභේදවාදී අරගල අවස්ථාවේදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඩී.ඇස්. සේනානායක තරුණයා ද සිර භාරයේ තබන ලදී. එහිදී ඇසූ දුටූ දේ නිසා තමන් තුළ පැවැති දේශානුරාගී අදහස් තවදුරටත් කුළුගැන්වුණි. ඉන්පසුව ලංකා ජාතික සංගමයේ ක්‍රියාකාරී නායකයන් අතර ද ප්‍රබල චරිතයක් බවට පත් විය.  


ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මීගමුව ආසනයේ මන්ත්‍රීවරයා ලෙස 1924 දී ප්‍රථම වරට තේරී පත්වූ එතුමා සිය අභාවය සිදුවූ 1952 මාර්තු දක්වා ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකය නොකඩවා නියෝජනය කිරීමේ භාග්‍යය ලැබීය. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් මෙරට ජනතාවට යහපත් හා නිදහස් පාලන ක්‍රමයක් දිනා ගැනීම සඳහා ප්‍රබල අරගලයක නිරත වෙමින් ලංකා ජාතික සංගමයේ ද ඉහළ නායකත්වයේ කටයුතු කළේය.  
1931 මැයි 4 වැනිදා පැවැති මැතිවරණයෙන් පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මිනුවන්ගොඩ මන්ත්‍රීවරයා වශයෙන් ඔහු නිතරගයෙන් තේරී පත් විය. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ විධායක කාරක සභා ක්‍රියාමාර්ග අනුව කෘෂිකර්ම සහ ඉඩම් ඇමැති ධුරය ලැබීමෙන් පසු පෙර රජ දවස පරාක්‍රමබාහු යුගයට සමාන ලෙස හරිත විප්ලවයක් ඇති කිරීමට ඩී.ඇස්. සේනානායක මහතා කටයුතු කළේය.


මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය ආදී පැරැණි වාරි කර්මාන්තයන් නටබුන්ව ​ෙගාස් වනගතව වැසී ගොස් පැවැතුණු බව අවබෝධ කරගත් සේනානායක ඇමැතිතුමා මෙරට කෘෂිකර්මාන්තය නගාසිටුවා ආහාර අතින් ස්වයංපෝෂිත කිරීමේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය. අලි, කොටි, වග වලසුන්ගේ කෙළිබිම් බවට පත්ව තිබුණු ඝන වනාන්තර සුන්දර කෙත් බිම් බවට හරවා එම ප්‍රදේශවල ජනාකීර්ණ නගර බිහිවීමට කටයුතු කළේය.  


නිදහස පිණිස වූ අරගලයේ ප්‍රබලතම නායකයකු වශයෙන් අනෙකුත් දේශප්‍රේමීන් සමග කරන ලද බලපෑම් ඉල්ලීම් සහ තවත් නොයෙකුත් උපාය උපක්‍රම ද නිසා​ සෝල්බරි ​ෙකාමිෂන් සභා වාර්තාව අනුව ඩොමිනියන් ආණ්ඩුක්‍රමය තුළ නිදහස් රටක් ලෙස ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහිත වගකීමේ අාණ්ඩුවක් දිනාගැනීමට හැකි විය. එම පසුබිම ස්ථාවර කර ගැනීම පිණිස එක්සත් ජාතික පක්‍ෂය ගොඩනගා එහි නායකත්වය ද භාරගෙන මැතිවරණය ද ජයග්‍රහණය කළේය. 1947 නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධුරය දැරීමේ කීර්තිමත් අවස්ථාව එතුමාට ලැබුණේ ඒ අනුවය.   


කිසි විටෙකත් ජාතිවාදී අදහස්වලින් කටයුතු ​ෙනාකළ මෙම දූරදර්ශී නායකයා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන සියලු ජන කොටස් එක මවකගේ දරුවන් මෙන් එකම ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් සමගියෙන් ජීවත් විය යුතු බව තරයේ ඇදහුවේය.   


1947 සිට 1952 එතුමා අගමැති ධුරය දැරූ කාලය තුළ කිසිදු ජාතිභේදවාදී ගැටුමක් ඇති ​ෙනාවීම එයට නිදසුනකි.   


කන්ද උඩරට කීර්තිමත් පවුලකින් පැවැත එන මොලී දුනුවිල කුමාරිහාමි සමග අතිනත ගත් ඩී. ඇස්. ​ෙස්නානායක මහතා ඩඩ්ලි සහ රොබට් යන සේනානායක දෙපුතුන්ගේ ආදරණීය පියාණන් ද වේ. පසු කලෙක ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඩඩ්ලි සේනානායක මහතා ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය’ යැයි ජනතා උපහාරයට පාත්‍ර වූවේය.   


දේශපාලනය යනු මිශ්‍ර ප්‍රතිචාර ලැබෙන ක්ෂේත්‍රයක් වන බැවින් මෙම සියලු චරිත කෙරෙහි විවේචන එල්ලවීම ස්වභාවික වන නමුදු මෙම විශිෂ්ට නායකයන් විසින් කාලාන්තරයක් මුළුල්ලේ ඉටු කරන සේවය ජනතාව අමතක නොකරන බව පැහැදිලි කෙරෙන හොඳම නිදසුන වන්නේ මෙම උපන් දිනය සිහිපත් කරන ඇෆ්. ආර්. සහ ඩී. ඇස්. යන නායකයන් දෙපොළගේ මී මුනුපුරන් ද මහත්මා දේශපාලනයේ යෙදෙන බව දක්නට ලැබෙන නිසාය.   


ජනතාව ඔවුනට තවමත් ආදරය කරති. 1952 මාර්තු 22 දින ඩී. ඇස්. සේනානායක මහතා හදිසි අනතුරක් නිසා පරලෝ සැපත් විය. වසර හැට හයක් ගතවී ඇත. එහෙත් සේනානායක පරපුරේ ජාතික, ආගමික, පරිත්‍යාගශීලී සේවය තවත් යුග ගණනක්ම මේ රටේ ජනතාවගේ සිත් සතන් තුළ රැඳී පවතිනු නොඅනුමානය.

 

 

සෝමසිරි වික්‍රමසිංහ