නිදහස් බෞද්ධ රටකට අරගල කළ සේනානායක සොහොයුරෝ


නිදහස් ලංකාවක් බිහි කිරීම උදෙසා අනවරත අරගලයක නිරත වූ දිවංගත එෆ්.ආර්. සේනානායක මහතාගේ 138 වැනි ජන්ම දිනය මෙම ඔක්තෝබර් 22 වැනිදාට යෙදෙන අතර ඒ මහතාගේ සොහොයුරු නිදහස් ලංකාවේ පළමු අගමැති ඩී.ඇස්. සේනානායක මහතාගේ 134 වැනි ජන්ම දිනය මේ මස 21 වැනි දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ලෝකයේ විවිධ විෂයන් අරභයා විවිධ පියවරුන් නිර්මාණය වී තිබේ. අහිංසාවාදයේ පියා වන මහත්මා ගාන්ධි, මනෝවිද්‍යාවේ පියා වන සිග්මන් ෆොයිඩ්, සාපේක්ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටයින් වැනි නම් මෙන්ම තවත් එවැනි බොහෝ උදාහරණ එම කරුණ පසක් කිරීමෙහිලා ගෙන හැර පෑමට හැකිය. බොහෝ විට එම "පියා"යන වදන ඔවුන් උදෙසා භාවිත කිරීමට හේතුව වන්නේ සත්‍ය ලෙසම එම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යම් සුවිශේෂී සංකල්පයක් හෝ න්‍යායයක් යථාරුපී ස්වරුපයෙන් ලොවට දායාද කිරීම (එයට උපත ලබා දීම) සහ ඔවුන් එම අරමුණ යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා සිදු කරන ලද අනුපමේය මෙහෙය නිසාමය. රජවරුන්ද එලෙසමය. දේශපාලනික පාලන බලය හොබවනු ලැබූ රාජ නාමාවලිය තුළ රජවරු ඉතිහාසගත වන විට, යම් විෂය ධාරාවන් වෙනුවෙන් තම අණසක පතුරවන ලද චරිත වෙතද "රජු"යන අන්වර්ථ නාමය යොදනු ලැබේ. 


අප රට තුළත් එවැනි මහඟු මෙහෙයන් ඉටුකිරීම උදෙසා විරුදාවලි ලත් පියවරු සහ රජවරු සිටියහ. නිදහස් අධ්‍යාපනයේ පියා, බත් දුන් පියා, මිනිරන් රජු වැනි අන්වර්ථ නාම රැසක් මේ රටේ මහා පොළොව මත ඉපදීමට පෙර ඒ සියල්ලටම පෙර මග සරසා දුන් මහා අප්‍රතිහත ධෛර්යයකින් යුත් වූ චරිත ද්විත්වයක් ගැන කතා කිරීමට මුලපුරන්නට යෙදෙනුයේ එළැඹෙන ඔක්තෝබර් 20 වැනි දින එම චරිත ද්විත්වයේම ජන්ම දිනය යෙදෙන බැවිනි. ඉන් එක චරිතයක් වෙන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය නායකයා වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාය. අනෙක් චරිතය නම් ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන එෆ්. ආර්. සේනානායක මැතිතුමාය. එකම පවුලක සොහොයුරන් විලස උපන් මේ උදාර යුග පුරුෂයින් දෙදෙනා විසින් රටට සහ ජාතියට දායාද කළ අමිල දායාද පිළිබදව සඳහන් කිරීමට නම් එක් පුවත්පත් ලිපියක් නොව පොත පත සියදහස් ගණන් වුවද මදි වනු නොඅනුමානය.


ගම්පහ දිස්ත්‍රික්කයේ , හාපිටිගම් කෝරළයේ, බෝතලේ තම නිජබිම කොට ගත් සේනානායක පවුලේ උරුමය අනුරාධපුර යුගයේ ගෝඨාභය රජ සමය දක්වා දිව යන්නකි. පුරාවෘත්තයන්හි සදහන් අන්දමට ක්‍රි. ව 254 හි රජ පැමිණි ගෝඨාභය රජතුමා විසින්, තම සොහොයුරු සිරිසඟ බෝ රජතුමා හිස් දන් දුන්නේ යයි සැලකෙන අත්තනගලු පුරය දක්වා, ජය ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාවක් වැඩම කරවූ අතර එම ගමන සදහා යොදා ගන්නා ලද්දේ ඔහුගේ නිජබිම් පෙදෙස වූ මහියංගණ පුරවරයේ පරපුරය. දින කිහිපයක් ගෙවා පැමිණි බෝධින්වහන්සේ රැගත් සේනාව මාඔයෙන් එතෙර වී, රාත්‍රී ලැගුම් ගැනීමට සුදුසු ගල් තලාවක් තෝරා ගන්නා ලදී. රාත්‍රිය පහන් කොට අවදි වී බලනා කල දුටු ප්‍රාතිහාර්ය හේතුවෙන් පිරිසට දෑස් අදහාගත නොහැකි විය. සියල්ලන් මවිත කරමින් සිය පාත්‍රය පළාගෙන ගල් තලාව මත බෝධීන් වහන්සේ මුල් ඇද රෝපණය වී තිබුණි. මෙම සිදුවීම හේතුවෙන් විස්මයට පත් රජතුමා එතැන් පටන් එම බෝධින්වහන්සේගේ භාරකාරීත්වය පවරන ලද්දේ එම සේනාවේ නායකයා වෙතය. සේනාවේ නායකයා යන්න එතැන් පටන් සේනානායක නම් වුයේය. එම බෝධින්වහන්සේ අදටත් බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජමහා විහාරයේ විරාජමාන ලෙස වැඩසිටිනු දැකියහැක. 
එවන් උදාර පරපුරකින් මෙරටට දායාද කළ සේනානායකවරුන් විසින් පසු කලෙක රටට ජාතියට සහ සම්බුදු සසුනට සිදු කළ මෙහෙය මෙතෙකැයි කියා නිම කළ නොහැක්කේය.   


යටත්විජිත සමයේ මිනිරන් ව්‍යාපාරය යනු ඉතා විශාල ධනොත්පාදන ව්‍යාපාරයක් විය. යුරෝපයේ කාර්මික පුනරුදයක් නිර්මාණය වීම සහ ලෝක යුද්ධ සිදුවූ පසුබිමක මිනිරන් එම කටයුතු සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් බවට පත්ව තිබුණි. සේනානායක පරපුරේ මහා ධන නිධානය ආරම්භ වන්නේ දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමාගෙන්ය. ඔහු ඉඩම්හිමි කීර්තිමත් ප්‍රභූ ව්‍යාපාරිකයෙකු වූයේය.  ඔහුගේ බිරිඳ වුයේ කෙහෙල් ඇල්ල වලව්වේ දොන් කැතිරිනා එළිසෙබත් සේනානායක ළමාතැනියයි. ඔවුන් දෙදෙනා හට පිරිමි දරුවන් තිදෙනක් සහ එක් ගැහැනු දරුවෙකු වූයේය. 


වැඩිමහල් පිරිමි දරුවා වුයේ ඩී.සී යනුවෙන් හැඳින්වූ දොන් චාල්ස් සේනානායක මහතායි. ඔහු පසු කලෙක ලංකාවේ කීර්තිමත් ව්‍යවසායකයෙකු සහ ඉඩම් හිමි වැවිලිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූවෙකි. එමෙන්ම කැපී පෙනුණු සමාජ සේවකයෙකි. අනෙක් පිරිමි දරුවන් දෙදෙනා වුයේ එෆ්.ආර් ලෙස කා අතරත් හැදින්වූ ​ෆෙඩ්රික් රිචඩ් සේනානායක සහ ඩී.එස් ලෙස සදාදර නාමයක් දිනාගත් දොන් ස්ටීවන් සේනානායකයි. එෆ්.ආර් 1882 ඔක්තෝබර් මස 20 වැනි දින උපත ලද අතර, ඩී.එස් 1884 ඔක්තෝබර් මස 20 වැනි දින උපත ලබන ලදී. එයද මහා දෛවෝපගත බැඳීමක නිමිත්තක් විය. මන්දයක් කුඩා කල පටන් දෙදෙනාම එකම දින තම උපන්දින සැමරුම සිදු කිරීම හේතුවෙන් මෙම සහෝදර බැම්ම ඉතා ශක්තිමක් එකක් වන්නට ඇත. ඔවුනට සිටි එකම සොහොයුරිය වුයේ මෙරයා ජේන් සේනානායකයි. 


මෙම සොහොයුරන් දෙදෙනා ඇතුළු ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරාද මූලික අධ්‍යාපනය ලබන ලද්දේ මාතලේ ක්‍රිස්තු විද්‍යාලය වෙතින්ය. නමුත් පසු කලෙක ද්විතියික අධ්‍යාපනය සඳහා එකල කොළඹ මෝදර පිහිටි ශාන්ත තෝමස් විද්‍යාලය වෙත ඔවුන් දෙදෙනා ඇතුළත් කරන ලදී. එෆ්.ආර්. බොහෝ නිවුණු තැන්පත් චරිතයක් සේම අධ්‍යාපනය සදහා ඉමහත් දක්ෂතා පෙන්වූ සිසු දරුවෙකු වූයේය. නමුත් ඔහුගේ සොහොයුරු ඩී.එස් මඳක් දඩබ්බර චරිතයක් වූ අතර අධ්‍යාපනයට වඩා ක්‍රීඩාව සදහා ඉතා දක්ෂතා පෙන්වූ චරිතයක් වූයේය. ඔහු ක්‍රිකට් ක්‍රීඩාව සඳහා මෙන්ම මල්ලවපොර ක්‍රීඩාවේද ඉතා දක්ෂ තරුවක් විය. වරක් සුප්‍රකට ඉන්දීය මල්ලව පොර ශුරයෙකු හට පවා අභියෝග කරමින් ඔහුව පරාජය කිරීමට තරම් සමර්ථකමක් ඩී.එස් විසින් දක්වන ලදී.


එෆ්.ආර්. පාසලේදී සිය ආචාර්ය මණ්ඩලයේ නිරන්තර පැසසුමට ලක් විය. නමුත් ඩී.එස්. පිළිබද නම් නිතරම පාහේ චෝදනාවල අඩුවක් නොවීය. වරක් පාසල් ප්‍රධානාචාර්ය පියතුමා විසින් පාසලේ පංති කාමරයෙන් පිටත කිහිප තැනකදී ඩී.එස්. දැකීම නිසා "ස්ටීවන් ඔයා මොකද මේ ... මම ඔයාව යන යන තැන දකිනවා නේ" යනුවෙන් මදක් තරවටු ස්වභාවයෙන් අසන ලදී. නමුත් එයට ඇඟට පතට නොදනී පිළිතුරු දුන් ඩී.එස් එතැනින් හින් සීරුවේ මාරු වුයේය. ඔහුගේ පිළිතුර වුයේ "ඔව්... දෙයියෝ වගේ නේ... හැමතැනම ඉන්නවා නේ" යනුවෙන් පවසමිනි. 


තම බාල පුතුගේ ස්වභාවය පිළිබඳ කලබලයට පත් කැතරිනා මැතිනිය, ස්පෙටර් මුදලිතුමා හට බල කොට සිටින ලද්දේ තංගල්ලේ හාමුදුරුවන් මුණගැසී වේලාව බලන ලෙසය. එකල තංගල්ලට යාම යනු ජීවිතය පරදුවට තබා යාමට සිදුවන ගමනකි. නමුත් තම පුතු වෙනුවෙන් එම ගමන ගිය ස්පෙටර් මුදලි තුමා හට අසන්නට ලැබුණු නිමිත්ත වුයේ "ස්ටීවන් පුතා දවසක මේ රටේ කිරුළු නොපළන් රජු වෙන බවයි."  පෙරළා පැමිණි මුදලිතුමා තම කැතරිනා මැතිනිය වෙත තම කෝපය පළ කළේ “හාමුදුරුවන්ටත් ඔයාට වගේම සිහිය විකල් වෙලා ද කොහෙද” යන්න පවසමිනි. මන්දයත් ස්පෙටර් මුදලිතුමා කිසිදා එම අනාවැකිය විශ්වාස නොකළේය. ඔහුගේ දැඩි විශ්වාසය වූයේ එවැන්නක් සිදු වන්නේ නම් එය කළ හැකි වන්නේ එෆ්. ආර් පුතුට මිස ඩී.එස්. හට නම් නොවේය යන්නයි. නමුත් එම අනාවැකිය පසු කලෙක සත්‍ය වන විට එය ඇසින් දැකීමට භාග්‍යක් එතුමා හට හිමි නොවුණි. 


කුඩා කල සිට මෙම සොහොයුරන් දෙපළ අතර තිබුණු එම අවියෝජනීය සබඳතාව පසු කලෙක මේ රට යටත් විජිත සමයෙන් නිදහස කර ගැනීමට  තරම් ප්‍රබල වෙතැයි කිසිවෙකු එදා නොසිතන්නට ඇත. එෆ්.ආර් තම උසස් අධ්‍යාපනය සඳහා මෙරටින් වෙන්ව ගිය සමය ඩී.එස් හට පවා ඉතා පාළුව කාන්සිය දනවන සමයක් විය. නමුත් එෆ්.ආර් පෙරළා තම රටට පැමිණියේ බැරිස්ටර් වරයෙකු ලෙස නම් දරමින්ය. කෙතරම් දඩබ්බර චරිතයක් වුවද තම සොහොයුරා අත්පත් කර ගන්නා ජයග්‍රහණයන් දෙස ඉතා දැඩි සතුටකින් යුතුව බැලීමේ හැකියාවක් ඩී.එස් හට නිතැනින් උරුම විය. 


එෆ්.ආර් තම නීතිඥ වෘත්තීය තුළ එකල රටේ ඉතා ආන්දෝලනාත්මක නඩු දෙකක් සඳහා ඉදිරිපත් වුණි. පළමුවැන්න නම් සොලමන් බණ්ඩාරනායක මහමුදලිතුමාගේ ඔටුවාට වෙඩි තැබීමේ සිදුවීමයි. සියලු ප්‍රබල නීතිඥයින් පවා මුදලිතුමා වෙනුවෙන් පෙනී සිටියදී එෆ්.ආර්. විත්තිකාර අහිංසක ගැමි ගොවියා වෙනුවෙන් නොමිලේ පෙනී සිට එම නඩුව ජයග්‍රහණය කරන ලදී. දෙවැන්න නම් මිනිරන් රජු ලෙස කිරුළු පළන් ඩී.සී.ජී ආටිගල මුදලිතුමාගේ පුත්‍රයාගේ ඝාතන නඩුවයි. එම නඩුව නිම වීමට ප්‍රථම විත්තිකරු වූ ජ්‍යෙෂ්ඨ ජෝන් කොතලාවල මහතා සියදිවි නසාගැනීම හේතුවෙන් නඩුව නිමා කිරීමට සිදුවුණි. මෙම සිදුවීම ඔහුට මෙරට නීති ක්ෂේත්‍රය පිළිබඳ දැඩි කලකිරීමක් නිර්මාණය කළේය.  නමුත් එම නඩු කටයුත්ත නිසාම ඔහුගේ ජීවන සහකාරිය වූ එලන් ආටිගල මැතිනිය සමග ඔහුගේ විවාහය සිදු විය. 


විවාහයෙන් පසු වගකීම් රැසක් උරුම වූ එෆ්.ආර් හට තම සොහොයුරු ඩී.එස් සමග නැවත ඉතා කිට්ටුවෙන් කටයුතු කිරීමට කාලය උදා විය. දෙදෙනාගේම නිවෙස් වූ කොළඹ ග්‍රාස්මියර් සහ වුඩ්ලන්ඩ්ස් යන මන්දිර පවා පපිහිටා තිබුණේ යාබද දුරකිනි. කාලය ඉතා සතුටින් ගෙවී ගියද එම ඉරණම් සියල්ල උඩු යටිකුරු කරන ලද ප්‍රස්තුතය නිර්මාණය වෙන්නේ  එකල රටේ මහා පෙරළියක් සිදු කළ "අමද්‍යප ව්‍යාපාරය" මගින්ය. ඉංග්‍රීසින් හට යටත්විජිත වල සිය අාදායම් වැඩි කරගැනීම උදෙසා සුරාව ප්‍රචලිත කිරීමේ සියුම් වුමනාවක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විසින් 1912 වසරේදී මෙරට සුරා පනත සම්මත කරගන්න ලදී. මෙහි ආදීනව වටහාගත් සේනානායකවරු ඇතුළු සෙසු උගත් ප්‍රභූ පිරිස් විසින් ජාතිය බේරාගැනීමේ අරමුණින් "අමද්‍යප ව්‍යාපාරය" ආරම්භ කරන ලදී. මෙය එතරම් සැලකිය යුතු නොවන වැඩපිළිවෙලක් යයි සිතු ඉංග්‍රීසිහු එම ව්‍යාපාරය අභියෝගයක් ලෙස නොසැලකූහ. නමුත් ඔවුන් හට මර උණ ගැනුනේ හහාපිටිගම් කෝරලේ පැවති අමද්‍යප රැස්වීම හේතුවෙනි. 25000 කට අධික සෙනග ප්‍රමාණයකින් පිරි ගිය එම රැස්වීම අවසානයේ මෙරට තැබෑරුම් 2009 ක් වසා දැමීමට තරම් ප්‍රබල බලවේගයක් බවට පත්විය. ඉංග්‍රීසින් විසින් සේනානායකවරුන් කෙරෙහි දැඩි වෛරයක් නිර්මාණය වූ මොහොත මෙයයි. 


ඔවුන්ට එම වෛරය පිරිමසා ගැනීමට ඉඩක් ලැබුණේ 1915 හි සිංහල මරක්කල කෝලාහලය අතරතුරය. ඉංග්‍රීසින් විසින්ම අවුළුවන ලද එම ගින්න රට පුරා පැතිරී යද්දී මෙම සේනානායක සොහොයුරන් දෙදෙනා නිර්භීත ලෙස එම ප්‍රචණ්ඩකාරී වැඩ පිළිවෙළ මර්ධනය කිරීමට මැදිහත් විය. නමුත් සේනානායක සොහොයුරන්ට අභූත චෝදනා නගමින් සිරගත කරන ලද අතර, නිදහස් සටනේ අරමුණ කැස කවන ආසන්නතම සිදුවීම වෙන්නේ හෙන්ද්‍රි පේද්‍රිස් ගේ මරණයයි. ඉතා අමානුෂික ලෙස මරණ දඩුවටම යටත් කළ ඔහු ඉතා නිර්භය සිංහල තරුණයෙකු විය. එෆ්.ආර් එදා එනම් 1915 ජුලි 07 වැනිදා තීරණය ගනු ලැබුයේ තම අන්තිම කබාය හෝ දක්වා විකුණා මේ රට  යටත්විජිත්වාදින්ගෙන් නිදහස් කර ගන්න බවයි. 
ඔහුගේ එම අරමුණ සඳහා සොහුයුරු ඩී.එස් නිරතුරුව ලබා දුන් සහාය ඉතා ප්‍රශංසනීය වේ. එමෙන්ම එෆ්.ආර්. විසින් සිය බාල සොහොයුරාගේ හැකියාවන් මනාව වටහාගෙන තිබුණි. මානව පරිපාලනය සහ නායකත්වය ලබා දීම යන විෂයන් හි ලා ඩී.එස්. තුළ තිබූ සහජ හැකියාව වඩාත් දැඩිව හදුනාගත් චරිතය වුයේද එෆ්.ආර්. ය. එෆ්.ආර්. දුරදක්නා නුවණින් යුතුව තම සොහොයුරාගේ හැකියාවන් තවත් ඔප මට්ටම් කරන ලදී. ඔහු ඒ සඳහා සිදු කළ ප්‍රධාන සාධකය වුයේ සිය තම ජිවිතයෙන් ආදර්ශමත් වීමයි. 
හෙතෙම ජාතික සහ ආගමික පුනර්ජීවය උදෙසා ඉතා නිර්ලෝභීව තම ධනය පුජා කළ අයෙකි. බොරැල්ල තරුණ බෞද්ධ සංගමය, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය, පරම විඥාර්ථ සමාගම, අමද්‍යප ව්‍යාපාරය වැනි ආයතන අදටත් එම ජීවමාන සාක්ෂි ඉතිරි කොට ඇත්තේය. එෆ්.ආර් විසින් නිදහස් සටනේ අවසන් අදියර සඳහා උපරිම ශක්තිය සහ ධන පරිත්‍යාගය ලබා දුන්නේ කිසිදු වරදාන සහ වරප්‍රසාද පිලිබඳ බලාපොරොත්තුවෙන් තොරවය. ඔහු තුළ තිබූ මානව දයාව ඉතා අසීමිත බව ඔහුගේ ජීවිතය තුළින්ම ඔහු පසක් කරන ලදී. නිදහස සදහා මහා සටනක් ලෙයින් තොරව බුද්ධිමත් ලෙස දියත් කිරීමට අවශ්‍ය නායකයින් සියල්ලම පාහේ නිර්මාණය කරන ලද්දේ එෆ්.ආර්. විසිනි. ඔහුගේ සොහොයුරා වූ ඩී.එස්. ද එයින් ප්‍රමුඛයා විය. වර්ෂ 1926 ජනවාරි 01 වැනි දින මෙළොවින් සමුගන්නා මොහොත තෙක් ඔහු එම අරමුණ කිසිම මොහොතක අත් හැරියේ නැත. එමනිසාම ඔහුව “රජුන් තැනු රජු” ලෙස හදුන්වන ලද්දේ ඔහුව අභියෝගයක් වූ ඉංග්‍රීසින් විසින්මය. 


ඔහු තැනු රජුන් අතර අගතැන්පත් වීමට තරම් ඔහුගේ සොහොයුරා වූ ඩී.එස්. හට හැකියාව ලැබුණේ ඩී.එස්. තුළම තිබු මහා නිර්භීතභාවය නිසාමය. එෆ්.ආර්. විසින් සංකල්පීය ලෙස ඉදිරිපත් කළ ලෙයින් තොරව නිදහස දිනාගැනීමේ සටන ඉදිරියට ගෙන යාමට නම් ඉංග්‍රීසින් වෙතින් නිදහස ලබාගත යුත්තේ ඉතා සුක්ෂම ලෙස බැව් ඩී.එස්. විසින් මානව වටහා ගන්න ලදී. එම නිසා ඩී.එස්. තෝරාගත් මාර්ගය වුයේ ආයුධ සන්නද්ධ නිදහස් සටනක් නොව බුද්ධි සන්නද්ධ නිදහස් අරගලයකි. එය එක් පසෙකින් ඉංග්‍රීසින්වම භාවිතා කරමින් ඔවුන් ලවාම ලාංකිකයින් හට ස්වයං පාලනයක් ලබා ගැනීමේ ක්‍රමවේදයයි. ඔහු එයද එකවර නොව කොටස් වශයෙන් පියවරෙන් පියවර අත් කර ගන්නා ලදී. 


දෙවැන්න නම් නිදහස ලැබූ පසු නැවත රට අරාජික නොවීමට හා නැවත කිසිදා යටත් නොවීමට නම් "ස්වයංපෝෂිත" බව එකම විසඳුම යන්න තිබු ඉලක්කයයි. ඔහු ඒ සඳහා මහා වාරි කර්මාන්ත සහ කෘෂි සංස්කෘතිය නැවත ප්‍රතිනිර්මාණය කළේය. ඩී.එස්. ඒ සඳහාද පාදක කර ගන්නා ලද්දේ පුරාණ රජ දරුවන් අනුගමනය කළ මාර්ගයම වීමද විශේෂත්වයකි. මහා වනස්පතිය ඉදිරියේ ඔහු නැවතුනේ නැත. වග වලසුන් ඉදිරියේ ඔහු පසුපසට ගියේද නැත. මැලේරියාව වැනි මහා වසංගත පවා ඔහුට භිය වුවා මිස ඔහු මොහොතකට හෝ ඒවාට භිය නොවීය. 


සත්‍ය වශයෙන්ම 1952 මාර්තු 22 ඔහු අසු පිටින් වැටී ඇතිවූ අඝාත තත්ත්වයක් හේතුවෙන් අප අතරින් සමුගත්තේ රටේ අවසනවකටමය. මන්දයත් එදා එලෙස නොවුණි නම්  අද වෙන විට අප ආසියාවේ කිරුළ ලෙසින් අභිසෙස් ලබන්නට තිබු ඉඩකඩ බොහෝය. අප දෙස බලා උගත් සිංගප්පුරුව අද සිටිනා තැන අප පසු කොට බොහෝ දුර යන්නට තිබුණි. අප ජාතිය යටත් කර ගැනුමට නම් වැනසූ නැසූ තැන කුමක්ද යන්න වටහා ගෙන එයට නැවත පණ දුන් උදාර පුරුෂයෙකු වූ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා හට "ජාතියේ පියා" යන විරුධාවලිය ලැබුණේ එම නිසාය. ඔහුගේ ගමන් මගම යමින් ඔහුගේ පුතු වූ ඩඩ්ලි සේනානායකයින් හට පවා "බත් දුන් පියා” යන විරුදාවලිය ලැබුයේද එම ආදර්ශයම අනුගමනය කළ නිසාය. 
නමුත් අවාසනාවකට කරුණ නම් අද සිටින්නේ කන්නට ඇති සහල් ගබඩා වල සඟවමින් ජාතිය බඩගින්නේ තබා බතට මිලක් පමණක් සොයන “බත් නොදුන් පියවරු"න්ය. එදා සිටි එම උදාර ශ්‍රේෂ්ඨ පියවරුන්ගේ පයට පෑගෙන දුවිලි පොදක් වෙන්නට තරම් වත් අද සිටිනා බොහෝ රට විකුණන පියවරුන්, මගඩියේ පියවරුන්, දුෂණයේ පියවරුන්, සොරකමේ පියවරුන්, නාස්තියේ පියවරුන් හට කිසිදා නොහැකි වෙනු ඇත. එමනිසා එළැබෙන ඔක්තෝබර් 20 වැනි දිනට යෙදෙනා දේශබන්ධු එෆ්.ආර්. සේනානායක (138) සහ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක (134) යන සොහොයුරු දෙපළගේ ජන්ම දින සැමරුමේදී මෙවැනි චරිත වල වටිනාකම් ජාතිය වෙත තිළිණ කිරීම ඉතා වටී. 


පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය ලබා දී ඇති සොඛ්‍ය උපදෙස් පිළිපදිමින් එදිනට එම උදාර චරිත වෙත ජාතියේ පිං අනුමෝදන් කරමින් දානමය පිංකමක් බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්මදුත ආශ්‍රමයේ පැවැත්වෙන අතර, ඔක්තෝබර් මස 21 වැනි දිනට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී එළිදැක්වීමට යෙදී තිබු දේශබන්දු  එෆ්.ආර්.සේනානායක චිත්‍රමය ළමා පොත එළිදැක්වීමේ උත්සවය මෙම පවතින තත්ත්වය හේතුවෙන් රජයේ සහ සෞඛ්‍ය අංශ වල උපදෙස් වලට අනුකුලව කල් දැමීමට තීරණය කරන ලදී. 

 

 

රංග ශ්‍රී පීරිස් 
මාධ්‍ය ලේකම් - සේනානායක පදනම