නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන විසඳුමක් ගෙනෙයි කියා අපි විශ්වාස කරන්නෙ නෑ


සයිටම් විරෝධී අරගලයේදී ඉදිරිපෙළ භූමිකාවක් නිරූපණය කරන අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය වෙනුවෙන් එහි වැඩබලන කැඳවුම්කරු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන රන්කරවුවේ ජිනරතන හිමි මෙවර සරසවි සිසු හඬෙන් අදහස් දක්වයි.  

 
 

ප්‍රශ්නය - සයිටම් විරෝධී අරගලයේදි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයත් සෑහෙන වැඩ කොටසක් කරන බව පෙනෙනවා. එහි කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පසුවන්නෙත් රිමාන්ඩ් බාරයේ. අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ මේ භූමිකාව පැහැදිලි කළොත්?  


පිළිතුර - 1987 ඉඳන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයත් එක්ක අඛණ්ඩව අරගල කරපු ඉතිහාසයක් අපිට තියෙනවා. මේ රටේ එක එක ජාතියෙ හාමුදුරුවරු ඉන්නවා. බැඳුම්කර හොරකම් කරපු මිනිස්සුන්ගෙ, මිනීමරපු මිනිස්සුන්ගෙ අත්වල පිරිත් නූල් ගැටගහන තැනින් එහාට ගිහිල්ලා හාමුදුරුවරු මේ සමාජෙට වැඩකරන්න ඕන කියන තැනින් තමයි අපි මැදිහත් වෙන්නෙ.  


​ෙම් රටේ ප්‍රගතිශීලී භික්ෂූන්වහන්සේලා ඉන්නවා කියලා අපි දන්නවා. නිර්ප්‍රභූ ගණයට අයත් වෙන භික්ෂූන් වහන්සේලා ඉන්නවා. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය මේ රටේ මිනිස්සුන්ට අහිමි වෙනකොට ඒවා ලබාදෙන්න මැදිහත් විය යුතුයි කියලා හිතන භික්ෂූන් වහන්සේලා ඉන්නවා.  


සරසවියට ඇවිත් ඉන්න තරුණ භික්ෂූන් වහන්සේලා ඒ අරගලයට මැදිහත් කරගන්න ඕන කොහොමද කියන තැනින් තමයි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය කටයුතු කරන්නෙ. මොකද නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය නැතිවුණොත් මේ සමාජය විශාල අගාධයකට වැටෙනවා. අපිට ඒක කවදාවත් ආපහු ගොඩනගන්න හම්බවෙන්නෙ නෑ. ඒ නිසා අපි හිතනවා හාමුදුරුවරු විදියට මේ අරගලයට මැදිහත් විය යුතුයි කියලා.  


ප්‍රශ්නය - විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න භික්ෂූන් වහ්නසේලාගෙ සහාය මේ අරගලයට ලැබෙමින් තියෙනවද?  


පිළිතුර - ඔව්. පැහැදිලිවම. සයිටම් අරගලය 2008 දී ආරම්භ වුණු තැන ඉඳලම අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය බලවේගයක් විදියට මේ සටනට සම්බන්ධ වෙනවා. අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව යන ඒවත් එක්ක අපිත් මේ සටනෙ හවුල්කරුවෙක් විදියට කටයුතු කරනවා.  


ප්‍රශ්නය - මේ සටන ඇතුළෙ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය නියෝජනය කරන ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම් සම්බන්ධයෙන් සමාජයේ සමහර ස්තරවලින් විවේචන එල්ල වෙන ආකාරයක් අපි පහුගිය කාලේ දැක්කා. භික්ෂුවකට මේ ආකාරයට කටයුතු කරන්න පුළුවන්ද කියන කාරණය ඒ විවේචනවලින් නිතරම මතුවුණා. මේ ගැන ඔබවහන්සේ දරන ආකල්පය මොකක්ද?  


පිළිතුර - අපි දන්නවා ලංකාවේ තියෙන්නෙ බෞද්ධ සමාජයක්නෙ. එතකොට මේ සමාජය ඇතුළෙ හාමුදුරුවරුන්ට වෙන් වෙච්ච වෙනම භූමිකාවක් තියෙනවා. පන්සලකට වෙලා දානය වළඳලා බණක් භාවනාවක් කරගෙන පැත්තකට වෙලා හිටියම හරි කියලා සමහරු ඒ භූමිකාව ගැන හිතනවා.   


අපි හිතන විදියට හාමුදුරුවරු කියන්නෙ එහෙම චරිත නෙවෙයි. බුදුහාමුදුරුවො භික්ෂූන්ට කිව්වෙ ‘බහුජන හිතාය.. බහුජන සුඛාය’ කියලනෙ. ඒ නිසා අපි විශ්වාස කරන්නෙ හාමුදුරුවරු විදියට මේ සමාජෙට මැදිහත්වෙන්න ඕන කියලා.  


උදාහරණයකට කැලේ තියෙන ඔක්කොම ගස් ටික කපනවා කියලා හිතමු. අපට බෑ කැලේ තියෙන ගහක් යටට වෙලා භාවනා කරන්න. මොකද ඒ ගහත් කොයි වෙලේ හරි කපාගෙන යනවනෙ. අද තියෙන සමාජයත් ඒ වගේ. ඒක ඇතුළෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. බුදුහාමුදුරුවො වුණත් තමන් ළඟට බණ අහන්න බඩගින්නෙ ආපු මිනිහට ඉස්සෙල්ලම කන්න දීලා තමයි බණ කිව්වෙ. මොකද උන්වහන්සෙ දන්නවා බඩගින්නෙ ඉන්න මිනිහට බණ කියලා වැඩක් නෑ කියලා. අපිටත් තියෙන කතාව ඒක තමයි.  


බදු බර, ණය බර අහස උසට. මේ විදියට ලංකාවේ මිනිස්සු ඉන්නෙ ප්‍රශ්න ගොඩක. එහෙම සමාජයකට බණ කියලා හැදෙන්න පුළුවන් නම් මේ අවුරුදු දෙදාස් පන්සීයෙ ඉතිහාසය තුළ ඒක වෙලා තියෙන්න ඕන. නමුත් එහෙම වෙලා නෑ. ඒ නිසා මේ රටේ මේ තියෙන තත්ත්වයෙන් ගලවගන්න නම් දැන් තියෙන දේශපාලන සංස්කෘතියෙන් මිදෙන්න ඕන. භික්ෂූන් වහන්සේලා විදියට අපිට මොන තරම් නිග්‍රහ අවලාද ආවත් අපි ඒ සඳහා මැදිහත් වෙන්න ඕන.  


ප්‍රශ්නය - රයන් එළියට ආවා. ටැම්පිටියෙ සුගතානන්ද හාමුදුරුවොන්ට මොනවා වෙයිද?  

 
පිළිතුර - රයන් සහෝදරයා මාස දෙකක් තිස්සෙ හිරගත කරලා ඉඳලයි එළියට ආවෙ. ටැම්පිටියෙ සුගතානන්ද හාමුදුරුවොයි, ළහිරු වීරසේකර සහෝදරයයි දැනට ඉන්නෙ හිරගත වෙලා. ශිෂ්‍ය නායකයො සිරගත කරලා සයිටම් සටන නවත්තන්න ආණ්ඩුව උත්සාහ කරනවා. සයිටම් අරගලය දැන් උපරිම තැනකට ඇවිල්ලා තියෙන්නෙ. මේ නිසා මේ ප්‍රශ්නෙට උත්තරයක් නොදී මඟහැර යන්න බැරි තත්ත්වෙකට ආණ්ඩුව පත්වෙලා තියෙනවා. 

 
සතියක් ගත්තොත් දවස් දෙකක් විතර වෙන් වෙන්නෙ ශිෂ්‍ය නායකයන්ට විරුද්ධව තියෙන නඩු විභාග කරන්න. මර්දනය කැඳවලා ඇත්ත ප්‍රශ්නය යටගහන්නයි ආණ්ඩුව උත්සාහ ගන්නෙ. ලබන 26 වැනිදා සුගතානන්ද හාමුදුරුවන්ගෙයි ළහිරු සහෝදරයගෙයි නඩුව තියෙනවා. ඇප ලැබෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ.  


ප්‍රශ්නය - සයිටම් අර්බුදය සම්බන්ධ රජයේ විසඳුම තව දවස් කීපයක් ඇතුළත එළිදක්වනවා කියලා ජනාධිපතිවරයා කියනවා. ඒ ගැන මොකද හිතන්නෙ?  


පිළිතුර - එස්.බී. දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න වගේ ඇමැතිවරු කරන ප්‍රකාශ දැක්කම අපිට නම් හිතෙන්නෙ මේ ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුවට වුවමනාවක් නෑ කියලා. නිදහස් අධ්‍යාපනය අාරක්ෂා කෙරෙන විසඳුමක් ගෙනෙයි කියලා අපි විශ්වාස කරන්නෙ නෑ. මොකද ආණ්ඩුව මේක විසඳනවා කියලා කීපසැරයක් ජනතාව රැවැට්ටුවා.  


සයිටම් කියන ආයතනයේ නම වෙනස් කරලා ඒක ඒ විදියටම පවත්වාගෙන යන්න තමයි මේ කියන විසඳුමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නෙ. ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිතිය කොහොමද පවත්වාගෙන යන්නෙ කියන එක ගැන මේ වෙනකොට වෛද්‍ය සභාව සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා කියලා මාධ්‍යවල තොරතුරු සඳහන් වෙලා තිබුණා. ඒ නිසා නිශ්චිතවම ආණ්ඩුව කරන්න යන්නෙ මේ ප්‍රශ්නෙට සැබෑ උත්තරයක් දෙනවා වෙනුවට මේ සයිටම් ආයතනයේ නම වෙනස් කරලා ඒ විදියටම පවත්වාගෙන යන්නයි. ඒ නිසා අපි මේ විසඳුම පිළිගන්නෙ නෑ. මුලින්ම ආණ්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍ය විකුණන ප්‍රතිපත්තිය අකුළ ගන්න ඕන.  


ප්‍රශ්නය - ඔබවහන්සේ හිතන විදියට ලංකාවේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නය සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධියට පමණක් ඌනනය වෙලා තියෙන දෙයක්ද? මොකද සයිටම් වගේම තවත් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල වෙනත් උපාධිත් මුදලට ලබාදීම සිදුවෙනවා.  


පිළිතුර - මෙතන සයිටම් එකේ වෛද්‍ය පීඨය කියන එක විශේෂ වෙන්නෙ අධ්‍යාපනයේ වගේම සෞඛ්‍යයේ නිදහසත් වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙන නිසායි. සයිටම් එකට අමතරව තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ තියෙනවා. නමුත් අපි විශ්වාස කරන විදියට මේ වෙලාවෙ සයිටම් කියලා කියන්නෙ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න ගෙනැවිත් තියෙන නියමු ව්‍යාපෘතිය. ඒ නිසා මේක පැරදවිය යුතුයි.  


ප්‍රශ්නය - මේ වෙනකොට විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට තියෙන පොදු ප්‍රශ්න මොනවද?  


පිළිතුර - අපි ඉගෙන ගන්න විෂයයන් විශ්වවිද්‍යාලවලින් අයින් කරන්න පාලකයො කටයුතු කරමින් ඉන්නවා. පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය මේ වගේ විෂයන් විශ්වවිද්‍යාලවල තියන්න පාලකයන්ට තවදුරටත් වුවමනාවක් නෑ. ආණ්ඩුව විශ්වවිද්‍යාලවලට වෙන් කරන ප්‍රතිපාදන කපාදැමීම නිසා විශ්වවිද්‍යාලවලට වෙලා තියෙනවා අභ්‍යන්තර පාඨමාලා විකුණලා සල්ලි හොයාගන්න.  


පාඨමාලා විකුණන තැන ඉඳන් ප්‍රතිපත්ති හදන කොට අර මම කිව්ව විෂයයන්වලට ලංකාව ඇතුළෙ විකුණන්න බැරි නිසා ඒවා විෂය මාලාවෙන් අයින් කරන්නයි හදන්නෙ. මේ විෂයන් පැවතිය යුතුයි. මොකද අපි ශිෂ්ටාචාරයක් විදියට ඉදිරියට ආවෙ මේ සියලුම විෂයයන්වල බලපෑම නිසා. විෂයයන් කප්පාදුව හරහා සිදුවන දැවැන්ත බඳවා ගැනීමේ කප්පාදුවකුත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. මේ දේවල් නතර කරන්න අපිට ඉදිරියේදී දැවැන්ත අරගලයක් කරන්න සිද්ධ වෙනවා.  

 

 

 

 

 

 

 

 

 

 

සාකච්ඡා කළේ -  උපුල් වික්‍රමසිංහ