නෑයකුන්ගේ හිස්කබල් ගේන්න ආදිවාසි නායකයා ස්කොට්ලන්තයට ගිය ගමන


“මේ වැඩ පොජ්ජ සාර්ථකව මන්දො උනේ මේ ඇත්තන් ගල්රැක්ක කරපොජ්ජෙ තබාගෙන මංගැච්චුවටම නෙවෙයි. 

මේ ඇත්තන්ගේ මළ ගිය ඇත්තන්ගේ බලයක් තිබෙනවා. 
මේ නවයක් ජීවත් තැන මන්දො උනේ මේ පරිසර පොජ්ජෙ සොබාදම් පොජ්ජත් එක්ක. 
මේ ඇත්තන් විශ්වාස තැන මන්දො කරනවා ඒ ඇත්තන්ගේ ආත්මය තිබෙන්නේ මේ කැකෑ පොජ්ජේ. 
උණුකිරිගල, කොක්කාගල මාවරාගල, දිඹුලාගල, දම්බරා ගල, මේ කතා දමන කඳු පොජ්ජවල්වල. 
මේ ඇත්තෝ මළගිය ඇත්තන්ට නැටුම් පොජ්ජ මන්දොකරන කොට ඔය කඳු පොජ්ජ හැම එකකෙන්ම මංගච්චනවා. 
ඒ මංගච්චන එකෙමෙකුගේ හිස් පොජ්ජක් මන්දො වෙන්නත් ඉඩ පොජ්ජ තිබෙනවා. 
ඒ ඇත්තන්ගේ ආත්මවල ශක්තිය මේ ඇත්තන්ට මන්දො වුණා”. 


බ්‍රිතාන්‍ය පාලන සමයේ අපේ රටෙන් රැගෙන ගොස් ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ තැන්පත් කර මානව ඉතිහාසය පිළිබඳව පර්‌යේෂණයකට ලක්කිරීමෙන් පසු ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියල ඇත්තන්ට බාරදුන් වසර 250ක් 300ක් තරම් පැරැණි ආදිවාසි මානව හිස්කබල 9ක් සහ එම සිරුරු දෙකක අස්ථි ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තන්ට බාරදීම එම විශ්ව විද්‍යාලයේදී නොබෝදා සිදුවිය. 
ඒ සිද්ධිය විස්තර කරමින් ආදිවාසි නායකතුමා ඉහත සඳහන් ප්‍රකාශය කළේය. 
ආදිවාසී නායකතුමා විශ්වාස කරන්නේ අද ආදිවාසීන්ගේ නෑ යකුන් සේ පුදන අයගේ හිස් කබල පවා මෙහි තිබිය හැකි බවය. 
ඒ ඇත්තන්ගේ ආත්මය තිබෙන්නේ දඹාන වටා ඇති කඳු 7ක් ආශ්‍රිත සොබාදම් පරිසරයේ බව විශ්වාස කරන වන්නියලැ ඇත්තෝ අවධාරණය කළේ මෙතරම් කලක් ගතවී හෝ ඒවා තමාට ලැබුණේ තම රැහේ මළගිය ඇත්තන්ගේ ඇසට නෙපෙනෙන බලය නිසා බවයි. 


මේ ‘ඉරිදා ලංකාදීප’ය දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් සමග කළ කතා බහයි. 


• කොහොමද වන්නියලැ ඇත්තෝ මේ වැඩේ පටන් ගත්තෙ ? 

එක දවසින් දෙකෙන් සිදුවුණ දෙයක් නොවෙයි අවුරුදු දෙකහමාරක පමණ කාලයක සිට සිදුවූ ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලය. 
දවසක් උදේ සුදු මහත්තුරු කට්ටියක් දඹානට ආවා. ආවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වන ඔසාන් වෙදගේ මහත්තයත් එක්ක. 
ඇවිත් කිව්වා ස්කොට්ලන්තයේ විශ්වවිද්‍යාලයක අපේ පරම්පරාවේ අයගේ හිස් කබල හා අස්ථි කොටස් තියෙනවා කියලා. 
එතෙක් එහෙම දෙයක් මං දැනගෙන හිටියේ නැහැ. මට පුදුම හිතුණා මෙච්චර කල් තියෙනවද කියල ඇහුවම. ඔව් අපට ඒවායින් පර්‌යේෂණයක් කරන්න තියෙනවා. ඒ සඳහා නායකතුමාගේ කැමැත්ත ගන්නයි ආවේ කිව්වා. 
මම ඇහුවා ඒ රටේ තියෙන දෙයක් ගැන පරීක්ෂණ කරන්න අවසර බලය දෙන්න මට තියෙන අයිතිය මොකක්ද කියලා. 
ඒ රටේ මොන පරම්පරාවකට හරි අයිති දෙයක් තිබුණත් එම රටේ ආරක්ෂා කරගෙන හිටියත් අයිති අයගෙන් අවසර ගන්න ඕන කියල ඒ අය කිව්වා. 
පස්සේ මම කැමති වුණා. 


හැබැයි එක කොන්දේසියක් දැම්මා. 
ඔය ඇත්තන්ගේ පරීක්ෂණ ඉවර උනාම මේ හිස්කබල හා අස්ථි කොටස් අපේ රටට දෙන්න ඕන කියන එක තමයි කොන්දේසිය. 
ඔසාන් මහත්තයා ස්කොට්ලන්තයෙන් ආව පැට්රික් මහත්තයත් එක්ක සාකච්ඡා කරලා කිව්වා, මේවා පරීක්ෂණවලින් පසුව ආපසු දෙන්න කියලා එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ ප්‍රධානියාගෙන් ලිඛිතව එම ඉල්ලීම කළයුතු බවත් කිව්වා. 
ඊට පස්සේ අපි උත්සාහ කරන්නම් කිව්වා. 
මම ඔසාන් මහත්තයත් එක්ක ගිහින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපතිතුමා හමුවුණා. එතුමා මට බොහෝ උදව් කළා . 
මෙහෙම ඉන්න කොට මේ අවුරුද්දේ මුලදි ඔසාන් මහත්තයා කිව්වා මගේ ඉල්ලීමට ඒගොල්ල කැමතියි කියල. 
මට රට යන්න අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න කියලත් කිව්වා. ඒ අනුව ඔසාන් මහත්තයගේ උපදෙස් අනුව පුරාවිද්‍යා, විදේශ සේවා, වාගේ ආයතනවලින් අවශ්‍ය අවසර ලබාගත්තා. 

 

 


• කවදද ගියේ ? 

පසුගිය 20 වැනිදා. 


• ගුවන්යා‍නයේ ‍පොරව ගෙනියන්න දුන්නද ? 

කරේ පැලඳගෙන යන්න එපා කියල පොරො තලේ ආවරණය කරල මල්ලක දාල ගුවන් නියමුවා ළඟ තියාගත්තා. 


• බැස්සට පස්සේ ආයෙ බාර දුන්නා?

ඔව් මම නේපාලය, තායිලන්තය, ස්විට්සර්ලන්තය, ඉන්දියාව යන රටවලට ගිහින් තියෙනවා . 


• මේ ගමන දැනුණේ කොහොමද ? 

මේක කලින් ගිය ගමන්වලට වඩා අමාරුයි. 


•  ඒ කියන්නේ , ?


සීතල කාලේ පටන්ගන්නකොට මම ගියේ. හරිම සීතලයි. අත් පා හිරිවැටෙනවා. මම පපුව පොරෝනයකින් පොරව ගත්තා.
දෙපාවලට මේස් දාන්න කිව්වා මම මේස් දැම්මා තමයි. හැබැයි එතකොට මට ඇවිද ගන්නත් අමාරුඋනා. පැටලු‍නා. 
කැලෑපොජ්ජෙ මගේ රුකුල් පොජ්ජට එන්නේ කොයිවෙලාවෙද කියල බල බලයි හිටියේ යැයි කියා සිනාසුණේය.


• දැන් ඉතින් කියන්න එහේදි මොකද උනේ ? 

21 වෙනිදා දවල් තමයි උත්සවය තිබුණෙ. 
ඒගොල්ල ලොකුවට සංවිධානය කරලා තිබුණා. 


• ඒ කියන්නේ? 

අපේ රටේ ජනාධිපතිතුමා ඒ රටට යනකොට වගේ තමයි පිළිගත්තේ. 
එංගලන්තයේ රජතුමා ගිහිල්ලා සාකච්ඡා කරන තැන තමයි මේ වැඩසටහන පැවැත්වුණේ. 
ලොකු ගෞරවයක් තිබුණා. 
පිටස්තරයන් කාටවත් ඇතුළුවෙන්න දෙන්නේ නැති හිස්කබල් හා අස්ථි කොටස් තැන්පත්කර ඇති විද්‍යාගාර කෞතුකාගාරයට මාව එක්කරගෙන ගිහින් පෙන්නුවා. 
මේ අවස්ථාව වෙනත් කාටවත් දුන්නේ නැහැ කියලත් කිව්වා. 
ඒකේ ඇතුළේ ලොව පුරා ආදි මානවයන්ගේ හිස්කබල 14,000ක් සහ අස්ථි තියෙන බව කිව්වා. මේ හැම එකක් ගැනම විස්තර තියෙනවා. අපේ ඇත්තන්ගේ ආයුධ, කෑම භාජන, පරිහරණය කළ දේ තිබුණා. 
අස්ථි කොටස් තවත් 12,000ක් තියෙනවා. ඒවායින් කොටසක් ඉදිරියේ දී දෙන්නම් කියලා පොරොන්දු වුණා. 
මේ හිස්කබල හා අස්ථිවලින් කළ පරීක්ෂණවල වාර්තාවකුත් දුන්නා. ඒ ආදිවාසීන් හිටපු තැන් කෑමබීම ජීවත්වූ පරිසරය හැමදේම සටහන් කරලා. මේ හිස් කබල හා අස්ථිවලින් ලොව පුරා විද්‍යාඥයන් පුරාවිද්‍යාඥයන් පරීක්ෂණ කරලා බොහෝ හෙලිදරව් කරගත් බවත් කීවා. 

 

 


• කෙහොමද ගුවනින් ගෙනාවේ ? 

ප්ලාස්ටික් ඇසුරුම්වල දාලා පෙට්ටි තුනකට. 

 

• දැන් කොහේද තියල තියෙන්නේ? 

ඒක තමයි ප්‍රශ්නය. 


මේවා මට මල්ලක දාලා දුම්මැස්සේ තියන්න බැහැ. අවුරුදු සිය ගණනක් ඒ රටේ අය මේවා ආරක්ෂා කරලා ලෝකයට ලොකු වැඩක් කරලා තියෙනවා. 
දැන් මේවා ආරක්ෂා සහිතව තියන්න දඹානේ කෞතුකාගාරයේම නවීකරණයක් කරන්න ඕන.
ලෝකයේ ඕනම රටකින් ඇවිත් මෙම පර්‌යේෂණ කරන්න මේ හිස් කපල් හා අස්ථි යොදාගන්න පුළුවන් විදියට ආරක්ෂා සහිත පහසුකම් සහිත ස්ථානයක් හදන්න ඕන. 
ඒක ර‍ජයේ වගකීමක් කියල මට හිතෙනවා. 


ඒ ගැන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හමුවී සාකච්ඡා කරන්නත් මම හිතාගෙන ඉන්නවා යැයිද ආදිවාසී පුද පූජා සඳහා මේවා මහෝපකාරී වන්නේ යැයිද 
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසූවේය.  
ආදිවාසී නායකතුමාගෙන් සමුගත් අපි පසුදා තවත් විස්තර දැනගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය (පුරාවිද්‍යාව) පර්‌යේෂක ඔසාන් වෙදගේ මහතාට කතා කළෙමු. ඔහු මෙසේ කීවේය. 


මේක අපේ පර්‌යේෂණයක්. මමයි ස්කොට්ලන්තයේ මහාචාර්ය පැට්රික් රොබට් මහත්තයයි එක්ව පර්‌යේෂණ කළා. 
මානව ඉතිහාසය හා පරිනාමය පිළිබඳව විද්‍යාත්මක පර්‌යේෂණ කටයුතු කරන ජර්මන් පර්‌යේෂණ ආයතනයකට අපි දෙන්නා සම්බන්ධයි. එම ආයතනයත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත්, එඩින්බරෝ විශ්ව විද්‍යාලයත් මේ පර්‌යේෂණයේ දී අප සමග හිටියා. 
එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ අස්ථි කොටස් තියෙන බව දැනගත්තම අපි පර්‌යේෂණයට ඒක තෝරාගත්තා. ආචාරධර්ම පද්ධතිය අනුව මම පැට්රික් එක්ක ගිහින් ආදිවාසි නායකතුමා හමුවෙලා අවසරගන්න හිතුවා. එතකොට මමයි නායකතුමයි අතර ලොකු හිතවත්කමක් තිබුණෙ නැහැ. නමුත් ආදිවාසි ඌරුවරිගේ හීන්බණ්ඩා මම දැනගෙන හිටියා. 


එයත් එක්ක ගිහින් අපි ආදිවාසි නායකතුමා හමුවෙලා මේ විස්තර කියලා තේරුම් කරලා දුන්නා. ඊටපස්සේ නායකතුමා අපේ පර්‌යේෂණයට කැමති වුණා. හැබැයි පර්‌යේෂණ වලින් පසුව හිස්කබල හා අස්ථි කොටස් අාපසු දියයුතු යැයි කොන්දේසියක් දැම්මා. 
ඒ අනුව ගිවිසුම් ගතවෙලා තමයි මේ කටයුතු කළේ. 
මීට අවුරුදු 200කට විතර කලින් අපේ රට ඉංග්‍රීසි පාලනයට යටත්ව තිබියදී අපේ රටේ බොහෝ දේවල් පර්යේෂණ සඳහා අරන් ගිහින් කෞතුකාගාරවල තැන්පත් කරලා තියෙනවා.
වීර කැප්පිටිපොල නිළමේතුමාගේ හිස්කබලත් අරන් ගියානේ. ඒකට හේතුව තමයි ඒකේ සුවිශේෂි ලක්ෂණ තිබුණා. ඒනිසා පර්‌යේෂණ අවශ්‍යතාව මත ඒගොල්ල ගෙනිච්චා. 
ඒ වගේම ආදිවාසින් කිව්වම විශේෂයි. ඒ අයගේ හිස්කබල අස්ථි මෙසේ ගෙනිහින් තියෙනවා.
අවුරුදු එක්දහස් පන්සීයක් (1500) තරම් පරණ විශ්ව විද්‍යාලයක් වන එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තමයි මේ ආදි මානවයන්ගේ අස්ථි කොටස් තැන්පත් කරලා තිබුණෙ. 

 

 


ඒකේ ලංකාවේ හිස්කබල් විතරක් නොවෙයි සමස්ත ලෝකයේම විවිධ රටවල සුවිශේ‍ෂී ලක්ෂණ පෙන්නුම් කළ අයගේ හිස්කබල 14,000 ක් පමණ මෙහි තියෙනවා. ඒවා එහිදී අධ්‍යයනය කරනවා%. 
එහි ඇති හැම හිස්කබලකම අස්ථි කොටසකම කාගේද කොහෙන්ද කවදාද මියගිය කෙසේද යන සියලු‍ විස්තර වාර්තාගත කර තිබෙනවා. 
අපේ වැදි ජනතාව මුල්කාලයේ ඉතා පැහැදිලිවම වනය ආශ්‍රිතව ජීවත්වෙමින් දඩයම් කරමින් වනය ආශ්‍රිත අල වර්ග කොල වර්ග බුදිමින් ජීවත්වූ පරම්පරාවක් බව ඉතා පැහැදිලිව විද්‍යාත්මකව අනාවරණය වුණා.
ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලන කියන ගැටලු‍ 4 නිසා විශේෂයෙන්ම අවශ්‍යතාවයන් මත රටවල්වල අලු‍ත් නීති සම්පාදනය වීමත් සමග ඔවුන්ගේ ජීවන රටාව වෙනස් වී තිබෙනවා. 


අපි පර්‌යේෂණය ක​ළේ හිස්කබලවල දත් උපයෝගී කරගෙන. දත්වල ඉනැමල් එක පදනම් කරගෙන. 
කොච්චර මැද්දත් කොච්චර පිරිසිදු කළත් දත්වල අපි කන බොන දේවල්වල තොරතුරු රැඳිලා තියෙනවා. අවුරුදු සිය ගණනක් ගියත් ඒවායින් අපට හොයාගන්න පුළුවන් ඒ මනුෂ්‍යයාගේ ආහාර රටාව, ඒ අාහාර රටාව විශ්ලේෂණය කරලා කියන්න පුථවන් ගත කළේ කැලෑබද ජීවිතයක් ද කැලෙන් එළියට ඇවිත් ජීවත් වුණාද කියලා ජීවන රටාව විද්‍යාත්මකව කියන්න පුළුවන් වුණා යැයි ද ඔසාන් මහතා පැවසීය. 
ආදිවාසින්ගේ පාරම්පරික ජීවන රටාව අනුව කැලේ කොලේ නිදහසේ ජීවත්වීමට තිබූ අයිතිය මහ සමාජයේ දේශපාලකයන් විසින් සැකසූ නීති විසින් උදුරා ගැනීම නිසා අද අපේ රටේ ආදිවාසින් පත්ව ඇති අසරණභාවය අතිශයින්ම කනගාටුදායකය. 
 මේ නිසා වත්මන් වැදි ජනයා මහ සමාජයට අනුගත වීමට කටයුතු කරන අතර විනාශය කරා යන එම ගමන වැළැක්වීම තරම් අභියෝගයක් තවත් නැතැයි ආදිවාසී නායකයා පවසන්නේ හැඟුම්බරවය. නෑ යකුන්ගේ සිරුරු කොටස් පුදමින් ආදිවාසි නායකයා අයැදින්නේ තම රැහේ අය යළි පාරම්පරික ජීවන රටාවට රැගෙන යාමට බලයක් දෙන ලෙසය.

 

 

සටහන හා ඡායාරූප :  
බදුල්ල - පාලිත ආරියවංශ