නැනෝ තාක්ෂණයෙන් මුහුණ ආවරණයක්


නව මුහුණු ආවරණය නිර්මාණය කළ විශේෂඥයින් සමග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමූහ ඡායාරූපයකට මුහුණ දුන් ආකාරය 

 

ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට පරිසර හිතකාමී නැනෝ තාක්ෂණය භාවිත කර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් පිරිසක් විසින් මුහුණු ආවරණයක් නිපදවා ඇත. එය Nano AV Respirone 99, (Respirone Nanomask) ලෙස නම් කර තිබේ. 


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා ඇතුළු විශේෂඥයින් පිරිසක ගේ දීර්ඝ කාලීන පර්​ෙ‌ය්ෂණයක විශිෂ්ට ප්‍රතිඵලයකි.   
ඒ සම්බන්ධයෙන් මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.   


‘‘මෙම නව මුහුණු ආවරණය පැලැඳීමෙන්, නාසය සහ මුඛයෙන් ඇතුළුවන, සහ පිටවන කොවිඩ් වයිරසය හා වෙනත් වයිරස ඇතුළු සියලු බැක්ටීරියා විනාශ කරනවා. තවද ඉතා ඉහළ තාක්ෂණයෙන් යුත් ස්ථර තුනකින් සමන්විතයි. කෙළ බිඳිති, ලේ, ජලය වැනි දෑ ඉවත් කර, වයිරස, බැක්ටීරියා විනාශ කිරීම, තෙතමනය උරා ගැනීම හා වාතය පෙරීම වැනි කාර්යන් රැසක් සිදු වෙනවා.   


සීයට සීයක් වයිරස නැති කිරීමේ විස්මිත බලයක් සහිතව, කපු රෙදි භාවිත කර, නැනෝ තාක්ෂණය උපයෝගී කරගෙන, පරිසර හිතකාමීව නිපදවා තිබීම විශේෂත්වයක්. බොහෝ දෙනකුගේ ප්‍රශ්න රැසකට ද මෙයින් විසඳුම් ලැබෙනවා. එනම් බාධාවකින් තොරව හුස්ම ගත හැකිවීම, විශේෂයෙන් ම ඇස් කණ්ණාඩි සමග මුහුණු ආවරණය පැළැඳ හුස්ම ගැනීමේදී කණ්ණාඩිය මත ජල වාෂ්ප දැලක් ආකාරයෙන් බැඳෙන්නේ නැහැ. තම මුහුණට ගැළපෙන අයුරින් වෙනස් කිරීම, විසිපස් වතාවත් පමණ සෝද සෝදා භාවිතා කිරීමේ හැකියාව ඉන් කිහිපයක්.   


සේදීමේදී නැනෝ අංශුවලට කිසිදු හානියක් සිදු වෙන්නෙත් නැහැ. ඒ සඳහා වොෂින් මැෂින් එකක් භාවිතා කළා. විසි පස් සැරයන් හෝද හෝද බැලුවා. ඒත් එහි තිබූ ගුණාංග කිසිවක් අඩු වුණෙත්, නැනෝ අංශූ අඩු වුණෙත් නැහැ. ඊට හේතුව නැනෝ අංශු රසායනිකව බැඳිල තිබෙන නිසයි. මෙම මුහුණු ආවරණය අව්වට දැම්මොත් වයිරස් අංශූ තිබෙනවා නම් ඒවත් මැරෙනවා.   


ලංකාවේ දී ප්‍රථම වතාවට වයිරස් මැරෙනවාද, නැතිද යන්න පිළිබඳව, වෛද්‍ය පිඨයේ සහෝදර ආචාර්ය මණ්ඩලය සමග එකතු වෙලා ටෙස්ට් එක පේරාදෙණියේ දී ම කළා. නැතිනම් එංගලන්තයේ සාෆ් වයිරස් කමිටුවට යවන්න ඕනැ. ඒ සඳහා පවුම් 13000ක් වැය වෙනවා. එම නිසා මුදල් ඉතිරි වුණා. මේ බව දැනගත් සීතා අරඹේපොල මහත්මිය, බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට කියලා තියෙනවා. එදා සිට මට බේරුමක් නැහැ. හදල ඉවරද කියලා නිතරම අහනවා. ඒ ආකාරයෙන් එතුමා අපව මේකට උනන්දු කළා.   
නැනෝ ඒ.වී. රෙස්පිරොන් 99 කියන්නේ, ඉතාලියන් වචනයක්. වමින්ද හේරත් මහතා එය සොයා ගත්තේ. ඒ.වී. කියන්නේ ඇන්ටි වයිරස් එක සීයට 99ක් මරනවා කියන එකයි. ඇත්තෙන්ම මෙම මුහුණු ආවරණය පැලඳීමෙන් සීයට සීයක් ම වයිරස් මරණවා.   


නාසයෙන් සහ මුඛයෙන් ඇතුළු වෙන වයිරස් කපා විනාශ කරන්න පුළුවන් විශේෂ නැනෝ අංශු මුහුණු ආවරණයට දමා තිබෙනවා. එම නැනෝ අංශු මගින් ස්පයිස් වයිරස් කපනවා. මෙවන් වයිරසයකට ප්‍රතිරෝධිතාවයක් දක්වන්න බැහැ. කෙසේ වෙතත් නැනෝ අංශු වලට හතර ආකාරයකට වයිරස් විනාශ කරන්න පුළුවන්. කතුරෙන් වගේ කපන මෙම නැනෝ අංශු නිසා කොවිඩ් වයිරසය, නාසයෙන් හෝ මුඛයෙන් ඇතුළුවීම පමණක් නොවෙයි පිටවීම සිදු වෙන්නෙත් නැති බවට අපි තහවුරු කරලයි තිබෙන්නේ.   
අපි හදල තියෙන මෙම නැනෝ මුහුණු ආවරණයේ වැදගත්කම් බොහොමයක් තිබෙනවා. උදාහරණයක් විදිහට කේ.එන්. 95 මුහුණු ආවරණය හා සංසන්දනය කිරීමේදී, අපේ මුහුණු ආවරණය, බිංදුවේ සිට සීයට සීයක්ම පෙරෙන විදියට කපු රෙද්ද සකස් කර තිබෙනවා. වයිරසය පස් ආකාරයකට මරණවා. ස්ථර තුනකින් සමන්විතයි. මැද ස්ථරයේ වයිරසය කපන අංශු අඩංගුයි.   


උඩම තියෙන ස්ථරය හරියටම නෙළුම් කොළයක් වගේ වතුර බිංදු ඇතුළට නොයන ආකාරයට, නැතිනම් උරා ගන්නේ නැතිව ඉවතට යනවා. ඒ අනුව වයිරස් එක පළමු ස්ථරයෙන් ඇතුළට ගමන් කරන්නේ නැහැ. බැරි වේලාවත් වයිරස් ඇතුළට ගියොත් මැද ස්ථරයෙන් කපා විනාශ කර දමනවා.   


මෙයට භාවිතා කර තිබෙන්නේ කොට්න් කියන ලාභදායි වගේම, ශුද්‍ර ජීවින් මගින් ජීර්ණය කරන්න පුළුවන් රෙද්දක්. කේ.එන්. 95 මුහුණු ආවරණයේ තිබෙන්නේ පොලිප්‍රොෆිල්. ලෝකයේ බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා. මෙය විශාල ප්‍රශ්නයක්. අපේ මුහුණු ආවරණය සම්පූර්ණයෙන් ම කොට්න් රෙද්දෙන් සාදා ඇති නිසා, අතපසුවීමකින් හෝ පරිසරයට මුදා හැරියත් ශුද්‍ර ජීවින් විසින් එය, විනාශ කර දමනවා.   


කේ.එන්. 95 මුහුණු ආවරණයෙන් ආරක්ෂා වුවත්, කිසියම් හෙයකින් වයිරස් එක එහි තිබුණොත් නැවත ශරීර ගත වෙනවා. ඒ ප්ලාස්ටික් අන්තර්ගතව තිබෙන නිසයි.   


අනෙක තම, තමන්ගේ මුහුණට ගැළපෙන ආකාරයට සකස් කර ගැනීමට හැකි වන අයුරින් කනට දාන පටිය හදල තිබෙනවා.   


තුන්වෙනි ස්ථරයේ තිබෙන්නේ බොහොම හොඳ කොට්න් එකක්. එය ජලයට කැමති කොට්න් එකක්. හුස්ම එළියට දානකොට එහි ඇති ජල වාෂ්ප, දාඩිය හොඳට උරාගෙන එළියට දෙනවා. ඇතුළේ ඒවා රැඳෙන්නේ නැහැ.   


කෑම කන වේලාවට මුහුණු ආවරණය ඉවත් කරන්න ඕනෑ. ඒ වේලාවට මුඛය ආවරණය කරන්න බැරි වුවත්, නාසය වත් අවහිර කර ගත හොත්, එයත් විශාල සහනයක්. එම නිසා ඊට විකල්පයක් විදියට නාසයෙන් ඇතුළු වන සහ පිටවෙන වයිරස්වලින් ආරක්ෂා කර ගැනිමට “නෝස් මාස්ක් ”එකක් ද ප්‍රථම වතාවට නිපදවා ඇති අතර, මෙහි ඉහත මුහුණු ආවරණයේ ඇති ලක්ෂණ ම, ඇතුළත් කර තිබෙනවා. එය වෛද්‍ය චමින්ද ගේ විශේෂ නිර්මාණයක්. 

 
ලෝකයේ කොහේදිවත් මෙවැනි ආවරණයක් දක්නට ලැබෙන්නේ නැති බවත්, මහාචාර්ය රාජපක්ෂ මහතා පැවැසීය.   


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන්, මුහුණු ආවරණය නිෂ්පාදනය සඳහා දායක වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. 

 

 

සටහන සහ ජායාරූප   
සිසිර කුමාර බණ්ඩාර සහ ජේ.ඒ.එල්. ජයසිංහ