නැන්දා මැරීමට වස දුන් ලේළියට අත් වූ ඉරණම


ජීවිතය යහමඟට ගැනීමට නිවැරැදි මඟපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

මාතර නාඳුගල එස්.ජී. මුදලිගේ මහතා ලියා එවූ කතාවකි.   

ඇස් පුපුරා මියගිය කුකුල් ඝාතකයා 


රුහුණේ නගරයකට ආසන්න ගමක සිදු වූ සත්‍ය සිදුවීමකි. ඔහු අපි කරුණාදාස නමින් හඳුන්වමු. ඔහු රැකියාව වශයෙන් ජලයට සම්බන්ධ ආයතනයක කාර්යාලයක සේවය කළ අතර, රැකියාවට අමතරව ආදායම් මාර්ගයක් ලෙස කුකුල් මස් විකිණීමේ ව්‍යාපරයක් නිවසේ ආරම්භ කරන ලදී. බිරිඳගේ නොමසුරු සහයෝගය ඒ සඳහා ලැබිණි. මෙසේ කාලයක් සාර්ථකව මෙම කාර්ය කරගෙන යන ලදී. මස් විකිණීමේදී ශීතකරණයක් පාවිච්චි කළ ද ඔහු මස් ගන්නා අයට ​​ෆ්‍රෙෂ් බඩු කියා එවලේම සපයන ලදී. මේ අතර බිරිඳ නිවස ඉදිරිපිටම කාලි දේවාලයක් අටවාගෙන අමු මස් හා බිත්තර ගසා පුද පූජා පවත්වා සැමියාගේ සොහොයුරන්ට ශාප කරන්නීය.   


තම පදිංචි ඉඩමේ තාප්පයක් බැඳීමේදී ඇති වූ ආරවුලක් නිසා මෙසේ ශාප කරන ලදී. කරුණාදාස නිතර සුදුවතින් සැරසී සිනා සී සිටිය ද සතුන්ට කිසිම අනුකම්පාවක් නොදැක්වීය. දිනක් කරුණාදාස සේවය කරන ආයතනයේම නිලධාරි මහතෙක් කුකුල් මස් මිලදි ගැනීමට මස් කඩයට පැමිණියේ. කරුණාදාස, “පොඩ්ඩක් ඉන්න මහත්මයා” කියා නිවස පිටුපසට ගියේය. නිලධාරි මහතා ද නිකමට මෙන් නිවස පිටුපසට ගියේය. නිවස පිටුපසට යනවිට ගොස් ගොස් ගා වතුර නටමින් තිබූ ඇළුමිනියම් භාජනයකට කුකුලන් කිහිප දෙනෙකු කකුල්වලින් අල්ලා ගත් කරුණාදාස ඔබමින් සිටියේය. විනාඩි කිහිපයක් තුළ ඇස් පුපුරා ගැහෙමින් කුකුලන් මියගිය පසු බිරිඳ පහසුවෙන් පිහාටු ගලවා බඩවල් ශුද්ධ කර කරුණාදාසට දෙයි. මේ දුටු නිලධාරි මහතා මස් නොගෙනම ආපසු ගියේය.   


මෙසේ කාලයක් යනවිට බිරිඳ රෝගීව ඇවිද ගැනීමට නොහැකි විය. කරුණාදාසගේ අත් දෙක පණ නැති වී ප්‍රතිකාර කරන විට වෘෂණ කෝෂයේ පිළිකාවක් හටගෙන ඉවත් කිරීමට සිදුවිය. දෙදෙනාම රෝගී වීම නිසා මස් වෙළෙඳසැල වැසී ගියේය. හිටි හැටියේම කරුණාදාසගේ අධික රුධිර පීඩන රෝගය නිසා ඇස් පුපුරා රෝහලට ඇතුළු කිරීමෙන් පසුව අනත්ත දුක් විඳ මියගියේය. කුකුලන් උණු දියේ ඔබා ඇස් පුපුරා මියගිය ආකාරයටම කරුණාදාසට ද දිට්ඨධම්මවේදනීය අකුසල කර්මය සපුරා විඳීමට සිදුවිය.  



බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවකි.  

කළ කළ දේ පල දුන් හැටි   


මෙකී සිද්ධිය 1988-1989 වකවානුවේ පැවැති භීෂණ යුගයේ සිදු වූ දරුණුතම ද‌ාමරික ක්‍රියාවලියෙන්ගෙන් එකකි. එකල පැවැති රජයේ ප්‍රබලයෙකුගේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ ඔහු අපි ‘සුනිල්’ යන නමින් හඳුන්වමු. තම දාමරික ක්‍රියා ඉතා සැහැසි ලෙස ප්‍රගුණ කළ සුනිල් එම මැර ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රදේශයේ නමක් දරා සිටියේය. ප්‍රදේශයේ බොහෝ තැන්වලදී ‘ගෝනි බිල්ලෙකු’ මෙන් වෙස් වළාගෙන අපරාධ පිළිබඳව එම ක්‍රියාදාමයෙහි යෙදුණු මොහු තම ගම් ප්‍රදේශයේ විරුද්ධවාදීන්ගෙන් පළිගත්තේ කිසිම හිතක් පපුවක් නොමැතිවය. මොහුගේ රැහැනට අසු වූ තරුණ තරුණියෝද බොහෝ වූහ.   


දිනපතා තම විරුද්ධවාදීන් බොහොමයක් ඝාතනය කළ මොහු ඊට අසුවූවන් අවසන් හුස්ම හෙළුවේ තමන් රැගෙන ආ මෙම “ගෝනි බිල්ලාට” දැඩි ලෙස අනේක වාරයක් ශාප කරමින් දෙස් දෙවොල් තබමිනි. මෙම අමානුෂික ක්‍රියාවලිය බොහෝ කාලයක් තිස්සේ පැවතුණු අතර ඔහුට එරෙහිව කිසිවකු කෙළ බිඳක් හෝ බිම නොහෙළුවේ ඔහුට එකල තිබූ බිය නිසාය.   


එම භීෂණ යුගය නිමවීමෙන් පසු කාලය කෙමෙන් ගෙවී යද්දී සුනිල් ඈත පෙදෙසකින් විවාහ වූයේ ධර්මිෂ්ඨ ගතිගුණවලින් හෙබි දැහැමි පුද්ගලයකු විලසිනි. යටගිය සියලු දේ සිතින් අමතක කළ ඔහු උත්සවශ්‍රීයෙන් තම මනාලිය කැඳවාගෙන ආවේ තම තමන්ගේ අනාගතය සාර්ථක ලෙස ගෙන යාමේ පරම අභිලාෂයෙනි. ගත වූයේ ටික කලකි. ඔවුන්ට දරු සුරතල් බැලීමේ අනගි අවස්ථාව උදා විය. දරු ප්‍රසූතියට ළංව සිටි සුනිල්ගේ බිරිඳට එක් දරුවකු නොව දරුවන් දෙදෙනකු නිවුන් දරුවන් ලෙස ලැබුණි. අවාසනාවකට මෙන් ඔවුනට ලැබුණු දරුවන් දෙදෙනාම අත පය කොරවුණු අංගවිකල දරුවන් වීම මහත් අභාග්‍යයක් විය. මේ ලෙසට සුනිල්ගේ බිරිඳට මෙලෙස ලැබුණු කුලුඳුල් දරුවන් දෙදෙනාම අංගවිකල දරුවන් වීම සුනිල් එදා කළ ඒ පාපකර්මවලට මේ ජීවිතයේදී ‘කළකම් ඵල දෙන’ හැටි කියා පාන කැඩපතක් බඳු විය. අදට ද එම දරුවන් අංගවිකල කොරුන් ලෙස තම මාපියන් සමගින් ඉතාමත් දුක සේ ජීවත් වන්නේ අනුනට අත පාමිනි. දැනට ලොකු මහත් වී සිටින ඔවුහු පියා විසින් කරන ලද ඒ මහා පාපකර්මවලට වන්දි ගෙවමින් මහමඟ කඩපිල් ගානේ සිඟමන් යදිමින් අතපය කොරවූවන් ලෙස දුක සේ ජීවත් වෙති. මෙහි නම් මන:කල්පිතය. මෙය සත්‍ය සිදුවීමකි.

 



මතුගම පියසේන දොඩම්​ගොඩ මහතා ලියා එවූ කතාවකි.   

හදිසි අනතුරින් මියගිය මස් වැද්දන් දෙදෙනා   


උපතේ සිට මරණය දක්වා ගෙවන්නා වූ මෙම අවිනිශ්චිත සුළු කාලය තුළ ජීවත් වීම සඳහාම පමණක් නොව අනෙකාට ඉහළින් නැගී සිටීම පිණිස අධික තෘෂ්ණාවෙන් වස්තුව, මිල මුදල්, ඉඩකඩම්, ගේ දොර රැස් කරගෙන තම ධනය බලය හා නිලය රැක ගැනීමට වැඩි දෙනා දිවා රැය ගත්තා වූ වෙහෙස අප්‍රමාණය.   


අටලෝදහම අනුව කර්මානුකූලව සෑම දෙයක්ම නියත වශයෙන්ම සිදුවීම සත්‍යයක් බවට අමුතුවෙන් කිව යුතු නැත. ඇතැමෙක් උපන්දා සිට සැප සම්පත් විඳින අතර සමහරුන් මුළු ජීවිත කාලය තුළම අනන්ත දුකට පත්ව ඇත. ගැමි ගෙදරක හැදී වැඩී උස් මහත් වුණු ‘බිංදුවා’ ගමේ පාසලේ පස් වැනි පන්තිය දක්වා පමණක් ඉගෙනීම ලැබූ බැවින් හරිහමන් රැකියාවක් කිරීමේ හැකියාවක් ද නොතිබුණි. ‘නයා මැරුණ අහිකුණ්ටිකයා සේ කල්පනා කරමින් අලසව නොසිට මොන යම් හෝ වැඩක් කරන්න බලපන්. අපි හැමදාම ඉන්න එකක් යැයි. අපි මළාම උඹට හිඟාකන්න වේවි. නැත්නම් පාර දිගේ යන්න වේවි.’ තම දෙගුරුන් බිංදුවාට පැවසූ වාර ගණන අනන්තය. ‘කලබල නොවී ඉන්නකෝ. මම මෙදා සැරේ සල්ලි ගරන රස්සාවක් තමයි කරන්න ඉන්නේ’ යනුවෙන් පවසා ප්‍රශ්නය මඟහැරියත් ඔහු අවසානයේ දෙමාපියන්ගේ බලවත් විරෝධය මැද්දේ මස් පිණිස උෟරන් ඇති කිරීමට තීරණය කළේය.   


තම ගෙවත්තේම මඩුවක් තනා ඌරු කොටුවකින් පැටවුන් හත් අට දෙනෙක් මිලදී ගෙනවිත් නගරයේ ආපනශාලාවලින් ඉවත දමන ඉඳුල් බත් හා පරණ වූ කෑම වර්ග දිනපතා ගෙනත් දී කවාපොවා දැඩි කළේ කල් නොයවා ඌරු මස් වෙළෙඳාම කිරීමේ බලාපොරොත්තුවෙනි. පව්කම්වල යෙදීමෙන් ඉක්මනින් මිල මුදල් සපයා ගැනීම පහසු කාර්යයක් බැවින් මාස දෙක තුනක් යනවිට ඌරන් උස් මහත් වී වැඩුණු අතර ඌරු ගහනය ද දිනෙන් දින අධික විය. වරකට ඊරියක් පැටවුන් දහදොළොස් දෙනා බිහි කිරීම නිසා ඌරු කොටුවේ ඉඩකඩ ද මදි විය. මේ අතර බිංදුවා දවසට එකා බැවින් ඌරන් මරා නගරයේ ​හෝටල්වලට ඌරු මස් වෙළෙඳාම කරගෙන ගියේය. ටික දිනක් පාපැදියෙන් ඌරු මස් ගෙන ගිය බිංදුවා නගරයේ වෙළෙඳහලකින් යතුරුපැදියක් ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට පවා සමත් විය.   


ඌරු කොටුවේ අත්උදව්වට ගෝලයෙක් ද එක් කර ගත් මේ මස් වැද්දාගේ අතමිට මුදල්හදල් පවා සරු වුණේ ඌරු මස් මිල ද දිනපතා වැඩි වූ බැවිනි. දින කීපයක් දවස පුරා ධාරාණිපාත මහා වැසි පැවති එක් උදෑසනක තම යතුරුපැදියෙන් ඌරු මස් රැගෙන සිය ගෝලයා ද කැටුව නගරය කරා යනවිට දඩාවතේ යන බල්ලෙක් පාර හරහා පැනීම නිසා යතුරුපැදිය හසුරුවා ගත නොහැකිව බල්ලාගේ ඇඟේ හැපී මහමඟ අයිනේ වූ දැවැන්ත මරා ගසක වැඳුණි. යතුරුපැදිය සුන්බුන් ගොඩක් බවට පත් වූ අතර බිංදුවා හා සඟයා ද බරපතළ තුවාල ලබා මියපරලොව ගියේ සුළු මොහොතක් තුළදීය. මස් වැද්දන්ට පව පල දුන්නේ එසේය.   

 



අලව්ව, රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවකි.   

නැන්දා මැරීමට වස දුන් ලේළියට අත් වූ ඉරණම 


තිරිසන් සතුන් කෙසේ වෙතත් මනසින් උසස් යැයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් හැඳින්වෙන මනුෂ්‍යයෝ වෛරය පාදක කරගෙන පළිගන්නා සිත් ඇතිව මිය පරලොව ගොසින් භවයන්හි උපදිති. එසේ පළිගැනීමේ ද්වේෂ සහගතව මිය පරලොව යන පුද්ගලයින් උපදින්නේ දෙමව්පියන්ට දරුවන් වී දරුවන්ට දෙමව්පියන් වී සහෝදරයින්ට සහෝදරයින් වී, නැදෑයින්ට නැදෑයින් වී, අසල්වාසීන්ට අසල්වාසීන් වී ආදි වශයෙනි. බැළලියෝ පැටවුන් බිහි කර ඇස් ඇරීමටත් පෙර තුරුලු කරගෙනම කා දමති. බළලා මීයා නයා මුගටියා නයා පොළඟා වෛරක්කාරයින් ලෙස සැලකේ. සතෙකු තවත් සතෙකු බිල්ලට ගන්නේ මෙවැනි පාපකර්මවල ප්‍රතිඵලය ලෙසය.   


මේ කියන්නට යන්නේ නැන්දෙක් හා ලේළියක් අතර පැවති ද්වේෂ සහගත සිදුවීමකි. දැනට දශක කීපයකට පෙර හේන් ගොවිතැන් කරමින් කටුක පරිසරයක ජීවත් වූ මව්පිය දෙපළකට දාව එකම පුතෙක් සිටියේය. ඔහු තරුණවියට පත්වෙනු දුටු දෙමහල්ලෝ විවාහයක් කරදීමට තීරණය කර සුදුසු දියණියක් සොයා දෙන ලෙස තමන්ගේ නෑදෑයෙකුට භාර දුන්නේය. ටික දිනකින් අසල්වැසි ගමකින් දියණියක් සොයාගෙන ඥාතීන් හා අසල්වාසීන් ටික දෙනෙකු සමගින් පුතාගේ විවාහ මංගල්‍යය සිදුකරන ලදී. මනාලයාගේ මව එකල පැවති විදියට එතරම් උගත් තැනැත්තියක් නොවුණත් ගෙදර දොරේ කටයුතු සාර්ථක කරගත් අතර නෑදෑයින් හා අසල්වාසීන් සමඟ සුහදව කල් ගෙව්වාය.   
විවාහයෙන් පසු හේනේ වැඩ පළ කර නිවසට පැමිණෙන පුතාගේ කෑම්බීම් ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වීමත් වැඩපළ ගැන සොයා නොබැලීමත් ඊටත් වඩා අධික ගමන්බිමන් නිසාත් ලේළිය කෙරෙහි නැන්දා කළකිරීමට පත්ව ජීවත් වීම ගැන පැහැදිලි කර දුන්නාය. දිනක් අවවාද දීමට ගිය නැන්දාට ලේළිය බැණ වැදුණාය. නැන්දා කෙරෙහි වෛරය සිත තුළ රඳවා ගෙන උරණ වී බඩු මුට්ටු පොඩි කළාය.   


දරුණු සිත් ඇති ලේළිය නැන්දාට කුමක් හෝ කළ යුතු යැයි අධිෂ්ඨාන කර ගත්තාය. ඒ සඳහා සුදුසු දිනයක් එළඹෙන තෙක් සෝදිසියෙන් සිටියාය. පියා ගමනක් ගියේය. දහවල් කෑමට නොඑයි. පුතා ද ගියේ රෑ බෝවී එන ගමනකි. එදා නිවසේ නැන්දයි, ලේලියි පමණි. නැන්දා සමඟ ලේළි කතා නැත. එදින ලේළිය දෙදෙනාටම දහවල් කෑම පිළියෙල කළාය. එදින නැන්දා අසල්වැසි නිවසකට ගොස් සිටි ​මොහොතේ තමා කාබී ඉතිරි බත් හැලියට වස මිශ්‍ර කර ලේළිය ඇයගේ ගමට ගියාය.   


ලේළියගේ සැමියා තමා ගිය ගමන කල්වේලා ඇතිව නිමා කර වෙහෙසට පත්ව නිවසට පැමිණ කිසිවෙකු පෙනෙන්නට නොවූ හෙයින් කුස්සියට ගොස් බත් බෙදාගෙන කෑවේය. කලක සිට උදරාබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටි ඔහු රාත්‍රියේ එම රෝගය උත්සන්න වී යැයි සිතා රෝහල් ගත විය. ඉවසිය නොහැකි බඩේ දැවිල්ල හා ලේ වමනය සමඟ පාචනය සෑදී දින දෙක තුනකින් මරණයට පත් විය.   


තම පුතාට වසදී මැරුවේ යැයි නැන්දා විසින් ලේළිය පන්නා දමන ලදී. ගම්මුන් පැවසුවේ ද සැමියාට වස දී මැරූ බවයි. නැන්දා අරමුණු කර දුන් වස නොසිතූ ලෙස සැමියාට කැවුණි. සැමියාගේ මරණින් පසු ඇගේ මහගෙදරට ගිය ලේළිය භාර ගැනීමට තතු දත් සොයුරෝ කැමැති නොවූහ. ඔවුන්ගේ ඇණුම්බැණුම් මැද ටික දිනක් ගත කළ ඇය වසපානය කර සිය දිවි නසා ගත්තාය. 

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්