නායක හාමුදුරුවන්ගෙන් කප්පම් ඉල්ලූ කල්ලිය


දඹුල්ල හා අවට ප්‍රදේශවල පදිංචි රාජ්‍ය නිලධාරීන්ට ප්‍රබල ව්‍යාපාරිකයන්ට පොලිසියේ උසස් නිලධාරින්ට නීතිඥවරුන්ට මෙන්ම විවිධ තරාතිරම්වල පුද්ගලයින්ට ජංගම දුරකථනවලට ඇමතුම් ලබාදී තම හිතවත්ම පුද්ගලයකු බව කටහඬ වෙනස්කොට කතා කරමින් ඉතා හදිසියේ කරදරයක් වූ බව පවසා සී කෑෂ් ක්‍රමයට මුදල් ගරාගන්නා කල්ලියක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් පැවතිණි.   


 ඒ පිළිබඳව පොලිසිය මෙන්ම ප්‍රදේශවාසීන්ද නිරන්තරයෙන් අවධානයෙන් පසු වූයේ බොහෝ දෙනෙකු රුපියල් ලක්ෂ ගණන්වලින් හිතවත්කම් මත ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාදී පසුව ඔවුනොවුන් එකට මුණගැසීමේ අවස්ථාවන්හිදී එය ඔවුන් විසින් සිදුකළ ගනුදෙනුවක් නොවන බවට කරුණු වැටහීමත් සමගිනි.   


එවැනි වකවානුවක් පවතිද්දී කිසිදු අයකු සිහිනෙකින්වත් නොසිතන ආකාරයට රංගිරි දඹුලු‍ රජමහා විහාරයේ භාරකාර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර රන්ගිරි දඹුලු‍ රජ මහා විහාරස්ථ මැද පන්සලේ විහාරාධිපති සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ රාහුල ස්වාමීන් වහන්සේ වෙත එවැනි දුරකතන ඇමතුමකින් කියැවුණේ ලෝකයේ ප්‍රබලතම ත්‍රස්තවාදී කණ්ඩායමක් වන තවුහිත් ජමාත් සංවිධානයේ නියෝජිතයන් යැයි පවසමින් රුපියල් කෝටි 10ක කප්පම් මුදලක් ලබාගැනීමේ සිද්ධියයි.   


මෙම සිද්ධියේ සියලු සුලමුල හෙළිකර ගැනීමට දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමකට පසුගිය සතියේ හැකිවිණි.   
මෙම කප්පම් ලබාගැනීමේ ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් දඹුල්ල ප්‍රදේශයේම පදිංචි වෙහෙර විහාරස්ථානවල වැඩ හිටින භික්ෂූන් වහන්සේලා සමඟ ඉතා සමීප සබඳකම් පවත්වන තිදෙනකු වීම ද හෙළිදරව් වූ කරුණු අතර විශේෂත්වයක් විය.   


මෙම කප්පම් ජාවාරමේ මහා මොළකරු ලෙස හැඳින්වෙන පුද්ගලයා විහාරාධිපති හිමියන් සමග සමීප සබඳකම් පැවැත්වූ එම විහාරස්ථානයේ ම දායක සභාවේ පවුලක අයකු බව හෙළිවිය. එමෙන්ම විශේෂත්වය බවට පත්වූයේ මෙම කප්පම්කරු නාහිමියන්ගේ පිරිවෙනේම අධ්‍යාපනය ලැබූ සිසුවෙකු බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවීමයි. තවද මෙම පුද්ගලයා නිරන්තරයෙන් මේ දිනවල රන්ගිරි දඹුලු‍ විහාර මැද පන්සලට පැමිණ නාහිමියන් සමග සුවදුක් විමසමින් කතාබහ කරමින් සිට තිබීම විශේෂත්වයකි.   


ඔහු පසුගියදා නා හිමියන් හමුවී කියා ඇත්තේ මීගමුව ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවල වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට මුස්ලිම් ජාතිකයන් ජංගම දුරකථනය හරහා ඇමතුම් ලබාදී තර්ජනය කිරීම් මාලාවක් ගැන වාර්තා වී තිබෙන බවය. නා හිමියන්ට ඉතා පරිස්සමෙන් සිටින බවටද ඔහු අවවාද කර තිබේ යැයිද මැද පන්සලේ විහාරාධිකාරී හිමිනමක් අප සමග පැවසූහ.   


ඓතිහාසික රංගිරි දඹුලු‍ රජමහ විහාරස්ථ හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර නාහිමියන්​ෙගන් කප්පම් ගැනීමේ සිද්ධියේ සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසිය මේ ආකාරයෙන් සුක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහ.   


ඒ අනුව ලැබුණු තොරතුරක් මත දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඔහුගේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ ද සහාය ඇතිව ඉතා සූක්ෂම ලෙස දින ගණනාවක් තිස්සේ මෙම පුද්ගලයන් අනාවරණය කර ගැනීම සඳහා දැඩි වෙහෙසක නිරතවිය.   


නාහිමියන්ගේ ජංගම දුරකථනයට ලැබෙන සියලු‍ ඇමතුම් පටිගත කර ගනිමින් මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ද ඒවාට සවන් දෙමින් ඉතා සූක්ෂම ලෙස ඔවුන් කොටු කර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළේය.   


තවුහිත් ජමාත් සංවිධානයේ බව පවසමින් නිතර නිතර රාහුල හිමියන් වෙත සිංහල භාෂාව නිසි ලෙස කතා කර ගැනීමට නොහැකි මුස්ලිම් ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින් මෙම පුද්ගලයන් ඇමතුම් ලබාදී තිබීම විශේෂත්වයකි. භීතියට පත් වූ උන්වහන්සේ ආරක්ෂක ක්‍රමවේදයන් රැසක් අනුගමනය කරමින් මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුකර දීමට අවශ්‍ය පියවර ගනු ලැබුවේ තම පන්සලේ විහාරස්ථානයේ වැඩ සිටින දායක සභාවට හෝ ශිෂ්‍ය හිමිනමකටවත් නොදන්වා වීම විශේෂත්වයකි.   


මේ දුරකථන සංවාදයෙන් කප්පම්කරු නිතර නිතර කියා ඇත්තේ කෝටි 10ක මුදල කෝටි 5කට අඩු කළ හැකි බවත් එසේ නොදෙන්නේනම් දරුණු විපාක අත්විඳීමට සිදුවන බවය .   
තමන් අත්විඳි ඒ අමිහිරි අත්දැකීම පිළිබඳ තොරතුරු හෙළිකළ රංගිරි දඹුලු‍ රජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර දඹුල්ල ශ්‍රී වළගම්බා පිරිවනේ මැද පන්සලේ විහාරාධිපති සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ රාහුල හිමියෝ මෙසේ කීහ.   


 ‘‘මට පසුගිය දින කිහිපයේම එක දිගටම මේ ඇමතුම් ලැබුණා. මේක මට දැඩි පීඩනයක් බවට පත්වෙලා තිබුණේ දිවා කාලයේත් රෑ කාලයේත් ඇමතුමෙන් කියා සිටියේ රුපියල් කෝටි 10ක මුදලක් ලබාදෙන ලෙසත් එහෙම නැති වුණොත් ඝාතනය කරන බව තමයි කිව්වේ.”‍   


 ‘‘මට මේක පොඩි හාමුදුරුවරුන්ට කියන්න විදියකුත් තිබු​ෙණ නෑ. ඒ අයගේ ජීවිත වටින නිසා. එහෙම සල්ලියක් දෙන්න මගේ ළඟ නැහැ ඒත් දුරකථනය හරහා කතා කරන පුද්ගලයා මගේ පෞද්ගලික සියලු‍ තොරතුරු දන්න කෙනෙක් විදියට කතා කළේ. එයා කිව්වේ ආරක්ෂක අංශයක් වෙනම පන්සලේ යොදවා තිබෙන බව. ඒත් මට කිසිම කෙනෙක් ගැන සැකයක් හිතුණේ නෑ.”‍   


 ‘‘බැරිම තැන මම දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහත්තයට මේ බව දැනුම් දුන්නා දඹුල්ල පොලිසියේ මහත්තයා වහාම ඇවිල්ලා නායක හාමුදුරුවනේ මේ කිසිදේකට බය වෙන්න එපා. අපි මේක කොහොමහරි විසඳමු කියලා මාව ශක්තිමත් කළා ඒ අනුව පොලිසිය කෙරේ විශ්වාසය තැබුව මම පොලිසියට සහාය වුණා. දින ගණනාවක්ම පොලිසිය මගෙත් එක්ක මගේ ආරක්ෂාවට හිටිය,”‍   


 ‘‘දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා ඇතුළු පොලිස් නිලධාරීන් සියලු‍ දෙනාටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මොකද මේ මිනිස්සු හෙළිදරව් කරගන්න පුළුවන් වෙච්ච එක ගැන. මාව ඉස්සරහට මේ සැකකරුවන් අරන් එනකොට මට පුදුම හිතුණා. අපේ දායක සභාවේ සාමාජිකයෙකුගේ පුතෙක්, ඒ වගේම පන්සල්වල හිතවත්කම් තියෙන අනිත් තරුණයන් දෙදෙනත් දැක්කහම මොකක්ද කරන්නේ කියලාවත් මට හිතාගන්න බැරි වුණා.”‍   


මෙම සැකකරුවන් තිදෙනා කොටුකර ගැනීම සඳහා දඹුල්ල පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබුවේ මේ අතරවාරයේදීය.   


රාහුල නාහිමියන් ලබාගත් දුරකථන හඬපටවලට ඉතා පරිස්සමින් සවන්දී එය ජාවාරමක් බව හඳුනාගත් මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා උප පොලිස් පරීක්ෂකවරුන් වන ඒ.ටී. බණ්ඩාර මහතා සහ කේ.එම්. ගයාන් බුද්ධික මහතා ඉතා සූක්ෂම ලෙස මෙම පුද්ගලයන් කොටුකර ගැනීමේ විද්‍යාත්මක දැලක් එළනු ලැබීය.   
මුලින්ම දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ලබාගත් පොලිසිය ඇමතුම් ලබා ගන්නා ඡංගම දුරකථනයේ අයිතිකරු පිළිබඳව ගවේෂණයක නිරත වෙද්දී මෙම සිම් කාඞ් පත අයිතිව ඇති පාදුක්ක ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙක්ගේ නමට වීම විශේෂත්වයකි. ඒ අවස්ථාව වන විටත් පොලිසිය ද විමර්ශන දැඩි කරන්නට විය.   


පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයා සොයා ගිය පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු සාමාන්‍ය පුද්ගලයකු බවත් ඔහු ගැන දැඩි ලෙස අභ්‍යන්තරයෙන් සොයා බැලීම් ද සිදුකර තිබේ. ඒ අතරතුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායම ඉතා සූක්ෂම ලෙස ජංගම දුරකථන සමාගමකින් මෙම සිම් කාඩ්පත් අලෙවි වූ ප්‍රදේශය අනාවරණය කරගෙන තිබේ. 

 
එම අනාවරණයෙන් පසුව හෙළි වී ඇත්තේ සිම් කාඩ්පත් වවුනියාව ප්‍රදේශයේ අලෙවි නියෝජිතයෙකු හට ලබා දුන් ඒවා බවය. උපක්‍රමශීලීව විද්‍යාත්මකව පරීක්ෂණ පවත්වාගෙන යද්දී වවුනියාව ප්‍රදේශයෙන් සිම් කාඞ් පත් අලෙවි වූ උප නියෝජිතවරයන් පිළිබඳවද තොරතුරු රැසක් ගලා එන්නට වී තිබේ.   


ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ අලෙවි නියෝජිතයෙකු මෙම සිම් කාඩ් පත අලෙවිකොට ඇති බවත් තොරතුරු අනාවරණය වී තිබේ. එම තොරතුරත් සමඟ තවදුරටත් පරීක්ෂණ කිරීමේ දී හෙළි වී ඇත්තේ මුස්ලිම් ජාතිකයෙකුගේ හැඳුනුම්පතක පිටපතක් වෙනත් ජංගම දුරකතන සමාගමක සේවය කරන අයෙකු හරහා මෙම පුද්ගලයන්ට ලැබී තිබෙන බවය.   
පසුව මෙම ජංගම දුරකථනය හරහා හඬ පට ලැබෙන ස්ථාන මෙන්ම අපරාධකරුවන්ගේ පුංචි අතපසුවීමක සිද්ධියක පෙරනිමිත්තක් පොලිසියට හසුවී තිබිණි. ඒ අනුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා එම අතපසුවීම තම වාසියට හරවා ගෙන සිම් කාඞ් පත මිලදී ගත්ත පුද්ගලයාගේ පෞද්ගලික දුරකථන අංකය අනාවරණය කරගෙන තිබේ.   


එම දුරකතනයේ විශ්ලේෂණ වාර්තා අනුව උපක්‍රමශීලීව ඔහු හඳුනා ගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇත.   


ඒ අනුව මෙහි ප්‍රධාන සැකකරු දඹුල්ල උසාවි හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ දඹුල්ල උසාවිය හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු වන එන්.කේ. මිහිඳු ගුණරත්න වයස අවුරුදු 33ක තරුණයෙකි. මෑත කාලයේ සිට ශීග්‍රයෙන් මෙම තරුණයා ආර්ථික අතින් ශක්තිමත් වී ඇතිබව පොලිසිය කියයි .   


එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් දෙදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ඉන් එක් සැකකරුවෙකු දඹුල්ල නගරය ආසන්නයේදී අත්අඩංගුවට පත් විය. ඔහු නමින් ඩී.එම්.ඩබ්ලිව්. අතුල ජයසාන්ත දිසානායක (25) බව පොලිසිය කියයි. දඹුල්ල නගරයේ වෙළඳ සැලක් පවත්වාගෙන යන ඔහු කාලයක් තිස්සේ ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවල වැඩ සිටින භික්ෂූන් වහන්සේලා සමඟ සමීප ඇසුරුකම් ඇසුරක් ලබන පුද්ගලයකු බව අනාවරණය වේ.   


ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව තවත් පුද්ගලයෙකු දඹුල්ල රත්මල්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණ. ඔහු නමින් ජී.පී.ජී. චාමර සුසන්ත කරුණාරත්න යන දහනව හැවිරිදි තරුණයෙකි.   


මෙම පුද්ගලයන් තුන්දෙනා ඉතා සූක්ෂම ලෙස සාකච්ඡාකොට ඓතිහාසික රංගිරි දඹුලු‍ රජමහා විහාරයේ භාරකාර නාහිමියන්ගෙන් මුදල් කප්පං ගැනීමට සැලසුම සකස් කර තිබිණි.   

 

 


පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන වෙන වෙනම ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ මේ මුදල නාහිමියන් ලබා නොදුන්නේ නම් නා හිමියන් ගමන් කරන ජීප් රථයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට බිය වද්දවා මුදල් ලබාගැනීමේ අරමුණකි. ඒ ස%හා පෙට්‍රල් බෝම්බ දෙකක් පුපුරවා හැර අත්හදා බැලීමද සිදුකොට තිබේ. තවත් පෙට්‍රල් බෝම්බයක් ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබිණි . 

 
දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා මෙසේ අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. පසුව ඔවුන් ලබන දහනව වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළ අතර එදිනට මෙම පුද්ගලයන් තිදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත්කොට ජංගම දුරකථන සිම්කාඞ් පත් ලබා ගැනීමට උදව් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සිටින බවද පොලිසිය සඳහන් කළේය.   


මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහනුවර හා මාතලේ භාර නියෝජ්‍ය පොලිස්පති පී.ආර්.එල්. රණවිර, මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඩී.එස්.පී. සන්දනායක දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න උප පොලිස් පරීක්ෂකවරුන් වන ඒ.ටී. බණ්ඩාර කේ.එම්. ගයාන් බුද්ධික යන මහත්වරුන්ද දඹුල්ල පොලීසියේ අපරාධ අංශයේ පොලිස් සැරයන්වරුන් වන 54619 නිමල්, 52543 ගැමුණු, 54887 හේරත්, 40263 ජයවර්ධන, 71239 පහළගෙදර, 75240 දිනේෂ්, 77199 චතුරංග යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.   

 

 

දඹුල්ල කාංචන කුමාර ආරියදාස