නව අවුරුදු මඟ අනතුරු


 

කුඩා දරුවන් අවුරුදු නිවාඩුව එන තුරු බලා සිටින්නේ දින කීපයක් හෝ සතුටින් විනෝදයෙන් කාලය ගෙවා දැමීමටයි. ඔංචිලි පැදීම, රතිඤ්ඤා පත්තු කිරීම අලුත් ඇඳුම් ඇඳ ඥාති ගෙවල්වලට යාම ඔවුනගේ අපේක්ෂා අතර වෙයි.  


දරුවන්ට සේම වැඩිහිටියන්ට ද අවුරුදු නිවාඩුව ප්‍රීතිජනක කාලයකි. ඔවුහු ගම්බිම් බලා යාමට නෑදෑ හිත මිතුරන් සමඟ ප්‍රිය සම්භාෂණ පැවැත්වීමට, පවුලේ සාමාජිකයන් සමඟ විනෝදයෙන් සතුටින් කාලය ගත කිරීමට අවුරුදු නිවාඩු දින කීපය වෙන්කර ගනිති.  


මේ ආකාරයට සියලු දෙනාම අවුරුදු නිවාඩුව අර්ථවත්කර ගැනීමට සිහින මැවුවද තවත් පිරිසක් එම කාලය ඛේදාන්තයක් කර ගනිති. ඒ නොසැලකිල්ල හා අපරීක්ෂාකාරීබව හේතුවෙනි.  


කුඩා දරුවන් රතිඤ්ඤා පත්තු කිරීමේදී සිය සිරුර පුලුස්සා ගන්නා අවස්ථාසේම වැඩිහිටියන් රිය අනතුරුවලට ලක්වන අවස්ථාද මේ කාලයේදී එමටය. මීට අමතරව බීමත්කම හා පෞද්ගලික එදිරිවාදීකම් නිසා ගහ මරා ගන්නා අවස්ථා ද බොහෝයි.  


අවුරුදු උදාවත් සමඟ සිය ඥාති හිතමිත්‍රාදීන්ගේ දෑස් කඳුළින් තෙත් කළ එබඳු ඛේදාන්ත රැසක් මෙවරත් සිදුවිණ.  


පසුගියදා හබරණ මඩකළපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේදී කැබ්රථයක් හා ලොරියක් ගැටීම නිසා කාන්තාවක් හා පිරිමියෙක් ජීවිතක්ෂයට පත්වී නව දෙනෙක් තුවාල ලැබූහ.  


ගාලු පාරේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේදී සෝපානයට හා බිත්තියට ගෙල හා හිස ප්‍රදේශය සිරවීම නිසා එහි සේවකයකු මියගියේ අලුත් අවුරුද්ද උදාවූ දිනයේදීමය. 

 
පිටකොටුවේ සිට හෝමාගම දක්වා කුලී ගමනක් යන මුවාවෙන් පැමිණි තිදෙනකු ​මෝටර් රථ රියැදුරු මරාදමා මෝටර්රථය පැහැරගෙන යන ලද්දේ අවුරුදු උණුසුමත් සමගමය.  


එසේම ඇල්ල වැල්ලවාය. ප්‍රධාන මාර්ගයේ ඇල්ල දේවාලය අසලදී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන පහළ මාර්ගයට පෙරළී ගොස් ඇති අතර එහි ගමන් කළ පියා සහ පුතු මරණයට පත්වූහ. මියගිය පුද්ගලයාගේ බිරිඳ ද බරපතළ තුවාල ලැබුවාය.  


බදුල්ල මහියංගණ මාර්ගයේදී පාසල් සිසුන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුවූයේ පාරේ ගමන් කළ මෝටර්රථයක් පාරේ ඉවතට ගමන් කර ගැටීමේ හේතුවෙනි. මේ අනතුරුවලින් කිහිපයක් පමණි.  

 

 

සිතාමතා හෝ අහම්බෙන් සිදුකළ සහ සිදුවූ රිය අනතුරු හා ගැටුම් නිසා අනතුරට ලක්වූවන් සේම අසරණ වූ ඔවුන්ගේ ඥාතීහුද පීඩාවට පත්වෙති. අනතුරට හේතු වූ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වන අතර ඔවුන් හා ඔවුනගේ ඥාතීහුද පීඩාවට පත්වෙති. දෙයක් වීමට පෙර සිතා බැලිය යුත්තේ එහෙයිනි.  


නව අවුරුදු උදාවත් සමග රිය අනතුරු හතළිස් පහකට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති අතර ඉන් 50 දෙනෙකු මියගිය බව පොලිස් රථවාහන අංශයට වාර්තා වී ඇත.  


වැඩිම රිය අනතුරු සංඛ්‍යාව සිදුව ඇත්තේ 14 වැනිදා අලුයම සිට 15 වැනිදා අලුයම දක්වා වූ කාලය තුළය. 12 වැනිදා සිට 13 වැනිදා දක්වා සිදුවූ රිය අනතුරුවලින් 13 දෙනෙකුද 13 දා සිට 14 දක්වා කාලය තුළ සිදුවූ අනතුරුවලින් 12 දෙනෙකුද 14 දා සිට 15 දා දක්වා ඇතිවූ රිය අනතුරුවලින් 11 දෙනෙකුද මියගිය බව රථවාහන මූලස්ථානයට වාර්තා වී ඇත.  


මෙම රිය අනතුරුවලින් වැඩිම අනතුරු ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයෙනි. යතුරු පැදිකරුවන් පා පැදිකරුවන් හා පදිකයින් අනතුරට ලක්වූවන් අතර බහුතරයකි.  


රිය අනතුරු සේම පහරදීමේ හා අනාරක්ෂිතව රතිඤ්ඤා දැල්වීම් නිසා සිදුවූ අනතුරුද බොහෝය. අවුරුදු සමයේදී කරාපිටිය ශික්ෂණ රෝහලට රෝගීන් 129 දෙනෙකු ඇතුළත් කර ඇති බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා අපට පැවසීය.  


එමෙන්ම කොළඹ ජාතික රෝහලට වාර්තා වී ඇති රිය අනතුරු පිළිබඳව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා හෙළිකළ තොරතුරු මෙසේය.  


අවුරුදු දින තුන තුළ අනතුරු 638ක් වාර්තා වුණා. පසුගිය වසරට සාපේක්ෂාව එය 4% අඩුවීමකි. නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් ප්‍රමාණය 287 කි. එය 10% ක වැඩිවීමකි. මහා මාර්ග අනතුරු 193 කි. එය 4% ක වැඩි වීමකි. නිවෙස් තුළ වූ අනතුරු 63 කි. වැටීම් අනතුරු 206 කි. හිංසන ක්‍රියා 86 කි. ගිනිකෙළි අනතුරු 1කි.  


මේ පිළිබඳව ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානී ද සොයිසා මහත්මිය පැවසුවේ මෙවැන්නකි.  


මේ අනතුරුවලින් 85% ක්ම පුද්ගල හේතුමත පදනම්වූ අනතුරුයි අධික වෙහෙස, නිදිමත, ආවේගකාරීබව, මත්වතුර පානය, වාහන ඉස්සර කිරීමට තැත්කිරීම, ආසන පටි නොපැලඳීම, මාර්ගයේ අනාරක්ෂිත හා අබල දුබලතා අයහපත් කාල ගුණය, පාර නොදන්නාකම, අධික වේගය, පදිකයන්ගේ වැරදි මේ අනතුරුවලට බලපා තිබෙනවා.  


රියැදුරාගේ නොසැලකිලිමත් භාවය නිසා තමන් වගේම පවුලේ අයත් පීඩාවට අනතුරට ලක්වෙනවා.  


බක්මහේ අවුරුදු උණුසුම තවම පවතිනවා. ඒ ව​ෙග්ම පරිසරයත් උණුසුම් මේ කාලය අකුණු සහිත වැසිකාලයක්. එබැවින් ඉදිරියේදී විය හැකි අනතුරු අවම කර ගැනීම පිළිබඳවත් කල්පනා කරන්න ඕන. විශේෂයෙන්ම ක්‍රීඩා උත්සව සංවිධානය කරද්දී තැනිතලා භූමිවල ඉන්නකොට බොහොම අවධානයෙන් හා බුද්ධියෙන් කටයුතු කළ යුතුයි.  


ඒ වගේම අවදානම් සහිත ක්‍රීඩා කරද්දී හදිසි අනතුරු සිදුවෙන්න පුළුවන්. ක්‍රීඩකයන්ගේ ශාරීරික හා මානෂික සෞඛ්‍ය පිළිබඳ පෙර දැක්මකින් හා වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා.  


මීට අමතරව වන්දනාකරුවන් හා විනෝද ගමන් බිමන් යන අය ඇළ දොළ ගංගාවල නෑමට යාමේදී ප්‍රවේශම් විය යුතුයි. අවදානම් සහිත නොදන්නා ඉසව්වලට නොයාම ආරක්ෂා සහිතයි. දැන්වීම් පුවරු බලා හා ප්‍රදේශවාසීන්ගෙන් අසා දැනුම්වත් විය යුතුයි. ඒ වගේම මත්පැන් පානය කර ජලාශවල නෑමට යාමත් ඉතා අවදානම්.   


ඔබ නොසිතන මො​ෙහාතක අනතුරු සිදුවෙන්න පුළුවන්. ඔබේ බුද්ධිමත් තීරණවලින් එම අනතුරු වළක්වා ගන්න පහසුවේවි.  

 

 

 

 

සටහන 
කුමාරි හේරත්