නත්තලේ අරුත


නත්තල මේ වචනය මුළු ලොවටම සාමය හා සතුට දනවන්නක් බව පසක් කරයි.  


නත්තල යනු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපන් මංගල්‍යයයි. දෙසැම්බර් මාසය ලෝකයේ සෑම රටකටම පාහේ සීතල සෞම්‍ය වූ කාලගුණයක් සහිත මාසයකි. ලෝකයේ බොහෝ රටවල කඳු මුදුන් සුදෝ සුදු හිමෙන් වැසීයයි. යුරෝපයේ නගර හා ගම්බිම් වසා හිම පතිත වේ.  


මෙම මාසයේ දෙසැම්බර් 25 ලොවම සොම්නසින් සමරන දිනයයි. පුරාණයේ සිට ලෝකාවසානය තෙක් කාල පරිච්ඡේදය යුග දෙකට බෙදා වෙන් කළේ ​ජේසු බිළිඳුන්ගේ උප්පත්තියයි. ඒ ක්‍රිස්තුන් වහන්සේගේ උපතට පෙර යුගය ක්‍රිස්තු පූර්ව හා කිතු උපතට පසු යුගය ක්‍රිස්තු වර්ෂ යනුවෙනි. ක්‍රිස්තු තුමන් උපන්නේ මීට අවුරුදු 2017ට පෙරය.  


ලෝකයේ සියලු රටවලට නත්තල මහා මංගල්‍යයකි. නගර හා මංමාවත් වෙළඳසැල් ජනයාගෙන් පිරීයයි. එමෙන්ම විචිත්‍ර සැරසිලි හා විදුලි බුබුළුවලින් මංමාවත් අලංකාර වෙයි. නත්තල් ගස් හා ජේසු උපත විදහාපාන ගව මැදුරු තැන් තැන්වල හා නිවෙස්වල ඉදිකරනු ලබයි.  


ලෝවැසි ජනතාවගේ සිත්සතන් ප්‍රීතියෙන් පුරවන මේ විස්මිත උපත ගැන මඳක් විමසමු. මේ උපන්නේ දෙවියන්ය. පාපී වූ අප වෙනුවෙන් දේව පුත්‍රයාණෝ මිනිසත් බව ගත්සේක. ලෝකය පුරා විවිධ වකවානුවල මහා යුගපුරුෂයෝ දාර්ශනිකයෝ අධිරාජ්‍යයෝ ශාස්තෘහු හා විප්ලවවාදීහු බිහිවූහ. ඔවුන් අතර ලොවට මහත් වැඩදායක හා අවැඩදායක වූවෝ වූහ. ඔවුහු කාලයත් සමග ජනතාවගෙන් දුරස් වූහ. අපිද ඔවුන්ගේ ජීවිත වෘත්තාන්ත අසා ඇත්තේහි එමෙන්ම පාසල් සමයේ සිට පොත පතින්ද ​ඉගෙනගෙන ඇත්තෙමු. නමුත් ඔවුන්ගේ උපන්දිනයන් අපට මතක නැත.  
එහෙත් මේ විස්මිත උපත ලෝකයා ලොව පවතින තාක් ප්‍රීතියෙන් සමරනු ලැබේ. එදා ඊශ්‍රායලයේ බෙත්ලෙහෙම් නුවර සිදු වූ උපත දෙවියන් වහන්සේ අප පාපයෙන් මුදා උන්වහන්සේ වෙත එකලස් කරනු පිණිස මිනිස් වෙස් ගෙන ලොවට පැමිණීම ලෙස ශුද්ධ වූ බයිබලයේ සඳහන් වේ.  


එහි දැක්වෙන පරිදි අතීතයේ සිට කිස්තු උප්පත්තියට පෙර පහළ වූ ශුද්ධාවන්ත දිවැස් වරුන් විසින් කාලයෙන් කාලයට ලොවට මෙම උප්පත්තිය ගැන මතක් කරනු ලැබ ඇත. උන්වහන්සේ ඉතා දිළිඳු ලෙස ලොව පහළ වන බවත් අති පාරිශුද්ධ වූ කන්‍යාවකගෙන් උපත ලබන බවත් උන්වහන්සේ සත්‍යයට හා නිවැරැද්දට සාක්ෂි දරන බවත් කටුක වූ මරණයක් ලබා නැවත තෙදිනකකින් උත්ථාන වන බවත් සඳහන් වේ.  


ශුද්ධ වූ බයිබලය පිරික්සීම තුළින් මෙය වටහා ගත හැකි වේ. ශුද්ධ බයිබලය යනු ක්‍රිස්තු ජීවිත කාලයෙන් පසු පැවත එන කටකතා ඇසුරෙන් පසු කාලීනව ලියවූවක් නොවේ. මෙය ඒ ඒ වකවානුවල ජීවත් වූ ලේඛනගත කරන්නන් විසින් තමන් දුටු අත්දුටු දෑ ඒ කාලය තුළදීම ලියනු ලැබ ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කාලයේදී සිදුවූ සියලු සිදුවීම් ඒ කාලය තුළදීම ලේඛන ගත කළ සතර දෙනෙක් වූහ. ඔවුන් ශුවිශේෂකවරුන් ලෙස හැඳින්වේ. ඔවුන් වෙන් වෙන්ව ග්‍රන්ථ සතරක් ලියා ඇත. ක්‍රිස්තු චරිතයේ සියලු සිදුවීම් කළ කී දේවල හා උන් වහන්සේගේ උපත, මරණය හා උත්ථානයත් උත්ථානයෙන් පසු උන්වහන්සේ ශ්‍රාවකයන් කිතු දහම ලොව පුරා යෑමට පිටත්කර යැවූ සැටිත් මනාව සඳහන් වේ.  


කිතු උපතට පෙර දහමද මෙම දේව ධර්මයම වුවත් මිනිසුන් දෙවියන්ගෙන් දුරස්ව අගතිය කරා යන නිසා ඔවුන් විසින් මුදා නැවත දෙවියන් වෙත ලංකරනු ලැබීම ජේසුතුමන්ගේ කාර්යය විය. එතුමාණෝ ඒ සඳහාම මුළු ජීවිතයම කැප කළහ.  


මේ නත්තල්දා මැදියම් රෑ උපන් ජේසු තුමන්ගේ මෙලොව ජීවිතය අවු. 33ක් පමණි. උන්වහන්සේ​ෙග් ජීවිතය බාලවිය, තුරුණුවිය හා ප්‍රසිද්ධ ජීවිතය ලෙස කොටස් 3කි.  


බාල කාලය ඉතාම කීකරු සෞම්‍ය ගති ඇති බුද්ධිමත් දරුවකු ලෙස මාපිය ඇසුරේ ගෙවුණි. වයස අවුරුදු 12දී එතුමා මාපියන්ගෙන් අස්ථාන ගතවිය. ඒ දින තුනකට පමණි. ඒ දිනතුන උන්වහන්සේ ජෙරුසලමේ මහා දේව මන්දිරයේ පූජකයන් හා වාද විවාදවල එක්වී සිටියදී දෙගුරුන් විසින් ​ෙසායා ගන්නා ලදී.  


නැවත මාපියන් හා එක්වූ එතුමාණෝ සිය තුරුණු වියේදී දේව කාර්යයේ නියැලුණාහ. මුළු ජෙරුසලෙම හා අවට නගරවල උන්වහන්සේ දෙපයින් බොහෝ සැරිසැරූ සේක. මිනිසුන්ට ධර්මය ඉගැන්වූ සේක.  


උපතින්ම අන්ධ වූ, බිහිරි වූ, ගොළු වූ අයව සුවපත් කළ අතර මළවුන් පවා නැවත උත්ථාන කළ සේක. ගණන් නැති තරම් ප්‍රාතිහාර්ය කළ උන්වහන්සේ මිනිසුන් අතර ප්‍රසිද්ධියටම පත් වූහ.  
වැරැදි දෙය වැරැදි ලෙසත්, නිවැරැදි ලෙය නිවැරැදි ලෙසත්, පෙන්වාදුන් අතර සමානාත්මතාව හා ඇති අය නැති අය ගැන සිතා කටයුතු කිරීම කළ යුතු බව ඉගැන්වූ සේක. ධනවතා හා දුප්පතා ගැන කථා කළ එතුමා දෙවියන්ගේ රාජ්‍ය දිළිඳුන්ගේ බවත් ධනවතා දේව රාජ්‍යට ඇතුළුවීම ඔටුවා ඉදිකටු සිදුරෙන් ඇතුළු වීමටත් වඩා අපහසු බව දේශනා කළහ. ලොව පහළ වූ මහා විප්ලවවාදීන්ට වඩා උන්වහන්සේ ශ්‍රේෂ්ඨ විප්ලව වාදියකු විය.  


මෙතුමා ඔවුන් අතරින් වෙනස් වන්නේ මේ නිසාය. එනම් ධනවතුන්ගෙන් උදුරාගෙන බෙදා ගැනීමට උන්වහන්සේ පීඩිතයන් උසිගැන්වූයේ නැත. තමනට ඇති දේ නැති අය සමග බෙදා ගැනීමටත් දයාවෙන් අනුකම්පාවෙන් හා වරදට සමාව දීමෙන් අනෙකා සමග දුක බෙදාගන්න. නැතහොත් ඔබගේ පරම්පරාව විනාශ වනු ඇත. එය එදාටත් අදටත් මතුවටත් සත්‍යයක්ම වේ.  


ඔබගේ ගමේ නගරයේ සූරා කෑමෙන්, මසුරුකමින් ධනවත්ව බලයෙන් උද්දාම වී සිටියවුන්ගේ දරුවන් ​ෙදස බලන්න. ඔවුන් අද ධනවත්ද? බලවත්ද?  


කියන්නට බොහෝ දේ ඇත ඉතින් මේ නත්තලේ නියම උරුමක්කාරයන් දිළිඳුන් අසාධාරණයට ලක්වූවන් නොවේද? මේ බව අපට මතක්කර පසක්කරදුන් මේ දේව පුත්‍රයාණන්ගේ උපත කොතරම් අසිරිමත්ද?  

 

 

 

 

ඔබට සැමට ශුභ නත්තලක් වේවා.

 

 

බී.ඊ. පැට්‍රිසියස් ප්‍රනාන්දු  
මීගමුව පිටිපන