ධර්මරාජයට බ්ම හදාදුන් පුංචිරාල කෝරළේ වෙනුවෙන් පිළිරුවක්


 

සිංහල බෞද්ධයනට නිසි බෞද්ධ අධ්‍යාපනයක් ලබා ගැන්මට තිබූ මං පෙත් ඉංග්‍රීසීන් අහුරා දමා තිබීම නිසා සිංහල බෞද්ධයෝ අන්ත අසරණ තත්ත්වයකට මුහුණ දී සිටියහ.   


පීඩාකාරී තත්ත්වයෙන් යම් හෝ අස්වැසිල්ලක් ලබා ගැන්මට හැකි වී තිබුණේ ඕල්කට් තුමා ප්‍රමුඛ නායකයන් පිරිසක් සිංහල බෞද්ධ විද්‍යාල ඇරඹීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබූ නිසාය.

   
කොළඹ බොදු විදුහලක් ඇරඹීමෙන් පසුව මහනුවර බොදු විදුහලක් ඇරඹීමේ කටයුතු ආරම්භ කිරීමට වැඩපිළිවෙළක් දියත් කර තිබූ මො​හොතේ දී මතු වී ඇති ප්‍රධානතම ගැටලුව වී තිබෙන්නේ විදුහල ඇරඹීමට සුදුසු තැනකින් සුදුසු බිමක් සොයා ගැනීමට නොහැකි වීමය.   


දළදා මාලිගාව නුදුරෙන් ඉංග්‍රීසීන් තැනූ පල්ලියට යාබදින් බොදු විදුහල ආරම්භ කළහොත් ඉංග්‍රීසින්ට හිමින් සීරුවේ ටොක්කක් ඇණිය හැකි බව මහනුවර සිංහල නායකයෝ තේරුම් ගෙන සිටියහ. පල්ලියට නුදුරෙන් බිමක් ලබා ගැනීමට ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ද තේරුම් ගෙන සිටියහ.   


පල්ලියට නුදුරෙන්ම පිහිටා තිබෙන්නේ නාථ දේවාලය හා එයට යාබද හිස් භූමි කොටසය. නාථ දේවාලයට යාබද බිමෙන් කොටසක් ලබා ගැන්මට හැකි වුවොත් කටයුතු සාර්ථක කර ගත හැකි බව නායකයන්ගේ අදහස විය.   


නාථ දේවාලයේ භාරකාරත්වයක් ඉසිලුයේ ඇඟේ සිංහලකම මෙන්ම බෞද්ධකම ද තිබූ යටිනුවර ගඟවට පළාතේ කෝරළේ නි​ෙල් මෙන්ම ​පොලිසියේ මුලාදෑනි තනතුරක් ද හෙබ වූ කටුකැලේ පදිංචි වඩු ගොඩපිටියේ මුහන්දිරමලාගේ පුංචිරාල මහත්මයාය.   


නාථ දේවාලයේ අභ්‍යන්තර කටයුතුවලට ඉංග්‍රීසින්ට ඇඟිලි ගහන්නට අයිතියක් නැති නිසාත් නාථ දේවාලයේ බිමේ අයිතිවාසිකම් ඇත්තේ සිංහල නායකයන්ට නිසාත් නාථ දේවාලයේ බිමෙන් කොටසක් ලබා ගැනීමට යම් හැකියාවක් තිබෙන බව සිංහල නායකයෝ තේරුම් ගෙන සිටියහ.   


කුමන ආකාරයේ ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වුවද බොදු විදුහලක් තනන්නට දේවාල​ෙය් බිමෙන් කොටසක් ලබා දෙන බව දේවාලයේ භාරකාරත්වයක් ඉසුලූ වඩුගොඩපිටියේ පුංචිරාල මහතාණෝ පැවසූහ. එහෙත් ගැටලුවක් වූයේ ලබා දිය හැකිව තිබූ එකම බිම් කොටසේ ජනයා වන්දනා මාන කරන දැවැන්ත බෝධියක් පැවතීමයි.   


මෙම බෝධිය හොර රහසේ කපා ඉවත් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීමත්ය.   


සිංහල බෞද්ධයන් බෝ ගසක් කැපීම තබා බිමට වැටී තිබෙන බෝ කොළයක්වත් හිතා මතා නොපාගන බව කවුරුත් දැන සිටියහ. එවන් තත්ත්වයක් යටතේ බෝ ගස කපා ඉවත් කර බිමක් සැකසීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව හැමෝම තේරුම් ගෙන සිටියහ.   


ධනවතෙක් වශයෙන් සිටිමින් වගකිවයුතු නිල තල හෙබවූ වඩුගොඩපිටියේ පුංචිරාල මහතාණෝ සිය ධනය නිල තල අහිමි වී සිරබත් කන්නට සිදු වුවත් කම් නැතැයි කියා බොදු විදුහල තනන්නට බිම හදා දෙන බව ප්‍රකාශ කළෝය.   


කියූ පරිද්දෙන්ම තම සේවකයන් මෙන්ම අලි ඇතුන් ද යොදවා එක රැයකින් බෝ ගස ඉවත් කර බිම හදා දුන්නේ කවුරුත් විස්මයට පත් කරලමිනි.   


බෝ ගස තිබුණේ බෝගසට හිමිකම් කියන්නන්ගේම බිමේ නිසා ඉංග්‍රීසින්ට වඩුගොඩපිටියේ කොටුකර දඬුවම් පැමිණවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ඒ වෙන විට 1815 මාර්තු දෙවැනිදා සකස් කළ උඩරට ගිවිසුමේ වගන්තිවල සඳහන් දේවල් කඩ කරමින් ඉංග්‍රීසීහු ඔවුන්ට වාසිදායක දේවල් ඕනෑ ඕනෑ හැටියට සිදු කරමින් සිටියහ. 1815 මාර්තු 2 ගිවිසුමේ පස් වැනි වගන්තිය අනුව පන්සල් හා දේවාලවල දේපොළ සුරක්ෂිත කිරීමට තමන් බැඳී සිටින්නේ යයි කියා ඉංග්‍රීසීහු වඩුගොඩපිටියේ කෝරළේට දඬුවම් පැමිණ වීමට තීරණය කළහ.   


බෝ ගසක් කැපීම උඩරට නීතිය අනුව වරදක් යයි කියා​ කෝරළ නිලෙන් මෙන්ම පොලිස් මුලාදෑනි තනතුරෙන් ද පහ කර දමන්නට ඉංග්‍රීසි පාලකයෝ ක්‍රියා කළහ. වඩුගොඩපිටියේ පුංචි රාල මහතාණන් තැනූ බිමේ 1887 ජුනි 30 වැනිදා පොල් අතු සෙවිලි කළ කුඩා මඩුවකට කන්ද උඩරට ප්‍රථම බෞද්ධ පාඨශාලාව ඇරඹුණේ‍ මහනුවර බෞද්ධ උසස් පාඨශාලාව නමිනි. එය පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලය නමින් නම් කෙරිණි.   


ධර්මරාජයට වසර 130 ක් සපිරෙන මේ මොහොතේ දී මෙම ලිපිය ලියන ලියුම්කරු වන මම ධර්මරාජ විදුහල අරඹන්න ගිහින් නිලතල අහිමි කර ගත් පුංචිරාල කෝරළේ යන ශීර්ෂය යටතේ 2017 මැයි 14 මෙම ඉරිදා ලංකාදීප පුවත් පතේ ලිපියක් පළ කළෙමි. ධර්මරාජය තනන්නට බිමක් ලබා දී නිලතල අහිමි කරගෙන ඉමහත් පීඩාවන් විඳි වඩුගොඩපිටියේ පුංචිරාල මහතාණන් වෙනුවෙන් ධර්මරාජයේ සිටියවුන් හෝ ධර්මරාජයේ සිටින්නන් කිසිදු දෙයක් කර නැති බවත් වඩුගොඩපිටියේ පුංචිරාල මහතාණන් නාමය සිහි කරලීම සඳහා ධර්මරාජයේ සිටින්නන් කුමන හෝ දෙයක් කළ යුතු බවත් එම ලිපියෙන් අවධාරණය කළෙමි.  


පුවත් පත් ලිපියේ අඩංගු කරුණු කෙරෙහි මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති දම්පිය තමර පුෂ්ප වනසිංහ මහතාගේ දැඩි අවධානය යොමු විය. වඩුගොඩපිටියේ පුංචි රාල මහතාණන් පරපුරේ ඥාතිවරු ද සිය වීරවරයා වෙනුවෙන් යමක් කළ යුතු යයි සිතූහ. ඔවුහු සිය ඥාතිවරයාගේ පිළිරුවක් නිමවා දෙන්නට ක්‍රියා කළහ. 

 
වඩුගොඩපිටියේ පුංචි රාල මහතාණන්ගේ උදාර සේවාව මාධ්‍ය මගින් පෙන්වාදෙන්නට විශාල කැප කිරීමක් කළේ පහළ ඉඹුල්ගෙඩ කන්දකැපූ හන්දියේ පළමු වැනි පටුමගේ පදිංචි මහේන්ද්‍ර මෙෂාන් බණ්ඩාර වඩුගොඩපිටිය මහතාය. ඔහු පවසන්නේ මෙවන් කතාවකි.   


අපේ මී මුත්තා සිංහල බොදු දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය ප්‍රාර්ථනා කළ අයෙක්. ඉදිරියේදී වඩුගොඩපිටිය පුංචි රාල කෝරළෙ​් නමින් අපි පදනමක් පිහිටුවන්නට බලාපොරොත්තු වෙනවා. එයින් අපේ රටේ ගම්බද වෙසෙන අග හිඟකම්වලින් පෙළෙන ඉගෙන ගැනීමට දක්ෂ දරුවන්ට ඉගෙන ගැනීමට උදව් උපකාර කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේම වෙනත් සමාජ සේවාවන් කිරීමටත් බලා​පොරොත්තු වෙනවා.  


 මහනුවර ධර්මරාජ විද්‍යාලීය පරිශ්‍රයේදී මෙම ජුනි 29 සිකුරාදා පෙ.ව. 8.30 ට වඩුගොඩපිටියේ පුංචිරාල මහතාණන්ගේ පිළිරුව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඤාණරතන මහ නාහිමියන් අතින් නිරාවරණය කෙරෙති. පැවිදි අනුශාසනාව මල්වතු පාර්ශවයේ අනුනායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය නියංගොඩ විජිතසිරි හිමි කරති. ගිහි අනුශාසනාව කරන්නේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාය.   


ධර්මරාජ විද්‍යාලයේ වර්තමාන විදුහල්පති දම්පිය වනසිංහ ධර්මරාජයේ හිටපු විදුහල්පති ඒ.පී. ගුණරත්න වඩුගොඩපිටියේ කෝරළේගේ පරපුරේ ඥාතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවකට සහභාගි වෙති.

 

 

 

 

 

 

 

ඡායාරූප හා විස්තර හුන්නස්ගිරියේ 
පාලිත මඩුගල්ලේ