ධර්මය තුළ රුඳි ‘ සංසාර රක්ෂණය


 රාගයෙන් මත් වූ ද්වේෂයෙන් මත් වූ මෝහයෙන් මත් වූවහුට තැවීමක්, බයක්, දුකක්, ගින්දරක් මිස අනෙකක් නැත. ආරක්ෂා වීමට තැන් සොයන්නෝ එවැනිහුය. නිතර බයට පත්වන්නෝද එවැනිහුය. නිතර පසුතැවෙන්නෝද එවැනිහුය. ආර්ය මාර්ගයට පිවිසි උතුමන් ලෞකික  සැප සම්පත් ඉදිරියේ දුක්වන්නේ නැත. ලෞකික වස්තු සැප කොට ගන්නේ නැත. ඔවුන් විසින් එබැවින් සසරින් එතෙර වීමට ලෞකික දේ කෙරේ රාග,දේවේෂ, මෝහ නොකිරීම බලපාන්නේය. බොහෝ පෘථග්ජනයන් තමාට අයත් නොවන දේ මමය, මගේය හැඟීමෙන් අල්ලා ගන්නා නිසා සසර දුකට පත්වන ආකාරය බුද්ධ දේශනයේ සඳහන් වේ. මේ ලිපිය කියවන ඔබට අයිති නැති දේවල් කීයකට මගේ යැයි අයිතිවාසිකම කියනවාද? මගේ ඉඩම, මගේ වාහනය, මගේ ගෙදර, මගේ ළමයි, මගේ සැමියා, මගේ කෝප්පෙ, මගේ ඇඳ මේ ආදී වශයෙන් ඔබ ලියා බැලුවොත් සේරම ඔබේ... ඔබේ... නිවනට යන්නාට ‘මගේ’ යැයි දෙයක් නැත. මම මගේ යන සසර බාධකය අත හැරිය යුතුය. අපගේ ලිපි මාලාවේ එක් වෑයමක් වනුයේ ඔබට ඒ අතහැරීමට මඟ පෙන්වීමයි.   



ඉපදෙන විට අල්පමාත්‍රයක දෙයක් රැගෙන නොඑන ඔබ, යම් යම් දේට ‘මගේ’ කියන්නට පටන් ගත්තේ දැනුම් තේරුම් එන විටයි. ඇතැම් විට අවුරුදු 3-4 සිට මැරෙනතුරු මගේ, මගේ කිව්ව දේවල් කොයිතරම් තියනවාද? මොහොතක් කාලය වෙන් කරලා ලියලා බලන්න.   


මගේ බිරිඳ, මගේ දරුවො, මගේ අම්මා, මගේ වාහනය මේ විදිහට ඔබ කියන්න ඇතිතෙ. ඇතැම් විට ඔබ කාලයක් මගේ, මගේ කිවුව වාහනය අද තවත් කෙනෙක් ළඟ. දැන් ඔබට අයිති නෑ. ඔබේ අම්මා, සැමියා, බිරිඳ ඇතැම් විට මියගිහින් ඇති. මගේ කිවුවා කියලා ඒ අය මරණින් ගලවා ගන්නට ඔබට හැකි වුණාද? මමය, මගේය නම් මට පුළුවන් වෙන්නට ඕනෙ මට අවශ්‍ය විදිහට තියා ගන්න. ඒ නිසා හොඳට මතක කියා ගන්න ඔබට ​ඔබේ ශරීරයවත් අයිති නෑ. මගේ ඇස කියනවා. එහෙනම් ඇස දුර්වල වීම වළක්වා ගන්නට ඔබට පුළුවන් විය යුතුනෙ. තේරෙනවා නේද? මේක අන්ධවීමක්... රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අන්ධවීමක්. අප පෙනීම සොයා ගන්නට ඕනෙ මේ කියන අන්ධවීමටයි. අපට එතෙක් ආරක්ෂාවක් නෑ. අපි නියම ආරක්ෂාව සොයා ගන්නට ඕනෙ. රක්ෂණ සමාගම්වලින් ඔබේ ගෙදර දොරට, වාහනයට, පවුලට රක්ෂණාවරණ දෙනවා. ඒත් සංසාරෙට රක්ෂණයක් ඔබට දෙන්න කෙනෙකු නෑ. ඒ රැකවරණය තියෙන්නේ ධර්මය තුළය.   


‘ධම්මෝ හවේ රඛ්කති ධම්මචාරී’   
ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රැකෙයි.   


මඤ්ඣිම නිකායේ මූල පරියාය සූත්‍රයට අනුව මමත්වය හෙවත් ‘මම මත්වීම’ නැති කිරීමට මූලික අඩිතාලම සකස්කර දෙනවා. එනම් සසරට රක්ෂණයක් පෙන්වා දෙනවා. මේ බුද්ධ දේශනය තේරුම් ගන්නාට නිවන් දකින තෙක්ම ජීවිත රක්ෂණයක් හිමි වෙනව. කුමක්ද ඒ?   


‘නත්ථි මේ සරණං අඤ්ඤං   
බුද්ධෝ මේ සරණං වරං’   
‘නත්ථි මේ සරණං අඤ්ඤං   
ධම්මෝ මේ සරණං වරං’   
‘නත්ථි මේ සරණං අඤ්ඤං   
සංඝෝ මේ සරණං වරං’   


සරණං වරං කියන්නේ රක්ෂණය හෙවත් ආරක්ෂාවටයි. එහෙනම් නිවන් දක්නා පිණිස යන ඔබට තියන ආරක්ෂණය තුණුරුවනයි. බුද්ධ දේශනය තුළ ත්‍රිවිධ ශාසනයක් පිළිබඳ කියවෙනවා. එනම් පරියප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේදයි. මීටම ජානතෝ, ඵස්සතෝ, අරහතෝ කියලත් කියනවා. පරියප්තිය හෙවත් ජානතො කියන්නේ දහම අසා දැන ගැනීමයි. ඒ සඳහා  
‘පුබ්බේත කත පුඤ්ඤතා’ පෙර පින් තියෙන්නට ඕනෙ. ඒ වගේම පෙර පින් ඇති ශ්‍රැතවත් පුද්ගලයාට ආර්ය වහන්සේ නමක් දකින්නට හැකි වෙන්න ඕනෙ. (අරියානං දස්සාවි) ඊළඟට උන්වහන්සේගේ ධර්මය ඇසීමට සමතෙකු වෙන්නට ඕනේ. (අරිය ධම්මේ කෝවිදෝ) තෙවනුව ඒ අසන ලද ධර්මය තුළ හික්මීමට, එය පිළිපැදීමට හැකි දක්ෂයකු වෙන්නට ඕනෙ’ (අරිය ධම්මේ සුවිනීතෝ) එවැනිහු තමයි ධම්මෝ සන්දිට්ඨිකත්වයට පත් වෙන්නෙ.  


ප්‍රතිත්ති දහම දන්නා කෙනා තෙසැත්තෑ ඥානවල එන සුත්වාන සංවරේ සීලමයේ ඤාණං බුද්ධ ඥානං ලෙස ආර්ය කාන්න ශීලයේ පිහිටනවා.  


බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මා බුද්ධත්වයට පත් වුණේ සිල්වතක් කියා දෙන්නට නෙවෙයි. ධර්මය කියා දෙන්නට බව.’  
නමුත් අද සිදුවෙන්නෙ මිනිස්සු සිල්වතට ඇලිලා. ධර්මයේ නෑ. සිල්වත වුණත් සමාදන් වෙනවා විතරයි. පංචශීලය අරගන්නවා. ආපහු කඩනවා. රැකීමක් නෑ. ඉතින් අඩුම වශයෙන් සිල්වතවත් රැකීමක් නෑ.  


‘සමාධි භාවනාමයේ ඥානං බුද්ධ ඥානං’ ප්‍රතිපත්තිය මේකයි. සීලය, සමාධිය, භාවනාව, ඉතින් ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙන්නෙ කොහේද? මේක දන්නෙ නැතිව.  


ඊළඟට ප්‍රතිවේදය. ප්‍රතිවේද කර ගන්නවා යනු පසක් කොටම දැකීමයි. හෙවත් ඇත්ත ඇති සැටියෙන්ම දැකීමයි. සම්මතය සම්මතය ලෙස පරම සත්‍යය පරම සත්‍යය ලෙස දකින්නට ඔහුට හැකියි.  


තමන්ගේ සිතට නැඟෙන සිතුවිලි දෙකොටසකට බෙදා රාග, ද්වේෂ, මෝහ එක කොටසකටත් වීතරාග, වීත ද්වේෂ, විත මෝහ ලෙස තවත් කොටසකටත් දකින්නට හැකියි. එවැනි අය මේ නිරාමිස සිතිවිලි පරිහරණයටත් දහමට හා විනයට බහා ගැළපීමටත් හැකියාව ඇත්​ෙතක් වෙනවා. සුව දේ සුව ලෙසටත්, අසුව දේ අසුව ලෙසටත් දකිනවා. රස බලනවා යනු ඇලීම ගැටීම මුළාවට පත්වීමයි. රස බැලීමෙන් තොර වීම අරහත් තත්ත්වයට පත්වීමයි. ඔහු සසර ගමනේ රත්වීමක්, පිච්චීමක්, දැවීමක් නැතියෙක් මමත්වය උගුල්ලා දැමුවෙක්.  


පඨවි, අපෝ, තේජෝ, වා​ෙයා් යන සතර මහා ධාතුවලින් හටගත් මෙලොව ඇති කිසිවක් කෙරේ ඇලීමක්, ගැටීමක් නැතිව, රාග ද්වේෂ මෝහ උද්ධ කළ කෙනායි බෞද්ධයා වෙන්නේ.  


බෞද්ධ යන නම ඉදිරියෙන් තබා තුනුරුවනටම අගෞරව කරන්නාට නෙවෙයි. අද ධර්මයට අගෞරව කරන්නේත් තුනුරුවනට අගෞරව කරන්නේත් බෞද්ධයෝයි. ඒ තමයි සම්මත ලෝකයේ ස්වභාවය. නමුත් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ බෞද්ධයා තුළින් කුමක්ද? යන්න මේ බොහෝ දෙනා දන්නේ නෑ.  


මූල පරියාය, සතර සතිපට්ඨාන, සබ්බාසව දේදාවිතක්කසන්තාන ආදී සූත්‍ර ධර්මයන් බෞද්ධයන් කියවා නෑ. ඉතින් බොහෝ අය නාමික බෞද්ධයි. සියල්ල මගේ, මගේ... කෝ එතකොට ධර්මය... ප්‍රශ්නය ඇත්තේ එතැනයි.  

 

සටහන - අසංක ආටිගල