දෝනිගේ මඟුලට මුව දඩයමේ ගිය කිරිහාමි මහබැද්දේ සද්දන්තයාට බිලි


ජීවිතය යහමඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


අම්බලන්ගොඩ හේමාල් ගමගේ මහතා ලියා එවූ කතාවකි.   

පියාට කම්මුල් පහරක් දුන් පුතාගේ බෙල්ල ඇද වෙයි  


විමලසේන වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ ගෘහණියක්. ගමේ කා සමඟත් හොඳ හිත පවත්වා ගන්නීය. විමලසේන ද බිරිඳ මෙන්ම ගුණයහපත්කම්වලින් අනූනය. අසල්වාසීන් ඥාති හිත මිතුරන් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනගා ගන්නේය. මෙම දෙපළ ගමේ පන්සලේ ක්‍රියාකාරී දායක යුවලකි.   


මොවුන්ට පුතෙක් හා දුවක් සිටියාහ. දරු දෙදෙනා මව්පිය සෙනෙහස නොඅඩුව ලබමින් හැදී වැඩුණි. මව්පියන්ගේ අපේක්ෂාව වූයේ දරු දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. මව්පියන්ගේ අපේක්ෂාවන් මල්ඵල ගන්වමින් පුතා සරත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව නගරයේ පාසලකට ඇතුළත් විය. එහි අධ්‍යාපනය ලද සරත් අ.පො.ස (සා.පෙ) විභාගය ඉහළින් සමත් විය. උසස් පෙළ හැදෑරීම සඳහා ගණිත අංශය තෝරා ගත් හෙතෙම එම විභාගය ද එක්වරම සමත්ව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් විය.   


ඉංජිනේරුවකු වශයෙන් සමාජ ගත වූ සරත් නිවාඩු ලද හැමවිටම මව්පියන් ​බැලීමට ගෙදර පැමිණියේය. කුඩා කලදී මෙන් මව්පියන්ට බොහෝ ලැදි වූ අතර ගෙදර පැමිණි විට ඔවුන් සමඟ සුරතල් බස් තෙපලමින් තව තවත් ආකර්ෂණය දිනා ගත්තේය. තරුණයකු වූවද මව්පියන්ට නොකියන රහසක් ඔහු ළඟ නොවීය. පාසල් සමයේ සිට පැවති ප්‍රේම සබඳතාවක් ගැන ද මව සමඟ පැවසීය. එම තරුණිය පිළිබඳ බොහෝ දේ දැන සිටි මව්පියන් එම සබඳතාවයට අකමැති වුවද පුතාට ඇති ආදරය බලවත් හෙයින් විරෝධයක් නොපෑහ. ඇය කිසියම් අධ්‍යාපනයක් ලැබ සිටිය ද රැකියාවක් නොකළාය. දෙපාර්ශවයේ මව්පිය ආශිර්වාද ලබා විවාහ උත්සවය ඉහලින් පැවැත්වීය. ඉන් ටික දිනකට පසු සරත් රැකියාවකට ගිය අතර ඔහුගේ බිරිඳ සරත්ගේ මව්පියන්ගේ නිවසේ තනි වූවාය. මව්පියන් ඇයට තම දරුවෙකුට සේ සැලකුවේය.   


කාලයක් ගත විය. සරත්ගේ බිරිඳ අනෝමාට සරත්ගේ මව්පියන් නුරුස්සන්න විය. නොයෙක් ඇනුම් පද කියන්නට ගත්තාය. රණ්ඩු සරුවල් ඇති කරගත්තාය. සැමියා පැමිණි පසු සිදුනොවූ දේ පවා සිදු වූ විලසින් පැවසුවාය. ඒවායේ සත්‍ය අසත්‍යතාව නොවිමසූ සරත් ඇයගේ වදන් ඒ අයුරින් පිළිගත්තේය. මව්පියන් කෙරෙහි වූ සෙනෙහස ගෞරවය සිඳී ගොස් වෛරය හා කෝපය සිත මත පිටට පැමිණියේය. එය කෙතරම් බලවත් වීද යත් දිනක් සරත් සිය මවටත් පියාටත් නොසරුප් වදනින් බැණ වැදුනේය. ඉන් නොනැවතුණු සරත් පියාගේ කම්මුලට වේගයෙන් අතුල් පහරක් එල්ල කළේය.   


අනතුරුව තමා හා බිරිඳ සතු දේ පොදි බැඳගෙන නිවසින් නික්ම ගියේය. මේ වනවිටත් දරු සුරතල් බැලීමට පවා වාසනාව නොලද එම අඹු සැමියන් නගරයේ කුලී නිවසක පදිංචි වූහ.   


වසර දහයක පමණ කාලයක් නිහඬව ගෙවී ගියේය. සරත්ගේ දකුණු කම්මුලේ සියුම් වේදනාවක් හට ගත්තේය. ගොඩ වෙදකම් කීපයක් කළද සුළු සුවයක් හෝ ඇති නොවීය. වේදනාව එන්න එන්නම වැඩිවිය. බටහිර වෛද්‍යවරුන් පවා කීවේ ස්නායු ආබාධයක් නිසා වේදනාව ඇතිවන බවයි. මාස ගණනාවක් ඔවුන්ගෙන් ගත් ප්‍රතිකාරවලින් ද මද සුවයක්වත් නොවීය. පසුව දේශීය වෙදකමට යොමුවිය. අරිෂ්ට, කසාය, ගුලි, චූර්ණ ආදී ඖෂධ මාස ගණනාවක් භාවිත කළද සුවයක් නම් නැත. සරත්ට හිඳ ගැනීමටවත් නැගී සිටීමටවත් නොහැකි විය. බෙල්ල පහතට කඩා වැටෙන හෙයිනි. හැම වෙලාවේම බෙල්ලට අත ගසා ගෙන සිටීමට සිදුවිය. දීර්ඝ කාලයක් නොපැමිණිම හේතුවෙන් රැකියාවද අහිමි විය රැස්කරගත් ධනය වෙදහෙදකම් සඳහා වැය වූ අතර බිරිඳගේ කණකර ද බැංකුවට සින්න විය. යළි මව්පියන් ළඟට යාමට නොහැක. පියාට එල්ල කළ කම්මුල් පහර සිහිවන හෙයිනි. පියාගේ දකුණු කම්මුලට එදා කෙතරම් වේදනාවක් දැනේනනට ඇද්ද? සරත්ගේ දකුණු කම්මුල ද එවන් වේදනාවක් ජනිත කරමින් පීඩාවට පත් කරයි. මේ තත්ත්වය දකින වැඩිහිටියන් පවසන්නේ සරත්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදී ඇති බවයි.   

 



අලව්වේ රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවකි.   

දෝනිගේ මඟුලට මුව දඩයමේ ගිය කිරිහාමි මහබැද්දේ සද්දන්තයාට බිලි.   


මෙය දැනට දශක පහකට පමණ පෙර සිදුවූ සත්‍ය සිද්ධියකි. රජරටට ආසන්න පළාතක වනාන්තරයකට යාබදව පිහිටි ජනාකීර්ණ නොවූ පිටිසර ගම්මානයකි. පවුල් අතලොස්සක් සිටි මෙම ගම්මානයේ ගොඩමඩ ගොවිතැනින් හා සතුන් දඩයම් කරමින් පවුලක් නඩත්තු කළ පුද්ගලයෙක් සිටියේය. පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් දැරියක සිටි මෙම පවුලේ පියා කිරිහාමි නමින් හා මව බාල එතනා නමින් හඳුන්වමු. දරු තිදෙනාගෙන් බාලයා දියණියය. ඇය කල වයසින් හා පෙනුමෙන් දීග දීමට සුදුසු තත්ත්වයකැයි සිතූ බාල එතනා කිරිහාමි සමඟ මේ ගැන කතා කළාය. මව සමඟ ඉවුම් පිහුම් හා ගෙදර දොරේ වැඩටත් ඉඳහිට හේනේ කුඹුරේ වැඩටත් උදව්වන හෙයින් විවාහ දිවියක් ගතකිරීමට හැකි වේ යැයි සිතූ කිරිහාමි දියණියට මඟුල් කපුවෙකුගේ සහායෙන් මනාලයෙකු සොයාගත්තේය. මංගල්‍යයකදී හෝටල් සොයා නොගිය එකල ගැමියෝ ලී දඬු උ​පයෝගී කරගෙන නිවසට යා​ව හෝ මිදුලේ පල දෙකෙ ගෙයක් ඉදිකර සරසා මඟුල් මඬුව සදාගත්හ. නෑදෑයින්ට හා යහළුවන්ට සංග්‍රහ කළේ එම මඟුල් මඬුව තුළය.  


එසේම එකලද මංගල්‍යයකදී මස් මාංශ අත්‍යවශ්‍ය භෝජනයක් විය. ඒ කුකුල් කොටු, එළු කොටු, ඌරු කොටුවලින් ලබාගත් මස් මාංශ නොවූ අතර ගම් අසල පිහිටි වනාන්තරවලින් පහසුවෙන් සපයා ගත් මුව, ගෝන ආදී සතුන්ගෙ මස්ය. ගැමියෝ මංගල්‍යයක් නියම කරගත් පසු දඩයක්කරුවන්ට දඩමස් ඇණවුම් කළහ. එසේ ඇණවුම් කළේ දඩයක්කාරයා හමුවී බුලත් අතක් පිළිගැන්වීමෙන්. ඔහු අවශ්‍ය දඩමස් ප්‍රමාණය අවශ්‍ය දිනට හෝ දිනවලට ලබා දුනි. ඊට පුද සත්කාර ගෙහිමියා විසින් මඟුලෙන් පසු කරනු ලබයි. කිරිහාමි එකල සිටි දක්ෂ දඩයක්කාරයෙක් විය. ඔහුගේ දියණියගේ මඟුලට දඩමස් ඔහුටම සපයා ගත හැකි හෙයින් දඩමස් ඇණවුම් කිරීම අවශ්‍ය නොවීය.  


ඔහු තම දියණියගේ මගුලට දින නියම කර ලහිලහියේ සූදානම් විය. නෑදෑයින්ට හා යහළු මිත්‍රයන්ට ආරධනා කළේය. අසල්වාසීහු එක් වී මඟුල් මඬුව සාදා සැරසූහ. නෑදෑයින් හා යහළුවන් මඟුලට පැමිණීමේදී වෙඩි හඬින් පිළිගැනීමට එකල ගැමියන් භාවිත කළ ‘බීරංගය’ නම් උපකරණය ද සූදානම් කළේය. අසල ගමක සිටි කිරිහාමිගේ මස්සිනා මඟුලට දින දෙකකට පෙර ගෙන්වා ගත්තේ උදව්වට හා තමා සමඟ දඩයමේ යාමටය. මඟුලට අවශ්‍ය දඩමස් සපයා ගැනීමට දඩයමේ යාමටයි. මඟුලට දින දෙකකට පෙර මස්සිනා කිරිහාමිගේ නිවසට පැමිණ දෙමස්සිනෝ මත්වතුරෙන් සප්පායම් වී බාලඑතනා සූදානම් කර තිබූ රෑ කෑම ද අනුභව කර දඩයමේ යාමට සූදානම් වූහ. බාලඑතනා මේ දෙදෙනාට කීවේ දඩයමේ යනවාට තමාගේ විරුද්ධත්වයක් නොමැති බවත් ​ඔය වැඩේ වෙනත් කෙනෙකුට භාරදී ගෙදර තිබෙන මේ රාජකාරි කරන්නේ නම් සුදුසු බවත්ය. මඟුලක් අත ළඟ තිබියදී අලි, කොටි, වලසුන් සැරිසරන මහබැද්දේ අවදානම් ගමන් යෑම සුදුසු දැයි රහසින් බාලඑතනා දියණියට කීවාය. 

 
හිතුමතයට වැඩකරන කිරිහාමි ගිනි කඳයත් කරගහගෙන අඩුමකුඩුම කොක්කනය මස්සිනා අතට දී මහබැද්ද බලා ගමන් ඇරඹූහ. බාලඑතනා වහෙන් ඔරෝ භාෂාවෙන් කී දේ සිතට ගත් කිරිහාමි මහබැද්දට ඇතුල්වෙත්දී මස්සිනාට කීවේ උපන්දා පටන් මේ කැලේ අස්සක් මුල්ලක් නෑර කරක්ගහපු තමාට තවත් කුමන කතාද කියාය. මහ බැද්දේ මුවන්, ගෝනුන් වැඩිපුර ගැවසෙන ඉසව්ව බලා දෙදෙනාම ගමන් ගත්හ. මුවන් ගෝනුන් කෑමට ප්‍රිය ඉදුණු වෙරලු ගෙඩි තරම් වූ දම්පාට දඹ වැටී ඇති ගස් ගොල්ලේ පාන්දර වන තෙක් රැඳී සිටියත් සතෙකුගේ හඬක්වත් කළ නොඇසී ටික දුරක් ඉදිරියට යද්දී අන්දර කැලේ මැද මුව රංචුවක් තණ බුදින බව දැක කල්ගත කළ නොහී ගිනිකඳයා ඔසවා කොකා​ ගැස්සීය. ගැබ්බර මුව දෙන බිම ඇද වැටී දඟලන්ටවූවාය. එකෙනිහිම කිරිහාමි මුවදෙන වෙත ලංවෙත්ම වනයට අැදිනි. මුව දෙන ඇදී ගිය තැන ගස් කොළං හා පඳුරු ද වියළි කොළ රොඩුද තැලෙන පොඩිවෙන හඬ ළඟම ඇසී මුව දෙන වැටී දඟලන හඬයැයි සිතූ කිරිහාමි එතනට රිංගුවා පමණි. අහිංසක වන සතුන්ට ගිනි බිඳ ප්‍රාණය නිරුද්ධ කළ පව්කම් පලදෙන්නට කාලය එළඹි බව කිරිහාමි නොදනී. මුව දෙන එතන නොසිටියාය. වියළි කොළ, පඳුරු පොඩි කළේ, කැලයට වහන් වී සිටි මහබැද්දේ සද්දන්තයාය. තනියා කිරිහාමි දිගු හොඬෙන් ගෙන පාගා දැමීය. මස්සිනා වහා ගම්මු සොයාවිත් කිරිහාමි රෝහලකට ගෙන ගියහ. කිරිහාමිගේ සිරුරට සිදුවී තිබූ බරපතළ හානියා නිසා මැරී මැරී ඉපදෙමින් කලක් දැඩි සේ දුක් විඳ එක් පාන්දරක මෙලොව හැර ගියේ කළ පව්කම් මෙලොවදීම පළදීමෙනි.  

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ 
ප්‍රසන්න සංජීව ​ෙතන්නකෝන්