දේශීය ගොවියාගේ අස්වැන්න විකුණාගන්නේ කොහොමද?


​දේශීය ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වාතාවරණය අද ඊයේ ඇති වූවක් නොවේ. වසර ගණනාවක සිට ඇසෙන මේ ගැටලුව විසඳීමට රජය නිසි වැඩපිළිවෙළක් මේ දක්වා සකස් කර නොතිබීම නිසා දිනෙන් දිනම දේශීය ගොවීහු පීඩාවට පත්ව සිටිති.  


කලින් කලට ගොවීහු විවිධ වගාවන් සිදු කරති. එහෙත් ඒ සඳහා නියම වෙළඳපොළක් නොමැතිකම නිසා දහස් ගණන් ගොවීහු සිය අස්වනු අ​ෙලවි කරගත නොහැකිව ඒවා විනාශ කර දමති. ඇතැම්හු ඒවා සතුන්ට ආහාර සඳහා ලබාදෙති. දහස් ගණනින් මුදල් යොදවා වගාවන් සිදු කළ ද ඵලද‌ාව නිසි ආකාරව අ​ෙලවි කර ගැනීමේ දුෂ්කරතාව නිසා වගා කටයුතුවලින් ඈත්ව විකල්පයක් කරා යාමට බොහෝ දෙනා පෙළඹී සිටිති.  


තත්ත්වය මෙසේ පැවතියහොත් සෑම දෙයක්ම පිටරටින් ආනයනය කිරීමට සිදුවෙයි. දැනටමත් පිටරටින් පලතුරු වැනි දෑ විශාල වශයෙන් ආනයනය කිරීම නිසා දේශීය ගොවීන්ගේ පලතුරු ​අ​ෙලවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. තවදුරටත් මෙසේ පලතුරු වැනි දෑ ආනයනය කිරීමෙන් සිදුවන්නේ දේශීය ගොවීන් ‘‘කබලෙන් ලිපිට වැටීමක්’’ බව රහසක් නොවේ.  

 

 

මෙයට කදිම උද‌ාහරණය බිබිලේ දොඩම්ය. දොඩම්වලට සුපතළ බිබිලේ ප්‍රදේශයේ අද දොඩම් අලෙවි කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ. ඒ බිබිලේ පුරා විදේශීය දොඩම් වර්ග වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇති නිසාය. අතිශයින්ම ගුණද‌ායක හා රසින් සපිරි බිබිලේ දොඩම් ඈත ගම්මානවල සිට වෙළඳපොළට ගෙන ඒමට ප්‍රවාහන පහසුකම් නොමැතිවීමත්, නිසි වෙළඳපළක් නොමැතිකමත් නිසා අතරමැදි වෙළෙන්දුන් ඉතා අඩු මිලට ඒවා ගෙන වැඩි ලාභයක් තබා ගන්නා බවට එම ගොවීහු මැසිවිලි නගති.  


‘‘අපිට වෙළෙඳපළට අපේ අස්වනු ගෙන යන්න ප්‍රමාණවත් පහසුකමක් නැහැ. අනික මේ පළාතේ දොඩම් ගස් ඉතා පැරැණි විශාල ගස්. දොඩම් පලද‌ාව නෙළන්න පිරිස් නැහැ. ඉතින් සල්ලි වියදම් කරලා අස්වනු නෙළා ගෙන ඒවා අ​ෙලවි කරන්නට සුදුසු වෙළඳපොළක් නැතිනම් අපි මොකටද අස්වනු නෙළන්නේ. ඔහේ අස්වනු නරක් වෙලා ගියත් කමක් නැහැ. අපිට ඕවා රැගෙන ගිහින් තුට්ටු දෙකට දෙන එක හරිම පාඩුයි.  


මේ විදේශ රටවලින් ගෙනෙන පලතුරුවල මිල අඩුයි. ඒවගේම රසය හා ගුණයත් අඩුයි. දැන් අපේ රටේ ජනතාව පුරුදුවෙලා තිබෙන්නේ පිටරටවලින් එන දේවල්වලට. නමුත් ගුණයෙන් හා රසයෙන් වැඩි අපේ දේශීය පලතුරු ගැන ඔවුන්ට උනන්දුවක් නැහැ. විදේශ රටවලින් ආනයනය කරන එම පලතුරු හා එළවළු නතර කරලා දේශීය නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් ඇති කිරීමට හා ඒ සඳහා ජනතාව නැඹුරු කරවීමේ වැඩපිළිවෙළක් තිබෙනවා නම් දේශීය ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපහසු නෑ. නමුත් බලයට ආ මොනම ආණ්ඩුවක්වත් එවැනි වැඩපිළිවෙළක් කළේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ වහාම පිටරටින් ගෙනෙන පලතුරු තහනම් කරලා දේශීය පලතුරුවලට ප්‍රමුඛතාව දෙන්න කියලා.  


අනික අතරමැදියන්ගෙන් තොරව නිෂ්පාදන කෙළින්ම වෙළෙන්ද‌ාගෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ. දැන් වෙළඳපළේ බිබිලෙන් ගෙනා රස පැණිදොඩම් කියලා විවිධ දොඩම් වර්ග අධික මිල ගණන්වලට විකුණනවා. ඒත් විදේශවලින් ගෙනෙන දොඩම් මිල අඩුයි. ගොඩක් අය පුරුදුවෙලා ඉන්නේ ඒවා වැඩි මිලට හෝ ගන්න. අපේ ඵලද‌ාව කෙලින්ම වෙළෙඳපොළට හෝ වෙනත් පෞද්ගලික ආයතනයකින් මිලදී ගන්නා වැඩපිළිවෙළක් සකස් කරනවා නම් අපේ ආර්ථිකයත් සරු වෙනවා. අනික වස විසෙන් තොර ආහාර ද්‍රව්‍ය භුක්ති විඳීමේ අවස්ථාවත් ජනතාවට ලැබෙනවා. මේ විදිහට අපේ පලදාව අපතේ ගියහොත් ඉදිරියේදී බිබිලේ රසවත් දොඩම් නැත්තටම නැති වී යාමේ අවද‌ානමකට මුහුණදීමට සිදුවීම වැළැක්විය නොහැකියි.”  


මෙම තත්ත්වය බිබිලට හෝ බිබිලේ දොඩම්වලට විතරක් නොවෙයි. මෙය දිවයිනේ සෑම ප්‍රදේශයකටම පාහේ බලපාන ගැටලුවකි. එහෙත් මේ දක්වා කිසිවකු මීට නිසි පිළියමක් නොයෙදීම කනගාටුවට කරුණකි.  


මෙම ගැටලුව පිළිබඳ දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළේ තමන්ගේ ඵලද‌ාව අ​ෙලවි කර ගැනීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ගිය ද ඒවා අලෙවි කිරීමෙන් ප්‍රවාහන ගාස්තුව පවා ලබා ගැනීම අපහසු බවය.  


‘‘අපේ පලද‌ාව අ​ෙලවි කර ගැනීමේදී බොහෝ ගැටලු පවතිනවා. විශේෂයෙන් ප්‍රවාහන පහසුකම් නොමැති වීම ප්‍රධාන කරුණක්. සමහර වෙලාවට පලද‌ාව වෙළෙඳපළට රැගෙන යාමට අධික මිලක් ගෙවන්න ඕනෑ. එතකොට ලාභයක් නැහැ. සමහර වෙළඳුන් අපේ ළඟටම ඇවිත් අස්වැන්න මිලදී ගන්නවා. ඒත් ගෙවන්නේ ඉතාමත් සුළු මුදලක්. අතරමැදියන් තමයි අපේ පලද‌ාවෙන් විශාල ලාභයක් ලබන්නේ. රජය මැදිහත් වෙලා යම්කිසි වැඩපිළිවෙළක් යොදනවා නම් අපි ගැන හිතලා අපිට ලොකු සහනයක් ලැබෙනවා.

 
අනික තව කාරණයක් කියන්න ඕනෑ. කෘෂිකර්ම නිලධාරීන්ගේ කාර්යභාරයත් මීට වඩා කාර්යක්‍ෂම වෙන්න ඕනෑ. මොකද අපිට නිතරම වගා උපදෙස් දෙනවා නම් මේ මේ කාලවලදී ඒ ඒ භෝග වගා කරන්න කියලා එතකොට එළවළු හෝ පලතුරුවල අතිරිත්තයක් එන්නේ නැහැ. එළවළු පලතුරු විතරක් නොවෙයි සෑම භෝගයකටම ඒ උපදෙස් දෙන්න අවශ්‍යයි. එතකොට අපට පුළුවන් කාලයට ගැළපෙන භෝග වගා කරලා ලාභයක් උපයා ගන්න. නැතිනම් අපිට වෙන්නේ අපේ භෝග අ​අ​ෙලවි කර ගැනීමට නොහැකිව කුණු ගොඩට විසි කරන්න.’’ ගොවීහු කියති.   
කාලයෙන් කාලයට එන මෙම ගැටලුව විසඳීමට සුදුසු ක්‍රියාමාර්ගයක් ගැන මෙතෙක් කිසිවකුගේ අවධානය යොමු වී ඇති බවක් නොපෙනේ. කාලයකදී දෙහි, තක්කාලි, අල, ලූණු, ලීක්ස්, කැරට්, රාබු වැනි එළවළු අතිරික්තයක් බොහෝ කන්නවලදී දැකගත හැකිය.  


මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී රජයට බලපෑම් කළ ද ඉන් ඵලක් වී නැතැයි ගොවීහු පවසති.  


විටින් විට ඇතිවන මෙම තත්ත්වය පිළිබඳ අපි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගෙන් විමසීමක් කළෙමු.   


‘‘මේ ගැන කථාබහ කිරීම ඉතාමත් හොඳ කාලෝචිත දෙයක්. මේක පාරිභෝගිකයන්ට වගේම ගොවීන්ටත් බලපාන තත්ත්වයක්. දැන් බලන්න සමහර අවස්ථාවල අමුමිරිස් කිලෝව රුපියල් 1350/- ක් වගේ මිලකට අ​ෙලවි කරනවා. සමහර අවස්ථාවල කිලෝග්‍රෑමය රුපියල් 300/- ක් වෙනවා. අපේ රටේ තිබෙන ප්‍රධාන ගැටලුව තමයි කෘෂිකර්මාන්තයට ප්‍රමිතියක් නොමැති කම. කෘෂිකර්ම නිලධාරීවරුන් ඉන්නවා ග්‍රාමසේවා වසමකට දෙදෙනා බැගින්. ඔවුන් නඩත්තු කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින්. ඔවුන්ට පවරලා තිබෙන රාජකාරීන් එක්ක බැලුවොත් ඔවුන්ගෙන් ගන්න සේවාව මදි. දැන් බලමු හඟුරන්කෙත වගේ පළාතක් ගත්තොත් ඒ පළාතේ කාලෙකට සියලුම ගොවීන් වගා කරන්නේ තක්කාලි. ඉතින් සියලුම ගොවීන් තක්කාලි වවන්න ගත්තාම අස්වැන්න වෙළෙඳ පොළට ආවාම අතිරික්තයක් තිබෙනවා. ඉල්ලුමට වඩා සැපයුම වැඩි වුණාම මිල පහත වැටෙනවා. සමහර තක්කාලි ගොවීන් ඉන්නවා පලද‌ාව නෙළන්නෙත් නැහැ ගස් යට කුණුවෙලා යනවා. නමුත් රජයක් විදිහට ඇත්තටම කරන්න පුළුවන් ඒ අස්වැන්න එකතු කරලා ඒවායින් විකල්ප දෙයක් උද‌ාහරණයක් ගත්තොත් සෝස්, ජෑම් හෝ කෝඩියල් වගේ දෙයක් හදලා අතුරු නිෂ්පාදන හදන්න මඟපෙන්වීම.  


පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ වෙලා එවැනි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ සඳහා අස්වැන්න සාධාරණ මිලක් දීලා ගොවීන්ගෙන් මිලදී ගත යුතුයි. එහෙම නැත්නම් කෘෂිකර්ම නිලධාරීන් උපදෙස් දීලා මේ මේ පළාතේ තක්කාලි වගා කරන්නේ කවුද? කොච්චර බිම් ප්‍රමාණයක් වගා කරනවාද? ඒ ඒ භෝග වගාකරන්නේ කවුද? කියලා සොයා බැලීමක් කරන්න. එතකොට දත්ත තිබෙනවා අක්කර කීයක ඒ ඒ භෝග වගා කර තිබෙනවා ද? පලද‌ාව ​කොපමණ ලැබෙනවා ද? කියලා කෘෂිකර්ම නිලධාරියා සතුව තිබෙන එම දත්ත අනුව ඔවුන්ට උපදෙස් දෙන්න පුළුවන් ගොවීන්ට මේ මේ භෝගය දැන් වගා කරන්න හෝ එපා කියලා. අන්න ඒ වගේ ක්‍රමයක් සකස් කරන්න ඕනෑ. දැන් බලන්න ගොවීන් පතෝල වගා කළොත් ඔක්කොම පතෝල වගා කරනවා. වම්බටු වගා කළොත් ඔක්කොම වවන්නේ වම්බටු. සෑම එළවළු හා පලතුරක්ම එහෙම තමයි. මෙන්න මේ විදිහ ක්‍රමවත් නොකළොත් ගොවීන්ගේ අස්වනු අතිරික්තයට පිළියමක් නෑ.  


මෙතන ගැටලුව මේක නොවෙයි. කවද‌ාහරි මේ භෝගවල හිඟයක් ඇති​ වෙන්න පුළුවන්. මේ නිසා තමයි මම මුලින්ම සඳහන් කළා වගේ අමුමිරිස් 1350/-ක් වගේ මිලකට ඉහළ ගියේ. මෙතැනදී ගොවීන්ට වඩා ආද‌ායමක් උපයන්නේ අතරමැදියන්. ලංකාවේ වෙළඳපොළ තුළ අපි දකින්නේ අතරමැදියන් වර්ධනය කරන තත්ත්වයක්. ගොවියාවත් වගාකරුවන්වත් රැකගන්නා එකක් නොවෙයි. මේ නිසා අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ ඉල්ලුම සැපයුම ගැන දත්ත තබාගෙන ඒ අනුව ගොවීන්ට උපදෙස් දීමයි. එතකොට නියං කාලය, ඒ වගේම වර්ෂා කාලය වගේ අවස්ථාවල කොපමණ භූමි ප්‍රමාණයක් වගා කළ යුතු ද? මොනවද වගා කළ යුතු එළවළු පලතුරු කියන එක අඳුනගන්න පුළුවන්.  


අන්න ඒ වගේ නිසි කළමනාකරණයක් අවශ්‍යයි. එතකොට ගොවීන්ට තම වගාවෙන් හොඳ ආද‌ායමක් උපයා ගන්න පුළුවන් වේවි. අපේ කෘෂිකර්ම නිලධාරීන්ගේ රාජකාරිය මීට වඩා කාර්යක්‍ෂම වෙන්න අවශ්‍යයි. දැනට අපේ ගොවීන්ට උපදෙස් දෙන්නේ මේ මේ කෘමි නාශකය යොදන්න වේවි තාක්‍ෂණික උපදෙස් පිළිපදින්න කියන එක විතරයි. ඊට එහා ගිය වැඩපිළිවෙළක් කෘෂිකර්ම නිලධාරීන්ගෙන් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ද සිදු කළ යුතුයි. එහෙම ක්‍රමවත් සැලැස්මකට ගියොත් ගොවියාත් රැකෙනවා. පාරිභෝගිකයාත් ආරක්‍ෂා වෙනවා. එතකොට තරගකාරී මිලකට පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ මිලදී ගන්නත් හැකි වෙනවා.”

 

 

 

නිශාන්ත කුමාර බණ්ඩාර  
ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි ලුනුගල