දේශපාලන කාකොටා ගැනීමෙන් වළපල්ලට ගිය මාලි දේශය


වළපල්ලට ගිය රටවල්

 

 

ප්‍රජාතන්ත්‍රවාදය අ​හෝසි වී, දරිද්‍රතාව උග්‍රවී, පීඩනය දැඩිවී, අගාදයට ඇද වැටුණ රටවල් ලොව පුරාම ඇත. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වී ජනතා සුව සෙත සැලසූ රටවල් ද ලොව ඇත. මෙම රටවල් සංසන්දනය කරන විට මට කිව හැක්කේ ලොව පවතින්නේ පාදඩකම හා ශිෂ්ඨත්වය අතර ගැටුමක් බවයි. බොහෝ රටවල් කා දමන්නේ නූගත් ජනතාවගේ ආශිර්වාදයෙන් බිහිවුණු දේශපාලකයන්ය. ජනමතයත් දේශපාලකයින්ගේ ප්‍රතිපත්තිත් කාලගුණය වගේය. හිටි හැටියේ වෙනස් වෙනවාය.  


වළපල්ලට ගිය රටවල් ලිපි පෙළට මෙවැනි වැකි කීපයක් එකතු කිරීමට මා අදහස් කළේ ලංකාවේ වත්මන් දේශපාලන අලකලංචිය පෙරදැරි කොටගෙනය. බොහෝ අරාජික රටවල දැන් පවතින්නේද ලංකාවේ වැනි දේශපාලන බල අරගලයකි. එය ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීමේ අරගලයක් නොවේ. කපෝති වූ බොහෝ රටවල මුදල් ඒකක පිච්චියට වැටී නැතහොත් මස්තබාල්දු වී තිබෙන අයුරු මම දුටුවෙමි.  


පම්පෝරි ගහන දේශපාළුවෝ  


අද මම හඳුන්වාදෙන්නේ බටහිර අප්‍රිකාවේ මාලි (MALI) නමැති අගාදයට ඇද වැටුණ තවත් අවාසනාවන්ත රාජ්‍යයකි. රත්රන් ටොන් ගණනින් ඇති මාලි නමැති රටක් මෙසේ විනාශ මුඛයට පත්වුණේ කෙසේද? ඒ රටේම නූගත් රටවැසියන්ගේ වරදිනි. නීතියක්, විනයක්, සදාචාරයක් නැති ප්‍රතිපත්ති විරහිත දේශපාලකයින්ගෙන් යුත් රටක් කිසිදාක හිස ඔසවන්නේ නැතැයි කිව්වේ මැලේසියාවේ මහතීර් මොහොමඩ් ය. මේ කියමන ඇත්ත බව වැටහෙන්නේ වළපල්ලට ගිය රටවල් හරහා මා යන මේ ගමනේදීය. 

 
මාලි රටේද සිටින්නේ ආගම, ජාතිය, දේශවාත්සල්‍යය යන පුහු පම්පෝරි තුළින් පීඩිතයින් පාලනය කරන දේශපාලකයින්ය. මාලි (MALI) අප්‍රිකාවේ 8 වැනි විශාල රටයි. එකපසෙකින් සහරා කාන්තාරයයි. තවත් පැත්තකින් නයිගර් සහ සෙනෙගාල් ගංගාය. යාබද රටවල් වෙන්නේ ඇල්ජීරියාව, බර්කිනෝ ෆාසෝ, ගිනියා, නයිගර් හා සෙනගාල් ය. විශාලත්වය ව.කි.මී. 1,240,192 ක් හෙවත් ව.සැ. 478,841 කි. ජනගහණය 1,4517,176 කි. 1950 වර්ෂයේදී හතළිස් ලක්ෂයක් වූ ජනගහණය 2017 වෙන විට එක් කෝටි හතළිස් පන්ලක්ෂය දක්වා වර්ධනය වීම මේ මාලි රටට ඔරොත්තු දෙන්නක් නොවේ.  


ජනපතිට මරණීය දඬුවම  


ප්‍රංශයෙන් නිදහස ලබා අවුරුදු 58 කි. 1960 ජූනි 20 දා ප්‍රංශයෙන් නිදහස ලබාගත් නමුත් මේ දක්වා මාලි රට දශමයකින් වත් ඉදිරියට ගොස් ඇති බවක් පෙනෙන්නට නැත.  
මාලි රටට නිදහස ලැබීමෙන් පසු එම දේශය පාලනය කළ මූසා ට්‍රෝ (MOUSSA TRAORE) එහි සිටි දූෂිතම පාලකයා බව කියනු ලැබේ. ඔහු 1968 සිට 1991 වසර 23ක් එරට පාලනය කළේය. 1991 මාර්තු 26 දා ඔහුගේ කෲර පාලනයට එරෙහිව පැනනැගුණ ජනතා විරෝධය මැඩපැවැත්වීමට ඔහු හමුදාව යෙදවීය. හමුදාව හා ජනතාව අතර සිදුවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව අතිවිශාලය. මෙම ගැටුම් අවසන් වූයේ මූසා ජනපති පදවියෙන් නෙරපා හැරීමෙනි. පසුව ඔහු හා ඔහුගේ හමුදා ප්‍රධානීන් දෙදෙනකුට මරණීය දණ්ඩනය නියම විය. දේශපාලන උප්පරවැට්ටිවලින් ඔවුන්ට මරණ දඬුවමෙන් ගැලවීමට හැකිවිය. එහෙත් ජනතාව පීඩනයෙන් ගැලවුණේ නැත. මා මේ සඳහන් කළේ මාලි රටේද දීර්ඝ ඉතිහාසයෙන් අංශු මාත්‍රයකි.  

 

 


සුරසැප විඳින ඇමති මණ්ඩලය  


මාලි දේශයේ කලින් අගමැති ධුරය දැරූ ඉබ්‍රාහිම් කීටා දැන් එරට ජනපති ය. 74 හැවිරිදි මේ ජනපති ඉබ්‍රාහිම් රටේ දැවෙන ප්‍රශ්න විසඳීම පසෙකලා තම පවුල හා ඥාති වර්ගයා මෙන්ම හිත මිතුරු සංග්‍රහය සිදු කරමින් රට කා දමන බව කියන්නේ විදේශ මාධ්‍යයන්ය. ඔහු අගමැති ප්‍රමුඛ අැමතිවරුන් 38 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය රට ආපස්සට ඇදගෙන යන බව පෙනෙන්නට තිබේ.  


මාලි රට කපු වගාව අතින් ලොව ප්‍රමුඛ තැනක් ලබාගෙන සිටින රටකි. වාර්ෂිකව මෙහි කපු ටොන් 620,000 කට වැඩි ප්‍රමාණයක් නිපදවනු ලබයි. එමෙන්ම රටේ ස්ථාන කීපයක රත්රන් ඉල්ලම් ඇත. පොස්පේට් ප්‍රමුඛ විවිධ ඛනිජ ද්‍රව්‍යද නිපදවනු ලබයි. වී වගාව, දුම්කොළ වගාව සරුවට සිදුවෙන රටකි. මෙතරම් සම්පත් ඇතත් මුළු ජනගහණයෙන් හරි අඩකට වඩා අන්ත දුගී අසරණයින්ය. පාලකයින්ගේ පුහු දේශන, මවාපෙන්වීම් හා ගසාකෑම් හේතු කොටගෙන රට මකර කටට ඇද වැටී ගොස්ය. ජනතාව කුසගින්නේ මරහඬ දෙයි. පාලකයින්ට සැපය, සනීපය. ජනතාව කවදත් හුරු දුක හා ශෝකය තුළ නිමග්නව සිටී.  


දහජරා වැඩ කරන දේශපාලකයෝ  


​ෙලාව ළදරු මරණ වැඩි වශයෙන්ම සිදුවෙන තවත් රටකි මෙම දේශය. සෑම ළදරු උපත් 1000කටම ළදරුවන් 106 දෙනකු උපතේදීම මියයන බව කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. මෙහි මුළු ජනගහණයෙන් සියයට 48ක්ම අවුරුදු 12කට අඩු ළමයින්ය. රටපුරා විරැකියාව උග්‍රවී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල කල්ලි ක්‍රියාත්මකයි. ඒවාට වැඩිවශයෙන්ම සම්බන්ධ දේශපාලකයින්ය.   


බහුතර ජනතාවගේ දෛනික ආදායම ඇමෙරිකානු ඩොලර් 1.25කට අඩුය. ළමා කම්කරුවන් විඳින දුක පාලකයින්ට නොපෙනේ. දිවි රැක ගැනීමට වෙන රටවලට පැන යන අයගේ සංඛ්‍යාව අධිකය. ආයුෂ වයස අවු. 60 සිට 55 දක්වා අඩුවී ඇත. සෞඛ්‍ය පහසුකම් නැති නිසා ලෙඩ රෝගවලින් මියයන අයගේ සංඛ්‍යාව අධිකය. දීර්ඝ කාලයක් තිස්සේ විටින් විට රටේ සිදුවූ හමුදා කුමන්ත්‍රණ නිසා අවතැන්වූවන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂයකට අධිකය.  


ගඩාෆිට ඉඩම් වික්ක හැටි  


ලොව දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් 188ක් අතුරින් 175 වැනි ස්ථානය හිමිවී ඇත්තේ මාලි රටටයි. අයවැය පරතරය පියවාගත නොහැකිව හතර අතේ ණය වෙමින් ජනතාවට ගජබින්නාලංකාරය දෙසාබාමින් හතරවරං ගහන දේශපාලකයින් මේ කියන මාලි රටටද වැහි වැහැලාය. මෙහි පාලකයින් ලිබියාවේ හිටපු පාලක ගඩාෆි සමග පැවැත්වූ සබඳතා හේතු කොටගෙනද රට වළපල්ලට ගිය බව කියනු ලැබේ. ගඩාෆිට මෙරට ඉඩම් අක්කර දහස් ගණනක් විකිණීම හෝ බදුදීම තුළින් සිදුකරන ලදැයි කියන වංචාකාරී ගනුදෙනු දැන් අනාවරණය වෙමින් පවතී. රට ආපස්සට යාමට මේවාද බෙහෙවින් බලපා තිබේ. මෙම රටේද පාලකයින් ජනතා මතය සතපහකට මායිම් නොකර හිතුවක්කාරී තීරණ ගැනීම රටේ විනාශය ඉක්මන් කළේය.  


2002 සිට 2012 දක්වා රට පාලනය කළේ අමදෝ ටෝරේය (AMADO TOURE). එම කාලසීමාව තුළ මහ බැංකුව සතුව තිබූ ඩොලර් මිලියන 226ක මුදලක් අතුරුදන් වීම ගැන හෙළිදරව් කළේ විගණකාධිපතිවරයාය. මේ හෙළිදරව් කිරීම් පිළිබඳ කිසිදු පියවරක් ගෙන නැත. මේ රටේද විටින් විට පාලකයින් මාරු වේ. හිටපු පාලකයින් කලින් සිටි පාලකයින්ගේ දූෂණ වසා දමා ඔවුන්ටත් වඩා දූෂණ ක්‍රියාවන්හි නිරත වේ. ලංකාව වගේම මේ රටේත් සිදුවෙන්නේ එයයි. දේශපාලන අස්ථාවරත්වය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මේ රටට ආධාර සැපයීම නවතා දමා ඇත.  

 


මේ හේතුවෙන් රටේ දුර්භික්ෂයක් ඇතිවෙමින් පවතී.

 

සිරි හීන්පැල්ල
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි