දේව කෝපයෙන් මියගිය සුරා සොඬා


අංගොඩ, කුඩාබුත්ගමුව, එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.   
අනුන්ගේ ගවයන් මසට විකුණා දුක් විඳ මියයයි   


මෙයට දශක හතරකට පමණ ඉහත දී වූ මෙම සිදුවීම වර්තමානයේ දීද ඇතැම් ගම් වැසියන් විසින් සිහිපත් කරනුයේ අධර්මයෙන් දිවි ගෙවන කාහට වුවද අවසානයේ ඊට දුක් විපාක ලැබීම කිසිසේත් නොවැළැක්විය හැකිබව පැහැදිලි කර දෙමිනි.   


බස්නාහිර පළාතට අයත් එම ගම්මානය එකල අඩු ජනගහනයක්ව පැවති අතර, එහිබොහෝ දෙනා සමගියෙන් සාමයෙන් දිවි පෙවෙත ගත කළහ. එහෙත් ඊට වෙනස් ආකාරයෙන් කටයුතු කළ අයෙක්ද එකී ගම් වැසියන් අතරෙහි සිටියේය. අපි ඔහු ‘‘සෝමදාස’’ නමින් හඳුන්වමු.   


කුඩා කලදීම හෙතෙම පාසල් අධ්‍යාපනයට සමු දුන්නේ අකීකරු ගති පැවතුම් ප්‍රදර්ශනය කරමිනි. තරුණ වියට එළැඹෙන විට මනාකාය ශක්තියක් සෝමදාස සතුව තිබුණු අතර. ක්‍රම ක්‍රමයෙන් ඔහු සුරාපානයටද යොමු විය. එතැන් සිට හෙතෙම හැසිරෙන්නට වූයේ මැරවරයෙකු විලසිනි.   


අන් අයහට පහරදීමටද උත්සාහ කළ අතර, අධික ලෙස සුරා පානය කළ අවස්ථාවන්හිඳී ඇතැමුන් බියගන්වා මුදල් පැහැර ගැනීමටද සෝමද‌ාස පසුබට නොවීය. විශේෂයෙන් වරින් වර ප්‍රදේශයට පැමිණි සමහර ආගන්තුකයෝ ඔහුගේ මෙම තර්ජනයට ලක්ව සිටියහ.   
ඉන් නොනැවතුණ සෝමද‌ාස නිදැල්ලේ පසුවෙන ගවයන් රහසේම ගව ඝාතකාගාරය වෙත දක්කාගෙන යාමටද උනන්දු වූයේය. වරක් ගම් වැසියෙකුගේ නිවසක අවමංගල්‍ය කටයුත්තක් යෙදුන අතර, තෙදිනක් ගතවෙන තෙක්ම එකී ගම් වැසියා ඊට සම්බන්ධව සිටියේය.   
ඔහුට අයත් ගව පට්ටියක් යාබද ගම්මානයෙහි පිහිටා තිබිණ. අවමංගල කටයුතු හේතුවෙන් එම ගවයන් පිළිබඳව සොයා බැලීමට හැකියාවක්ද නොවීය. මෙය හොඳින් දැන සිටි සෝමදාස නොපමාවම ක්‍රියාත්මක වූ අතර, එහි ගවයන් කිහිප දෙනෙකුම ඊට නුදුරින් පිහිටි ගව ගාතකාගාරය වෙත භාරදී සැලකිය යුතු මුදලක් ලබා ගත්තේය. අසරණ ගව හිමියා එම වේදනාත්මක සිදුවීම විඳ දරා ගනු ලැබුවේ ඉමහත් කම්පාවෙන් යුතුවය.   


එම ක්‍රියාවෙන්ද නොනැවතුණු සෝමදාස කිසිදු බියක් සැකයක් නොමැතිවම සොරකම් රැසක්ම සිදු කළේය. එහෙත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූයේ ඔහුකෙරෙහි පැවති බිය හේතුවෙනි. තත්ත්වය එසේ තිබියදී සෝමදාසගේ පවුලේ සියල්ලන්ම සුපුරුදු නිවෙස හැරදමා වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියහ. ඒ සමගම සෝමද‌ාස ද හදිසියේම අතුරුදන්විය. ඔහුට කුමක් සිදුවී දැයි කීමට කවුරුත් අපොහොසත් වූහ.   


එලෙස කාලයක් ගෙවීයත්ම හෙතෙම යළි දක්නට ලැබිණ. ඒ දුරින් පිහිටි ඥතියෙකුගේ නිවසක ඇඳක් මත වැතිර ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදීය. දෑත දෙපා දුබලව සිරුරද වැහැරී වේදනාවෙන් යුතුව කෙඳිරිලි හඬ නගන්නට වූ ඔහු හට අහරපාන ගැනීමද අසීරු විය. එලෙස දුක් පීඩා විඳිමින් අසරණව පසු වූ සෝමද‌ාස දින කිහිපයකට පසුව සදහටම දෙනෙත් පියාගත​්තේය. දේහය එම නිවසෙහි තැන්පත් නොකොට පොදු සුසාන භූමියක මිහිදන් කිරීම අනුව ඔහු පිළිබඳව කාතුළත් පැවති අප්‍රසාදය කෙතරම් දැයි සිතාගත හැකිය.   


ගතසවි බල ඇතිද‌ා යහපතෙහි නොයෙදී අධර්මයෙන් දිවි ගෙවමින් අනුනට දුක් දීමේ පාප කර්මයට ඔහු ඒ අයුරින් විපාක වින්දේය. 

 

 



අකුරැස්ස, පහළ මලිදුව, චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.   
කළ පව් මෙළොවදීම පළ දී දහදුක් විඳ එලොව ගිය ​ෙත්ගිරිස් 

 
මීට දශක කීපයකට පෙර ඈත දුෂ්කර ගමක විසූ අවට ගම්මානවල පවා කුප්‍රකට චරිතයක් බවට පත් වූ පුද්ගලයෙකි. තේගිරිස්. ඔහු කුප්‍රකට පුද්ගලයකු බවට පත්වූයේ වෙනෙකක් නිසා නොව ඔහු කළ නොමනා වැඩ නිසාමය.   


නමින් තේගිරිස් වුවත් බොහෝදෙනා ඔහු හැඳින්වූයේ තේගිසා යන කෙටි නාමයෙනි. මත්පැනට දැඩිසේ ලොල් වූ තේගිසා නිතර දෙවෙලේ බීමතින් පසු වූ නියමාර්ථයෙන්ම බේබද්දෙක් විය. බේබදුකම නිසාම සමාජයේ පිළිගත් නොමනා යැයි සම්මත සෑම ක්‍රියාවක්ම පාහේ කිසිදු හිරිකිතයකින් තොරව සිදු කිරීමට ඔහුට එතරම් අපහසුවක් නොවීය.   


කිසිදු හොඳක් නරකක් පිළිබඳ අණක් ගුණක් නොතිබූ තේගිසා තමාට හිතුනුදේ රිසිසේ සිදු කළේය. ඒ නිසාම ගමේ විසූ අහිංසක ගැමියෝ මොහුගේ නොමනා ක්‍රියාවන් කිසිවකට විරුද්ධත්වයක් නොදැක්වූයේ ඔහුට ඇති බිය නිසාම නොව අනවශ්‍ය කරදර පටලවා ගැනීමට තිබූ අකමැත්ත නිසාමය.   


ගැමියන්ගේ මේ සාමකාමී බව තේගිසාගේ මේ නොමනා කටයුතු කරගෙන යාමට කදිම පිටිවහලක් විය. ඒ නිසාම මොහු නිරායාසයෙන්ම ගමේ චණ්ඩියා බවට ද පත්විය. දැඩි ස්ත්‍රී ලෝලියකු ද වූ තේගිසාගෙන් ගමේ කාන්තාවන්ට සිදු වූ අතවරද නිමක් නොවීය. සමහර අවස්ථාවල අහිංසක ගැමියන්ගේ නිවෙස්වලට පැන ගෙහිමියන් එලවා දමා කාන්තාවන් බිය ගන්වා තම ඕනෑ එපාකම් ඉටුකර ගත්තේ කිසිදු හිරිකිතයකින් තොරවය.   


ගමටම හිසරදයක් වූ තේගිසාගේ මේ නොමනා ක්‍රියා නතර වන්නේ කවද‌ාදැයි සිතමින් ගැමියන්ට කල් ගෙවන්නට සිදු වූයේ කළ හැකි වෙන කිසිවක් නොමැති නිසාවෙනි. මොහුගේ මේ අමන වැඩ නිසා අවුල්වී ගිය පවුල් කීපයක්ද විය. ගම්මුන්ට කළ හැකි එකම දෙය වූයේ තේගිසාට සාප කිරීම පමණි.   


මේ කටයුතු ​ෙහ්තුවෙන් තේගිසාගේ දරු පවුලටද කණ කොකා හඬන්නට විය. ඔහුගේ බිරිඳ ලිස්සා වැටී ඔත්පල වූයේ සදාකාලිකවම ඇඳටම සීමාවෙමිනි. එයින් ද තේගිසාගේ මේ වැඩවල නම් අඩුවක් නොවිණි. මෙසේ කලක් ගතවෙන විට අධික ලෙස බීමට ඇබ්බැහිවීම හා වයස්ගත වීම නිසා තේගිසා රෝගියකු බවට පත්විය.   


ඔහුගේ සියලු කෙරුම් හමාර කරමින් කළකම් පලදීම ඇරඹෙන්නට විය. ඔත්පළව සිටි තම බිරිඳද ඔහු හැර දමා පරලොව ගියේ තේගිසාට දැඩි වේදනාවක් අත්කර දෙමිනි. තරමක් උස් මහත් වූ දරුවන් කීප දෙනෙක්ද සිටියත් තේගිසාගේ කල්ක්‍රියාව නිසාම දරුවන් ද ඔහුට එතරම් කැමැත්තක් නොවීය. ඔහුගේ කෑම බීම ටිකද හරිහැටි නොලැබෙණ තත්ත්වයට පත්විය   


තම නිවසින්ද වෙන්ව වෙනම පොල් අතු පැලක් තනාගෙන කල් ගෙවීමට පුරුදු විය. මෙසේ කල්යත්ම ඔහුගේ පුතුන් දෙදෙනෙක්ම හිටි හැටියේම හඳුනා ගැනීමටවත් නොහැකි රෝග වැළදී මිය ගියේ තේගිසා කළ අමන ක්‍රියාවලට වන්දි ගෙවීමට දරුවන්ට සිදු වූවාක් මෙනි. මෙයින් තේගිසා දැඩි මානසික පීඩනයට ලක්විය. මේ හේතුවෙන් ඔහු කායිකව දුබල වූවා පමණක් නොව මානසික රෝගියකු බවට ද පත්විය.   


එතැන් පටන් ඉබාගාතේ යන්නට විය. කෑමට යමක් ඉල්ලාගෙන ගමේ ගෙයක් ගෙයක් ගානේ ඇවිද යන තත්ත්වයට පත්විය. බොහෝ තැන්වලදී ඔහුට කිසි අනුකම්පාවක් නොලැබුණි. සමහර දින වලට ආහාරයක් ලැබුණේ දිනකට එක වේලක් පමණි. බොහෝ තැන්වලදී ඔහු කළ කී දෑ පවසමින් එළවා ගත්තේ කිසිදු අනුකම්පාවක් ​ෙනාදක්වමිනි.   


මෙයින් සිදු වූයේ තේගිසාගේ මානසික රෝගය තව තවත් වැඩිවීමයි. ඔහු කරන කියන දෑ ඔහුවත් නොදනී. විටෙක ඇඟේ නුල් පොටක්වත් නොමැතිව ගම පුරා ඇවිදින්නට විය. ගමේ සියලුමදෙනා ඔහු පිළිකුල් කරන්නට වූහ. යන යන තැනින් එළවා දමන්නට විය.   
ඔහු කළ නොමනා ක්‍රියාවන්ට විපාක මෙළොවදීම පළදෙන්නට වූයේ එලොවදී විඳින්නට දෙයක් ඉතිරි නොකරමින් මෙනි. මෙසේ ටික කාලයක් දහදුක් විඳිමින් දිවි ගෙවූ තේගිසා ධාරාණිපාත වැසි ඇද හැළුණු එක් අන්ධකාර රාත්‍රිය මහ මග අයිනේ කාණුවක වැටී මිය ගොස් තිබුණේ සියලු කෙරුම් හමාර කරමිනි. ගමේ හැමෝම එක්වී තේගිසාගේ අවසන් කටයුතු සිදු කළේ මේවා කාට කාටත් හොඳ පාඩම් නොවේදැයි පවසමිනි.   

 


බිංගිරිය, කොස්වත්තේ ඩී.එන්.දිසානායක මහතා ලියා එවූ කතාවකි.   
සුරා සොඬා දේව කෝපයෙන් මියැදෙයි 


මහත් හාස්කම් ඇති මෙම දේවාලය පිහිටියේ දකුණු පළාතේය. මෙම දේවාලයේ ඇති හාස්කම් නිසාම බොහෝ ඈත ප්‍රදේශවල පවා ජනී ජනයා සවස් යාමයේ ඔවුනොවුන්ගේ අවශ්‍යතා සඳහා මෙම දේවාලයට ළඟාවීම දිනපතා නිතැතින්ම සිදුවිය. මසකට වරක් ගිනිපාගන මෙම දේවාලයේ කපුමහතා උක්කුබංඩේ යන ආරූඪ නමින් අපි හඳුන්වමු. අවුරුදු පනහක් පමණ වයසැති මෙම කපු මහතාගේ ගජ මිතුරා වූයේ ප්‍රදේශයේ ජීවත් වූ අර්නෝලිස් යන නමින් හඳුන්වනු ලබන පුද්ගලයෙකි. කපු මහතාගේ ගජ මිතුරා වුවද අර්නෝලිස් තදින් මත්පැනට ඇබ්බැහි වූ මස් මාංශවලට ලොල් වූ පුද්ගලයකු විය.   


සැදැහැවතුන් ගිනි පාගනු දුටු අර්නෝලිස් දිනක් කපු මහතා අමතා ඔට්ටුවක් ඇල්ලුවේය. ගිනි පෑගීමේදී මස් මාංශ කෑමෙන් හා මත්පැන් බීමෙන් තොරව සැදැහැසිතින් ගිනි පැගිය යුතු මුත් අර්නෝලිස්, කපු මහතා හමුවේ පැවසුවේ තමා ‘හොදහැටි අරක්කු බී ඌරු මස් කා ඇවිත් ගිනි පාගන බවත්’’ එයට ඔට්ටුව මොනවාදැයි අසමිනි.   


මීට පිළිතුරු දුන් කපුමහතා පැවසුවේ තමා සතුව ඇති බරබාගය සහිත නාම්බන් ගොන් වස්සා’’ ඊට ඔට්ටු යැයි පැවසූ අතර අර්නෝලිස්ද වී බුසල් විස්සක් ඔට්ටු ඇල්ලුවේ බර බාගය සහිත නාම්බන් ගොනාද, වී බුසල් විස්සද දේවාලය ඉදිරිපිට ගෙනැවිත් තබමිනි.   


ගිනි පාගන දිනය උදාවිය. පදමට අරක්කු බී ඌරුමස් අනුභවකොට විසි වෙවී පැමිණි අර්නෝලිස් ගිනි පැගීමට සූදානම්ව ගිනි ගොඩේ ක්ෂණිකව දිවගියේ අඩි තුන හතරක් පමණි. හදිස්සියේම ගිනිගොඩ මැද ඇද වැටුණු අර්නෝලිස් තදබල ලෙස ගිනි ඇවිලී පිළිස්සුණු අතර අවට සිටියවුන් ඔහුව ගොඩට ගත්තේ මහත් වූ පරිශ්‍රමයක් දරමිනි. සියලු ඔට්ටු පසෙකට දමා තදබල ලෙස පිළිස්සුණු අර්නෝලිස් වාහනයක දමාගෙන ගොස් රෝහල් ගත කෙරුණු අතර මුළු ශරීරය පුරාම විශාල දිය පොක්කලම් හට ගැණින. දිය පොක්කලවම්වලට දින ගණනාවක් වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් පසු ඔහු තම නිවසට රැගෙන ආවේ අංග විකල පුද්ගලයකු වශයෙනි. දින කිහිපයකට පසු උණ සහිත පිට ගැස්ම සෑදීමෙන් අර්නෝලිස් හදිසියේ මිය පරලොව ගිය අතර අධික ලෙස මත්පැන් බී ඌරුමස් කා ගිනි පෑගීමේ යෙදුනු ඔහු කෙරෙහි දෙවියන් කෝපවීම ඔහුගේ මරණයට හේතු වූ බැව් අසල්වාසීහු පැවසූහ.   

 

 

 

 


මෙය සුරා සොඬෙකුට දේව කෝපයෙන් අත් වූ ඉරණමක් ලෙස හැඳින්විය හැකිය. මෙම සත්‍ය සිදුවීමකි. මෙහි නම් මනඃකල්පිතය.