දෙවතාවක්ම කිඹුලන්ගෙන් බේරුණු ධීවරයා තුන්වෙනි වතාවේ කිඹුලකුට බිලි


 

සිංහල අවුරුද්ද එළිපත්තටම පැමිණ තිබියදී මහියංගණය පදියතලාව මාර්ගයේ 46 කණුවට නුදුරු ඉතා කුඩා නිවසක එළිපත්ත මත කල්පනා කරමින් සිටියේ 47 හැවිරිදි පුද්ගලයෙකි. නමින් ඔහු හෙට්ටිආරච්චිලාගේ සේනාධීරය. අපි කොහොමද දරු දෙන්නටවත් ඇඳුමක් අරන් දෙන්නේ?” බිරිඳ අසද්දී ඔහුගේ දෑසට කදුළු ඉනුවද කිසිවක් නොකියා අහක බලාගත්තේය. ඒ පසුගියදා ස්ථීර වශයෙන්ම කීයක් හෝ සොයාගෙන දරු දෙදෙනාට අවුරුදු ඇඳුම් මිලදී ගන්නා බව සිතමිනි.


පසුදා අවුරුදු දිනයට පෙර දිනය. ඒ වන විටත් අවට නිවෙස්වලින් රතිඤ්ඤා හඬ නිකුත් වෙමින් තිබිණ. පුණ්‍ය කාලය පවා නොතකා ඔහු දැඩි තීරණයකට එළඹුණේය.


“අවුරුද්ද හෙටනේ මම අද මාළු අල්ලලා කීයක් හරි හොයාගෙන එන්නම්” ඔහු නිවසින් පිටවූයේ 12 සහ 17 යන වයස් කාණ්ඩවල පසුවන පුතුන් දෙදෙනාද වික්ෂිප්තව බලා සිටියදීය. මේ තාත්තා රැකියාවට කළේ උල්හිටිය වැවේ මසුන් මැරීමය.


අවුරුදු 30ක් තිස්සේ කළ එම රැකියාව අවුරුදු 7ක් තිස්සේ නතර කිරීමට සිදුව තිබුණේ වරක් නොව දෙවරක්ම කිඹුලන් ඔහු ඩැහැගෙන යාම නිසාය.


කිඹුලා සමඟ පොරබදා ඉතා අසීරුවෙන් බේරුණත් බරපතළ තුවාල ලැබීම නිසා එම අවස්ථා දෙකේම මහියංගණය මූලික රෝහලේ මාස ගණන් නැවතී ප්‍රතිකාර ලබා ගැනීමට ඔහුට සිදුවිය.


ඉන්පසු උල්හිටිය වැවේ රැකියාව අතහැර මසුන් මැරීම සඳහා මහවැලි ගඟේ කන්දකැටිය වැලවෙලතැන්න නැමැති වැලි ගොඩදමන ස්ථානය තෝරා ගත්තේ මෑතකදීය.


ටියුබ් එකක නැගී හබල් ගසමින් ගඟ මැදට ගොස් මසුන් ඇල්ලීම අසීරු කටයුත්තක් වුවත් ඔහු දින කිහිපයක් ඉතා අසීරුවෙන් මෙසේ රැකියාව කළේය.


මෙසේ මසුන් මැරීමට ගිය ඇතැම් දිනවල කළු මල්ලි නමින් හැඳින්වෙන දිසානායක මුදියන්සේලාගේ කුමාරතුංග නැමැති මිතුරාගේ නිවසේ නතර වීමට පුරුදුව සිටියත් ඒ බව බිරිඳට දුරකථනයෙන් දැනුම් දීමට අමතක නොකළේය. එහෙත් පසුදින අවුරුද්ද නිසා මෙදින මොහු ස්ථිර ලෙසම ගෙදර එනු ඇතැයි සිතමින් බිරිඳ හා දරු දෙදෙනා මග බලමින් සිටියෝය.


 සැඳෑව නික්ම ගොස් අඳුර පැතිරෙමින් තිබිණ. “කෝ අම්මේ තාත්තා එන්නේත් නැහැ කතා කළෙත් නැහැ නේ හෙට අවුරුද්දනේ. තාත්තා අදත් එන්නේ නැතිව නතර වෙයිද දන්නේ නැහැ.” පොඩි පුතා තරිඳු ඇසුවේ දුකිනි.


අපි කළු මාමට කතා කරලා බලමු සංජීව අයියා කීවේය.


සංජීව පුතා ජංගම දුරකථනයෙන් කළු මාමට කතා කළේය.


“නෑ පුතා තාත්තා මෙහේ ආවේ නැහැ” ලැබුණු පිළිතුරෙන් සංජීව පුතා දැඩි කම්පනයට පත්විය.


ඔහු නැවතත් කළු මාමට කථාකළේය.“මාමේ තාත්තා තවම ගෙදර ආවේ නැහැ”


පුතා දැන් රෑ වෙලානේ අපි බලන්නම්. උදේට අම්මත් එක්ක පුතා එන්න ඒ කළු මාමාගේ පිළිතුරය. සේනාධීරගේ බිරිඳ හා දරු දෙදෙනා එදින රැය පහන් කළේ කඳුළු බොමිනි.  එළිය වැටෙත්ම පොඩි පුතා නිවසේ නතර කර ලොකු පුතා හා අම්මා පාරට බැස්සෝය. ත්‍රිරෝද රථයක් නතර කරගෙන ඊට ගොඩවූහ.


කන්දකැටියේ කළු මාමා සොයා එන විටත් ඔහු ගම්වැසියන් පිරිසක් සමඟ එක්ව අතුරුදහන් සේනාධීර සෙවීම සඳහා යාමට සුදානම් වී සිටියේය. පොලිසියද පැමිණ සිටියේය. මේ දෙදෙනා ඔවුන්ට එකතු වූහ.


“පුතා වෙනදා තාත්තා ඇඳුම් හංගලා යන්නේ අන්න අතන අපි ඉස්සෙල්ලාම  එතැන බලමු”


කළු මාමා කී ආකාරයට එතැනට ගිය සංජීව පුතාට දක්නට ලැබුණේ කොළඅතු වලින් වසා සඟවා තිබූ තාත්තා ඇඳගෙන ගිය ඇඳුම්ය.
සිදුවී ඇත්තේ අනතුරක් බවට දැන්නම් ඉඟියක් ලැබිණ. මේ පිරිස එක්ව මහා අනතුරක සේයා ඔස්සේ ගඟදිගේ පහළට සොය සොයා යද්දී දක්නට ලැබුණේ දිය මත පාවෙන ටියුබ් එක හා හබලයි.


දැන් නම් අනතුරක් සිදුවී ඇති බව ස්ථීරය.


තවත් දුර සොය සොයා යද්දී මහවැලි ගඟේ ඉවුර ආසන්නයේ ගල්ගොඩක් මත තිබූ සේනාධීරගේ සිරුර හමුවිය. කිඹුලා ඉතිරි කර තිබුණේ ඔහුගේ බෙල්ලෙන් පහළ කොටස පමණි. බිරිඳ හා පුතා නැගූ ළතෝනිය මහවැලි ගං තීරයේ දෝංකාර දුන්නේය.

සේනාධීරගේ බෙල්ලෙන් ඉහළ කොටස කිඹුලන් විසින් හපා කන ලද බව ගැමියන්ගේ නිගමනය විය. හිස සුන් මළ කඳෙන් මහා ලේ ගඟක් මහවැලියට මුසුවිය.


ඊට නුදුරින් ඇති කිඹුල්වල නැමැති ස්ථානයේ කිඹුලන් සිටින බව ගම්මු දැන සිටියහ. මීට පෙරද පුද්ගලයන් කිහිප දෙනෙක් කිඹුලන් විසින් ඩැහැගෙන ගොස් තිබුණත් තමන්ට පිළිසරණක් නැතැයි ගැමියෝ මැසිවිලි නැගූහ. හදිසි මරණ පරීක්‍ෂණය සිදුකලේ කන්දකැටිය හදිසි මරණ පරීක්‍ෂක ආර්.එම් සෙනෙවිරත්න මහතා විසිනි. ඒ වනවිටත් මිනිය නරක් වී දුර්ගන්ධයෙන් යුතු විය. අවුරුදු දිනයේ සේනාධීරගේ මෘත දේහය සීල් තැබූ පෙට්ටියෙන් ගෙදරට රැගෙන  එන ලදි.


“අනේ තාත්තේ අපට ඇඳුම් ගන්න සල්ලි හොයන්න නේද ගියේ. මගේ තාත්තා” කියමින් පුතුන් දෙදෙනා සීතල මිනී පෙට්ටිය බදාගෙන හඬා වැලපෙන අයුරු දුටුවන්ගේ නෙත්වලට කඳුළු  එක්කළේය.


ගමේ හැම ගෙදරම පාහේ අය අවුරුදු සිරිත් ඉටුකොට නෑ හිතවතුන්ගේ නිවෙස් වල අවුරුදු ගමන් යද්දී සේනාධීර අවසන් ගමන් ගියේ ඔහුගේ මව බිරිඳ හා දරු දෙදෙනාගේ මර ළතෝනි හඬ මැදය. බිරිඳ වේදනාව උහුලනු බැරිව වරෙක සිහිසුන්ව ඇද වැටුණාය. 


සේනාධීරගේ මව අහසට දෑත දිගුකරමින් “අනේ මගේ මුනුබුරන් දෙදෙනාට උදව් කරන්නෝ තාත්තා නැති කොල්ලෝ දෙන්නා බලාගන්නෝයි” ළතෝනි දෙමින් හඬා වැලපුණාය. 


ලොකු පුතා සංජීව පුෂ්ප කුමාර දෙහිගොල්ල විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකි. පොඩි පුතා තරිඳු ප්‍රභාත් එම විද්‍යාලයේම 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.


ඇත්තටම මේ අයියා මලෝ දෙදෙනාට කාගේ පිළිසරණක්ද?

සටහන / ඡායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ