දෙමළ ජනයා අවුස්සන විග්නේෂ්වරන්ගේ එළුහ තමිල්


 

උතුරු පළාතේ ප්‍රධානතම දිස්ත්‍රික්කය වන යාපනය ඉකුත් 16 වනදා යම් කිසි විශේෂිත උත්සවයකට සැරසෙන බවටත් එය දෙමළ ජනතාවගේ පිබීදීම යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන බවටත් මීට මාසයකට පෙර සිටම ආරංචි විය. දමිළ භාෂාවෙන් එළුහ තමිල් යන නමින් ආරම්භ කරනු ලැබූ මෙය මීට වසර කීපයකට ඉහතදී හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද වැඩසටහනකි. 


මේ තුළින් දමිළ ජනතාව පිබිදීම හෙවත් නැගී සිටීම සංකේතවත් කරන බවට සංවිධායකයෝ පවසති. මේ තුළින් සිදු කරනු ලබන්නේ විවිධ වූ සටන් පාඨ කියමින් එම රැලිය සඳහා පැමිණෙන ජනතාව වීදි පුරා පෙළපාළි යෑම හා ඔවුන් එක්තැනකට රැස්ව තම අයිතීන් හා සිදුවන අසාධාරණකම් පිළිබඳ දමිළ දේශපාලනඥයන් පවත්වන දේශන හා ඒ හා සම්බන්ධ ගීත නාට්‍ය ආදියට සවන් දීම හා නැරඹීමයි. 


යුද සමයේදී එනම් ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් ජීවත්ව සිටි කාලයේ වාර්ෂිකව උළෙලක් පැවැත් වූ අතර, එය “පොංගු තමිල් උළෙල” නම් විය. නන්දිකඩාල් කළපුවෙන් මිනීමරු ත්‍රස්තවාදය අවසන් වීමත් සමග එම ජාතීවාදී උත්සවයටද අවසන් තිත තැබිණි. එම උළෙලේදී සිදු කරණු ලැබුවේ කොටි ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් වීරයෙකු ලෙසට සලකා ඔහුගේ වීරත්වය වර්ණනා කිරීමත් උග්‍ර ජාතිවාදී ගීත හා නාට්‍ය ප්‍රදර්ශනය කරමින් ජනතාව තුළ සිංහල ජන කොටස් කෙරෙහි වෛරයක් සේම ත්‍රස්තවාදීන් විරත්වයෙන් පිම්බීමක් සිදු කිරීමයි. 


යුද්ධයෙන් පසුව මෙම දමිළ ජනතාවගේ නැගීසිටීම හෙවත් එළුහ තමිල් උළෙල ආරම්භ කොට ඇති නමුත් මෙම උත්සවය කලක් නොපැවැත්විණ. ඉදිරියේදී පැමිණෙන මැතිවරණ නිසා හෝ යම් කරුණක් නිසා නැවතත් මෙසේ එම උත්සවය මෙම වසරේදී පවත්වන ලද බවක් දැනගැනීමට තිබේ. 

 

 


කරුණු එසේ වුවද බහුතරයක් දමිළ ජනතාව මෙය තඹේකට මායිම් නොකරන බවද මෙහිදී කිවයුතුමය. ඒ අනුව මෙම උත්සවය මහා ඉහළින් සංවිධානය කරනු ලැබූ පුද්ගලයින් උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම හර්තාල් ව්‍යාපාරයක්ද සංවිධානය කිරීමට අපේක්ෂා කර තිබුණ ද ඇතැම් දමිළ ව්‍යාපාරිකයින් එය තුට්ටුවකට මායිම් නොකළ වග මැනවින් පෙනෙන්ට තිබිණි. ඒ අනුව වව්නියාව නගරයේ කටයුතු සාමාන්‍ය පරිදී සිදු විය. ඔවුන් නගරයේ කඩ සාප්පු වසා දමා මෙයට සහය පළ කරන ලෙසට සිදු කළ ඉල්ලීම එම වෙළෙඳ සංගමය සේම වෙළෙඳුන් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙසට වව්නියාවේ හර්තාල් ක්‍රියාත්මක නොවීය. 


මෙම උත්සවය නිසා දෛනික කටයුතුවලටද බාධා වන බවට ඇතැම් සංවිධාන පවා පෙන්වා දුන්නද ජාතිවාදය මතින් ඡන්ද පදනම හදන දමිළ දේශපාලකයින්ට එය එතරම් ගැටලුවක් නොවීය. කෙසේ වෙතත් එම උළෙලේදී විග්නේෂ්වරන් මහතා පවත්වන ලද කතාවෙන් ප්‍රකාශ කර සිටියේ දමිළ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම් හතක් සඳහා තවමත් කිසිදු රජයකින් සහනයක් ලැබී නොමැති බවයි. එනම් යුද අපරාධවලට විසඳුම් ලබා නොදීම, දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය, අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය හා උතුරේ ඉඩම් ප්‍රශ්නය ආදී ප්‍රධාන ගැටලු හතකට විසඳුම් ලැබී නොමැති බවත් මෙම ගැටලු සඳහා විසඳුම් ලැබෙන තුරු දමිළ ජනතාවට නිදහසක් හිමි නොවන බවත් විග්නේෂ්වරන් මහතා පැවසීය. 
දෙමළ ජනතාවගේ ගැටලු සඳහා කිසිදු රජයකින් විසඳුම් ලබා නොදෙන්නේ නම් අරගල තුළින් හෝ එම ගැටලුවලට විසඳුම් ලබා ගත යුතු බව ඒ මහතා තවදුරටත් එහිදී පැවසීය. ඔහු මේ සඳහා සියලු දමිළ ජනතාවට සේම බෙදී වෙන්ව සිටින දේශපාලන පක්ෂවලටද එක් වන ලෙස එහිදී ආරාධනා කළේය. 

 

 


මේ උළෙලට සහභාගී වීම සඳහා කුඩා ළමුන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටින අයුරු දැකගැනීමට ලැබිණි. 


එමෙන්ම යාපනය දිස්ත්‍රික්ක​ෙය් ඉකුත් 15 වැනිදා ද විශේෂිත උත්සවයක් පැවැත් විය. එය යාපනයට පමණක් සීමා නොවූ අතර එය සමස්ත උතුරු පළාත පුරාම පවත්වන ලදී. එහිදී යාපනයේදී මාරාන්තික උපවාසයක් සිදු කරමින් සිටියදී මියගිය තිලීපන්ගේ 32 වැනි ගුණ සැමරුම් උළෙල පවත්වන ලදී. 


එවකට මෙරට රැඳී සිටි ඉන්දීය සාමසාධක හමුදාවන් උතුරු නැගෙනහිර පළාත්වලින් ඉවත්ව යන ලෙසට හා තවත් ඉල්ලීම් 12 ක් මුල්කර ගනිමින් තිලීපන් නොහොත් රාසයියා පාර්තීපන් 1987 සැප්තැම්බර් මස 15 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද අතර ඔහු එම මසම 26 වැනි දා මියගියේය. ඒ අනුව තිලීපන් උපවාසය ආරම්භ කළ සැප්තැම්බර් මස 15 උතුරේ සෑම දිස්ත්‍රික්කයකම සාමාන්‍යයෙන් ගුණ සැමරුම් උත්සව පවත්වනු ලබෙයි. එයට අමතරව ඔහු මියගිය සැප්තැම්බර් මස 26 දිනයේද උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම ඔහු වෙනුවෙන් පින්කම් සංවිධානය කරනු ලැබීම සිදු කරනු ලබයි. 


මෙහි ප්‍රධාන උත්සවය යාපනය නල්උර් පිහිටි තිලීපන්ගේ සොහොන් බිම අබියසදී පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා දමිළ දේශපාලකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

 


යාපනය ප්‍රදීප් කුමාර