දුරදිග දකින දේශපාලකයා රනිල්


1978 වසරේ පෙබරවාරි මස 4 වැනිදා එනම් තිස්වැනි නිදහස් සමරුම දා ලාංකේය දේශපාලන ඉතිහාසය නව මඟකට යොමු කරමින් අගමැති ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක බලැති ජනාධිපතිවරයා ලෙස පත්විය. ඉන්පසු මෙරට කර්මාන්ත හා සේවා ආර්ථික ක්‍රමය ඇරඹුවේය. කෙතරම් බාධක පැමිණියත් දේශපාලන පක්ෂයක නායකයකු ලෙස ස්වකීය දැක්ම ක්‍රියාත්මක කිරීමට පසුබට වූයේ නැත. එය සැබෑ නායකයකු සතු විය යුතු ප්‍රබල ගුණාංගයකි.   


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ 1978 සැප්තැම්බර් මස 07 වැනිදා 25 දෙනෙකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම විධායක ජනාධිපති ජුනියස් රිචඩ් ජයවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.   


29 වැනි වියේ පසුවූ රනිල් වික්‍රමසිංහ යෞවන කටයුතු හා රැකී රක්ෂා ඇමැති වශයෙන් ජේ.ආර්. ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අනුව මෙරට ප්‍රථම යෞවන කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යවරයා රනිල්ය.   
අක්‍රිය වී තිබුණු ජාතික තරුණසේවා සභාව යළි ස්ථාපිත කොට ලංකාවේ තරුණ තරුණියන් උදෙසා බිහිවුණු දැවැන්ත ආයතන බවට පත් කිරීම රනිල් වික්‍රමසිංහයන්ගෙන් සිදුවූ කැපී පෙනෙන මෙහෙවරකි.   
යෞවන සමාජ, වෘත්තීය පුහුණුව, ක්ෂේත්‍ර පුහුණු හා ප්‍රජා සේවා ජාතික සේවා, සංස්කෘතික කටයුතු ව්‍යාපාරික තරුණයා, නාගරික තරුණයා, විශ්වවිද්‍යාල තරුණයා, තරුණ සේවා සංගීත සමාගම, බෙල්වුඩ් සංස්කෘතික පුහුණු මධ්‍යස්ථානය, තරුණසේවා නැටුම් සමාගම, මහරගම තරුණ මධ්‍යස්ථානය ලෙස අංශ 23 කින් සමන්විතව දකුණු ආසියාවේ තරුණයන්ගේ අභිවෘද්ධිය සඳහා පිහිට වූ විශාලතම ආයතනය බවට රනිල් වික්‍රමසිංහ ඇමැතිවරයා යටතේ සිදුවිය.   
සීමාසහිත තරුණසේවා සංගීත සමාගම හා නැටුම් සමාගම තුළින් බිහිවූ ශිල්පි ශිල්පිනියන් මෙරට ජනප්‍රිය ප්‍රකට කලාකරුවෝ බවට පත්වූහ. 

 
ජපන් රජයේ ආධාර මත මහරගම නගරයේ අක්කර 9 ක භූමියක ඉදිවූ ජාතික තරුණ මධ්‍යස්ථානය දකුණු ආසියාවේ තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිකළ විශාලතම ඉදිකිරීමකි. සම්මන්ත්‍රණ ශාලාවක්, පුස්තකාලයක්, පරිපාලන කාර්යාල සංකීර්ණයක්, ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, ප්‍රදර්ශනාගාරයක්, තෙමහල් නේවාසිකාගාරයක්, පුහුණු මධ්‍යස්ථාන, රූපවාහිනී චිත්‍රගාර, මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ අංගණයක් සහ ක්‍රීඩාංගණයකින් මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානය සමන්විතය.  


1980 පෙබරවාරි මස 15 වැනිදා සිදුකරන ලද කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට තරුණ කටයුතු රැකීරක්ෂා විෂයන්ට අමතරව අධ්‍යාපන ඇමැති තනතුරද පවරනු ලැබීය.  
ඒවනවිට 30 වැනි වියේ පසු වූ රනිල් වික්‍රමසිංහ ලංකා අධ්‍යාපන ඉතිහාසයේ 11 වැනි අධ්‍යාපන ඇමැතිවරයාය. නිදහසින් පසුව 10 වැනි අධ්‍යාපන ඇමැතිවරයාය. හෙතෙම 1989 පෙබරවාරි 18 වැනිදා දක්වා වසර 9 ක දීර්ඝ කාලයක් අප රටේ තරුණ කටයුතු රැකීරක්ෂා හා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.  
අනාගතයේ නිර්මාණය වෙන විශ්ව ගම්මානයට උචිත පුරවැසියන් නිර්මාණය කිරීමට නම් සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් ක්‍රමවත් විද්‍යානුකූල අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවය ගැන වික්‍රමසිංහ ඇමැතිවරයාගේ පරිකල්පනයට හසුවී තිබිණි.  


රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසුව මේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඓතිහාසික පෙරළියක් සිදු කළේය. ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමට නම් විදේශ රටවල ආධාර උපකාර මෙන්ම විදේශ ආයෝජකයින් මෙරට කර්මාන්ත ආරම්භ කළ යුතු බව දැඩිව ඔහු විශ්වාස කළේය. එකී අරමුණු ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔහු ජපානය, සිංගප්පූරුව, කොරියාව යන රටවල සංචාරය කළේය. ඔහුට ජපානයේ ජාත්‍යන්තර වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ආධාර උපකාර ලබාගැනීමටද හැකිවිය.  


මහකොළඹ ආර්ථික කොමිෂම පිහිටුවූයේ 1978 දීය. එම වසරේදීම ප්‍රථම අපනයන සැපයුම් කලාපය (නිදහස් වෙළෙඳ කලාපය) කටුනායක පිහිටුවනු ලැබීය. වික්‍රමසිංහ මහතාගේ දැඩි පරිශ්‍රමයෙන් යුතුව දෙවැනි අපනයන සැපයුම් කලාපය 1986 දී තම ඡන්ද කොට්ඨාසය වූ බියගම පිහිටු වූ අතර තෙවැනි කලාපය ඔහු විසින් 1991 වසරේදී කොග්ගල පිහිටුවන ලදී. 1991 අගෝස්තු මස 28 වැනිදා ලංකාවේ දෙවැනි විධායන ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අභියෝගයට ලක් කරමින් ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසකගේ අත්සන් සහිතව දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළෝය. මෙරට ජනාධිපතිවරයකුට එරෙහිව ඉදිරිපත් වූ ප්‍රථම දෝෂාභියෝගය ලෙස මෙය හැඳින්වීමට පුළුවන. 1946 වසරේ සැප්තැම්බර් 6 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂ බරපතළ බෙදීමකට ලක් වූ ඉතිහාසයේ තුන්වැනි අවස්ථාව ලෙස එම අවස්ථාව හැඳින්විය හැක. මේ අර්බුදකාරී අවස්ථාවේදී ඉතා බුද්ධිමත්ව ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ මහතා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට සහය පළකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. එම යෝජනා ඒකමතිකව සම්මත විය.

  
පක්ෂය දෙකඩ වීම වැළැක්වීමට රනිල් වික්‍රමසිංහ උත්සාහයක් දැරීය. නමුත් වෑයම නිශ්ඵල විය. ඇතුලත්මුදලි මහතා සහභාගීත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ රටපුරා සිය ප්‍රචාරක වැඩපිළිවෙළ කරගෙන යන අතරතුරදී කිරුළපන ක්‍රීඩාපිටියේදී පැවැති මහජන රැළියකදී කෘතහස්ත දේශපාලනඥයකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනයට ලක්විය. ඒ මහතා ඝාතනය වී සත් දිනකට පසුව එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය සංවිධානය කරමින් සිටියදී බෝම්බ පිපිරීමකින් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්විය.  


රට ව්‍යවස්ථා අර්බුදයකට ලක්ව අරාජික වීමට තිබූ ඉඩකඩ වළක්වාලමින් අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට රනිල් වික්‍රමසිංහ මූලිකත්වය ගෙන ක්‍රියා කළේය.  
1993 වසරේ මැයි මස 7 වැනිදා ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා තෙවැනි විධායක ජනාධිතිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව නව ජනපතිවරයා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 10 වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.  


2005 ජනාධිපතිවරණයට මෙරට මැතිවරණ ඉතිහාසයේ තියුණුම මැතිවරණයයි. එම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වූයේ ඡන්ද 180,786 ක් වැනි ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකිනි.  


රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදීමට පළමුව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ‘ජනතා න්‍යාය පත්‍රය’ එළිදැක්වීය.  


‘බඩගින්නට නිමාවක්,  
හැකියාවට රැකියාවක්  


බෙදුම්වාදයට පරාජයක්’ යන්න එහි තේමා පාඨය විය.  


2004 අප්‍රේල් මස 22 වැනිදා සිට 2015 ජනවාරි 9 වැනිදා දක්වා දසවසරකුත් මාස නවයක් දිගු කාලයක් රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂනායකවරයා ලෙස කටයුතු කිරීමට සිදුවිය. මේ කාලය හැඳින්විය හැක්කේ ඔහුගේ දේශපාලන දිවියේ ප්‍රචණ්ඩ සුළි කුණාටුවලට මැදිවුණු සමය ලෙසය. ඔහුව පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට ගත් සියලු කුමන්ත්‍රණ අසාර්ථක විය.  


තමා බලයට කෑදර පුද්ගලයකු නොවන බවත්, රට වෙනුවෙන් තීරණාත්මක අවස්ථාවකදී ඕනෑම දේශපාලන පරිත්‍යාගයක් කිරීමට සූදානම් බව ඔහු දෙවතාවක්ම රටට ඔප්පු කර පෙන්වීය. ඉන් පළමු අවස්ථාව 2010 ජනාධිපතිවරණ සටනින් ඉවත්වී පොදු අපේක්ෂක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අපේක්ෂකත්වය පිළිගන්වමින් ඔහුට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලබාදීමයි.  
දෙවැනි අවස්ථාව නම් 2015 ජනාධිපතිවරණයේදී දැඩි දේශපාලන ඇප කැපවීමක් කරමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට අපේක්‍ෂකත්වය බාරදී ජනාධිපතිවරණ සටනින් ඉවත්වී තමාගේ සහ පක්ෂයේ සහයෝගය ඔහු වෙත ලබාදී ජනවාරි 8 වැනිදා යුග පෙරළියට දායක වීමය.   


‘දේශපාලනය සහ ධර්මය’ නම් සිය කෘතියේ අවසන් පරිව්ඡේදයේ රනිල් වික්‍රමසිංහයන් මෙසේ සඳහන් කරයි.  
‘බුදුන් වහන්සේගේ ධර්මය පදනම් කරගත් ලොව ප්‍රථම ලිබරල්වාදී පාලන තන්ත්‍රය අශෝක රජු යටතේ ක්‍රියාත්මක විය. අශෝක රජුගේ ආකෘතිය ඉන්දියාව හා අග්නිදිග ආසියාවේ සමහර බෞද්ධ හින්දු හා ජෛන පාලකයන් යටතේ ද මැදපෙරදිග සමහර මුස්ලිම් පාලකයන් යටතේද රාජ්‍ය පාලනය සඳහා යොදා ගන්නා ලදී. විවිධ සංස්කෘතිවලට අයත් වුවත් ඝට්ටනයක් නැතිව එකට ජීවත්වීමට මනුෂ්‍යයාට හැකි බව අශෝක අධිරාජ්‍යයා මෙයින් පෙන්නුම් කළේය. ඊට වසර 1800 කට පසුව ද හින්දු මුස්ලිම්, ක්‍රිස්තියානි වැනි සෑම සංස්කෘතියකටම හැම ආගමකටම එකට ජීවත් වීමට හැකි බව අක්බර් අධිරාජ්‍යයා තහවුරු කළේය.  
18 වැනි සියවසේදී යුරෝපයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය දියුණු විය. නව ප්‍රජාතන්ත්‍රවාදය අද ලොව පැතිරුණ දහමක් ලෙස පිළිගැනීමට භාජනය වී තිබේ. එහි ආරම්භය බුදුන් වහන්සේගේ ධර්මය දක්වා ඈතට දිව යයි.  
දිගු දේශපාලන ගමනක යෙදෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ 72 වැනි උපන්දිනය මේ මස 24 දිනට යෙදී තිබේ. එදින සැමරීම සඳහා රටට කළ මෙහෙවර පිළිබඳ අල්පයක් මුසුකොට කළ වියමනකි. 

 

 

ජයන්ත කන්නන්ගර   
හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී