දුප්පත්කමේ ගිලුණු බෙලීස් රට


 

 

රටවල් පරිහානියට පත්වීම හෙවත් ඇද වැටීමට මූලික හේතුව එම රටවල පාලකයින් සත්‍යයගරුක නොවීමයි. අවංක නොවීමයි. විවිධ උප්පරවැට්ටි ​යොදා ජනපති පදවිය හෝ අගමැති පදවිය ලබා ගත් විට එය අතහැර දමා යාමට අකමැති පාලකයින් සිටින රටවල් විනාශයට පත් වූ අයුරු මෙම ලිපිපෙළ මගින් පෙන්වා දුනිමි.   


ජීවත් වීමට තරම් ප්‍රමාණවත් ධනයක් තමන් සතුව තිබියදී තව තවත් ධනය රැස් කර ගැනීමට වෙර දරන පාලකයින් ලොවටම පිළිලයකි. මොවුන්ට ආත්ම ලජ්ජාවක් නැත.   
අද ලංකාවේ වගේම තවත් බොහෝ අසමත් රාජය්‍යන්හි ජනපති හා අගමැති ප්‍රසිද්ධියේ ඇන කොටා ගනිති. සටන් කරති. මේ දේශයන්හි ජනපතිවරු පාර්ලිමේන්තුව තුට්ටුවකට ගණන් ගන්නේ නැත. මහජන මතයට, තඹයකට සලකන්නේ නැහැ. මේ සියල්ල සිදු වන්නේ ‘ටකරන්’ වලට රැවටෙන ජනතාවගේ අනුවණ කම නිසාය.   


මෙම තීරුවෙන් අද හඳුන්වා දෙනු ලබන්නේ මුළු ජන ගහණයෙන් සියයට 65කට අධික සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පෙළෙන මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි විනාශයට පත්වූ තවත් රටකි. ඒ බෙලිස් රාජ්‍යයි.   


අගාදයේ ගිලුණ රටක් 


මෙයත් දේශපාලකයින් විසින් මනස විකෘති කරනු ලැබූ බහුතර ජනතාවක් වෙසෙන රටකි. මෙහි ප්‍රධාන ජීවිකාව කාෂි කර්මාන්තය හා ධීවර කර්මාන්තයයි. රට රට වලට මිනිසුන් පැටවීමේ මිනිස් ජාවාරම් ශීඝ්‍රයෙන් සිදු වන දේශයකි. මත්ද්‍රව්‍ය ජාවාරම් විශාල වශයෙන් සිදු වේ. පාතාල කල්ලි සිදු කරන අපරාධ මගින් ජන ජීවිතය අනාරක්ෂිත කර තිබේ. පාසල් නොයන ළමයින් දස දහස් ගණනිනි. මෙයත් දේශපාලකයින් විසින් කා දමා ඇති අගාද​ෙය් ගිලුණ අවාසනාවන්ත රාජ්‍ය්‍යකි.   


මෙහි කඳුකරයේ කැලෑබද ගම්මාන වල තවමත් කුප්පිලාම්පු භාවිතා කරන ඉතා දිළිඳු පවුල් දිවි ගෙවන්නේ බාදක මධ්‍යයේය. බොහෝ ගම්මාන වල පිරිසිදු ජල පහසුකම් හෝ වැසිකිළි පහසුකම් නැත. බොහෝ දෙනා දැවයෙන් අටවා ගත් මඩු වල දිවි ගෙවති. දීර්ඝ කාලයක් තිස්සේ ගෝතමාලාව සමග දේශ සීමාව පිළිබඳව යුද්ධ කර ගත් රටකි. දේශ සීමා අර්බුදය තවමත් විසඳී නැත.   


මධ්‍යම ඇමෙරිකාවේ කැරිබියන් මුහුදු තීරයේ මැක්සිකෝවට හා ගෝතමාලාවට මැදිව බෙලීස් රට පිහිටා තිබේ. විශාලත්වය ව.කි.මී. 22,966ක් හෙවත් ව.සැ. 8867කි. ජනගහණය 3,85,854කි. බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.9ක් පමණ වේ. මේ රට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තේ 1981 සැප් 21 දාය. ඓතිහාසික මායා (MAYA) ශිෂ්ඨාචාරය පැවති රටකි. මායා වරුන්ගේ ඉපැරණි රාජධානියක් වූ කැරකොල් (Caracol) නගරයේ ඇති ඉපැරණි නටබුන් විශ්මයජනකය. අයස්කාන්තය. කුස ගින්නේ දිවි ගෙවන මෙහි බහුතර ජනතාව මේ මායා සංස්කෘතිය ගැන නොදනී.   


හොරු එළවා යලිත් හොරු බලයට එන හැටි


විනාශ මුඛයට පත් වී සහ පත් වෙමින් තිබෙන හැම රටකදීම මා දුටුවේ හොරුන් බිහි වන ආකාරයෙන් සකස් කර ගත් ආණ්ඩු ක්‍රමයි. හොරුන් ගෙදර යවා අලුත් හොරුන්ට රට බාර දෙන ජනතාවගෙන් පිරුණ මේ රටවල් අඳුරෙන් අඳුරට පත් වන අයුරු දුටුවෙමි. දරා ගත නොහැකි විදේශ ණය බර බෙලීස් රටට ද ඔරොත්තු නොදේ. මෙහි විරැකියාව උග්‍ර වී ඇත. ඒඩ්ස් වෛරසයෙන් මිය යන සංඛ්‍යාව අධිකය. මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින්ගෙන් පිරී පවතී. ඩෙංගු මදුරුවන්ගෙන් පිරුණ තවත් රටකි. ඩෙංගු හැදී මිය යන සංඛ්‍යාව අති විශාලය. මෙහි ගරා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට කිසිඳු ක්‍රමවේදයක් නැත. ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීමට රජය අපොහොසත් වී ඇත.   


හාර ලක්ෂයකට ආසන්න ජනගහණයකින් යුත් මේ කුඩා රාජ්‍යයේ ඇමැති මණ්ඩලයේ සිටින ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 22කි. අගමැති ඩීන් බැරෝය. (Dean Barrow) බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජින නියෝජනය කරන ආණ්ඩුකාරවරයෙක් තවමත් මෙහි සිටී. ඔහු කොල්වින් යන්ග්ය. ඇමැති ධුර සංඛ්‍යාව තවත් වැඩි කර ගැනීමට දේශපාලකයෝ පොරකති.   
හොරකමට ඉඩ දෙන අගමැති


බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට යටත්ව තිබූ හැම රටකම පාහේ උක් වගා කරනු ලැබීය. මෙහි උක් වගා බිම් වල හය හතර නොදන්නා අසරණ දරු දැරියන් ශ්‍රමය වැය කරන අයුරු ඉමහත් අනුවේදනීය දසුනකි. ලොව අරාජික හැම රටකම පාහේ නීති විරෝධී වැඩ කරන්නේ ධනය හා දේශපාලන හයිය ඇති අයයි. බෙලීස් රටේත් එහෙමය. ලංකාවේ ද සිදු වන්නේ එයමය. මේ ර​ෙට්ද මිනිසුන් බොරු දෙසා බාන, රාජ්‍ය ධනය යටි මඩි ගහන, හොර දෙටු දේශපාලකයින්ට රැවටී සිටිති. ඔවුන්ට එය වටහා දීම අපහසුය. ඔවුන් රැවටීම පහසු බව කෛරාටික දේශපාළුවන් දනිති. ලංකාවත් ණය කන්දකින් වැසී ඇත්තේ මේ නිසාය.   


බෙලීස් රටේ නියෝජ්‍ය ඇමැති ගැස්පර් වේගාය. ඔහුගේ පුතා ඇන්ඩෲ වේගාය

 
රාජ්‍ය අනුග්‍රහය යටතේ රජයට අයත් ඉඩම් විදේශ සමාගම් වලට හා ධනවතුන්ට විකිණීමට ඔහුගේ රස්සාවය. මෙසේ රාජ්‍ය ඉඩම් විකිණීමෙන් ඔහු ඩොලර් 4,0000 ක ආදායමක් උපයා ගෙන ඇති බව හෙළි විය. පරීක්ෂණ යට ගියේය. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය.   


මහා මාර්ග ඉදි කිරීමේ කොන්ත්‍රාත් හිතවත් ව්‍යාපාරිකයෙකුට ලබා දී ඔහු ඉපයූ මුදල් ඩොලර් මිලියන 8ක් බව මාධ්‍යයන් හා රජයට එරෙහි දේශපාලකයින් විසින් අනාවරණය කරන ලදී. අගමැති බැරෝන් සහ නියෝජ්‍ය අගමැති වේගා ඔහුට එරෙහි විමර්ශන යට ගැසුවේය. නඩුකාරයින් අහක බලා ගත්හ.   


​ෙම් බෙලීස් රාජ්‍යයේ අධිකරණය එරට නීතිය සුරක්ෂිත කරන ආකාරයයි  


රටවාසීන් ඖෂධ නොමැතිව, රෝහල් නොමැතිව වෛද්‍යවරුන් නොමැතිව, රෝග හැදී දහස් ගණනින් මිය යද්දී සෞඛ්‍ය සේවය නැංවීම සඳහා ලැබුණු විදේශ ආධාර වලින් ඩොලර් මිලියන 90ක් ඇමැති වරුන් එක් වී සොරකම් කළ අයුරු හෙළි කළේ බෙලීස්හි අමන්ඩලා (Amandala) පුවත් පතයි. එම වංචාව ද කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය.   


විපක්ෂ නායක එලොව යැවූ හැටි   


නායකයින් නැසිය යුත්තේ පිටරටින් භාණ්ඩ ආනයනය කිරීමට නොවේ. දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනංවා එරට නිෂ්පාදන පිටරටට අපනයනය කිරීමටය. මෙසේ කරන්නේ රාජ්‍ය පාලකයින්ගෙන් කීයෙන් කී දෙනා ද? යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනඥයින් අවස්ථාවාදී කපටියන් නම්, ඡන්ද දායකයින් මෝඩයින් නම්, එවැනි රටක බිහි වන ආණ්ඩු අතිශයින්ම භයානක බව කිව්වේ ලෝක ප්‍රකට ප්‍රාඥයෙකු වූ හැරල්ඩ් ජේ. ලැස්කිය. බෙලීස් රටට මේ කියමන හොඳටම ගැලපේ. මෙය ලංකාවටත් ගැලපේ.   


මේ රටේ ද ආණ්ඩු කරවන්නන් නම් විරුද්ධවාදීන් මර්දනය කිරීම කාලයක් තිස්සේ සිදු කරන්නකි. නිදහස ලබාගෙන ගතවූ වසර 38 තුළදී විපක්ෂ ක්‍රියාධරයින් ඝාතනය කිරීම, අතුරුදහන් කිරීම ආදිය මේ රටේ දිගින් දිගටම සිදු විය. ආසන්නතම උදාහරණය වන්නේ විපක්ෂ නායක ඇල්බර්ට් කැටෝස් (Albert Cattouse) අමානුෂික අයුරින් ඝාතනය කිරීමයි. ඊට වත්මන් අගමැති බැරෝ (Barrow) සෘජුවම සම්බන්ධ බව මාධ්‍යයන් මගින් හෙළි කරන ලදී. පරීක්ෂණ යට ගියේය. අගැමති බැරෝ වඩාත් ශක්තිමත් වුණේය. බෙලීස් රටේ හැටි මෙහෙමය.   


රටේ ජංගම දුරකථන සේවය නවීකරණය කිරීමට බී.ටී.එල්. (BTL) නමැති පෞද්ගලික ආයතනයට බාර දෙන ලද්දේ රටේ ප්‍රධාන විධායකය හසුරුවන අගමැති බැරෝය. ඉන් ඔහු උපයා ගත් අති දැවැන්ත ධනය සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රෝචස් ස්ක්‍රයිබර්ට් ඩොලර් 7,00000කට වැටුපක් ගෙවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්විණි. මේ ගැන තමා කිසිවක් නොදන්නා බව කියමින් අගමැති ලෙස්සා ගිය හැටි 2019 මාර්තු 29 දා මාධ්‍යවේදීනී ඩෙබී කර්ලින් (Debbie Curling) ජාත්‍යන්තර මාධ්‍යයන්ට අනාවරණය කළාය. අගමැතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය.   

 

 


තෙල් වංචාව සහ ඩීල් දැමීම   


අතීතයේ මායා ඉපැරණි සංස්කෘතිය පැතිර පැවති බෙලීයස් හි පුරාණ ගම්මාන 38ක තෙල් කැනීම සඳහා ඇමරිකාවේ ටෙක්සාස්හි පිහිටි සමාගමකට පැවරීමේදී සිදු වූ මහා පරිමාණයේ දූෂණ වංචා බලයට පත් වන හැම රජයක්ම විසින්ම යට ගසා ඇත.   


ඊට මූලික හේතුව වන්නේ දේශපාලකයින් අතර සිදු වන ගණුදෙනු හෙවත් ඩීල් බව මාධ්‍ය වාර්තා දක්වයි.   


රටවල් වැනසෙන්නේ මෙවැනි ඩීල් නිසාය. මේවා පොදු ජනතාවට හොරෙන් සිදු වන ඩීල්ය. බොහෝ බංකොලොත් රටවල මේවා සිදු වේ.   


පසුගිය දස වසර තුළ දී එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියට (UN Convention Against Corruption) (UNCAC) අත්සන් කිරීමට බෙලීස් පාලකයින් ඉදිරිපත් නොවූහ. මෙම සම්මුතියට අත්සන් කරන ලෙස ඉල්ලා එරට පුරවැසියන් අගමැති බැරෝට සංදේශයක් බාර දී ඇත්තේ ඊට මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. වසර 11 ක් තිස්සේ (2008 සිට) බැරෝ මෙහි අගමැති පදවිය හොබවයි. ඔහු තුන් වරක්ම ඡන්දයට ඉදිරිපත් වී ජය ගත්​ෙත්ය. මේ ඡන්ද ඉතා දූෂිත බව ජාත්‍යන්තර මාධ්‍යන්හි මතයයි. ඔහු අගැමති වීමට පෙර 1993 සිට නියෝජ්‍ය අගමැති පදවිය හෙබවීය.   


බෙලීස් රට කාන්තා හිංසනය සිදු වන තවත් රාජ්‍යයකි. දැරියන් හා කාන්තාවන් නිතරම ලිංගික අතවරවලට මුහුණ පාති. රැකියා විරහිත තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව 50,000කට අධිකය. ඔවුහු අපරාධවලට හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ඇබ්බැහි වී සිටිති. මැක්සිකෝව හරහා ඇමෙරිකාවට පැන යාම මෙහි බහුතර ජනතාවගේ එකම අපේක්ෂාවය. සැතපුම් ගණන් ඝන වනාන්තර, කඳු ගංගා තරණය කරමින් වඩා යහපත් අනාගතයක් තකා ඇමෙරිකාවට ළඟා වීමට උත්සාහ කරන බෙලීස් ජාතිකයින් මහ මඟදී මිය යන්නේ තම අපේක්ෂා සුණු විසුණු කර ගනිමිනි.   


මෙහි බහුතර ජනතාව අපායෙන් ගොඩ ඒමට දිවා රෑ සැලසුම් කරති. මේ සැලසුම් එහි සුළු පිරිසක් විසින් සැබෑ කර ගනිති. ඇමෙරිකාවේ ආගමන විගමන නීති තර කිරීමට ඇමෙරිකවේ ජනපති ට්‍රම්ප් විසින් පියවර ගැනීම නිසා වැනිසියුලා, බෙලීස් හොන්ඩ්‍රාස්, පේරු, චිලී නිකරගුවා වැනි රට වල ජනතාවට ඇමෙරිකාවට පැනීමේ එම වෑයම ද අත්හැර දැමීමට සිදු වේ.   


ලොව දූෂිත පාලකයින්ට අණ දෙන බෙලීස් රට  


ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක සිරස්තලය මුදල් විශුද්ධිකරන්නන්ගේ පරාදිසය යන්නයි.   


(BELIZE MONEY LAUNDERING REGIME) විවිධ රටවල පාලකයින්ට සොරකම් කළ මුදල් බෙලිස්හි බැංකු වල තැන්පත් කිරීමට ඉඩ දී ඇතැයි එම වාර්තාවෙහි සඳහන් වේ. ලෝකයේ වංචනික පාලකයින්ගේ රහස් හෙළි නොකිරීමට තුළින් බෙලිස්හි පාලකයින් මුදල් යටි මඩි ගසා ගනිති.   


මේ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තා මුලින්ම ඉදිරිපත් කළේ රැජිනි චැටර්ජි (Ragini Chatterjee) නමැති මාධ්‍ය වේදිනියයි. බොහෝ වල පල්ලට ගිය රට වල සිටින පාලකයින් හා ඔවුන්ගේ පවුල් වල අය සොරකම් කළ මුදල් පැනමා සහ බෙලීස් බැංකු ගිණුම් වල තැන්පත් කරති. සමහර රට වල දූෂිත දේශපාලකයන් සොකරම් කළ මුදල් වලින් සැප විඳීමට නොහැකිව මිය යති.   


මුළු ජනගහණයෙන් සියයට 58කට වැඩි පිරිසකට බැංකු ගිණුමක්වත් විවෘත කිරීමට නොහැකිව එදා වේල පිරිමසා ගන්නවත් නොහැකිව සිටී නම් එම රට ඉදිරියට යන්නේ කෙසේද? බෙලීස් රජය සිතන්නේ දෙහි, කෙසෙල්, සීනි මසුන් පිටරට පැටවීමෙන් පමණක් රට ඉදිරියට ගෙන යාමට හැකි බවයි. මෙම අපනයන සමාගම් පවත්වා ගෙන යන්නේ ද බලයට පත් වූ සහ බලයෙන් පහ වූ දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල් වල ඥාතීන්ය. මෙවැනි රටකට කවදා අරුණෝදය උදා වේද?   

 

 

 

සිරි හීන්පැල්ල  
නිව්යෝර්ක් නුවර සිට ලියයි