දිවියන්ට බියේ ජීවත්වන ගැමියෝ


 

සවස්වන විට ඇඳිරි නීතිය දැමුවා වැනිය. මඟ තොට මිනිසුන් නැත. ඉඳි හිට ධාවනය වන ත්‍රිරෝද රියක වුවද ආරක්ෂාවට කැත්තක් පොරවක් හෝ පිහියක් රැගෙන යති. මේ භීෂණය පැතිර ඇත්තේ ඌවේ, ඌව පරණගම ගම්මාන කීපයකය. ඝාතනය වූ ගවයන් මිහිදන් කළ සොහොන් ද දැක ගත හැකි විය. 


මෙසේ ඝාතනය කර ඇත්තේ තම දිවි සරුකර දුන් කිරි දෙනුන්ය. නැතිනම් තනි තොතනියට සිටි ආදරණීය සුනඛයන්ය. 


මේ වන විටත් ගවයන් 10 දෙනෙක් හා සුනඛයන් ගණනාවක් ඝාතනය කර ඇති මේ බලවේගය හෙට - අනිද්දා මිනිසුන් ද බිල්ලට ගනු ඇතැයි ගම්වැසියන් තුළ පවතින්නේ භීතියකි. 


“රෑට රෑට කොටි එනවා. එළිවෙන කල් ඇහැපියන්නේ නැහැ.” මැදවෙල කුඩුගල පදිංචිකාරියක වන එච්. එම්. චන්ද්‍රාවතී එසේ පැවසුවේ දෑසට කඳුළු නංවමිනි. 


“මහත්තයයෝ මගේ මිනිහා මැරිලා. ඔය කන්ද පාමුල තමයි මගේ පැල්පත තියෙන්නේ. 


හරියටම අවුරුද්ද දවසේ රාත්‍රියේ මේ කන්දේ බැඳලා තිබුණ හරක පණ බයේ කෑ ගහනවා ඇහුණා. අනේ දෙයියනේ පසුවදා බලනකොට කිරි හරක් දෙන්නෙක් මරලා දාලා. 


ලේ විලක් මැද උන් වැටිලා හිටියා. ඊට පස්සේ මේ විදියට දින ගණනාවක්ම අපේ සත්තු කොටි කනවා. හෙට අනිද්දා අපිව කාලා දායිද දන්නේ නැහැ. 


කවුරුවත් අපි ගැන හිතන්නේ නැහැ. 


වැරදිලාවත් ගමේ උන් මේ කොටි පෙති ගහලා දැම්මොත් නම් නිලධාරීන් ඇවිත් අපේ උන් කුදලාගෙන යාවි. 


ඇය හදේ ගින්න වදන්වලට පෙරළුවේ එසේය. ඇතැමුන් කොටි බව කීවත් කොටි මේ ප්‍රදේශයේ නැතැයි වනජීවී නිලධාරීහු කියති. 
එහෙත් කොටි නැතිනම් දිවියන්වත් මේ භීෂණය මවා ඇති බව පැහැදිලිය. මේ කන්ද පිහිටියේ මැදවෙලගම ඉස්මත්තේය. නියඟය නිසා ගොවිතැනින් මඩ ගොවිතැන් පාළු වූ ගම් වැසියන් හේන් වගාවක්වත් කර ගන්න ඔට්ටු වන්නේ මෙහි මහ පොළොව සමඟය. 
ඇතැම්හු මෙහිම පදිංචිව සිටිති. කිරිපට්ටි පාලනය ජීවන බරට තරමක් සවියකි. එම ගවයන් නිදැල්ලේ ගාල් කරන්නේ මේ ඉසව්වේය. 


දැන් දැන් මතුව ඇති භීෂණය නිසා වැසියෝ ගවයන් මේ කඳු ප්‍රදේශයේ සිට තම නිවෙස්වලට දක්කාගෙන එති.” 


අඳුරු වැටෙද්දී තම ගවයකු දක්කාගෙන එමින් සිටි කෙනෙකි සුනිල් තෙන්නකෝන්. ඔහුට ඒ දුක් බර දවස මනසේ හොල්මන් කරනවා සේය. 


“අපිට හරක් 5 දෙනෙක් ඉන්නවා. අපි හවුලේ තමයි හරක් හදන්නේ. අපි මාසයකට විතර පස්සේ තමයි. හේන් ගොවිතැනක් කරගෙන ගමට ගියේ.

 
ඒ යද්දි මං දක්කා මගේ හරකෙක් කාල දාලා තියෙනවා. පස්සේ දැන ගත්තා මේ ගම්වල හරක් 10 දෙනෙක් විතර මේ වගේ කාල මරල දාල කියලා. 


අපි වන ජීවියටත් පොලිසියටත් මේ ගැන කිව්වා. වන ජීවී මහත්තුරුත් ආවා. මහත්තුරු අපට කිව්වේ කැලෑ එළිකර ගන්න එතකොට සත්තු එන එකක් නැහැ කියලා. 


අපි එහෙම කළොත් මහත්තයෝ වන සංරක්ෂණ මහත්තුරු ඇවිල්ල අපි අල්ලං යයි. හරක් නැති නිසා ලක්ෂ ගණනක පාඩුවක් වගේම අපේ අනාගත ආදායම් මාර්ගයකුත් නැති වුණා. අපි අන්තිම අසරණ වෙලා” යැයි පැවසූ තෙන්නකෝන් ගොවි මහතා තමාගේ ගවයා වළ දැමූ තැන පෙන්වූයේ කඳුළු සලමිනි. 


අපි තවදුරටත් කැලෑව දෙසට යද්දී හමුවුණ එස්. ජේ. එම්. පද්මසිරි පැවසුවේ “මේ විනාශය සිදු කරන දිවියකු තමා දුටු බවය. 
මම සවස 3.00 ට විතර ගොඩමඩවල කන්දේ බොරගහ ළඟට යනකොට “ස්...” කියලා ශබ්දයක් ඇහුණා. ඒ එක්කම බල්ලො රංචුවක් බුර බුරා දුවන්න පටන් ගත්තා. මම හැරිලා බලනකොට ගහ උඩ දිවියා. මමත් පස්ස නොබලා දිව්වා. අනේ දෙයියනේ එහෙම බයක් නම් මගේ ජීවිත කාලෙට දැනිලා නෑ.” ඔහු කීවේය. 


ලලන්ත කුමාරගේ ගවයන් දෙදෙනකු දිවියා විසින් හපා කා ඇති අතර එකෙක් මියගොස් අනෙකා බේරා ගැනීමට හැකි වූ බව ලලන්ත කීවේය. බේරාගත් ගවයාගේ තුවාලවලට බේත් කිරීමෙන් පසු සුවය ලබා ඇත. 


එස්. ජේ. එම්. පුංචිරාලගේ ගවයන් දෙදෙනකුම මෙසේ මරණයට පත්ව ඇත. ඔහුද කතා කළේ ඉකිබිඳිමිනි. 


“හරිම වේදනාවක්..... ඇයි දෙයියනේ අපේ කිරි හරක් මේ විදියට කා දමනකල් කිසිම අංශයක් කිසිම පියවරක් නොගන්නේ? ”
මේ ගම්මානවල හැම දෙනාම දැන් ඉන්නේ පණ බයේ. අපිට නම් තේරෙන්නේ නැහැ. මොනව කරන්නද කියලා. 


තවත් ගවයන් රැසකගේ දිවි ගැලවී ඇත්තේ පුදුමාකාරයටය. මැදවෙල ගම බොරුවල පදිංචි ඒ. එම්. කාංචනා කීවේ එවැනි සිද්ධියකි. 
“එදා මමත් තාත්තලාගේ ගෙදර හිටියේ. හරක් ගේ පහළ කුඹුරෙ බැඳලා තිබුණේ. රෑ 12 ට විතර බල්ලෝ බුරන ශබ්දයක් ඇහුණා. තාත්තා හනි හනිකට ටෝච් එක ගහගෙන ගිහින් බලනකොට මොකෙක් හරි සතෙක් දුවනවා දැකලා තියෙනවා. 


හරක් වේදනාවෙන් කෑ ගහනවා. ළඟට ගිහින් බලනකොට කිරි දෙනගේ බෙල්ලෙන් කකුල් වලින්, නහයෙන් ලේ එනවලු. 
අපිත් හනිකට ගිහින් බැලුවා. ඊට පස්සේ බේත් දැම්මා. දැන්නම් ඌට හොඳයි.” 


ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික ජයසිංහ මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ කුඩුගල, බෝඹුරේ මැදවෙල කුට්ටිඅරාව කරගහඋල්පත යන ගම්මානයන්හි ජනතාව මේ භීතියෙන් පෙළෙන බවයි. මේ පිළිබඳව වන ජීවී නිලධාරීන් මෙන්ම පොලිසිය ද දැනුම්වත් කළ බවත් ජයසිංහ මහතා සඳහන් කළේය. 


බෝගහ හන්දියේ දී හමුවූ සුමනේ දිලීප, සුමේධ හා සුනිල් ඇතුළු තරුණ පිරිස පැවැසුවේ තමන් ද ගම රැක ගන්න දිවා රෑ වෙහෙසෙන බවය. 


ගම්මානයේ විවිධ ස්ථානවලට අප කැටුව ගිය ඔවුහු ගම්වැසියන් සමඟ කතා කිරීමට ද අවස්ථාව උදා කළහ. හැම දෙනාම පැවසුවේ දරු පැටවුන් සමඟ පැය විසි හතර පුරා භීතියකින් පසුවන බවය. දරුවන් පාසල් යැවීමට ද බියෙන් පසුවන බව ඔව්හු පැවසූහ. 
දිවා කාලයේ ද ඇතැමුන් මේ දිවියා දැක ඇති බව දැන ගන්නට ලැබුණි. 


මේ භීතිය නැති වෙන්නේ කවදාද? එය නැති කළ හැක්කේ කාටද? එම පැනවලට තවමත් පිළිතුරු ලැබී නොමැත.

සටහන / ඡායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ