දිවි එපා කී තරුණියකගේ දිවි බේරාගන්න ජලාශයට පැන්න වීරයෝ


  තරුණිය ජලාශයට පනින ලද පාලම

 

  • හමීඩ් රිස්වාන් දියේ ගිලී මිය ගියා  
  • පොලිස් ස්ථානාධිපති හා කොස්තාපල්වරයකු පිහිනා ගොස් තරුණිය බේරා ගත්තා  

 

 

පුද්ගලයකුට කිසියම් අනතුරක් හෝ වෙනත් මරාන්තික කරදරයකට මුහුණ පෑමට සිදුවුවහොත් බොහෝ විට අද සමාජයේ සිදු වන්නේ එකී අනතුරට පත් පුද්ගලයාගේ දිවි ගලවා ගැනීමට උපකාරි නොවී හිමින් සීරූවේ එම ස්ථානයෙන් මගහැරයාමේ කලාවකි. එසේත් නොමැති නම් තම ජංගම දුරකතනය ගෙන අනතුරට පත් පුද්ගලයාගේ දිවිය එම ස්ථානයේම නිමා වන තුරු ඡායාරූප හෝ වීඩියෝ ගත කිරීමය. පසුව එම ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ඉවක් බවක් නොමැතිව ප්‍රචාරය කිරීමය. ඒ තරමටම වර්තමාන සමාජ රටාව උඩුයටිකුරුව ගොස් තිබේ. 


සමාජයේ අද බොහෝ පිරිස් එම තත්ත්වයට පත්ව තිබුණ ද ඒ අතර තම දිවිය පරදුවට තබා අන් ජීවිතයක් බේරා ගැනීමට තැත් කරන පිරිස් ද අතරින් පතර හමුවීම ජාතියේ වාසනාවකි. එවැනි පුද්ගලයන් කීප දෙනෙකු පිළිබඳව කතාවක් තලවකැලේ නගරයෙන් පසුගිය 21 දින වාර්තා විය. 


මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇද හැළෙමින් පැවැති අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලා ජලාශයේ ජල මට්ටම වෙන කවරදාවටත් වඩා ඉහළටම පිරී පැවැතිණි. ජලාශයේ ජලය කොතරම් පිරී පැවැතියේද යත් ඊට දින කීපයකට ඉහත ජලාශයේ වාන් දොරටු තුනක්ම ස්වයංක්‍රීයව විවෘත වී තිබිණි. 


තත්ත්වය එසේ තිබියදී තලවකැලේ නගරය සමීපයේ තරුණියක පසුගිය 21 දින උදෑසන ඉහළ කොත්මලා ජලාශය මැදින් වැටී ඇති උඩරට දුම්රිය මාර්ගයේ පාලම මතට පැමිණ අසුරු සැණින් ජලාශයට පැන්නේ කිසිවෙකුටත් නොපෙනෙන සේ හොර රහසේය. එහෙත් එය කිසිවෙකුගෙන්වත් වසන් කිරීමට ඇයට නොහැකි වූයේ ඒ ​වෙන විටත් එම දර්ශනය කීප දෙනෙකුම දැක තිබීම නිසාය. අවට සිටි පිරිස් ඉතාමත් කෙටි කාලයක් තුළදී කඩි ගුලක් සේ දුම්රිය පාලම මත පිරෙන්නට වූයේ වාතලය සිසාරා පැතිරී ගිය අමිහිරි ශබ්ද රටාවන් සමුදාය හේතුවෙනි. 


එම ස්ථානයට පැමිණි හැමෝම කෑමොරදීම හැර අන් කිසිවක් කිරීමට අපොහොසත් වූයේ ජලාශය වසාගෙන පැවැති රුඳුරු ජල කඳ නිසාය. එහෙත් එම ස්ථානයට පැමිණි හමීඩ් රිස්වාන් නම් 28 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයා දෙවරක් නොසිතා දියේ ගිලෙමින් මිය යන්නට වෙහෙසෙන තරුණියගේ ජීවිතය බේරා ගැනීමට වහා ජලාශයට පැන ඇය දෙසට පීනන්නට විය. ඇය අසලටම පීනා ගිය මෙම තරුණයා ඇය බේරා ගැනීමට තැත් කරද්දී දියේ දඟලමින් සිටි තරුණිය අල්ලා ගැනීමේදී එක්වරම රිස්වාන් දියේ ගිලී නොපෙනී ගියේ බලා සිටි පිරිසගේ දෙනෙත් තෙත් කරමිනි. අවට සිටි පිරිස් රිස්වාන් ජලය යටට ගිය මුත් යළි පෙනෙන්නට නොමැති බව පවසමින් කෑගසන්ට වූහ. 


ඒ වෙනවිටත් තලවකැලේ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණෙන ලදී. එම ස්ථානයට පැමිණි පොලිස් පරීක්ෂකවරයා දෙවරක් නොසිතා තම නිල ඇදුම් පිටින් ජලාශයට පැන දියේ ගිලෙමින් ඒ වනවිටත් උඩට යටට යමින් සිටි තරුණිය අසලට පිහිනා ගියේ ඔහුගේද ජීවිතය පිළිබඳව තඹ දොයිතුවක් මායිම් නොකරය. පොලිස් පරීක්ෂකවරයාගේ සහායට ඉන් අනතුරුව ජලාශයට පැන එම ස්ථානයට පීනා ගියේ තලවකැලේ පොලිසියේ කොස්තාපල්වරයෙකු ලෙස සේවය කරනු ලබන කාන්ත රූබන් මහතාය. 


කෙසේ නමුත් පැය භාගයකට ආසන්න කාලයක් අඩි හැටක් පමණ ගැඹුරු අධික ශිතල රුඳුරු ජල කඳ සමග පොර බැදූ එම අභීත පොලිස් විරුවන් දෙදෙනා මරණය පෙනි පෙනී සිටි තරුණිය ජලාශයෙන් ගොඩට රැගෙන ඒමට සමත් වූහ. ජලයෙන් ගොඩ ගත් තරුණිය වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලිඳුල රෝහලට රැගෙන යන ලදී. 


මුලින්ම ජලයට පැන අතුරුදන්ව සිටි රිස්වාන් තරුණයා සෙවීමේ කටයුතු කොතරම් සිදු කරන ලද මුත් ඔහු සොයා ගැනීමට නොහැකි විය. මෙම තරුණයා සෙවීමේ කටයුතුවලට ඒ වනවිටත් තලවකැලේ පොලිසියේ නිලධාරීන්, තලවකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන්, ඉහළ කොත්මලා ජලාශයේ නිලධාරීන් ඇතුළු තලවකැලේ අවට වැසියන් එකතූව සිටියහ. ඔවුන් පැය ගණනාවක් මෙහෙයුම් සිදු කරනු ලැබුවද ඉන් පලක් නොවිණි. 


ඉහළ කොතමලේ ජලාශයේ පැවැති ඉහළ ජල මට්ටම මෙම තරුණයා සෙවීමේ කටයුතුවලට දැඩි බාධාවක් විය. පසුව ජලාශය භාර නිලධාරීන් සාකච්ඡා කොට ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම යම් කිසි ප්‍රමාණයකට අඩු කිරීමට ජලාශයේ ජලය භාවිත කරමින් උපරිමයෙන් විදුලි බලය උත්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. ඉන් පැය හතක පමණ කාලයකට පසුව හමීඩ් රිස්වාන් තරුණයාගේ නිසල දේහය ඉහළ කොත්මලා ජලාශයේ පතුලේ මඩ අතර සිරව තිබියදී සොයා ගනු ලැබුවේ බලා සිටි දෙනෝදාහක ඇස් කෙවනි තුළ කඳුළු පුරවමිනි. 


හමීඩ් රිස්වාන් 28 හැවිරිදි දෙදරු පියෙකි. පදිංචිව සිටියේ තලවකැලේ, ලිඳුල, ෆාමස්ටන්, රත්නගිරිය ජනපදයේය. ඔවුගේ වැඩිමල් දරුවා දියණියකි. වයස අවුරුදු 12 ක් වූ ඇය ලිඳුල සිංහල විදුහලේ 7 වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටින්නීය. ඔහුගේ පුතාගේ වයස අවුරුදු 11 කි. ඔහුත් ලිඳුල සිංහල විදුහලේ 6 වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටී. පෙදරේරු රැකියාවේ යෙදී සිටි රිස්වාන් තලවකැලේ හා ලිඳුල නගරවල ජනප්‍රිය පුද්ගලයෙකි. සුළු කාලයක් ඇතුළත සියල්ලම අවසන්ව ගියේ දරුවන් දෙනෙකුට ආදරණීය පියෙකු අහිමි කරවමිනි. බිරිඳකට සෙනෙහබර සැමියෙකු අහිමි කරවමිනි. දෙමාපියන්ට දරුවෙකු අහිමි කරවමිනි. සමාජයට යහපත් වීරත්වයෙන් හෙබි තරුණයෙකු අහිමි කරවමිනි. මේ සියල්ලටම මුල් වුයේ හමීඩ් රිස්වාන් සතුව තිබූ මනුස්සත්වයෙන් පිරී සැබෑ වීරත්වයය. 

මියගිය තරුණයාගේ සිරුර ගොඩගත් අවස්ථාව

 

රිස්වාන්ගේ දේහය නිවසේ තබා තිබු අයුරු

 

හමීඩ් රිස්වාන් තරුණයා ජීවිතයෙන් සමු ගත්තේ තවත් ජීවිතයක් ජීවත් කරවීමේ පරම අටියෙන් සිදු කරන ලද වීර ක්‍රියාන්විතයකදීය. මෙහි තවත් සිද්ධාන්ත කීපයක් එකතුව ඇත්තේ පුදුම අයුරිනි. හමීඩ් රිස්වාන් මුස්ලිම් ජාතික තරුණයෙකි. නිවසේ වැඩිහිටියන් ‌විසින් යෝජනා කරන ලද මඟුල් තුලාවකට අකමැතිව සියදිවි නසා ගැනීමේ අරමුණින් ජලාශයට පනින ලද්දේ විසි දෙහැවිරිදි දමිළ ජාතික තරුණියකි. තලවකැලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා සිංහල ජාතිකයෙකි. පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහායට ජලයට පනින ලද්දේ පොලිස් කොස්තාපල් කාන්ත රූබන් මහතාය. ඔහු දමිළ ජාතිකයෙකි. 


එපමණක්ද නොව ජාතීන් අතර තවත් පුදුම සංකලනයක් රිස්වාන්ගේ පවුල් පසුබිමේ පවතී. රිස්වාන්ගේ පියා මුස්ලිම් ජාතිකයෙකි. ඔහුගේ මව සිංහල ජාතික කාන්තාවකි. රිස්වාන්ගේ බිරිඳ කිතුනු කාන්තාවකි. ඔවුන්ගේ දරුවන් දෙදෙනා බෞද්ධය. හමීඩ් රිස්වාන්ගේ අවසන් කටයුතුද සිදු කරන ලද්දේ බෞද්ධ ආගමික කටයුතුවලට අනුව ලිඳුල, රත්නගිරිය පොදු සුසාන භූමියේදීය. 


ජාතිය හා ආගම් අනුව ඇන කොටා ගන්නා ඇතැම් පහත් තත්ත්වයේ මිනිසුන් හමුවේ රිස්වාන්ලාගේ පවුල් සංකලනයෙන් බොහෝ දෑ ඉගෙන ගැනීමට ඇතැයි අපට සිතේ. ඔහු ජීවත්ව සිටියදී නොදත් බොහෝ කරුණු හෙළිවුයේ ඔහු මියගිය පසුවය. 


මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා රිස්වාන්ගේ වීරත්වය අගයමින් විශේෂ සමරු සිහිවටනයක් සකස් කොට ලබාදීමට මෙන්ම අගහිඟකම් බහුල ඔවුන්හට මූල්‍යමය උපකාරයක් සිදු කිරීමට පියවර ගෙන තිබිණි. හව්හරණක් නොමැතිව ඉතාමත් අසරණ තත්ත්වයට ඇද වැටුණු එම පවුලේ සාමාජිකයන් හා දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව රජයේ හා උදව් කළ හැකි පුද්ගලයන්ගේ අවධානය යොමු විය යුත්තේ අකාලයේ ඔහු මියගියේ තවත් ජීවිතයක් බේරා ගැනීමට ඔහුගේ ජීවිතය පූජා කිරීම හේතුවෙනි. 

 

තලවකැලේ පොලිස් ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු මහතා හා කොස්තාපල් කාන්ත රූබන් මහතා

 

ආගම් හා ජාතීන් රැසකගේ සංකලනයෙන් සිදු වූ රිස්වාන්ගේ කතාවෙන් කියාපානුයේ මිනිසෙකුට යම් කිසි දුකක් කරදරයක් සිදු වීමේදී ඊට පිහිටක් වීමට ආගම්, ජාති, කුලමල, නිලතල, උස් මිටිකම් වැනි භේද කිසිවක් බල නොපාන බවය. සැබැවින්ම මෙකී කතාවට ජීවය දුන් තලවකැලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා ඇතුළු ඊට සෘජුවම හා වක්‍රාකාරව උදව් උපකාර කරන ලද සියල්ලම අගය කළ යුතුය. එසේම ජීවිතයක් බේරා ගැනීමට ගොස් අකාලයේ මියගිය රිස්වාන් තරුණයාගේ අසරණ වූ දරු පවුල කෙරෙහිද වගකියයුතු අංශවල අවධානය යොමු විය යුතුය. ඒ මන්ද යත් කිවහොත් ජීවිතයක් මරණයෙන් මුදවා ගැනීමට තම තරුණ ජීවිතය අකාලයේ අහිමි කරගත් රිස්වාන්ගේ ක්‍රියාවට අපමණ අගයක් එක් කළ හැක්කේ ඒ හරහා බැවිනි. 

 

 

 

සටහන සහ ඡායාරූප
තලවකැලේ ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ