දියවැඩියාවේ ප්‍රභේද හඳුනා ගනිමු


දියවැඩියාව හා හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ශ්‍යාමින්ද කහඳව

 

 

 

බෝ නොවන රෝගයන්ගෙන් බහුලවම රෝගීන් වාර්තා වෙන ප්‍රධානම රෝගයකි දියවැඩියාව.   


ලොව පුරා වයස් බේදයකින් තොරව පීඩා විඳින දියවැඩියාවට අහිතකර ආහාර රටාව, මානසික ආතතිය, ව්‍යායාම නොකිරීම සහ ජානමය හේතුන් ඍජු හා වක්‍රාකාරයෙන් බලපා හැකිය. කුමන හේතුවකින් රෝගයට ගොදුරු වුවද තමාට වැලඳී ඇති දියවැඩියාව නිවැරදිව හඳුනා ගැනීම රෝග නිවාරණයට හේතු වන නිසාම අපි ඒ පිළිබඳව මෙම ලිපියේ සාකච්ඡා කරමු. 


ශරීරයේ ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනය වන්නේ අග්න්‍යාසයේ ඇති සෛල මගිනි. ඉන්සියුලින් හෝමෝනය මගින් අප රුධිරයේ ග්ලුකෝස් මට්ටම නියමිත පරාසයක පවත්වා ගැනීමට උපකාරී වේ. 


ශරීරය තුළ ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය නිසිලෙස ක්‍රියා නොකිරීම හෝ ඉන්සියුලීන් හෝමෝනය අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය නොවීම දියවැඩියා රෝගයට හේතු වන ප්‍රධානතම සාධකයය. 


මේ අනුව දියවැඩියාව කාණ්ඩ හතරක් යටතේ වර්ග වේ. 


1. පළමු කාණ්ඩයේ දියවැඩියාව (Type 1 Diabetes) 
2. දෙවන කාණ්ඩයේ දියවැඩියාව (Type 2 Diabetes) 
3. ද්විතික දියවැඩියාව (Secondary Diabetes) 
4. ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාව (Gestational Diabetes) 
පළමු කාණ්ඩයේ දියවැඩියාව හෙවත් ටයිප් වන් දියවැඩියාව 


විශේෂයෙන්ම ළමුන් අතර මෙම දියවැඩියාව දක්නට ලැබේ. දියවැඩියා රෝගයට ගොදුරු වන්නන්ගෙන් සියයට 5ක් පමණ පළමු කාණ්ඩයේ දියවැඩියාවට ගොදුරු වූවන් බව සෞඛ්‍ය අංශ පෙන්වා දේ. 


අග්න්‍යාසය මගින් ශරීරයේ ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනය ඇනහිටීමෙන් පළමු කාණ්ඩයට අයත් දියවැඩියාව කෙනෙකුට ඇතිවේ. 
ඉන්සියුලීන් නිෂ්පාදන සෛල ක්‍රම ක්‍රමයෙන් විනාශ වීමෙන් ශරීරයේ ඉන්සියුලීන් හෝමෝනය නිපදවීම අඩපණ වේ. 


මෙහිදී රෝගියාගේ ශරීරය කෙට්ටු වීමට පටන් ගන්නා අතර හුස්ම ගැනීමේ අපහසුතාව ද ඇති වේ. 


රෝගය උත්සන්න වීමෙන් සිහිමඳ ගතිය, කල්පනාව අඩුකමද ඇතිවීමට පුළුවන. මෙවැනි රෝග ලක්ෂණ පෙන්වන රෝගියෙකු රෝහල් ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු කළ යුතුය. 
පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට රෝගය පාලනය වෙනුවෙන් මුඛයෙන් ලබාදෙන ඖෂධ ප්‍රමාණවත් නොවන අතර ඉන්සියුලින් හෝමෝනය එන්නත් මගින් ජීවිත කාලයම ලබාදීමට සිදුවේ. 


දෙවන කාණ්ඩයේ දියවැඩියාව නොහොත් ටයිප් ටූ වර්ගයේ දියවැඩියාව 


මෙය බහුලවම රෝගීන් වාර්තා වෙන රෝගී තත්ත්වයකි. ලොව පුරා සිදුකළ පරීක්ෂණවලින් ලබා ඇති දත්තයන්ගෙන් පෙන්වා දේ. දියවැඩියාවට ගොදුරු වන රෝගීන්ගෙන් සියයට 90-95 පමණ දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගයට අයත් වන අය බවය. 


වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබුණ ද දැන් දැන් ළමයින් අතරද මෙම දියවැඩියා රෝගය ඇති වන බවට හඳුනාගෙන තිබේ. 


අධික තරබාරුව, බෙල්ල ප්‍රදේශයේ උඩුහම කළු වීම ආදී සාමාන්‍ය රෝග ලක්ෂණ ලෙස දැක ගත හැකිය. 


දෙවන කාණ්ඩයේ දියවැඩියාව ඇති වීමට මූලිකම හේතූන් ලෙස ස්ථුලතාව (විශේෂයෙන්ම උතුර ප්‍රදේශයේ ස්ථුලතාව වැඩිවීම බලපානු ලැබේ.) 


ක්‍රියාශීලී නොවනා ජීවන රටාව, වැරදි ආහාර පාන භාවිතා, අධික සීනි අධික පීෂ්ටය සහිත ආහාර ගැනීම, ව්‍යායාම මදිකම, මානසික ආතතිය ආදී කරුණු මෙම වර්ගයේ දියවැඩියා ඇති වීමට මූලිකම හේතුවක් වේ. 


දෙවන වර්ගයේ දියවැඩියාවේදී දැකිය හැකි රෝග ලක්ෂණ 


මෙම වර්ගයේ දියවැඩියාව ශරීරයේ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බැවින් එක්තරා මට්ටමකදී රුධිරගත සීනි මට්ටම වැඩි වීමට පටන් ගැනේ. එහිදී මෙම රෝග ලක්ෂණ දැක ගත හැකිය. 


නිතර නිතර පිපාසය දැනීම, මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව නිතර දැනීම, හේතුවක් රහිතව ශරීරයේ බර අඩුවීම, විශේෂ හේතුවකින් තොරව පෙනීමේ දුර්වලතා ඇති වීම, අතපය ආශ්‍රිතව හිරි ගතියක් ඇතිවීම, ලිංගික ප්‍රදේශය ආශ්‍රිතව නිතර නිතර ආසාදනයන් ඇති වීම 


දෙවන කාණ්ඩයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට මෙම රෝග ලක්ෂණ ඇති විය හැකි අතර ඇතැම් රෝගීන්ට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වාද මෙම ............. දියවැඩියා රෝගය ශරීරයේ තිබිය හැකිය. 


නිවැරදි ආහාර රටාව, සුදුසු ව්‍යායාමයක නිරත වීම සහ වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත වෙලාවට ගැනීම රෝගය පාලනය කළ හැකි සරලම ක්‍රමයන් වේ. 


දෙවන වර්ගයේ දියවැඩියාව නිසි ලෙස පාලනය නොකරනා රෝගීන්ට දියවැඩියාව සඳහා ලබාදෙන ඖෂධ කාලයකදී නිෂ්ඵල වන අතර එහිදී රෝගියාට ඉන්සියුලින් හෝමෝනය එන්නත් මගින් ලබා ගැනීමට සිදුවිය හැකිය. එහෙයින් මුල් අවස්ථාවේ රෝගය පාලනය කිරීම ඉතාම වැදගත්ය. විශේෂයෙන්ම නිරෝගී වැඩිහිටියන් පවා වසරකට වරක් රුධිරගත සීනි මට්ටම මැන ගැනීම ඉතාම වැදගත්ය. 


ද්විතීයක කාණ්ඩයේ දියවැඩියාවට හේතූන්. 


මෙම කාණ්ඩයේ දියවැඩියාව ඇතිවීමට පහත හේතූන් බලපා හැකිය. 


ජානමය හේතූන්, ශරීරයේ වෙනත් හෝමෝනයන්ගේ ක්‍රියාකාරීත්වය වැඩිවීම (උදාහරණයක් ලෙසට වර්ධක හෝමෝනයේ වැඩිවීම. කෝටිසෝලි හෝමෝනයේ වැඩිවීම සිදුවිය හැක.) 


ඇතැම් රෝග සඳහා දිගුකාලීනව ගන්නා ඖෂධ ද ඇතැම් රෝගීන්ට අත්‍යවශ්‍යම අවස්ථාවලදී රෝග නිවාරණය වෙනුවෙන් ලබාදෙන ශරීර ප්‍රතිශක්තිය අඩපණ කරන ඖෂධ භාවිතය ද වක්‍රාකාරව දියවැඩියාව රෝගයට හේතු විය හැකිය. මෙවැනි ඖෂධ වෛද්‍ය නිර්දේශය මතම අවශ්‍ය වේලාවට පමණක් ගැනීමෙන් අහිතකර සංකූලතාවන් මගහරවා ගැනීමට පුළුවන. 


අධික ලෙස මත්පැන් පානය කරන්නන්ටත් අග්න්‍යාසය විනාශ වීම නිසාත් ද්විතික කාණ්ඩයේ දියවැඩියාව ඇතිවිය හැක. 


ගර්භනී සමයේදී ඇතිවන දියවැඩියාව  


මෙම දියවැඩියාව පළමු වරට ගැබිණි සමයේදී මවට ඇතිවේ. 


ගර්භනී සමය අවසන් වීමත් සමග දියවැඩියා තත්ත්වය පාලනය වුවද මෙවැනි කාන්තාවන් ප්‍රසූතියෙන් පසුවද දියවැඩියා රෝගය ගැන අවධානයෙන් සිටිය යුතුය. 
ගර්භනී සමයේදී දියවැඩියාවට ගොදුරු වූ මවකට පසුකාලීනව දෙවන වර්ගයේ දියවැඩියාව ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම ඉතාම වැදගත්ය. 
ගර්භනී සමයේ ද වෛද්‍ය නිර්දේශය මත බාහිරින් ග්ලුකෝස් පානය කිරීමට දී ලබා ගන්නා රුධිර පරීක්ෂාවකින් රුධිරගත සීනි මට්ටම වැඩි වී තිබීම ගර්භණී සමයේ දියවැඩියාව හඳුනාගත හැකිය. 


මෙවැනි මව්වරුන් දරු ප්‍රසූතියෙන් මාස එකහමාරකට පසුව පළමු රුධිර පරීක්ෂාව කරගත යුතුය. ඉන්පසුව සෑම මාස 6කට 12කට වරක් තමාට දියවැඩියා රෝගයෙහි අවදානමක් ඇද්ද යන්න හඳුනා ගැනීම ද ඉතාම වැදගත්ය.

 

 

සටහන
අසුන්තා එදිරිසූරිය