දින හතරක් නිරාහාරවම මළ සිරුරකට තනි රැක්ක සුනඛයෙක්


සංසාර ගමනද දුකකි. එහි අවසානයද දුකකි. සමහර මාපියෝ දරුවන් පිරිවරාගෙන අවසන් හුස්ම හෙළති.   


තවත් සමහරු මිනිස් පුලුටක් නැති නිවාස තුළම මියැදෙති.   


හුදකලා නිවසක් තුළ තනි පංගලේම මියැදුණ 70 හැවිරිදි එක් දරු මවකගේ මිනිය දින 4ක් මුළුල්ලේ නිරාහාරවම රැක බලාගත් සුරතල් සුනඛකයකු පිළිබඳව ඇසෙන මේ කතාව ඒ සියල්ලටම වඩා සංවේදීය.   


මෙසේ මරණයට පත්වූයේ බදුල්ල නෙලුම්ගම, විද්‍යාලය ඉදිරියේම නිවසක ජීවත්වූ ප්‍රියංකා ලීලාවතී ය. 

 
සැමියා දිසානායක මුදියන්සේලාගේ පුංචිබණ්ඩා රැකියාවට කළේ කුලී වැඩ හා ලී ඉරීමට සහාය වීමය.   


ගතේ සවිය තිබූ කාලයේ ඒ කටයුතු අපූරුවට කළ නමුත් වියපත් වෙත්ම කුලියක් කිරීමට පවා නොහැකි තත්ත්වයට පත්විය.   


කෙසේ නමුත් 74 වන වියේදී ඔහුට අපූරු රැකියාවක් ලැබිණ.   


ඒ කොළඹ තලවතුගොඩ ප්‍ර​ෙද්ශයේ තිබූ නිවසක් බලාගැනීමය. නිවෙස් හිමියා විදේශ රටක සේවය කරන නිසා මේ නිවස බලාගැනීමට මොහු යොදවා තිබිණ.   


මාසේ පඩිය බැංකු ගිණුමක් හරහා බිරිඳට එව්වේය. ගෙදර ආවේ කලාතුරකිනි. 

 
විවාහක එකම පුතු පවා අම්පාරට ගියේ කුලී රැකියාවටය.   


කොහොමටත් මිනිස් ඇසුරකට අකමැති ලීලාවති නිවසටම වී කල් ගත කළ අතර ඇගේ තනියට හිටියේ සුරතල් සුනඛයා පමණි.   


සුනඛයන්ට පණ මෙන් ආදරය කළ ඇය නිවස තුළම තබාගෙන සුනඛයා රැකබලාගත්තාය. සුනඛයා ඇයට ආරක්ෂකයා විය.   


ඇගේ ජීවිත කාලය තුළ මෙවැනි සුරතල් සුනඛයන් 10 දෙනකු පමණ ඇය ඇති දැඩි කළාය. වරින් වර උන් මියගිය පසු අවසාන වරට ඉතිරි‍වූයේ ‘‘බබී’’ නම් වූ සුනඛයා පමණි. 

 
ලීලාවති නිවසින් බැහැරව ගියේ නම් ඒ බදුල්ල මහ රෝහලේ සායනය සදහා පමණි. 

 
මසකට වරක් සායනයට යන ඇය අවසන් වරට බදුල්ල මහ රෝහලේ සායනයට ගොස් තිබුණේ ඉකුත් 2 වන දාය.   


දින 4 කට පසු ඇගේ නිවස දෙසින් අසල්වාසීන්ට තද දුර්ගන්ධයක් දැනුණි. සුනඛයා බුරන හඬක් ද මේ දින 4 තුළ නොඇසිණ.  මේ සැකය පිළිබදව පොලිස් හදිසි දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලැබුණේ ගම්වැසියකුගෙනි. 

 
බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල තෙන්නකෝන් මහතා වහාම පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට යැව්වේය. ඒ වන විටත් රෑ බෝ වී තිබිණ.   


නිවසේ දොරගුලු දමා තිබුණි. ඇය දිවා කාලේවත් දොර ජනෙල් විවෘත නොකළ බව ගම්මු පැවසූහ. ජනෙල්වලට ඇණ ගසා වසා තිබුණේය.   


පොලිසිය ගමේ තරුණයෙක් නිවෙ​ෙස් වහලට නංවා උළුකැට කීපයක් ඉවත් කර බලන්නට උපදෙස් දුන්නේය. වහලට නැග්ගේ ගම්වැසි ඩී.එම්. සුසන්ත නමැති තරුණයාය.   


ඔහු වහලේ උළුකැට 3 ක් ඉවත් කර නිවස තුළට එබිකම් කළත් නිවස තුළ පැවති අඳුර සෝදිසියට බාධාවක් විය. ඔහු විදුලි පන්දමක එළියෙන් එබී බැලුවේය. දුටු දසුන හදවත කම්පා කළේය. හනි හනිකට වහළෙන් බිමට බැස්ස තරුණයා පොලිසියට ඒ දසුන විස්තර කළේ මෙසේය.   


‘‘සර් කරුණාවතී ආච්චි ඇඳ උඩම මැරිලා. බල්ලා ආච්චිගේ මුහුණ ඉඹිනවා. ඇඟ ලෙවකනවා. මට තවත් බලා ඉන්න බැරිතරම් දුකක් හිතුන නිසා ඉක්මනට බැස්සා.   


ඒ අනුව ඇය මියගොස් ඇති බව සනාථ වුවත් මරණය සිදුවූයේ කෙසේද යන්න පිළිබදව ඇති වූ කුකුස නිසා බදුල්ල මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කළේය. 

 
බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ආනන්ද මොරගොඩ මහතා පසුදා මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිසිය සමග පැමිණියේය.   

 

බදුල්ල අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මංගල, සැරයන් විමලසේන, රෝහණ හා පො.කො. සමන්ත පොලිස් පරීක්ෂණවල නියැළුනහ.   


සුනඛ බබී කොහොමටත් නපුරු බැවින් නිවස තුළට පිටස්තරයන් එකවර පිවිසීම අවධානම් බව පැවසුවේ ලීලාවතිගේ සැමියාය. ඒ අනුව මුලින්ම නිවස තුළට ගොස් සුනඛයා මෙල්ලකර දම්වැලකින් බැඳ දැමීම ඔහුට පැවරිණ.   


දොර තල්ලු කළේය. එහෙත් විවෘත නොවීය. දෙවන වරට තදින් තල්ලුකල විට දොර තරමක් විවෘත වූ නමුත් නිවස තුළින් සෝකේස් එකක් ‍දොරට හේත්තුකර තිබීම නිසා වැරෙන් පහරක් දී දොර විවෘත කිරීමට සිදුවිය.   


පුංචි බණ්ඩා නිවස තුළට රිංගුවේය.   


බිරිද ඇය නිදන කාමරයේ ඇඳ මත උඩුබැලිව නිහඬව සිටියාය. සුනඛයා ඇය ලෙවකමින් සිටියේය.   


පුංචි බණ්ඩාගේ දෑසින් සට සට ගා කදුළු වැටුණේය.  සුනඛයා ඔහුගේ ඇඟේ පැටලෙමින් සිදුවූ විපත කීවේය.   


දම්වැලෙන් බැඳ සුනඛ බබී නිවසින් එළියට ගන්නා විට ඌ වියරුව කලබල කරනු ඇතැයි සිතූවද ඌ සන්සුන්ව එළියට ආවේ දුක්බර විලාසයෙනි.   

 

 

මූලික විමර්ශනය සිදු කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා මිනිය රැගෙන ගොස් බදුල්ල මහරෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසටත් පොලිසියට නියෝගය කළේය.   


ඒ අනුව එදිනම මිනිය බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ‍රැගෙන ගියත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුක​ෙළ් පසුදාය. එම වාර්තාවෙන් කියැවුණේ හෘදයාබාධයකින් ඇය මියගොස් ඇති බවය.  මිනිය ඒ වන විටත් බෙහෙවින්ම නරක්ව තිබූ බැවින් නිවසට රැගෙන නොගොස් කෙළින්ම නෙලුම්ගම පොදු සුසාන භූමියවෙත රැගෙන යනු ලැබිණ.   


ඒ වන විට වේලාව සවස 6-30 පමණ විය.   


දින හතරක් නිරාහාරව මිනිය රැකබලාගත් සුනඛ බබී ට කරුණාවතීගේ අවසන් කටයුතුවලට සහභාගිවීමට පවා ඉඩ හසර නොලැබුණි.  ඊට හේතුව වුයේ ඌ අඳුරු නිවහනට දමා දොරගුළු දමා තිබීමය.   


මා එම නිවස අසලට ගියෙමි.   


දින හතරක්ම නිහඬව සිටි මේ ආරක්ෂකයා උඩුබුරමින් හඬන හඩ නිවස තුළින් ඇසිණ.   


ඒ දරාගත නොහැකිවූ දුක තව දුරටත් වසන් කරගත නොහැකි වූ නිසා විය හැකිය. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සටහන හා ඡායාරූප 
බදුල්ලේ පාලිත ආරියවංශ