දින විසි එකකට වරක් මරණයක් සිදු​ෙවන අරුම පුදුම ගමක්


 

කෙනෙකු මිය ගොස් දින විසි එකක් ගත වූ පසු තවත් අයකු මියයන ජනතාව දැඩි බියකින් සිටින ගම්මානයක් පිළිබඳව තොරතුරු වාර්තා විය. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලෙන්බිඳුණුවැව හල්මිල්ලෑව එම ගම්මානයයි. එම ගම්වාසීහු දැඩි භීතියෙන් යුතුව ජීවත්වන බවත් දැන ගන්නට ලැබිණ.   


හොරිවිල පාරම්පරික කැඩුම් බිඳුම් වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතාගේ දැනුම් දීම පරිදි මෙම ගම්මානයට ගොස් මේ පිළිබඳව සොයා බලන්නට අපි උත්සුක වූයෙමු.


පවුල් 150ක් පමණ වෙසෙන මෙම ගම්මානයේ බොහෝදෙනා කුලී වැඩෙන්, හේන් ගොවිතැනින් ජීවත් වෙති. දැඩි ජල හිඟයකින් දිවි ගෙවන මෙම ගම්මානයේ අරුම පුදුම අදහාගත නොහැකි සිද්ධියක් වන්නේ ගත වූ මාස නවය තුළ ගම්මානයේ පුද්ගලයන් පහළොස් දෙනෙක් මිය යෑමය.


මෙහි ගම්මුන් කියා සිටින්නේ එක් පුද්ගලයකු මියගොස් හරියටම දින විසි එකක් ගත වෙද්දී තවත් අයකු මිය යෑම අස්වාභාවික සිදුවීමක් බවය.  


 

දැනට මෙම ගම්මානයේ පිරිමි පුද්ගලයන් දාහතරදෙනකු සහ එක් කාන්තාවක මියගොස් ඇත. ඔවුන් එක පෙළට තම ගම්මානයේ සුසාන භූමියේ මිහිදන් කළ බව ද ගම්මු කියති. ගම්මුන් දැඩි භීතියට පත්ව ඇත්තේ ඊළඟ 21 වන දිනයේ කවුරුන් මිය යා ද යන්න සැකය නිසා බව ඔවුහු කියති.


හල්මිල්ලෑව ගම්මානයේ ජනතාවට තවත් බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ ඔවුන් එක්ව ආරම්භ කොට ඇති මරණාධාර සමිතියේ මුදල් අවසන් වීමය. දැනට මියයන අය සඳහා ගමේ ජනතාවගෙන් එකතුකොට මිනීපෙට්ටිය ලබාගැනීම සඳහා සහ මළගෙදර අනෙකුත් කටයුතු සඳහා මුදල් ලබාදෙන බවත් එහි සභාපතිවරයා පැවැසීය.


කෙසේ වෙතත් වසර ගණනාවක සිට පවතින නියං තත්ත්වය හේතුවෙන් ජනතාව ද දැඩි ආහාර ජල මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින නිසා මුදල් සොයා ගැනීම ද අපහසුතාවක පවතින බව හෙතෙම සඳහන් කළේය.


ගලෙන්බිඳුණුවැව හල්මිල්ලෑව ගම්මානයට අප ගිය අවස්ථාවේදී ස්ථාන කීපයකම නිවෙස් කීපයකම දැක ගැනීමට හැකියාව ලැබුණේ ඥාතීන් මියයෑමෙන් පසුව පින්කම් කටයුතු සිදු කරන ආකාරයයි. ඒවා ද ඉතාමත් සුළුවෙන් සිදු කිරීම විශේෂත්වයකි.


මෙම අස්වාභාවික සිද්ධි දාමය පිළිබඳව ගම්මුන් බහුතරයකගේ මතය බවට පත්ව ඇත්තේ මින්නේරි දෙවියන් ගම්භාර දෙවියන් උදෙසා පාරම්පරිකව තම ගම්මානයේ දේවාලයක කිරි උතුරුවා දේව රාජකාරියක් සිදු කෙරුණු නමුත් වසර දෙකක පමණ කාලයක සිට එම දේව රාජකාරිය අතපසු වී තිබීම නිසා දේව ශාපයක් තම ගම්මානයට වැදී ඇති බවට ඔවුහු විශ්වාස කරති.


කෙසේ වෙතත් දේවකාරිය සිදුකර ගැනීමට නොහැකි වී ඇත්තේ පවතින නියං තත්ත්වය සහ ගම්මුන්ගේ ආර්ථික දුෂ්කරතාව නිසාවෙන් බව ඔවුහු පවසති. ඉදිරියේ දී කෙසේ හෝ මෙම දේවකාරිය සිදුකිරීමට කටයුතු යොදන බව ගැමියෝ කියති. 


මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 70 ඉක්ම වූ අය වීම තවත් විශේෂත්වයකි. ගම්මුන් කියා සිටින්නේ ඉතාමත් හොඳින් ක්‍රියාශීලීව සිටි මෙම පුද්ගලයන් ගමේ දේව රාජකාරිය සඳහා බොහෝදුරට සක්‍රීය දායකත්වය ලබාදුන් පිරිස බවය.


මෙම ගම්මානයට ගිය අවස්ථාවේදී තුන් මාසයකට පෙර මියගිය ඩබ්ලිව්. කපුරු බණ්ඩා මහතාගේ පුතකු වන කේ.බී. සුබසිංහ (57) මහතා මෙසේ අපට පැවැසීය.


“මේක වෙන මොනවත් නෙවෙයි දේව කෝපයක්. අපේ ගම්මානයේ දේව රාජකාරිය නැවැත්තුවා. ඒ දවසේ ඉඳල තමයි මේ ආහාර අර්බුදයත් වතුර නැතිකමත් ගොවිතැනක් හරියන්නේ නැතිකමත් සිද්ධ වුණේ. දැන් එකා එකා මැරි මැරී යනවා. හරියටම දින විසිඑකක් ගතවෙද්දී ගමේ එකෙක් මැරෙනවා. මොකක්ද කරන්නේ කියලා අපිට තාම තේරෙන්නේ නෑ. මගේ තාත්තා හොඳට හිටියා. එක දවසක් නාලා ඇවිල්ලා ඇඳේ නිදාගත්තා එළිවෙනකොට පණ ගිහිං. පපුවේ අමාරුවක් කියලා තමයි වෛද්‍ය වාර්තාවේ සඳහන් කළේ.”


එම ගම්මානයේ පදිංචි 70 හැවිරිදි ඒ. කළුමැණිකා මහත්මිය දෑසේ කඳුළු පුරවාගෙන මෙසේ අප සමඟ පැවැසුවාය.


“අපේ ගමට සිද්ධවෙලා තියෙන්නේ පුදුමාකාර දෙයක්. දැනට දාහතරක් පහළොවක් විතර සොහොනට ගිහින් දැම්මා. හරියටම එකෙක් මැරිලා දවස් 21 යනකොට අනිකා මැරෙනවා. ලොකු කුඩා ඔක්කොමලා ගොඩක් බයෙන් තමයි ඉන්නේ ඊළඟ එකා කවුද කියලා. අපේ ගෙදර මනුස්සයා මැරුණා, හැබැයි මේ ඔක්කොම මැරෙන්නේ දේවකාරියට කර දීපු අය. මං හිතන්නේ වෙන මොනවත් නෙවෙයි මේක දේව ශාපයක් කියලා.”
යූ.බී. වික්‍රමසිංහ මහතා


“අපේ ගමේ කාලයක් තිස්සේ ගම රැකගෙන හිටපු අය තමයි මැරෙන්නේ. කොච්චර මහා විනාශයක් ද කියනව නම් අද වනවිට අපේ මරණාධාර සමිතියෙ සතපහක්වත් නෑ. සල්ලි ගෙවලා දැන් ආපහු මැරෙන අයට දෙන්නේ ගෙවල්වලින් අවට ගම්මානවලින් සම්මාදම් කරලා. මේක කරන්නත් බෑ. අවට මිනිස්සු හරිම දුප්පත්. අපේ ගමේ මිනිස්සු ළඟත් සල්ලි නෑ. මෙහෙම මැරෙන හැටියට අඩුම තරමේ මැරුණහම ශෝක ප්‍රකාශ කොළයක් ගහගන්න මිනිස්සුන්ට සල්ලි නෑ. ඒ විතරක් නෙවෙයි ආහාර ටික උයා ගන්න වතුර නෑ. ඒ නිසා මැරෙන කෙනා වළක් හාරලා කනත්තට ගිහින් දානවා. මුළු ගමම බලා ඉන්නේ ඊළඟ දවස් 21 වෙනකොට කවුරු යයි ද කියලා.”


යූ. කුසුමාවතී 40 මහත්මිය මෙසේ පැවැසුවාය.


“මම හිතන්නේ අපේ ගම්මානයේ මිනිස්සු පුදුමාකාර විදිහට අසරණ වෙලා ඉන්නේ. රජයේ නිලධාරියෙක් ඇවිල්ලා බලන්නේ නෑ. බොන්න වතුර ටිකක් නාන්න වතුර ටිකක් නෑ. අඩුම තරමේ හරකෙකුට කන්න තණකොළයක් නෑ. ඒ තරම් දුෂ්කරතාවකට පත්වෙලා ඉන්නේ. අපි වතුර නාන්නේ දවස් හතරකට පහකට සැරයක්. මේක දේව ශාපයක් හැටියට තමයි අපි දකින්නේ. අපේ ගමේ දේව කංකාරිය නැවතුණාට පස්සෙ තමයි මෙයාකාරයෙන් ගමේ අය මැරෙන්න පටන් ගත්තේ. පුදුමේ කියන්නේ හරියටම දවස් විසි එකක් ගතවෙනකොට එකෙක් යන එක. ඒ නිසා මේ පිළිබඳව කවුරු හරි හොයලා බලන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මැරෙන්න ගත්තහම මුළු ගමම නැතිවෙලා යයි. අපේ ගමේ ඇත්තේ පවුල් එකසිය පනහයි. මේ වෙනකොට පවුල් 15ක මිනිස්සු පහළොවක් මැරිලා ඉවරයි.”


මෙම සෑම මරණයකම පාංශුකූල කටයුතු සිදු කරනු ලැබුවේ ගමේ විහාරස්ථානයේ වැඩවසන මීගොඩ ශාන්තසිරි හිමියන් විසිනි. අපි මෙම ගමට ගිය අවස්ථාවේ උන්වහන්සේ හමුවීමට අමතක නොකළෙමු. විහාරස්ථානයේ පුටුවක අසුන් ගෙන ගම දෙස අනුකම්පාවෙන් බලා සිටි ශාන්තසිරි හිමියෝ මෙසේ අප සමඟ පැවැසූහ.


 “බුදු දහම අනුව මරණය හැමෝටම නියතයි. ඒක වළක්වන්න කාටවත් බැහැ හැබැයි මේක අස්වාභාවික ලෙස සිදුවෙන දෙයක්. එ්කයි පුදුමයක් බවට පත්වෙලා තියෙන්නේ. මොකද එ්ක දිගටම දවස් විසි එකක් ගතවෙනකොට එක්කෙනෙක් මිය යනවා. මම හිතන්නේ එක පැත්තකින් මේ පවතින නියඟය, ආහාර හිඟය මේ මරණවලට හේතුව වෙන්ඩත් පුළුවන්. මොකද මිය යන්නේ වයස අවුරුදු 70ට වැඩි ගමේ වැඩිහිටි අය. මේ රස්නය කුසගින්න පිපාසය දරාගන්න බැරුව මිය යනවා ද කියලා බරපතළ සැකයක් තියෙනවා. ඒත් ගම්මුන් විශ්වාස කරන පරිදි ගම්බාර දේවාලයේ වාර්ෂිකව පාරම්පරිකව සිද්ධ කරගෙන එන ඒ උත්සවය නැවතිලා තියෙනවා. ගම්මුන් කියන්නේ ඒ නිසා මේක සිද්ධ වෙනවා කියලා. කොහොම වුණත් මම කල්පනා කරගෙන ඉන්නෙ ගමේ හැමෝම එකතු කරගෙන පිරිතක් කියන්න. ඒ වගේම හෙට අනිද්දම ඔය අතහැරලා දාලා තියෙන දේවකාරියත් සිද්ධ කරලා දෙන්න.


මේ ගම්මානයට යන්න එන්න හරියට පාරක් නෑ. අසනීපයක් උනහම රෝහලකට ගෙනියන්න කිලෝමීටර් විස්සක් විසිපහක් විතර දුරයි. හැබැයි වාහනේක අරන් යනකොට පාරේ ඒ මනුස්සයා මැරිලා ඉවරයි. පුදුමාකාර දුක් ගැහැට විඳින මිනිස්සු ටිකක් තමයි මේ හල්මිල්ලෑවේ ඉන්නේ.”


මේ කතාව හා ගම්මුන්ගේ විලාපය පිළිබඳව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් දමිත් කනකරත්න මහතාගෙන් විමසීමේදී කිවේ තමන්ට එවැනි අසාමාන්‍ය තත්ත්වයක් පවතින බවට නිලධාරීන් වාර්තා කර නැති බවත් සාමාන්‍ය පරිදි ගමේ මරණ තුනක් වාර්තා වී ඇති බවත්ය. ඒවා සාමාන්‍ය මරණ බව කීවේය. එම ගම්මානවලට අවශ්‍ය පානීය ජලය දිනපතා බෙදාහරින බව ද කීවේය.


පසුව අප මේ පිළිබඳව කැකිරාව ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාර දොස්තර කවිරාජ් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ ද තමන්ට ඒ පිළිබඳව දැනුවත් වීමක් නොමැති බවය. 


මෙම ගම්මානය අයත් වන්නේ මහරැඹෑව ග්‍රාමසේවා වසමටය. එහි ග්‍රාම නිලධාරී සළුවඩන මහතා හමුවීමට අප දින කීපයක් උත්සාහ කළෙමු. පසුව ඔහුගේ ජංගම දුරකථන හරහා සම්බන්ධ වීමට උත්සාහ කළ ද ඔහු සම්බන්ධ නොවුණ තැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කතා කොට එම දුරකථනය හරහා සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්ත ද ඔහු දුරකතනයට පැමිණියේ නැත.

 

සොහොන පෙන්වන කරුණාරත්න 

 

 

 

 


සටහන හා ඡායාරූප 
දඹුල්ල කාංචන කුමාර ආරියදාස