දැදුරු ඔය උපන් කන්ඳ මහා ගල් කොරියකින් වැනසෙයි


 

ශ්‍රී ලංකාවේ ප්‍රධානම සහ වැදගත්ම ජල මූලාශ්‍රයක් ලෙස සැලකෙන දැදුරුඔයේ ආරම්භය සනිටුහන්වන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 300ක් පමණ උසින් පිහිටි ගොම්මුත්තාව සහ මොරන්කන්ද යන කඳු පන්තියෙනි.


කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇති සුන්දර පසුබිමක පිහිටි මේ කඳුවැටි මධ්‍යම කඳුකරයේ ආරම්භක කඳු පන්තියක් සේ සැලකේ.


මොරන්කන්දෙන් සහ ගොම්මුත්තාව කන්දෙන් කුඩා දිය පහරවල් දෙකක් ලෙසින් ආරම්භ වී ඉන්පසුව දිය පහරක් බවට පත්වන දැදුරුඔය ඉන් අනතුරුව කිලෝමීටර් 142ක් දුර ගලාගෙන ගොස් හලාවතින් මුහුදට වැටෙන්නේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ගොවිබිම් රැසක් සරුසාර කරවමින්ය. එසේ අනාදිමත් කාලයක සිට නිහඬව ගලාගෙන ගිය මේ දැදුරුඔය ගොම්මුත්තාව කඳු පන්තියේ ඉහළම කොටසක ආරම්භ කර ඇති මහා පරිමාණ ගල්කොරියක් හේතුකොටගෙන සිඳීයාමේ බරපතළ තර්ජනයකට මුහුණ දී සිටින බවට පරිසරවේදීහු සහ ගොම්මුත්තාව කඳු පන්තිය ආශ්‍රිතව දිවිගෙවන ජනතාව චෝදනා කරති.
ජනතාව චෝදනා කරන්නේ මේ උග්‍ර පරිසර විනාශය නිසාම වැඩි දිනක් නොහොසින්ම තමන්ද අරනායක සාමසරකන්දේ ජනතාව සහ මීතොටමුල්ලේ කුණු කන්ද අවට පදිංචි ජනතාව හා සමාන ආකාරයේම බරපතළ ඛේදවාචකයකට මුහුණ පාන බවය. මෙම පරිසර හානිය දැක දැකම රජයේ වගකිවයුතු බලධාරින් සහ දේශපාලනඥයන් නිහඬව සිටින බවට ඔවුහු චෝදනා කරති.

 


දැදුරුඔය කුඩා දිය පහරකින් ආරම්භක වී දැවැන්ත ගංගාවක් ආකාරයට මුහුදට ගලායන්නේ මේ කියන ගෙම්මුත්තාකන්ද හා මොරන්කන්ද කියන කඳුවැටිවලින් ස්වභාවික ජලමූලාශ්‍රවලින් වෑස්සෙන ජලයෙනි. වර්ෂාව ඇති කාලයට මෙන්ම වර්ෂාව නැති කාලයටද මෙම කඳුවැටිවලින් ගලා හැලෙන කුඩා දිය පහරවල් කිසිවක් අද දක්නට නොලැබෙන බව එම කඳුවැටිය ආශ්‍රිතව කළ සංචාරයකදී අපට පැහැදිලිව දැක ගත හැකි විය.


ගොම්මුත්තාකන්ද කඳු පන්තියේ පිහිටි උසම කන්ද මුදුනේ පිහිටි පෞද්ගලික ඉඩමක් ආශ්‍රිතව මේ වන විට පවත්වාගන යනු ලබන මහා පරිමාණ ගල් කොරියක කළුගල්කැඩීම සඳහා දමනු ලබන ගල් බෝරවලින් ඇතිවන කම්පනය හේතුකොටගෙන ජලමූලාශ්‍ර සිඳීයාමෙන් මෙම පරිසර හානිය සිදුව ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.


මීට අමතරව දිනකට දමනු ලබන ගල්බෝර විශාල සංඛ්‍යාවකින් ඇතිවන අධික කම්පනය හේතුකොටගෙන කඳුවැටියේ බොහෝ ස්ථානවල පස් ස්ථර සෙලවීමකට සහ කඩාවැටීමකට ලක්වෙමින් පවතින බවද ඔවුහු පෙන්වා දෙති. මෙය කෙදිනක හෝ භයානක නායයෑමකට හේතුසාධක වන තත්ත්වයක් බවද ඔවුහු දැඩි ලෙස අවධාරණය කරති.


“මහත්තයෝ අපි මේ අවදානම ගැන කියන්න භූ විද්‍යාඥයෝ වෙන්නවත්, පරිසර විද්‍යාඥයෝ වෙන්නවත් අවශ්‍ය නැහැ. මේවා අපි ඉපදිලා මුළු ජීවිතයම හැදුණු වැඩුණු බිම් මෙහේ හැම සතෙකු සීපාවෙක් ගැනම, ගහක් කොළක් ගැනම අපි හොඳට දන්නවා. ඒවා ඔය කොළඹ ඉන්න මහත්තුරු දන්නේ නෑ. ඒකයි අපිට තියෙන කනගාටුව.”

 


මේ අපට හමු වූ මොරන්කන්දේ වෙසෙන පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ වයි. ජී. ධර්මසේන මහතා පැවසු කතාවකි.
මේ සංචාරයේදී සිදුව ඇති විනාශය පෙන්වීම සඳහා අපට මඟ පෙන්වීමට ප්‍රදේශවාසිහු කීපදෙනෙක් එක්වූහ. සැබැවින්ම එය ඉතා අසීරු ගමනක්ම විය. කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්ක බෙදා වෙන්කරන මායිම වන මිලියද්දේ සිට බොක්කාවලට දිවෙන ගොම්මුත්තාකන්ද කඳුවැටිය මැදින් විහිදී ඇති අතිදුෂ්කර මාර්ගයක ඒ සඳහා ගමන් කළ යුතු විය. මහියංගණයට දිවෙන දහඅට වංගුවලටද වඩා අතිදුෂ්කර වංගු සහ බෑවුම් සහිත එහෙත් දර්ශනීය පසු බිමක් පිහිටි මාර්ගයක අපට ගමන් කිරීමට සිදුවිය. මෙම මාර්ගය මේ වන විට කාපට් යොදා සංවර්ධනය කිරීම අගය කළ යුතුය.


මීට පෙර වසරේ සෑම කාලයකම ස්වභාවිකව ගලාගිය ජල උල්පත් රැසක් සේම එම මාර්ගයේ පිහිටි එකම දිය ඇල්ල වූ රිලා ඇල්ලද මේ වන විට සිදීගොස් ඇති ආකාරය දැකගත හැකිවිය. සිදුවෙමින් පවතින බව කියන මෙම පරිසර හානියට එරෙහිව මේ වන විට ප්‍රදේශයේ සියලුම ජනතාව සේම පරිසර සංවිධානද පාරට බැස අවසන්ය.


ගමට හෙටක් පරිසර සංවිධානයේ ජාතික සංවිධායක මෙන්ම වන උඩවැඩියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන රුවන් කේ. කුළුගම්මන මහතා මෙම විරෝධතා ව්‍යාපාරවල පෙරමුණ ගෙන සිටින්නෙකි. ඔහුද ගොම්මුත්තාකන්ද පාමුල පදිංචිකරුවෙකි. මේ ඔහු දැක්වූ අදහස්ය. 


“ගොම්මුත්තාකන්ද කඳුවැටියෙන් ඇළවල් දොළහකට වැඩි ප්‍රමාණයක් දැදුරු ඔයට එකතු වෙනවා. මේ විදිහට එකතුවෙන ජලය පදනම්කරගෙන තමයි මුළු දැදුරු ඔයම පෝෂණවෙන්නේ ඒ ජලයෙන් තමයි. වයඹ ගොවිබිම් පෝෂණය වෙන්නෙත්.


මේ කඳුවැටියේ තිබෙනවා සර් ජෝන් කොතවලාවල මහතා විසින් සිදුකර අතහැරදාපු විශාල ප්‍රමාණයේ මිනිරන් පතල් කැපීමක්. මේ පතල් කැණීම කොතරම් ප්‍රබලද කීවොත් මේ කඳු වැටිය පුරා ඒ මිනිරන් පතල්වලට ඇතුළුවන දෝනා කටවල් පනහකට ආසන්න සංඛ්‍යාවක් පිහිටා තිබෙනවා. මේ එක් දෝනාවක උස මීටර් පහළොවක්, විස්සක් පමණ වෙනවා. සමහර දෝනා කිලෝමීටරයකට වඩා දිගයි. අපි ඒවා ඇතුළට පවා ගියා.


නමුත් දැන් ඒවාට එහෙම ඇතුළුවෙන්න බැහැ. ඒකට හේතුව ගොම්මුත්තාකන්දේ තියෙන ගල් කොරියේ දෛනිකව සිදුකරන වෙඩි පිපිරවීම් නිසා මේ දෝනාවල් කම්පනයට ලක්වෙලා ඒ කුහර අභ්‍යන්තරයේ ගරාවැටීම් සිදුවෙමින් පවතිනවා. මෙයින් සිදුවන විශාලම අවදානම තමයි අධික වැසිකාලයකදී මෙම ප්‍රදේශය බෑවුම් සහිතවීම නිසා ජලය බැසයාම තීව්‍ර වී මේ කුහරවලට අධිකව ජල කාන්දු වී ඒවා ජලයෙන් පිරීගොස් එකවර ඒවායේ ජලය පිටතට ගලාගොස් කඳුවැටිය නායයන තත්ත්වයක් නිර්මාණය වීමයි. 

 


මෙය සිතා ගැනීමටවත් නොහැකි බරපතල අවදානම් තත්ත්වයක්. යම් හෙයකින් මේ ආකාරයට නාය යාමක් සිදු වුවහොත් පහළින් තිබෙන ඉතිරියවත්ත සහ පාරාගොඩ ග්‍රාමනිලධාරි වසම් දෙකේම පදිංචි තුන්දහසකට අධික පිරිසක් ඒ නායයාමට ගොදුරුවෙනවා. මේ ගල්කොරිය සඳහා කඳුකරයේ ශාක වැස්ම ඉවත්වීම නිසා ජල උල්පත් සියල්ලම වාගේ මේ වනවිට සිදීගොස් අවසානයි. මේ ප්‍රදේශයේ සියලුම දෙනා ජීවත් වෙන්නේ ගොවිතැනෙන්. මේ ආකාරයට ජලය සිදීයාම ඔවුන්ගේ ගොවිතැන්වලට වගේම බීමට සහ නෑමට ජලය සපයා ගැනීමේදීත් දැඩි බාධාවක් එල්ල කරලා අවසානයි.


ඒ වගේම දැදුරුඔයට සැපයෙන ජලය අහිමි වීමෙන් දැදුරු ඔයෙන් පළමුවෙන්ම ජලය සැපයෙන බතලගොඩ වැවේ සිට පහළට තිබෙන සියලුම වාරි ව්‍යාපෘති අසාර්ථක වෙනවා. විශේෂයෙන්ම ඉදිරියට දැදුරුඔය ජලාශ ව්‍යාපෘතිය පුස්සක් බවට පත්වේවි.”
“එසේම ගොවි සංවිධාන සියයකින් පමණ යැපෙන ගොවි පවුල් විශාල සංඛ්‍යාවක් අසාර්ථක වෙනවා. මේ ප්‍රදේශය කියන්නේ විශේෂ ජෛව විවිධත්වයකින් හෙබි ප්‍රදේශයක්. ශ්‍රී ලංකාවට ආවේණික වෘක්ෂලතා, ආවේණික සතුන්, දැදුරුඔයට ආවේණික මිරිදිය මසුන් ආදි සියලුම ජෛව විවිධත්වය මෙයින් විනාශයට පත්වෙනවා. මේ ප්‍රදේශයේ ඇති ඖෂධීය ශාක පැළෑටි විශාල ප්‍රමාණයක් ජලය නොමැතිව විනාශ වී යාම ප්‍රදේශයේ පවතින දේශීය වෙදකමටත් බලපෑම් එල්ල කරලා අවසානයි.”


“මේ සියලුම අවදානම් පිළිබදව රටේ පරිසරය භාර ඇමැතිවන ජනාධිපතිවරයා ඇතුළු බලධාරින්ට දැනුම්දීම සඳහා අපි දිගින් දිගටම උද්ඝෝෂණ කළා. ඒ සඳහා විධිමත් දැනුම්දීම් සියල්ලම කරලා තියෙද්දිත් මේ මහජන විරෝධතා ඔවුන් ගාණකටවත් ගන්නේ නැහැ. හැබැයි අන්තිමට මීතොටමුල්ල කුණුකන්ද නායගියාම ජීවිත, දේපල විනාශ වුණාට පස්සේ විසඳුම් හොයනවා වගේ මේ කන්දත් නාය ගියාට පස්සේ කට්ටිය දුවගෙන එයි.”


“මේ කන්ද නාය යාමෙන් අපේ දේපළ ජීවිත පමණක් නොවෙයි. දැදුරුඔය සදහටම සිඳිලා යාමෙන් ගොවි පවුල් දහස් ගණනක් සදහටම අනාථ වෙනවා.


එම නිසා ඉදිරියේදී එවැනි විනාශයක් සිදුවුණොත් ඊට මේ ගල් කොරියට, දැව ඉරුම්හලට බලපත්‍ර ලබාදීම සඳහා සම්බන්ධ වුණු ග්‍රාම නිලධාරියාගේ සිට ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, දිසාවන අඩවි නිලධාරි, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, වයඹ පළාත් පරිසර අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය සම්පූර්ණයෙන්ම වගකිවයුතුයි. මේ විනාශයට ජනතාවගෙන් එල්ලවෙන මහජන විරෝධතා නොතකා මොවුන් මේ ගල්කොරියට සහ දැව ඉරුම්හලට නැවත බලපත්‍ර ලබාදී තිබෙනවා. මේ නිලධාරින් හැම වෙලාවේම කියන්නේ මේකෙන් අවදානමක් නැහැ කියලයි. ඔවුන් එහෙම කියන්නේ මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු නොකරයි.


පාරිසරික වශයෙන් ඉතාම වැදගත් මෙවැනි ස්ථානයක් මෙවැනි ව්‍යාපෘතියකට අවසර දීමේදී සිදු කළයුතු මූලික පරිසර ඇගැයීම් තක්සේරු වාර්තාවක් පවා සිදු නොකළ නිලධාරින් තමයි මේකෙන් හානියක් නැහැ කියලා කියන්නේ.


මීට වසර කීපයකට කලින් මෙවැනිම මහා පරිමාණයේ ගල් කොරියකින් එල්ල වුණු බලපෑමකින් මාවතගම ඉඳුල්ගොඩකන්ද නායගිහින් නිවාස දේපළ රාශියක්ම විනාශවුණා. මේ වාගේ උදාහරණ මේ රටේ ඕනෑතරම් තිබෙනවා. මේ නිසාම අද වන විට කුරුණෑගලට පානීය ජලය සපයපු තැම්පාන ජලාශය පවා ජලමුලාශ්‍ර විනාශ වීමෙන් සිදීගොස් තිබෙනවා.


“අපිට මොන ආකාරයේ තර්ජන, බලපෑම් ආවත් අපේ ගමත්, දැදුරුඔයත් අනාගතයට රැකදීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් හරි අපි සටන් කරනවා” යැයි මේ තරුණ පරිසරවේදියා අපට පැවසීය.


ගොම්මුත්තාකන්දේ සිදුකෙරෙන මෙම ව්‍යාපෘති සඳහා බලපත්‍ර ලබාදෙන භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ කුරුණෑගල කාර්යාලයේ නිලධාරියකු මෙන්ම දිසාවන අඩවි කාර්යාලයේ නිලධාරියකු මුදල් පසුපසම යමින් මේ සඳහා අනුග්‍රහය දැක්වීම සමඟ ඔවුන් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳවද ජනතාව දැඩි අප්‍රසාදය පළකරති.


ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ව්‍යපෘති කඳුවැටියේ පහළම කොටසේ සිදුකළානම් මෙතරම් බරපතළ හානියක් සිදු නොවන බවය. කඳුවැටියේ ඉහළ කොටසේ සිදුකෙරෙන ගල්වෙඩිවල කම්පනයන්ට බියවී මේ වන විට කන්දේ පහළට පැමිණ ගම්වැදී සිටින රිළවුන්, ඌරන්, ඉත්තෑවන්, උරගයන් නිසාද එම ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත්වසිටිති. කම්පනය නිසාම ප්‍රදේශයේ ජල උල්පත් සේම ළිංද සියල්ල සිදීගොස් තිබෙන ආකාරය එම සංචාරයේදී දැක ගත හැකිවූයේ ජනතාව එල්ලකරන චෝදනා සියල්ල සත්‍ය බව පසක් කරමින්ය.


වැලි ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට ද පත්ව තිබෙන දැදුරුඔය එයින් සිදුව ඇති හානියෙන් සේම තවත් පසෙකින් සිදුවන මෙම පරිසර හානියෙන්ද විනාශයට ලක්වීමේ අවදානමකට මුහුණ පා සිටිනබව ඉතා හොඳින් පැහැදිලිය. ජනතාව සේම පරිසරවේදීන්ද මෙම පෞද්ගලික ව්‍යාපෘතියට චෝදනා එල්ල කළද ඊට පෙර සිටම තවත් පසෙකින් රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රිතව බහුලව සිදුවන බලපත්‍ර රහිත දැව කැපීමද මෙසේ ජල උල්පත් සිදීයාමට තවත් ප්‍රධාන හේතුවක්ව තිබෙන බව පැහැදිලිය. 


ජනතාව ලබාදුන් තොරතුරුවලට අනුව දිවයිනේ වැඩියෙන්ම බලපත්‍ර රහිත දැව කැපීම සිදුවන්නේ රිදීගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ආශ්‍රිතවය. කඳු වැටි ආශ්‍රිතව පිහිටීම හේතුවෙන් දෛනිකව බලපත්‍ර රහිතව දැවකපා ප්‍රවාහනය සිදුකෙරෙන අතර, ගල් කොරියේ බලපෑමට හා සමානව බලපෑමක් එයින්ද එල්ල වී තිබෙන බව පැහැදිලිය.


ගොම්මුත්තාකන්දට මුහුණලා පිහිටි ඇතිපොළ කන්දෙන් ගලා යන දෙල්විට ඔයෙන් එකතුවන ජල පහරෙන් යම් ජල ප්‍රමාණයක් හේතුකරගෙන දැදුරුඔය සිදීයාමෙන් වැළැකී තිබේ.


එසේ වුවද අතීතයේ සිටම “අප්පට පුතා විශ්වාස නැති ඔය” ලෙසින් ප්‍රකටව තිබූ මේ සුවිශාල දියපහර මෙවැනි පරිසර හානි හේතුකොටගෙන අද වන විට පවතින්නේ කුඩාදිය පහරක් ලෙසය. ඉදිරිය එසේ වුවහොත් රුපියල් බිලියන ගණනක් වැයකොට ඉදිකළ සුවිසල් දැදුරුඔය ජලාශ ව්‍යාපෘතියේ අනාගතය කුමක් විය හැකිද?

සේයාරූ හා සටහන :
පුෂ්පකුමාර ජයරත්න