දහස් ගණනක් ජීවිත නැසූ එක් දරු පියාට අත්වූ ඉරණම


ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

පිටිගල ඉසුරු ලක්ෂාන් ලියා එවූ කතාවකි.  

දහස් ගණනක් ජීවිත නැසූ එක් දරු පියාට අත්වූ ඉරණම  


දකුණට නුදුරු ගමක ජීවත්වූ මේ තරුණයා නමින් විපුලය. ඔහු කුඩා කල සිට සතුන් මැරීමට ඉතා ගිජු කමක් දැක්වූ අයෙකි. විපුල ඔහුගේ විවාහයෙන් පසු මෙය අත්හරින බව සිතා සිටිය ද ඔහුට මෙය නතර කිරීමට නොහැකි විය. විපුලට එය කළ නොහැකි වූයේ ඔහුගේ පරම ක්‍රියාව මෙය වන නිසාය.  


දිනෙන් දින කාලය ගෙවී ගිය ද විපුලට බිරිඳගෙන් සහ දියණියගේ මේ ගැන එල්ල වූ ගෝරනාඩුද අඩුවක් වූයේ නැත. මේ හේතුවෙන් විපුල තමාගේ මේ පාපතර ක්‍රියාව නතර කිරීමට අදහස් කළේය.  


ඉන්පසු කලක් විපුල තමා කිසිදු පාපකර්මයක් නොකළ උපාසකයකු ලෙස ගමේ ජීවත් විය. කිසිදු පාප කර්මයක් නොකර සිටි විපුලට දිනක් ඇළේ සිටින මාළු වර්ගයක් කෑමට සිත තුළ අදහසක් පහළ විය. විපුල තම නිවස ආසන්නයේ තිබෙන මස් මොර ගසින් කොළ සහ පොතු රැගෙන ගොස් ඇළේ දිය කර හැරියේ ඔහුට යහමින් මසුන් ටිකක් අල්ලා ගතහැකි යැයි හැඟුණු අදහසිනි. 

 
එහෙත් එය එසේ නොවුණේ ඔහුගේ පාපතර ක්‍රියාවට මහත් අස්වැසිල්ලක් සපයමිනි. ඔහුගේ එම ක්‍රියාව නිසා ඇළේ සිටි කුඩා මට්ටියාගේ සිට දහස් ගණනක් මසුන් ප්‍රමාණයක් ඇළේ පෙනෙන නොපෙනෙන තෙක් මානය දක්වා මරුමුවට පත්විය.  


විපුල ඔහුට ඇතිතරම් මසුන් අල්ලාගෙන ගෙදර ගියේ තම සිතටත් ගතටත් ඇති තරමට මසුන් අල්ලාගත් සිත් සතුටිනි. මෙසේ කාලය ගත විය. දින කිහිපයකට පසු විපුලගේ බිරිඳ ඔහු සමඟ ඇතිවූ බහින් බස් වීමකින් සිත් තැවුලට පත් විපුල තම නිවසින් පිටවූයේ නැවත තම නිවසට නොපැමිණෙන වග මහ හයියෙන් කෑගසා පවසමිනි. සිත් තැවුලට පත් විපුල තමාගේ සිතට නැගෙන ගමන් මං ඔස්සේ ගමන් කරන්නට වූයේ තමාට සිදුවූ මේ ඉරණම ගැන සිත සිතාය.  


ඔහු මේ ගැන සිත සිතා තම මිතුරෙකුගේ නිවසට යාම සඳහා දුම්රිය මාර්ගය මාරුවීමට ගිය මොහොතේ විපුල දුම්රි​ෙය් ගැටී මෙලොව හැර ගියේ මසුන් දහස් ගණනක් ජලයේ උඩ පැන පැන මැරුණු විලසින් දුම්රිය මාර්ගයේ  දඟලමිනි. ඔහු මෙලොවදී කළ අකුසල කර්ම ඵල විපාක ඔහුට මෙලොවදීම අත්විඳීමට සිදුවිය.    

 



කඩවත මහර නුගේගොඩ ජයසේන හේවාපාන මහතා ලියා එවූ කතාවක් මෙසේය.  

මානිවත්ත අභික්කම  


සෙලෝහාමි උපාසිකාව ගමේ සිටිය පෝයට සිල්ගන්න, පන්සලේ වැඩ කටයුතු දේවකාරිය මෙන් සලකන දෙදරු මවකි. අගෝරිස් ඇගේ සැමියා දක්ෂ වඩුකාර්මිකයෙකු වූ අතර, නිතරම කාර්යබහුල බැවින් පිං අතේ වැඩට වැඩි උනන්දුවක් නොදැක්වුවද, සැමගේම සිත දිනාගත් යහපත් ගැමියෙකි. අගෝරිස්ගේ මල්ලී සිරිසේනට මහගෙයද, පොල් අක්කර දෙකක්ද හිමි වී තිබූ අතර, යාබද අක්කර දෙක අගෝරිස්ට හිමි වී තිබුණි. දක්ෂ මේසන් බාස් කෙනෙකු වූ සිරිසේන අග නගරයේ වැඩ කරයි. මසකට, දෙකකට වරක් ගෙදර පැමිණ යයි. ඔහුගේ නොපැමිණීම සෙලෝහාමිගේ සතුටට හේතුවේ. ඒ මලයාගේ නිවස හා ඉඩම පාලනය වෙන්නේ ඇය අතින් නිසාය. ඇය එහි ගම්මිරිස්, කෙසෙල්, පැපොල්, වැනි ආර්ථික වාසි ඇති භෝග රෝපණය කළාය. අගෝරිස් නිතරම, මල්ලීගේ පොල් සල්ලි මල්ලිට දෙන්න යයි පැවසුවද ඒවා ඇයට නෑසුණි. ඉඩම් දෙකේම ආදායමද, අගෝරිස් උපයන මුදල්ද පාලනය කරන ඈ එම මුදල් පොලියට දෙන්නේ අගෝරිස්ට හොරෙනි.  


ඉඳහිට හෝ ගමේ පැමිණි සිරිසේන අවුරුද්දකින් පමණ නොපැමිණීම අගෝරිස්ගේ කනස්සල්ලට හේතු වුවද, සිටින ඉසව්වක් හරිහැටි පවසා නොමැති බැවින් සොයා යාමද කළ නොහැකිය. සෙලෝහාමිගේ අදහස වූයේ කොළඹ කොහේ හෝ බින්න බැස ඇති බවය. සිරිසේනගේ ආරංචියක්වත් නොදැන තවත් ටික කලක් ගත වූ අතර, එක් දිනක් හදිසියේම සිරිසේනගේ ගෙදර සොයා වාහනයක් පැමිණියේය. ඔවුන් පැවසූ පුවතින් අගෝරිස් කම්පා වී ගිය අතර, සෙලෝහාමි බිම පෙරළී, පෙරළී, දුන් විලාපයෙන් මුළු ගමම එතනට රැස්වූහ. හදිසි අනතුරකින් සිරිසේන මිය ගොසිණි. පැමිණ සිටියේ සිරිසේන විවාහවී සිටි බව කියන කමලා සහ ඇගේ මාපියන්ය. හත් දවසේ දානය අවසන් වූ වහාම, සිරිසේන කමලාට කියා ඇති විස්තර අනුව නෑදෑයින් ​සොයා ගමට පැමිණ ඇත. කමලාගේ මව සෙලෝහාමිට, දුව ගැබිනියක් බවත් එහි සිට ගෙවල් කුළී ගෙවීම අපහසු බැවින් මෙහි පදිංචිවීමට හැකිදැයි සොයා බැලීමට පැමිණි බවත් පැවසුවාය. එන්න එන්න නංගි මේ ගේදොර තියෙන්නේ අපිත් ඕනෑ උදව්වක් කරන්නම් යැයි අගෝරිස් පැවසුවේ අවංකවමය. දුව කුලී මහල හම්බ කරනවා, ආරක්ෂාවට ඉන්න තැනක් තිබුණොත් ඇති කමලගේ මව පැවසුවාය. සුබ දිනයක් බලා සති දෙකකින් පමණ එන බව පවසා ඔවුහු ගියහ.  
සෙලෝහාමිගේ සිහින මාලිගාව එක් වරම බිඳ වැටුණි. සිහිය අවුල් විය. මේ ගමට ආපු දවසේ ඉඳලා දරුවෙක් වගේ බලාගත්ත ගේදොර, මම හිටවපු ගහකොළ, කොහෙන්ද ආපු එකියකට දෙන්න? මලයා ආවනම් කමක් නැහැ, කොහේද යන එවුන් ටිකක් බඩක් උස්සගෙන අයිතිවාසිකම් කියාගෙන එන කොට, මෙහේ ඉන්නවනෙව වෙස්සන්තර කෙනෙක් බන්දේසියේ තියලා පූජා කරන්න.  


පැමිණි අය සමඟ නොව දැන් ඇයගේ තරහ ඇත්තේ අගෝරිස් සමඟය.  


බෑ. බෑ. බෑ. ඒක එහෙම වෙන්න කොහොමවත් දෙන්න බැහැ, මේකට මොකක් හරි ප්‍රතිකර්මයක් සොයාගන්න ඕනෑ. සෙලෝහාමිට එක්වරම ස්වාමීන් වහන්සේ දෙසූ බණ පදයක් මතක් විය.  


හිතට කරදර ප්‍රශ්න එනවා බලාපොරොත්තු නොවූ විදියට එහෙම ආවා කියලා අපි අපේ ගමන නවත්වන්නේ නැහැ. ප්‍රශ්නය ජය අරගෙන අපි නොනැවතී ඉදිරියටම යන්න ඕනෑ. ඒකට තමයි මානිවත්ත අභික්කම කියන්නේ. සෑම ප්‍රශ්නෙකටම උත්තරයක් තියනවා. අපි උත්තරේ සොයාගෙන ප්‍රශ්න ජයගන්න ඕනෑ.  
හරි නේන්නම් උත්තරයක් තියනවා, මේවගේ වැඩට කියාපු මිනිහා අපේ බාප්පා, එයා මට උත්තරයක් සොයලා දේවි. පසුදින පාන්දරම සෙලෝහාමි බාප්පා සොයා ගමට ගොස් අඬ අඬා සියලු විස්තර පවසා මල්ලි ආවනම් කමක් නැහැ බාප්පේ, මේ කොහේද යන එවුන් ටිකක් ආවම මගේ මිනිහ වගේ, මටත් උන්ට දීලා බලා ඉන්න පුළුවන්ද? මම හිටවපු බුක්ති විඳපු ගහ කොළ, අනේ බාප්පේ මුන්ට එපා වෙලාම යන්න මොකක් හරි කරලා දෙන්න.  


බාප්පා ටික වෙලාවක් කල්පනා කරමින් සිට ගෙට ගියේය. නැවත පැමිණි ඔහු කුඩා ඩප්පියක් සෙලෝහාමි අත තබමින්, එපා වෙලායන එවුන් ටික දවසකින් ආපසු එනවා, ඒක හරියන්නේ නැහැ, ඕක ඉවරයක්ම කරගන්න ඕනෑ. මිරිස් කෑමකට හරි පැණිරස කෑමකට හරි ඕකෙන් බිංදු දෙකක් දාලා දීපන්, උඹ බයවෙන්න එපා. බඩරිදුමක්, වමනයක් වගේ ලෙඩක් තමයි හැදෙන්නේ, එතකොට බෙහෙත් දෙනවනේ, බෙහෙත්වලට වැඩිවෙලා මාස දෙකකින් පමණ උඹේ ප්‍රශ්නය අහවර වෙයි. උඹ උන් එක්ක හොඳින් ඉඳපන්, තරහ පෙන්නුවොත් මේ වැ​ෙඩ් කරගන්න බැරිවෙනවා.  


ලොරි භාගයක බඩු පටවාගෙන කමලා අම්මා සමඟ පදිංචියට පැමිණියාය. අගෝරිස් හා සෙලෝහාමි සියලු උපකාර කර, දින දෙක තුනක්ම තුන් වේලටම කෑම හා තේ සැපයුවෝය. කමලා ගෙදර කෑම පිළිවෙළ කිරීමටද, කුලී මැසීමටද පටන් ගත්තාය. දරුවන් දෙදෙනාගේ පමණක් නොව සෙලෝහාමිගේ දවසින් වැඩි හරියක්ද ගෙවුණෙ කමලාගේ නිවසෙහිය. මාසයක් පමණ පසුවන තුරුද සෙලෝහාමිගේ අදහස ඉෂ්ඨ කරගැනීමට නොහැකි වූයේ අම්මා නිසාය. කමලාගේ අම්මා නිතරම ඈ අසළම ගැවසුණි.  
එක් දිනක් කමලාගේ මව හදිසියේ ගමට ගියාය. සෙලෝහාමි එදිනම සවසට කෑමට හැලප සෑදීමට පටන්ගත්තාය. කමලාද ගොස් උදව්කර හැලප මුට්ටිය ළිපේ තබනතුරුම කියව කියවා සිටියාය. කමලා ගිය විගස සෙලෝහාමි මුට්ටිය විවෘත කර එක් හැලපයක් ගත්තාය. ඩප්පියෙන් බිංදු දෙකක් පැණිපොල්වලට දමා කෝටු කැබැල්ලකින් කවලම් කර වෙනමම මුට්ටියක තැම්බුවාය. අගෝරිස්ට හා ළමයින්ට හැලප වෙන්කර තබා අලුත්ම පිඟානක් ගෙන විශේෂ හැලපය පිඟානේ ඉදිරි පසින්ද, අනිත් හැලපය තමාගේ පැත්තෙන්ද, තබාගෙන කමලාගේ නිවසට ගියාය.  


අනේ නංගියේ උණුවෙන් කන්න මම මේ ළිපෙන් බාපු ගමන් අරන් ආවා, කන්න නංගියේ කන්න යයි පවසමින් පිඟාන ඇය දෙසට දික් කළාය. එවිටම අගෝරිස් කොහෙදෝ සිට පැමිණ සෙලෝහාමිට බැණ අඬ ගසනවා ඇසුණි. අන්න අක්කේ අයියා කෑ ගහනවා. පොඩ්ඩක් බලන්න යයි කමලා කීවාය. නංගී කන්න, මම බලලා එන්නම් යයි කියමින් ඇය ගියේ අගෝරිස්ට සිතින් බණිමිනි. අයියා කෑගැසුවේ ඇයි දැයි බැලීමට යාමට කමලා නැඟිටින විට අත තිබූ රෙද්ද පැටලී හැලප පිඟාන බිම වැටුණි. ඇය හැලප දෙක අසුලා නැවත පිඟානෙන් තබන විටම සෙලෝහාමි ආපසු ආවාය. කොහේද මේ මිනිහට මම නැතුව සබන් කෑල්ලවත් සොයාගන්න බැහැ නෙව, කන්න නංගියේ කියමින් ඇගේ හැලපය අතට ගත්තාය. දෙදෙනාම රස කරමින් හැලප කා තේද සාදාගෙන බීවෝය.  


සතියක් පමණ ගිය තැන සෙලෝහාමිට බඩේ අමාරුවක් සෑදී වමනය දමන්නට විය. අගෝරිස් බෙහෙත් ගෙනත් දුන්නද කිසිම ගුණයක් නොවීය. බඩ ඉදිමෙන්නටත් දෙපැත්තෙන්ම යාමටත් පටන් ගත් නිසා අගෝරිස් ඇය රෝහල් ගත කළාය. කමලා සියලු සාත්තු සප්පායම් කළාය. වෛද්‍යවරු කොතෙක් උත්සාහ කළද මාස දෙකක් පමණ මහා දුක් කන්දරාවක් උසුලා කැත කුණු ගොඩේම සෙලෝහාමි පරලොව ගියාය.  


අනේ නංගියේ උඹත් නොහිටිය නම් මේ දරුවෝ දෙන්නා එක්ක මම මොනවා කරන්නදැයි අගෝරිස් කමලාට පැවසුවේ අඬමිනි.    

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමුකරන්න.

 

 

 

සකස් කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්