දහස් ගණනක් අවතැන් කළ ලෙබනනයේ මහා පිපිරුම


 

ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානයේ හිරෝෂිමා සහ නාගසාකී යන නගරවලට, 1945 වසරේ අගෝස්තු 6 වැනිදාත් 9 වැනිදාත් පරමාණු බෝම්බ හෙළීය. දෙවැනි ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කිරීමට එය සමත් විය. ලෝක ඉතිහාසයේ පරමාණු බෝම්බ පිපිරුමක් සිදුවුණු එකම අවස්ථාව මෙය වන අතර, අවසන් අවස්ථාව ද මෙය වීමට ලෝකවාසී අප සැම වගබලා ගත යුතුය. හිරෝෂීමා සහ නාගසාකී ඛේදවාචකයට වසර 75 ක් ගත වෙද්දී, එම සිදුවීම යළිත් වරක් අප තුළ දෝංකාර දුන්නේ, පසුගිය 4 වැනිද‌ා බීරූට් වරායේ සිදුවුණු අධි බලැති මහ පිපිරුම නිසාය. මෑත කාලයේ සිදුවුණු ප්‍රබලතම පිපිරුමක් ලෙස මෙය ඉතිහාසයට එක් වෙයි. පිපිරුමට හසුවී මියගිය ගණන 100 කට වැඩිය. තුවාල ලැබූ ගණන 5,000 කට වැඩිය. කිලෝ මීටර් 15 ක් පමණ දුරට පිපිරුමේ කම්පන තරංග ගමන් කළේය. භූමිය කම්පා වුණු අතර එය රික්ටර් මාපකයේ ඒකකය 3.5 ක් ලෙස සටහන් විය. ලෙබනනයට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ පිහිටි සයිප්‍රස් දූපත් රාජ්‍යය පවා දෙදරා යෑමට පිපිරුම ප්‍රබල විය.   


ලෙබනනය මැදපෙරදිග රාජ්‍යයකි. ලෙබනනයේ එක් පැත්තක් මධ්‍යධරණී මුහුදට මායිම් වෙයි. උතුරින් සිරියාවට ද දකුණින් ඊශ්‍රායලයට ද මායිම් වෙයි. දෙවැනි ලෝක යුද සමයේ ලෙබනනය ප්‍රංශ යටත් විජිතයක් විය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙද්දී ලෙබනනයට නිදහස හිමිවිය. නිදහස හිමිවුවත් ප්‍රංශ වැසියන්ගේ අභාෂය, විලාසිතා, සිතුම් පැතුම් ලෙබනන් වැසියන් තුළ කාලාන්තරයක් පැලපදියම් වී තිබුණි. අද මහා විනාශයකට ලක් වූ බීරූට් අගනුවර කලක් හැඳින් වූයේ ‘මැදපෙරදිග පැරිසිය’ යනුවෙනි. යුද ගැටුම්, සිවිල් නොසන්සුන්තා සහ දේශපාලන අර්බුදවලින් ලෙබනනය හෙම්බත් විය. බීරුට් වරාය පුපුරා යන අවස්ථාව වෙනවිටත් ලෙබනනය ආර්ථික සහ දේශපාලනික වශයෙන් අර්බුද රැසකට මුහුණපා සිටියේය. ඒ මදිවට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ද බලපෑම් එල්ල විය. ලෙබනනයේ කොරෝනා ආසාදිතයන් ගණන 5,062කි. මරණ වාර්තා වෙන්නේ 65 ක් ලෙසය. සුවය ලැබූ ගණන 1,837 කි.   


2013 වසරේ දී එනම් මීට වසර 7 කට පමණ පෙර ලෙබනන් ආරක්ෂක අංශ මධ්‍යධරණී මුහුදේ දී නැවක් අත්අඩංගුවට ගත්තේය. මෙම නැව අනවසරයෙන් ඇමෝනියම් නයිට්‍රේට් ප්‍රවාහනය කරමින් තිබුණි. අල්ලා ගත් ඇමෝනියම් නයිට්‍රේට් තොගය බීරූට් වරායේ ගබඩාවක ගොඩ ගැසුණි. පසුගිය 4 වැනිදා මහා විනාශයක් කරමින් පුපුරා ගියේ මෙම ගබඩාවය. ඇමෝනියම් නයිට්‍රේට් කෘෂිකාර්මික කටයුතුවල දී පොහොරක් වෙන අතර, එය ප්‍රබල පුපුරණ ද්‍රව්‍යයකි. ත්‍රස්තවාදීන් බෝම්බ නිපදවන්න ඇමෝනියම් නයිට්‍රේට් යොදා ගනී.   

 


පසුගිය 4 වැනිදා බීරූට් වරායේ ගින්නක් හටගත්තේය. ගින්න හටගත්තේ ගිනිකෙළි ගබඩාවක යැයි ඇතැම් වාර්තාවල සඳහන් විය. ගින්න නිවා දැමීමට ගිනිභටයන් කණ්ඩායමක් පැමිණියේය. ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය. ගින්න ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවට පැතිර යද්දී, කම්පන තරංග දසත විසුරුවා හරිමින්, දුම්වලා අහසට නංවමින් ඒ මහා පිපිරීම සිදුවිය. එම අවස්ථාවේ ඇමෝනියම් නයට්‍රේට් ටොන් 2,750 ක් ගබඩාවේ තිබුණු බව පසුව දැනගන්න ලැබුණි. අනාරක්ෂිත ආකාරයට ඇමෝනියම් නයිට්‍රේට් ගබඩා කර තැබීම සම්බන්ධයෙන් වගකිව යුතු සියලු පාර්ශ්වවලට උපරිම දඬුවම් ලබා දෙන බව ලෙබනන් අගමැති හසන් ඩියබ් පැවැසීය. ඒ, පාර්ලිමේන්තුව හදිසියේ රැස් වී විපතට පත්වූවන් වෙනුවෙන් තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදීය.   


පිපිරුමෙන් ගබඩාව විනාශ වී ගියේ එතැන ගබඩාවක් තිබුණු බවටවත් කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමිනි. සිදුවුණු පිපිරීම පරමාණු බෝම්බ පිපිරුමක් නොවුණත්, එය පරමාණු බෝම්බ පිපිරුමකට දෙවැනි නොවීය. කීලෝ මීටර් ගණනාවක් දුරකට කම්පන තරංග ඇදී යද්දී, කිසිදු ගොඩනැගිල්ලකට හෝ නිවසකට හෝ ඉන් බේරීමට නොහැකි විය. රෝහල් තුනක් ද මුළුමනින්ම බිමට සමතලා වූයේ වෛද්‍යවරුන්, හෙදියන් පවා සුන්බුන්වලින් යට කරමින්ය. ලෙබනන් රජය කියා සිටියේ ලක්ෂ තුනකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වුණු බවය. පිපිරුමෙන් විනාශයට පත් වුණු බීරූට් වරාය යළි භාවිතයට ගැනීමට හැකිවේදැයි සැකයක් පවතී. සිදුවුණු විනාශයේ තරම ඇමෙරිකන් ඩොලර් බිලියන 5 කට වැඩිය. ලෙබනන් වැසියන් වෙනුවෙන් වියළි ආහාර සහ ඖෂධ ගබඩා කර තැබෙන්නේ ද බීරූට් වරායේය. එම ගබඩා සියල්ල ද පිපිරුමෙන් විනාශ වී ඇතැයි පැවැසෙයි.   


සිදුවුණු විපතට මුහුණ දීමට ලෙබනනයට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බව ලෙබනන් රජය පැවැසීය. අසල්වැසි ඊශ්‍රායලය පවා ඊට ප්‍රතිචාර දැක්වීය. ලෙබනනයට මානුෂීය ආධාර එවන බව ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. ලෙබනනය සහ ඊශ්‍රායලය අතර අර්බුදයක් පවතී. ඒ, ලෙබනනයේ, ඉරාන සහාය ලබන හිස්බුල්ලා සංවිධානය මුල්කොට ගනිමිනි. හිස්බුල්ලා සංවිධානය කොටස් දෙකකි. ඒ, දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය යනුවෙනි.   


ඊශ්‍රායලයට සහ ඇමෙරිකාවට මෙම සන්නද්ධ අංශය ත්‍රස්ත සංවිධානයකි. අසල්වැසියන් වුවත් ලෙබනනය සහ ඊශ්‍රායලය අතර ඇයි හොඳයිකම් නැත. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන්නේ නැත. එහෙයින්, අතරමැදියකු හරහා තමන් ලෙබනනයට මානුෂීය ආධාර යැවීමට කටයුතු කරනවා යැයි ඊශ්‍රායලය වැඩි දුරටත් කියා සිටියේය. ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ අංශය ක්‍රියා කරන්නේ ඉරානයේ අතිරේක හමුදා බලඇණියක් ලෙසය. ඒ අනුව, හිස්බුල්ලා සංවිධානයට ඉරානයේ සහාය පමණක් නොව අනුග්‍රහය ද හිමිවෙයි.   


ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය පමණක් නොව ඉරානය, සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, මැලේසියාව ඇතුළු රටවල් ගණනාවක් ලෙබනනයේ සහායට ඉදිරිපත් විය. ලෙබනන් ජනතාව මේ මොහොතේ ශක්තිමත්ව සිටිය යුතුය යැයි ඉරානය පැවැසීය. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, වෛද්‍ය කණ්ඩායම් දෙකක් ගුවන් යානා දෙකකින් ලෙබනනයට යැව්වේ ටොන් 15 ක ආධාර තොගයක් ද සමඟය. තුවාල ලැබූවන් 500 කට එම වෛද්‍ය ආධාර ප්‍රමාණවත් බව මාධ්‍ය වාර්තා සඳහන් කළේය. ජෝර්දානය සහ ඊජිප්තුව බීරූට් නුවර විශේෂ රෝහල් කඳවුරු දෙකක් පිහිටුවීය. ඒ, බීරූට් බලා ගිය ජෝර්දාන සහ ඊජිප්තු වෛද්‍ය කණ්ඩායම් මැදිහත් වෙමිනි. මේ වනවිට තුවාල ලැබූවන් බොහෝ දෙනෙක් එම කඳවුරුවල ප්‍රතිකාර ලබති. 

 

 


බිමට සමතලා වුණු ගොඩනැගිලි සහ නිවාස සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම් පැය 24 පුරා ක්‍රියාත්මකය. චෙක් ජනරජය, තුවාලකරුවන් සෙවීමට 37 දෙනකුගෙන් සමන්විත විශේෂ සහන සේවා කණ්ඩායමක් බීරූට් නුවරට යැව්වේ, ඉව අල්ලා තුවාලකරුවන් සොයන නිල සුනඛයන් ද සමඟය. ලෙබනන් රජයට අවශ්‍ය පරිදි හැකි සෑම උදව්වක්ම ලබා දෙන බව ග්‍රීසිය පැවැසීය. රුසියාව ලෙබනනයට ආධාර යැව්වේ ගුවන් යානා පහකිනි. ජර්මනිය ද 47 දෙනකුගෙන් සමන්විත විශේෂ සහන සේවා කණ්ඩායමක් ලෙබනනයට යැවීමට පියවර ගත්තේය. ජර්මන් තානාපති කාර්යාලය බීරූට් නුවර පිහිටා ඇති අතර, පිපිරුමෙන් ඊට හානි සිදුවිය. ජර්මන් කාර්ය මණ්ඩල සාමාජිකයෝ බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.  


ලෙබනනයේ බීරූට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචිමාර්ගවලට අනුව එරට රැකියාවන් සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ද මෙම පිපිරුම නිසා තුවාල ලබා ඇති බව සඳහන්ය.

 

ලුසිත ජයමාන්න   
රොයිටර් ඇසුරිනි