දරුවන් එනතුරු වැඩිහිටි නිවාසයට වී මඟ බලාසිටින ‘පීරම්මා’


ජීවන ගමනේ බොහෝ දුක්ඛ දෝමනස්සවලට ලක්වෙමින් සිය සැමියාත් හැදූ වැඩූ දරුවනුත් අහිමි කරගනිමින් බුදුන් දවස පටාචාරාවක් ලෙස නගරය පුරා සැරිසරමින් කුණු කාණුවල වතුර බොමින් කොයි කාගෙත් අවධානයට ලක්වූ කාන්තාවකි.   


ලොකු කාකි කලිසමක් සහ විශාල ප්‍රමාණයේ ෂර්ට් එකකින් සැරසී බෙල්ල වටේ ලේන්සුවක් දවටාගෙන පාචාරාවක් සේ නගරයේ සැරිසරණ ඇගේ වාසභූමිය වූයේ බස්නැවතුම්පොළය, උසාවි භුමියය. නගරයේ ඇති කුණු කසල ගොඩකින් එදිනෙදා වේල සොයාගන්නා ඇය කිසිදු රස මසු ආහාර වේලක පහස නොලබන්නට පවා අවාසනාවන්ත වූවාය.   


කොයි කවුරුත් ඇයව හැඳින් වූයේ පීරා ලෙසය.   


ඇයගේ කුණු දූවිලි වලින් පිරුණු දිග නියපොතු, හිසේපැලඳ සිටි තොප්පිය, උරහිසේ ඇති මල්ල දකින විට අතීත සුරංගනා කතාවල මායාකාරියගේ චරිතය සිහිපත් විය.   


දකුණු පළාතේ බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි රමණී පීරිස්  විවාහ වූයේ මොරටුවේ පදිංචි පීරිස් යන අය සමඟය.   


දරුවන් තිදෙනකුගේ මවක වූ ඇය සිය සැමියාගේ බීමත් කම නිසාම නිරතුරුව ගැටුම් ඇතිකරගත්තාය.   


ජීවිතයේ බෝහෝ තාඩන පීඩනවලට ලක්වූ රමණී පීරිස් තීරණයකට එලබුණාය.   


දුප්පත් කමත් සැමියාගෙන් එල්ලවුනු තාඩන පීඩනත් ඉවසාගත නොහැකි වූ ඇය, බස් කොන්දොස්තර වරියක ලෙස සේවයට එක්වන්නේ 1963 වර්ෂයේදීය.   


දරු තිදෙනකුගේ මවක වුවද දරු සෙනෙහස විඳින්නට තරම් ඇය වාසනාවන්ත නොවූවාය. නිව්මෝනියා රෝගය වැළඳී මියගිය දරුවාගේ මරණින් පසුව ඇයගේ අනෙක් දරු දෙදෙනා ළමා නිවාසයකට භාර දෙන්න කරම් පීරා අකාරුණික වූයේ සිය සැමියාගෙන් එල්ල වූ තාඩන පීඩන ඉවසා දරාසිටීමට නොහැකි වූ නිසාය.  මහ හයියෙන් කතා කරන පීරා ​ෙමයට දශක කීපයකට පෙර හැඩිදැඩි කාන්තාවක වූවාය.   


ලොකු කාකි ඇඳුමක් ඇඳලා මම බස්වල වැඩ කළා. ලංකාවේ බස් ඩිපෝ කීපයකම කොන්දොස්තර වරියක් ලෙස සේවය කළා. බස්වල ටිකට් කඩනකොට ලොකු නෝනල මහත්තුරු වැඩිපුර සල්ලි ගෙව්වා.   


පීරා අතීතය මතක් කිරීමට උත්සාහ කළද ඇයට ඒ බෝහෝ දේවල් පවසන්නට තරම් මතකයක් නොමැත. වසරකටත් වඩා අඩු කාලයක් කොන්දොස්තර රැකියාවේ යෙදෙන ඇය එම රැකියාවටත් ආයුබෝවන් කියා මහ මඟට වැටුණාය.   


බල්ලන්, කපුටන් හා හරිහරියට කුණු කසළ ගොඩවල් ඇවිස්සූ ඇය දෛනික ආහාර සඳහා යමක් කසළ ගොඩවලින් සොයා ගත්තාය.   


එකල පාසල් යන වයසේ කොල්ලො කුරුට්ටන්ගේ හාස්‍යයට ලක්වූ පීරා ගෙන් ඒයි පීරා කෝ උඹේ දරුවෝ කෝ උඹේ මනුස්සයා යැයි උසුලු විසුලු කරණ විට කෝපයට ලක්වන පීරා ඔවුන්ට ලුණු ඇඹුල් ඇතුව පරුෂ වචනයෙන් කතා කළා පමණක් නොව ඔවුන් පසුපස එලවා ඇවිත් පහර දුන්නාය.   


බුලත් විටවලට පීරා දක්වන්නේ මහත් ආසාවකි. සිඟමනේ දී උපයා ගන්නා සෑම සතයක්ම බුලත් විට ගැනීමට විය පැහැදම් කිරීමට පීරා කටයුතු කළාය.   

 

රමණී පීරිස් මහත්මිය සුජාතා වැඩිහිටි නිවාසයේ පැවති උත්සවයකදී කේක් ගෙඩියක් කපමින්...

 


සංසාරයේ කළ අකුසළකර්මයක් හේතුවෙන් ජීවිතයේ බෝහෝ කාලයක් දුක්ඛිත ජීවිතයක් ගත කළ පීරාගේ ජීවිතයේ තවත් වටිනා මොහොතක් එළඹෙන්නේ 2010 වසරේදීය.   
ඇදහැ​ෙළන වර්ෂාව පැය ගණනක් පුරා පතිත වෙද්දී පානදුර නගරයම වැසි වතුරට යටවිය. නගරය වැසිවතුර ආක්‍රමණය කරද්දී බෝහෝ පිරිස් එයින් මිදීමට ආවරණ සොයා ගමන් කරද්දී පීරා පමණක් බස්නැවතුම් පොළක තනිවූවාය. සීතල උසුලන්නට බැරිය. ඇඟපත ජලයෙන් තෙත්වී හමාරය. තම ආදරණීය සැමියාත් දරුවන් තිදෙනාත් ඇයට ඒ මොහො​ෙත් දී සිහිපත් ​ෙවන්නට ඇත. ජීවිතයේ හුදකලා බව පමණක් ඉතිරි කරගෙන ඇය වකුටු වූවාය. වැරහැළි ඇඳුම් තෙත බරිත විය.   


බස් හෝල්ට් එකේ මනුස්සයෙක් මැරිලා ඉන්නවා පුලුවන් තරම් ඉක්මනට එන්නයැයි එකල පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය සිවකුමාර මහතා ලබාදුන් පණිවිඩය අනුව මම එතනට ගියා. කාන්තාවක් බස් නැවතුම්පොළේ වැටිලා ඉන්නවා මම දැක්කා. එයාට පණ තියෙන බවත් අපට වැටහුණා. අපි එයාව හොඳට නාවලා හොඳට පිහිදාලා සාත්තු සප්පායම් කරලා පානදුර රෝහලේ මානසික වාට්ටුවට අපි එයාව ඇතුළත් කළා. නමුත් රෝහලේ ඉන්නකොට පීරා පාලනය කිරීමට බැරි තත්ත්වයක් උදා වුණා. රෝහලේ දී ප්‍රතිකාර ලබන විට ඇය අතට හසුවන හැම දෙයකින්ම වෛද්‍යවරුන්ට හා හෙදියන්ට පහර දුන්නා.   


පීරාගේ හැසිරීම් රටාව පාලනය කිරීමට රෝහල් බලධාරීන්ට මහත් ගැටලුවක් වෙලා තිබුණා. පසුව නාගොඩ රෝහලට පීරාව ඇතුළත් කළා. ඇය පිරිසිදු කිරීමට නම් ලෙහෙසි පහසු වුණේ නැහැ. එයා පිරිසුදු කරන්න ෂැම්පු බෝතල් 3-4 ක් ගියා. ඇය දරඳඩු චරිතයක්. ඇත්තටම මට ඇය ගැන ලොකු දුකක් ඇතිවුණා. මෙහෙම කාලයක් ගත වෙද්දී මම පානදුර වෑකඩ සුජාතා නිවාසයේ ප්‍රියානි මිස්ට කතා කරලා පීරාගේ තත්ත්වය පැවසුවා. ඇය කිව්වා නාගොඩ වැඩිහිටි නිවාසයට පීරම්මාව භාරගන්නම් කියලා. කොහොම හරි මම රෝහලේ ඉඳන් වැඩිහිටි නිවාසෙට පීරම්මා අරං එනකොට ​ෙබාහෝ රෑ වෙලා. පීරාම්මාව අරගෙන ආපු ත්‍රිරෝද රථයෙන් ඇය පැනලා යන්න උත්සාහ කළා.   


වැඩිහිටි නිවාසෙට ගෙනැල්ලා අපි කන්න බොන්න දුන්නා. නිදාගන්නත් දුන්නා. පිඟානට දාපු බත් පීරම්මා හැලුවා. නිදාගන්න ඇඳක් දුන්නත් නිදාගත්තේ නෑ. ඇද පාමුල තමයි නිදා ගත්තේ. කාලයක් ගියාම ඇගේ මේ තත්ත්වය අඩුවුණා යැයි මනෝවිද්‍යා උපදේශන නිලධාරිනී නන්දනී ජයවර්ධන මහත්මිය පැවසුවාය.   


සුජාතා වැඩිහිටි නිවාස ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ යූ.එස්. ප්‍රියානි මහත්මිය මෙසේ පවසන්නීය.   


ඇත්තෙන්ම අද ​වන විට පීරාම්මාගේ සෞඛ්‍ය තත්ත්වය යථාතත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපේ නිවාසයට ඇතුලත් කිරීමෙන් පස්සේ ඇගේ දරදඬු කමත්, ප්‍රචණ්ඩ කමත් බොහොම හොඳින් පාලනය වෙලා. අනෙක් වැඩිහිටියන් සමඟත් බොහොම සාමකාමීව කටයුතු කරනවා. මේ වන විටත් අපි ඇය ජීවත් වුණු බලපිටිය ප්‍රදේශයට ගිහිල්ලා ඇගේ තොරතුරු සොයා ගත්තා. ඇගේ පුතෙකු ඇය බැලීමට නිවාසෙටත් ආවා. ඇයට අවශ්‍ය කරන සියලු ප්‍රතිකාර අපි නොපැකිලිව ලබා දෙනවා. ඇය බුලත්විටට තමයි ගොඩක් ආස. නමුත් එ්වා දැන් පාලනය කරලා තියෙනවා. මමත් මගේ කාර්ය මණ්ඩලයත් පීරම්මාගේ ජීවිතය සතුටු කරන්න හැම දෙයක්ම කරනවා යැයි ඇය පැවසුවාය.   


අද නිහඬ ජීවිතයක් ගත කරමින් සාමකාමී ලෙස දිවිගෙවන ඇය සුජාතා නිවාසයේ කොයි කාගෙත් හොඳ හිත දිනා ගනිමින් කටයුතු කරයි.   


මෙවර සිංහල අවුරුද්දට තම ආදරණීය දරුවන් තමන් සොයා සුජාතා සෙවනට එතැයි ඇය මහත් බලාපොරොත්තු දල්වාගෙන සිටින්නීය.

 

 

 

සටහන හා ඡායාරූප -
පානදුර සමන් කාරියවසම්