දරුවන් විසිදෙනකු මෙලොවට බ්හිකළ පින්බර මාතාවට රාජ්‍ය සම්මාන


දරුවන් විසි දෙනෙකු මෙලොවට බිහිකළ වාසනාවන්ත මව්පිය යුවළක් පිළිබඳව රටට හෙළි කිරීමට ඉරිදා ලංකාදීපයට පසුගිය මැයි මාසයේ විසි එක් වෙනිදා හැකි විය. මෙම හෙළිදරව් කිරීමත් සමඟ මෙවර ලෝක වැඩිහිටි දිනයදා මේ වාසනාවන්ත මෑණියන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උපහාර සම්මානයෙන් පිදුම් ලැබුවාය. 


ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කටුපොත බඹරගස්වැව ඉපැරණි ගම්මානයේ ජීවත්වූ මේ ආදරණීය විසි දරු මෑණියන් සහ පියාණන් පිළිබඳව ඉරිදා ලංකාදීපය මගින් හෙළිදරව් කිරීමත් සමග විවිධ ප්‍රදේශවල ස්වේච්ඡා සංවිධාන වලින්ද විහාරස්ථානවලින්ද ඇගයීමට ලක්වන්නට විය. 


එච්.ඒ. රොසලින් නෝනා (78) ආදරණීය මෑණියෝ සහ දැනට ආබාධිතව රෝද පුටුවක ආධාරයෙන් ජීවත්වන ජී.ජී. ජිනදාස (88) ආදරණීය පියාණෝ මෙලොවට දරුවන් විසිදෙනෙකු බිහිකොට අද ඉතාමත් සතුටෙන් ආදර්ශවත්ව ජීවත් වෙති. ආදරණීය මෑණියන් පසුගියදා සම්මානයෙන් ඇගයීමෙන් පිදුම් ලැබූ පසු ඇය ජීවත් වන නි​ෙවසට ගොස් නැවත සුවදුක් බලන්න අපි අමතක නොකළෙමු. 
අතීතයේ සිටම දරුවන් විසි දෙනෙකු මෙලොවට දායාද කොට ඒ සියලුදෙනාම විවාහ කොටදී දරු මුනුබුරන් සමඟ සතුටින් ජීවත් වන මෙම මෑණියන් පිළිබඳව අප හෙළිදරව් කිරීම නිසා ඇයට ලැබුණු මානසික තෘප්තිය පිළිබඳව ඇය අප සමඟ නොනිම් සතුටකින් කතා කරන්නට වූවාය. 


මෙම වාසනාවන්ත යුවළ පිළිබඳව ඉරිදා ලංකාදීපයට තොරතුරු කීවේ ගලේවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී දුමින්ද බණ්ඩාරනායක මහතාය. 


වයස අවුරුදු දාසය දාහත වෙද්දී මේ ආදරණීය යුවළ විවාහ දිවියට එක්ව තිබිණි. කුලීවැඩ කරමින් පොල් වත්තක පොල් කඩමින් පොල් ලෙලි ගසමින් ජිනදාස පියා තම ආදරණීය බිරිඳත් සමඟ මෙම දරුවන් 20 මෙලොවට දායාද කර පෝෂණය කරමින් එමෙන්ම ගුණවත් දරුවන් බවට පත් කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණු බව රොසලින් නෝනා මහත්මිය අප සමඟ සතුටින් කීවාය. 


මෑතක් වනතුරුම වැඩපොළ කර ගනිමින් සිටි මෙම දරුවන් විසිදෙනාගේ ආදරණීය පියා ජිනදාස මහතා හදිසියේ රෝද පුටුවකට එක්තැන් වූයේ හරකෙකු බඳින්නට ගොස් ලණුව පැටලී ඇද වැටීමෙන් සිදුවූ හදිසි අනතුරක් නිසාය. එතෙක් මේ වනතුරුත් ජීවිතයේ රෝහලකට ගොස් කිසිදු ප්‍රතිකාරයක් නොගෙන ඉතාමත් නිරෝගීව පියා ජීවත්වීමද විශේෂත්වයකි. මෙම මවගේ තවත් විශේෂත්වයක් වන්නේ දරුවන් විසිදෙනාම රෝහලකට නොගිහින් නිවසේදීම බිහිකිරීමය. 


මෙම ආදරණීය මව සම්මාන උපහාර ලැබීමෙන් පසු අපමණ සතුටු සිතින් අප සමඟ මෙසේ පැවසුවාය. 


"අනේ මහත්තයෝ මම නම් හිතුවේ නෑ මේ වගේ කවදාවත් අපිට කවුරුත් උපහාර කරයි කියලා. මොකද මගේ ලොකුම උපහාරය තමයි මගේ දරුවො නිසා දරුවෝ හදාගෙන මුනුබුරන් හදාගෙන මගේ මහත්තයත් එක්ක ජීවත්වීම තමයි මා ලබන ලොකුම සතුට. උපහාරය. හැබැයි ඉරිදා ලංකාදීප පත්තරේ මහත්තුරු ඇවිල්ලා මේ ගැන කිව්වට පස්සේ පත්තරේ පළ වුණාට පස්සේ අපේ ගමේ සමිති සමාගම්වලින් විතරක් නෙවෙයි හාමුදුරුවරු පවා බොහොම දෙනෙක් අපේ ගෙදරට වැඩම කළා. මට ආහාර කිරිපිටි ඒ වගේම මිල මුදල් බොහෝ විදියට උදවු කළා. මට හිතාගන්න බැරිවුණා පත්තරේ බලලා මෙච්චර මට රටේ මිනිස්සු ආදරේ කරනවද කියලා. මගේ දරුවොත් තව තවත් මට තිබුණු ආදරේ වැඩි වුණා. ඒ විතරක් නෙවෙයි ඒ පත්තර කෑල්ල අරගෙන ජාතික රූපවාහිනියේ මහත්වරු කණ්ඩායමක් අපේ ගෙදර ඇවිල්ලා දවස් පහක් විතර නැවතිලා ටෙලිනාට්‍ය පටිගත කළා. දරුවො හැදුවේ කොහොමද කියලා. මහත්වරුන්ටත් එදා ලංකාදීප පත්තරේ මහත්තයට කියපු දේ සම්පූර්ණයෙන් කිව්වා." 

 

 

"මට ලියමනක් ඇවිල්ල තිබ්බා පළමුවෙනිදට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට එන්න කියලා. මම දරුවොත් එක්ක එ්කට ගියා. සහතික, උපහාර ආහාර මලු සල්ලි ගොඩක් ලැබුණා. ඒ සියල්ලම මටත් හිතාගන්න බෑ. ඇමතිතුමා අතින් තමයි මට ප්‍රදානය කෙරුණේ." 


"ඉතින් මහත්තයටත් ගොඩක් පින් අපි වගේ පැත්තක වැටිලා ඉන්න අය පිළිබඳව හඳුන්වලා දීලා මෙහෙම ගරු බුහුමන් ලබාදෙන්න පුළුවන් වීම ගැන. ඇත්තටම ඒ නිසා අද මගේ දරු පැටවුන් ඔක්කොමලා ගොඩක් සතුටින් ඉන්නවා. ඒ අය නිතරම මගේ ළඟට ඇවිල්ලා කියනවා අම්මා අපිට ලොකු ගෞරවයක් කියලා. ඇත්තටම මගෙ පණත් හරි දරුවනුත් හරි මට දරුවෝ 20 නෙවේ තව කොච්චර වුණත් මට වැඩි නෑ. මේ ලෝකයේ උතුම්ම සම්පත තමයි දරු සම්පත." 


ඇය එසේ සිනහ වෙමින් අප සමඟ කීවාය. රොසලින් නෝනා මහත්මිය කොළඹ ගොස් උපහාර ලබා ගෙදරට පැමිණියේද එම උපහාර උත්සවය සියැසින් දකින්නට මේ දරුවන්ගේ පියා වන ජිනදාස පියාණන්ට හැකියාවක් ලැබුණේ නැත. මන්ද ඔහු රෝද පුටුවක් මත සිටින නිසාය. එහෙත් ඔවුන්ට එම අවස්ථාව අහිමි වූයේ ඇයි දැයි සිතේ කිසිදු කහටක් දුකක් දකින්නට නොවීය. ඔහු ඉතා සතුටින් සිනහමුසු මුහුණින් සිය ආදරණීය බිරිඳට තමන්ගේ සතුටද ප්‍රකාශ කළ බව අප සමඟ පැවසීය. 


සිය බිරිඳ උපහාර ලබා පැමිණීමෙන් පසු තමන්ට දැනුණු හැඟීම් සිතුවිලි මෙන්ම තමන් දරුවන් හැදීමට බිරිඳත් සමග පෙරදා ගත් උත්සාහයන් පිළිබඳව ජිනදාස මහතා අප සමග කියන්නට අමතක නොකළේය. රෝද පුටුව මත වාඩිවී ගොත ගසමින් තම අතීතය මතක් කළේ හැඬූ කඳුළෙන් නම් නොවේ සිනාමුසු මුහුණෙනි. 


"මහත්තයෝ මම තාත්තා කෙනෙක් හැටියට හරිම සතුටු දවසක් මේක. මොකද රුපියල් 2යි සත දොළහට වත්තේ වැඩ කරලා තමයි මං මේ දරු පැටව් ටික හැදුවෙ. දරුවන්ට වඩා ගොඩාක් ආදරෙයි ගෙදර උන්දැට. මොකද මම පුංචි කාලෙ ගත්ත ගෑනි හින්දා. අපි කසාද බැන්දෙ 1956 දෙසැම්බර් 13 දා 1958 තමයි මගේ ලොකු දුව ලැබු​ෙණ. ඉතින් අවුරුදු පතා අපිට දරුවෝ ලැබුණා. 1982 ජනවාරි මාසෙ තමයි මගේ බඩ පිස්සා ලැබුණේ. එදා ඉදලා මේ ගොනාගේ ලනුව පටලවිලා වැටිලා එකතැන් වෙනකම්ම හොඳට වැඩ කළා." 


"දරුවොත් එක්ක ගෙදර ඉන්න එක තරම් ලොකු සතුටක් මට තවත් නෑ. දැන් අවුරුදු අසු අටයි මගේ වයස. තාමත් වැටිලා නෑ. අපේ පවුලෙ කවුරුත් වැටිලා මැරුණේ නෑ ශක්තිමත්ව තමයි මැරුණේ. ඒ වගේම තමයි මේ වෙනකන් අපි ගෙදර උන්දෑ හරියට පැනඩෝල් පෙත්තක් බීල නෑ. ලෙඩක් හැදෙන්නෙත් නෑ. මොකද අපි හැමදාම හිනාවෙලා ඉන්න හින්දා." 


"දැන් ඉන්න ගෑනු මිනිස්සුන්ට ළමයි හදන්න වුවමනාවක් නෑ. ඒ දෙන්නගෙ ෂෝක් එක විතරයි බලන්නේ හැබැයි අපි හෙට අනිද්දා මැරිලා යයි මම කියන්නේ දරු සම්පත මොන තරම් සම්පතක් ද ඔය ගොඩක් කට්ටිය කියනවා දරුවො හදපුවාම අමාරුයි කියලා. ආර්ථිකයේ අමාරුයි කියනවා. එහෙම එකක් නෑ. ගොඩක් දුරට අමාරුවෙන් හරි හදන දරුවෝ තමයි වාසනාවන්ත දරුවෝ බවට පත්වෙන්නේ. ඒ නිසා ළමයි එක්කෙනෙක් දෙන්නෙක් හදාගෙන ගොඩක් සැප දුන්නට දුක හඳුනන්නේ නෑ. දුක හඳුනන්නේ නැතුව ළමයි හදලා වැඩක් නැහැ. ඒ නිසා වැඩියෙන් ළමයි හදපුහම දුකයි සැපයි දෙකම තියෙනවා. අද ඒක නෙමේ වෙලා තියෙන්නෙ අද මගේ ඇස් දෙකට දකින්න බැරි උනත් මගේ බිරිද මුළු ලෝකෙටම පේන්න උපහාර ලබනවා. ඒක සතුටක් නෙවෙයිද? ළමයි දෙන්නෙක් එක්කෙනෙක් හදපු අම්මා කෙ​ෙනකුට මගේ බිරිඳ ලබාගත් සතුට ගන්න පුලුවන්ද? අද මගේ හිතේ තියන සතුට ගන්න පුලුවන්ද? මේක තමයි හිතන්න තියෙන්නේ. කවුරු නැතත් අපි දෙන්නව මැරුණහම උස්සගන යන්ඩ ඕන තරං අපේ දරුවෝ මුනුබුරාල සියයකට වැඩිය ඉන්නවා." 


ජිනදාස මහතා අප සමඟ එසේ කතා කරමින් සිටියදී ඒ කතාව මැද්දට නැවතත් රොසලින් නෝනා මාතාව එකතු වුවාය. 


"මහත්තයා මට පිරිමි ළමයි 13 දෙනයි ගෑනු ළමයි හත් දෙනයි තමා හම්බුනේ. පුතාලගේ තාත්තා විඳපු දුක ගැන මට අද වගේ මතකයි. පුදුමාකාර දුකක් විඳින්නේ. දරුවො ලොකු මහත් කරන්න පොල් ලෙලි ගහනවා පොල් ගස්වල නගිනවා කුලී වැඩ කරනවා හැම වෙලාවෙම ගෙදර එන්නෙ දරුවෝ කෑවද නෑවද කියල අහගෙන. ඒ වගේම තමයි ලොකු පුතාලා දුවලා ඊළඟ මල්ලිලාට නංගිලාට උදව් කරා. එයා ඉස්කෝලෙ යවනවා පාඩම් කරල දුන්නා වූ සියල්ල කළා. ඒ නිසා ඔය කියන දුක දැනෙන්නෙ නෑ. ඒක මහ බොරුවක්. ඉස්සර වගේ දැන් කොහෙද එදා වේලට වී කොටලා තමයි අපි කෑවේ. දැන් කඩවල් වලින් ගෙනත් කනවා. මගේ දරුවන්ගෙන් වැඩිදෙනෙක්ම අපේ මහ ගෙදර වටේම ගෙවල් හදාගෙන ඉන්නවා. නිතර ඔක්කොම වගේ අපේ ගෙදර තමයි ඉන්නේ. අපිට හැමවෙලාවෙම ගෙදර කට හඬ ඇහෙනවා හිනාව ඇහෙනවා සතුට පිරිලා තියෙනවා. තාත්තා පුටු​ෙව හිටියත් සතුටින් තමයි ඉන්නේ. මට පුළුවන් විදිහට එයාව එහෙට මෙහෙට එක්කන් ගිහිල්ලා සතුටින් තියන්න තමයි මං නිතරම බලන්නේ" 


මෙම ආදරණීය මවට ළඟදීම සියලුම දරු මුනුබුරන් මිනිබිරියන් එක්ව මේ නි​ෙවසේම තවත් උපහාර උත්සවයක් පවත්වන්නට දරුවන් සූදානමින් සිටින බවද අපට දැනගන්නට ලැබිණි. 

 

 

 

 

 

 

 

 

දඹුල්ල
කාංචන කුමාර ආරියදාස