දරු උපත් වැනසු පවින් කටුක දුක් විඳ මිය යයි



ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි

 

අවසන ඇය යහපත් කතක් වූවාය


සිරිදාස පාසල් යන වයසේ පසු වන දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහු රැකියාව වශයෙන් කළේ පෙදරේරුවෙකු ළඟ අත්වැඩ දීමය. බිරිඳ කුසුමාය. ඇය ද සැමියාගේ කර මත පැට වී ඇති බර ලිහිල් කරනු අටියෙන් දහසක් දේ කළාය. අගහිඟකම් කරන බලපෑම් නොතකා ඔවුන් තුන් වේල කුස ගින්නේ නොසිටින සමගියෙන් සෙනෙහසින් දවස සැරියේය.   


සිරිදාසට බොහෝ දිනවල රැකියාව සඳහා දුර බැහැර පළාත්වලට යාමට ද සිදු වෙයි. එවැනි විටක නිවසට පැමිණෙන්නේ සතියකට දෙකකට පමණ පසුවය. එබඳු දිනවල පවුලේ සියලුම වගකීම් නෑ බෑ නොකියා කුසුමා දරන්නීය.   


වරක් මෙසේ ඈත පළාතක ගිය සිරිදාසට මාසයක් පමණ ගත වුවද නිවසට පැමිණීමට ඉඩක් නොලැබුණි. කඩිනමින් ඉදිකිරීම් නිමවා ගෙහිමියන්ට ගෙය භාර දීමට ප්‍රධාන පෙදරේරු තැන එකඟ වී සිටීම ඊට හේතුවයි. ගෙදර යාමේ අවශ්‍යතාව දැඩිව තිබුණ ද සිරිදාස එය මැඩ ගත්තේ අපහසුවෙනි. දිනක් සැඳෑවේ දිය නැමට සිරිදාස අසල ළිඳකට යමින් සිටියේය. 

 
මඟදී නෙතට නෙත හමු වූ ළඳකගේ උකුළු මුකුළු ඔහුගේ සිත සසල කළේය. පසු කර යන ඇය දෙස හැරී බැලූ සිරිදාස ලතාවට නිතඹ ලෙළෙන ළඳගේ රුව සිත් සේ විඳ ගත්තේය. ඇය රුව ඔහු සිතෙහි ඇඳී ගියේ දිවුල් ලාටු මිශ්‍ර වර්ණයක් තදින් සිතුව​ෙම් ඇදී යන පරිද්දෙනි. ඇය ගැන සොයා බැලීමට සිරිදාස උත්සුක විය. අසල නිවසක වෙසෙන කතක් බවද, කලක් කොළඹ ඇඟලුම් කම්හලක සේවය කර ඇති බවද එක් දරු මවක වුවද අස්වාමික බවද ඔහු සොයා ගත්තේය. ඒ සියල්ලට වඩා සිත් ගත් පුවත වූයේ අවශ්‍යතා සහිත පිරිමින්ගේ මන දොළ සපුරා ලීමට සැදී පැහැදී සිටින්නියකි යන්නයි. ආදී කාලීන වෘත්තියක නියැළෙන ඇය නිසා පවුල් කඩා කප්පල් කර ගත් පිරිමින් බොහෝ බවද ඒ නිසාම දුකට පත්ව කඳුළු වගුරු වන කතුන් ද එපමණ සංඛ්‍යාවක් විසිරී සිටින බවද සිරිදාස දැන ගත්​ෙත්ය. එහෙත් ඒ කිසි පුවතක් ඔහුට වැදගත් නොවීය.   
මල වෙත වැසු බඹරා රොන් ගෙන ඉගිළී ඉවත නොගියේය. මල තමන් නතු කර ගත්තේය. සිරිදාස රස පහසෙහි බැඳුණ ගැඹුරු කොතෙක් ද යත් බිරිඳ කුසුමා හා දරු දෙදෙනා සිතින් බැහැර කළේ අලුයම ලූ කෙළ පිඩක් පරිදිදෙනි.   


දැන් නව යුවළ ඈත පළාතකට පලා ගොස් කුලියට ගත් නිවසක සතුටින් කාලය ගත කරති. සිරිදාස ද වෙනත් රැකියාවක් කරමින් කීයක් හෝ උපයා ගනි.   


බොහෝ දිනකින් නිවසට නොපැමිණි සිරිදාස ගැන සොයා බැලූ කුසුමා සියලු පුවත් දැන පිස්සියක සේ හඬා වැලපුණාය. දෙවියන්ට කන්නලව් කළාය. බෝධි පූජා තැබුවාය. නමුත් ඇය හා දරු දෙදෙනා පත් විපත එපරිද්දෙන් පැවතුණ ඇය දරුවන්ගේ කුස පිරවීමට නොගත් උත්සාහයක් නැත. පොල් අතු විව්වාය. පැදුරු විව්වාය. කුලියට ගොයම් කැපුවාය. ගල් වළේ ගල් කැඩුවාය. දියණියගේ පාසල් ගමන ද ඇණ සිටියේය. දස අතේ ණය වී සිටි ඇයට ණය හිලව්වට ඇඟ මස් ඉල්ලන්නන්ගේ බේරීමට දැඩි ප්‍රයත්නයක් දැරීමට ද සිදු විය.   
කාලයත් ගත විය. ඒ මාස කීපයක් මිස වසර ගණනක් නොවීය. උණ සෙම්ප්‍රතිශාව වැලඳුණු බිරිඳට ඉඟුරු කොත්තමල්ලී ටිකක් තම්බා දී දෙහි කොළ මුට්ටියක් ළිප තබා එය තැම්බුණු පසු මුහුණට හුමාලය අල්ලා ගන්නැයි නියම කොට සිරිදාස නිවසින් බැහැර විය. සිරිදාස ගිය පසු ඇඳට වැටුණු බිරිඳට නින්ද ගියේය. නින්දෙන් පිබිදුණු ඇයට මහත් සහනයක් දැනුණි. ළිපට ගිනි ලා කොළ මුට්ටිය තවත් රත් කළාය. ළිපෙන් බා ගත් එය කුස්සියේ බිම තබා ඒ අසළ උක්කුටුව ඇණ තබා ගත්තාය. රෙද්දක් ගෙන හිසේ සිට වසා ගෙන මුට්ටියේ පියන පසක තබා හුමාලය මුහුණට අල්ලා ගත්තාය.   


මේ අතර එළියේ සිට පූසා දිව විත් විවර කර තිබු ජනේලයෙන් කුස්සියට පැන්නේය. පූසාගේ ඇඟේ වැදුණු මුට්ටිය පෙරලී ගියේය. උණු ජලය ඇයගේ ගතෙහි වැටී පිලිස්සෙනට විය. ඇය විලාප නැගුවාය. අසල්වාසීන් පැමිණ රෝහලට ගෙන ගියහ. ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් දුටුවේ කාන්තාවක සතු අගනාම උපාංගය හා ආශ්‍රිත පෙදෙස පිලිස්සී දිය බුබුළු නැග ඇති බවයි. බොහෝ වේදනා විඳිමින් සති දෙකක් පමණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවාය. මේ කාලය තුළ සැමියා ඇය බැලීමට රෝහලට පැමිණීයේ එක් දිනක් පමණි. ඇය නිසා දුකට හෝ කතුන් කී දෙනෙක් එදා ඔවුන් හෙළු කඳුළු කොපමණද? එම වේදනාව දුක පෙරළා මෙම කතට ද උරුම විය. ඇය කළ පෙර පව් කම්වල පල එතැනින් නිම නොවීය. 

 
සුවපත්ව නිවසට පැමිණ සැමියා ගැන විපරම් කිරීමේ දී ඔහු ගමෙත් නොසිට පිටගංබලා ගොස් ඇති බව දැන ගන්නට ලැබුණි. කළ පව් කම්වලට ලද දඬුවම හේතුවෙන් දුසිරිතෙන් මිදුණු ඇය කුලි වැඩක් කර ධාර්මිකව උපයා එයින් දරුවා සමග විසීමට අදිටන් කර ගත්තාය.   


එ රස පහසට ලොල්ව නොමග ගිය සිරිදාස ද ජීවිතයේ යථාර්ථය තේරුම් ගෙන යළි කුසුමා වෙතට ගි​යේය.

අංගොඩ කුඩාබුත්ගමුව එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ කතාවකි.


දරු උපත් වැනසු පවින් කටුක දුක් විඳ මිය යයි   


සිව් දරු මවක වන ඇය සැඩ පරුෂ ගති පැවැතුම් ඇති තැනැත්තියකි. දරුවන් විවාහ කර දීමෙන් පසුව ඇය හුදෙකලාවම වාසය කළාය. කෙටි කලක් ගත වීමත් සමගම අමතර ආදායමක් උපයා ගැනීම කෙරෙහි යොමු වූ අතර අයථා ක්‍රියා මාර්ග ඔස්සේ හෝ තම අරමණු ඉටු කර ගැනීමට එම කාන්තාව​ෙග් අභිප්‍රාය විය. හොර සුරා විකිණීමෙහි යෙදුණේ ඒ අනුවය.   


එසේ වුවද අපේක්ෂා කළ අන්දමේ ධන ලාභයක් අත් කර ගැනීම අසීරු කරුණයක් විය. එනමුදු තම උත්සාහය අත් නොහළ එම තැනැත්තිය එවැනිම සදාචාර විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වූවාය. නාඳුනන කාන්තාවන් ඇතැම් අවස්ථාවල දී ඇයගේ නිවස වෙත යන එන ආකාරය අසල් වැසියන් කිහිප දෙනෙකුට දැක තිබුණ අතර ඔවුහු ඒ දෙස බලා සිටියේ විමසිල්ලෙන් යුතුවය. 

 
ඒ ඉන් පෙර මෙලෙස කාන්තාවන් එහි පැමිණෙනු දක්නට නොලැබුණු හෙයිනි. දිනක් රෙදි කැබැල්ලක දවටන ලද යම් කිසිවක් මෙම තැනැත්තිය විසින් තම ගෙවත්තෙහි වළලා දමන අන්දම ඇතැමුන් හට දැක ගත හැකි විය. නිසැකයෙන්ම දරු ගැබක් විනාශ කිරීම වැනි සදාචාර විරෝධී ක්‍රියාවක් ඇය විසින් සිදු කරන්නට ඇති බවද, මෙලෙස රහසේ වළලා දමන ලද්දේ එකී ළදරු සිරුරේ කොටස් විය හැකි බවද ඔවුහු කල්පනා කළහ.   


එසේම මේ අයුරින් කාන්තාවන් පැමිණෙන්නේ එබඳු අමානුෂික සදාචාර විරෝධී ක්‍රියාවක් සඳහා බව වටහා ගැනීම ද ඔවුනට අසීරු නොවීය. මෙම පාපතර ක්‍රියාවේ බරපතළකම මෙකී කාන්තාවට පහදා දීමට ඒ කිසිවෙකුත් ඉදිරිපත් නොවූයේ එය පිළිගැනීමට තරම් නම්‍යශීලී හදවතක් ඇය සතුව නොමැති බැව් ඒ කවුරුත් හොඳින් දැන සිටි බැවිනි.   
මෙසේ ටික කලක් ගෙවී ගිය අතර අනපේක්ෂිත ලෙස එම තැනැත්තිය රෝගා තුර වූවාය. හඳුනාගත නොහැකි රෝගයක් වැලඳී තිබිණ. පවුලේ අය එක්ව ඇය රෝහලට ඇතුළත් කරනු ලැබූ නමුත් රෝගීන් තත්ත්වයෙහි අඩුවක් නොවීය. සිරුර පුරා කිසියම් බිබිළි විශේෂයක් හට ගන්නට වූ අතර ඒවා එකිනෙක වර්ධනය වී පුපුරා යන්නට පටන් ගත්තේ අධික දුර්ගන්ධයක් ද සමගිනි. ඇය වේදනාව හා දැවිල්ල ඉවසාගත නොහැකිව මහ හඬින් විලාප නගන්නට වූවාය.   


එම කාන්තාවගේ ජීවිතය රැකගැනීම පිණිස වෛද්‍ය නිර්දේශය මත දෙපා ඉවත් කිරීමට ද සිදු විය. ඉන් පසු ඇය දිවි ගෙව්වේ රෝද පුටුවක ආධාරයෙනි. එය ද තෙමසක් වැනි කෙටි කාලයක් පමණි. එතෙක් වේදනාවෙන් හඬා වැටුණු ඇය දරුවන්ගේ දෑස් ඉදිරියෙහි දීම අවසන් සුසුම් හෙළුවාය.   


මෙම කාන්තාවට ශරීරාංග ද අහිමිව කටුක දුක් වේදනා විඳිමින් අවාසනාවන්ත ලෙස මිය යන්නට සිදු වූයේ මුදලට ගිජු වී සිදු කළ මෙකී පාපකර්මවල විපාක වශයෙන් බව අසල් වැසි කාගේත් පිළිගැනීම විය. 

 

අම්බලන්​තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි මේ. 

 


 

කුකුළන්ට වද දී මැරූ මොහොමඩ්ට පව් පළ දේ  

 

නමින් මොහොමඩ් නම් වූ මොහු ජීවත් වූයේ සිංහල ගමකය. එම ගොවීන්ගේ කොරටුවල කුඹුරුවල කුලී වැඩ කරමින් ජීවිතය ගෙන යාමට පුරුදු වූ ඇතැම් මුස්ලිම් ජනයා වෙනමම පෙදෙසක කුඩා නිවාස තනා ගෙන ජීවනෝපාය ගෙන යාම අදත් සුලබ දර්ශනයක් වී ඇත.   


අවු. 30 පමණ හැඩි දැඩි පුද්ගලයකු වූ මොහු නොයෙක් අය මෙන් සිංහලයාගේ ගොවිතැන් වැඩට නොගිය අතර ලෙහෙසියෙන් හම්බ කිරීමට ඊට වඩා හොඳ රැකියාවක් තිබෙනවා කියමින් ගෙවල්වල ඇති කරන කුකුළන් මිලට ගෙන මරා මස් කර විකිණීම තම ජීවනෝපාය කර ගත්තේය.   


විවාහකයෙකු වූ මොහු කුකුළන් එකතු කිරීමට ලොකු කූඩයක් සාදාගෙන මිලට ගන්නා කුකුළන් ඒ කූඩයට දමා ගන්නේ කකුල් දෙක එකට ගැට ගසලාය. ඒ ඔවුන්ට පියාඹා යාමට නොහැකි වන ලෙසනි. ගම පුරා ඇවිද කූඩය පුරවාගෙන මොහොමඩ් ඔවුන් නිවසට ගෙන විත් ලෙඩ වූ වයස් ගත කුකුළන් තෝරා හොඳ වතුර සාස්පානක් ළිප උඩතබා වතුර උතුරන විට මර හඬ තළද්දී එම කුකුළන් බෙල්ලෙන් අල්ලා වතුරට ඔබන්නේ ඔවුන් මර හඬ ද දීම තුළින්ම විනෝදයක් කර ගනිමිනි. මෙසේ උතුරන වතුරට ඔබන්නේ උන්ගේ මස් බුරුල් වීමටත් පිහාටු හා හම ලෙහෙසියෙන් ගලවා ගැනීමටත්ය.   


ඉන් පසු එම සිරුරු මස් විකුණන ස්ථානවලට ගෙන ගොස් මුදල් ලබා ගනී. හොඳ නිරෝගී කුකුළන් කූඩයේම තබාගෙන නොමැරෙන ලෙසට යන්තම් කෑම ටිකක් දී මහජන පොළ තිබෙන දිනට ගෙන ගොස් ප්‍රදර්ශනයේ තබා නිවෙස්වලට ගොස් මරා ගන්නා අයට විකුණයි. අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ ඉල්ලීම පිට බෙල්ල කරකවා මරණයට ද පත් කර දෙයි. සමහර අය මෙසේ ඔහුටම කියා මරා ගන්නේ තමා ගෙදර ගෙන ගොස් මැරුවොත් පවු සිදු වේ යයි සිතන හෙයිනි.   


නිවසේදී මැරුණු සතුන්ට ශුද්ධ කිරීමට මොහොමඩ් ගේ බිරිඳ ද හොඳ දක්ෂකමක් දක්වන බව දුටු අය කියති.   


මෙසේ ටික කලක් ගත වන විට මොවුන්ට දරුවෙක්ද ඉපදුණි. අභාග්‍යයක මහත. ඒ දරුවා ද අංග විකලයෙක් විය. කොතරම් බේත් හේත් කළ ද පළක් නොවුණ අතර තව ටික කලක් යන විට මොහොමඩ්ට ද බලාපොරොත්තු නොවූ අකරතැබ්බයක් විය. කුකුළන් එකතු කරන්නට ගමේ නිවෙස්වලට යන විට එක නිවසක ආරක්ෂාවට බැඳ තිබූ සුනඛයෙක් (බල්ලෙක්) දම් වැලක් කඩාගෙන මොහු පසු පස එලවා සපා කෑවේය. බල්ලා සපා කෑ බියට වේගයෙන් දුව යන වට ගසක මුලක පැටලී වැටි කකුළක ඇටයක් ද බිඳිණ. බොහොම අමාරුවෙන් ගමේ කීප දෙනෙකුගේ සහායෙන් වෙද මහතා ළඟට එක්ක ගියත් රෝහල් ගත වුණත් පිස්සු නොහැදී බේරුණ නමුත් කකුළේ නොණ්ඩිය සුව නොවීය.   
​ෙනාණ්ඩිය ඇද ඇද ගමේ ඇවිද තවත් එම රැකියාවට කළ මොහොමඩ් බීමට පුරුදු විය. ගංජා කසිප්පු ආදිය වැඩිපුරම පාවිච්චි කරන ලද්දේය. ටික කලකින් මොහු ද හිටි හැටියේම අසනීප වී බේත් කළත් අර නොණ්ඩි කකුළත් වකුටු වී ලෙඩ ඇඳේම ලඟින්නට විය.   


මොහොමඩ්ගේ බිරිඳට මහා බරක් පැටවුණි. ජීවත් වීම සඳහා සිංහල ගෙවල්වල බැල මෙහෙවර කරමින් කීයක් හරි හොයාගෙන අංගවිකල දරුවත්, මොහොමඩ් සැමියාත් බලා ගත්තේ ඉතා අමාරුවෙනි.   


කරුමයක මහත දිනක් එය භාර්යාව ද රෑ බෝවී හදිසියේ ගෙදරට යන විට ඇද වැටී කකුලක් ද තුවාල වී නොණ්ඩි භාවයට පත් විය. නොණ්ඩි ගසමින්ම ඇය ගෙවල්වල වැඩ පළ කර බඩ වියත රැක ගත්තාය.   


​ෙමහෙම කළ දවස ගෙවන විට මොහොමඩ්ගේ ලෙඩ උත්සන්න වී මරණයට පත් විය. මැරු​ෙණත් අර නොණ්ඩි කකුල වකුටු කරගෙනය. මිය ගිය පසුව ඥාතීන් එකතුව පිහියකින් කුකුල කපා කෙළින් කර අවසාන කටයුතු කරන ලදි. දකින අසන සෑම දෙනාම කියන්නේ අහිංසක කුකුළන්ට වද දී මරා ජීවත් වීම නිසා මෙලොවදීම පව් පටිසන් දුන් බවයි. 

 

ඉඟිනියාගල ජයසෝම ගෝනාපීනුවල මහතා ලියා එවූ කතාවකි මේ,

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.