දඬුවම දෙවියන්ගන්ද? සොබා දහමින්ද ?


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි  

 

 

කඩවත, මහර නුගේ​ගොඩ ජයසේන​ හේවාපහන මහතා ලියා එවූ කතාවකි 

දඬුවම ​ෙදවියන්ගෙන්ද? සොබා දහමින්ද?   


සීත කඳුකරයේ තේ ඉඩමක්, ගෙයක් සහ ජීවත්වීමට මූල්‍යාධාර ලැබූ බැවින් සුදු සීයා, සුදු ආච්චි ද දරු දෙදෙනා ද සමග මෙම ජනපදයට පැමිණ ඇත්තේ මීට වසර හතළිහකට පෙරය. ජනපදයට පැමිණි මුල් කාලයේ බොහෝ දුක් කරදර විඳින්නට සිදු වූ නමුත්, දලු නෙළීම ආරම්භ වූ පසු ඔවුන්ගේ අත මිට සරු විය. සුදු සීයාගේ එකම අභිලාෂය වූයේ දරුවනට උසස් අධ්‍යාපනයක් ලබාදීම වූ හෙයින්, දරුවන් නගරයේ උසස් පාසලකට ඇතුළත් කළේය. තම තේ ඉඩමත්, ගෙවත්තත් ඉතා හොඳින් නඩත්තු කිරීම නිසා, සුදු සියා ජනපදයේ හොඳම ගොවියා බවට පිට පිට තුන් වරක්ම පත්වූවේය. සියලුම ජනපදිකයින් සමග ඉතාමත් හි​ෙතේෂී මෙම යුවළ ඉඩක් ලද සැම විටම පන්සලට ගොස් ආගමික කටයුතුවල යෙදුණෝය. ස්වාමීන් වහන්සේලා ඇසුරෙන් තම දහම් දැනුම වඩවා ගත් අතර සියල්ල අප කළ පින් පව් අනුව කර්මානුකූලව සිදු වන නිසා අට ලෝ දහමට කම්පා නොවිය යුතු බව වටහා ගත්හ. 

 
සතුටෙන් හා සාමයෙන් ගත කළ දිවිය, දරුවන් ලොකුමහත් වීමෙන් අනතුරුව දරුවන් නිසාම එකින් එක අභාග්‍යයන්ට ගොදුරු වීය. දුවණිය තමරා උසස් පෙළ විභාගයට පෙනී සිටිමට පෙර පාසලේම ගුරුවරයකු හා පැන ගියාය. සුදු ආච්චි සති ගණනක් නොකා නොබී වැළපුණාය. සුදු සීයා එම දුර්භාග්‍යය අමතක කළේ පුතාට තව තවත් ළං වී ඔහුගේ ඕනෑ එපා කම් වැඩි වැඩියෙන් ඉටු කිරීමෙනි. පුතා කමල් ඉගෙනීමේ දස්කම් ඉහළින්ම දක්වා නීති විද්‍යාලයට ඇතුළත් විය. දරුවන් දෙදෙනාම නොමැති පාළුව දෙමාපියන් දුරු කර ගත්තේ, තව තවත් පන්සල වෙත ළං වීමෙනි. වසරින් ව  සර කඩඉම් විභාග සියල්ල ජයගත් කමල් වසර පහකට පසු පෙරකදෝරුවෙකු ලෙස උසාවියේ දිව්රුම් දුන්නේය. එම උත්සවයට සහභාගී වූ මාපියන් ගෙදර පැමිණියේ රටක් රාජ්‍යයක් ලද්දාක් මෙන් ප්‍රීතියෙනි. සමහර දරුවෝ මාපියන් දක්වන දැඩි ඇල්ම, ආදරය සමච්චලයට විහිළුවට ලක් කරති. සමහරෙක් එම හිතේෂිවන්තකම දඩමීමා කරගෙන මාපියන් ඔවුනට අවැසි ලෙස හසුරුවති. කමල් ද මාපිය සෙනෙහස මුවාවෙන් ඔවුනට නොදැනෙන්නට තේ ඉඩම ඔහු නමට හරවාගෙන, පියාටත් හොරා එය විකුණා, ඈත නගරයක පදිංචියට ගි​ෙය්, මාපියන් ජනපදිකයින්වීම තම කීර්ති නාමයට කැලළක් වේ යැයි සිතාය.   


සුදු සීයාට සුදු අාච්චිගේ සිත සැනසීමට බොහෝ කාරණා පහදා දෙන්නට සිදු වීය. මේ සියලුම පාපයන් යම් අාත්මයකදී අප විසින් කරන ලද පව් පළදීමක් බවත්, දියණිය අපට දුන්නා වූ දුක මෙන් දුකක් අප ද කවදා හෝ අප මාපියනට දී ඇති බවත්, පුතා මෙන්ම අප ද අප මාපියන් රවටා ඇති බවත් එම නිසා අප කර ඇති එම පව් මේ ආත්මයේ ගෙවා දැමීම සඳහා අප තව තවත් පින් කළ යුතු බවත් නිතරම පැවසූහ. ඉන් පසු දෙදෙනා සතර පෝයටම සිල් සමාදන් වීමට පටන් ගත්හ. ජීවිතයේ සියලුම ලෞකික ආශාවන්, බලාපොරොත්තු දුරස් කර ජිවත් වීම සඳහා පමණක් වත්තේ එළවළු ටිකක් වවා ගත්හ. ඔවුන්ගේ දුක්බර, නිසල දිවිය නැවතත් අගාධයට ඇද වැටුණේ, දස වසරකට පෙර ගෙදරින් ගිය දුවණිය, දරුවන් දෙදෙනකු ද සමග කසාදය කටුගාගෙන ගෙදර පැමිණීමෙනි. අඬා, දොඬා වැළපී දෙමාපියන් සමා කර ගැනීමට ඈ සමත් වූවාය. මාපියන්ගේ සියලු දුක සැප බොහෝ සෙනෙහසින් සොයමින් ඈ ළමයින් දෙදෙනා ගමේ පාසලට ඇතුළු කළාය. නොබෝ දිනකින්ම දරුවන් දෙදෙනා අම්මා ළඟ දමා පැදුරටත් නොකියා ඈ රට ගියාය. දරුවන් ද, දරුවන්ගේ දරුවන් ද මව්පියන්ට දරුවන්මය. හතරදෙනෙකුගේ බඩ කට පිරවිය යුතුය. පාසල් අඩුපාඩු සපයා දිය යුතුය. සුදු ආච්චි අසල ඉඩමක කුලියට තේ දළු නෙළන්නට ගියාය. සුදු සීයා තව තවත් එළවළු වගා කළේය.   


​මේ අතර පිටරටින් ගෙන්වන ලද ගැබ්බර රට වැස්සියන් සුදුසු ගොවීන් අතරේ බෙදාදීමක් සිදු වුවද? සුදු සීයා ඉඩම විකුණා තිබූ බැවින්, ඒ අවස්ථාව අහිමි වීය. නමුත් ගොවීන් අතර බෙදාදීමට ගෙනා රට වැස්සියක් ජනපද නිලධාරි මහතා කෙසේ හෝ ලබාගෙන, ඈ සුදු සීයාට අඳේට බැලීමට දුන්නේය. අඳේට බලනවා යනු පළමු පැටියා අයිතිකරුට දිය යුතුය. සුදුම සුදු ගැබ්බර රට වැස්සියක් ගෙදරට පැමිණීම ගෙදර කාගෙත් සතුටට හේතු විය. පශු වෛද්‍යවරයාගේ නියමයෙන් විශාල ආවරණ සහිත කාමරයක් සෑදීමට සුදු සීයාට සිදු විය. කෑම බීම අවට ඕනෑ තරම් තිබුණි.   


දරුවන් දෙදෙනාගේ එකම සුරතලා සුද්දීය. සුදු ආච්චි සතියට දින තුනක් දරුවන් සමග සුද්දී දොළට ගෙන ගොස් සබන් කැටයක් අවසන් වනතුරුම අැඟ පුරා ගා සුද්දී නාවයි. සැමගේ ආදර සත්කාර නොඅඩුව ලැබු සුද්දී නිසි කළ ගෙවා සුදුම සුදු වැස්සී පැටියෙක් සුදු ආච්චිට තෑගි දුන්නාය. සියලු ආවතේම කළ සුදු ආච්චි පළමු කිරි මුරයෙන් කිරි ආහාර පූජාවක් කළාය. සුද්දී දිනකට කිරි බෝතල් 20 කට වඩා දෙයි. දිනක කිරි ආදායම සතියක වියදමට සෑහේ. සුදු සීයලාගේ අතමිට සරු වීය. දරුවන් නගරයේ පාසලකට ඇතුළත් කෙරිණි.   


පශු වෛද්‍ය නියමයෙන් කිරි මුරය අවසන් වීමට පෙර කෘත්‍රීම සිංචනය සඳහා සුද්දී සත්ව ගොවිපළට ගෙන යනු ලැබිණ. කිරි මුරය අවසන් වෙත්ම සුද්දී ද, දරුවන්ද අඬවා පැටවා ජනපද නිලධාරි මහතා ගෙන ගියේය. සුදු ආච්චි දරුවන් සැලසුවේ සුද්දි ළඟදීම තවත් පැටවකු බිහි කරන බවට සහතික වෙමිනි. ඊළඟ සතියේ පැටවා ලැබෙන බව පැවසූ පශු වෛද්‍යවරයා ඇයට කෑම බීම ළඟටම සපයන මෙන් ද දැන්වීය. පැටියා ලැබීමට දින තුනක් තිබියදී සුදු ආච්චිගේ බාලම නගා හදිසි අනතුරකින් මියගිය බවත්, භූමදානය හෙට බවත් සඳහන් විදුලි පුවතක් ලැබිණි. සතා තනිකර දමා යාමට සුදු ආච්චි කැමති වූයේම නැත. සුදු සීයා කඩේ මුදලාලිගේ උදව්වෙන් මෙවැනි අවස්ථාවකදී සතා භාර දී ගිය හැකි ගවපල්ලෙකු සොයා ගෙන වැඩිපුර මුදල් හා ආහාර පාන ද සපයා දී එක් රැයකට සතා රැකබලා ගන්නා මෙන් ඉල්ලා සුදු ආච්චි සමග ගමට ගියේය.   


පසුදින ආපසු පැමිණි ඔවුන් බසයෙන් බසිත්ම ලද ආරංචියෙන් සුදු ආච්චි එතනම සිහිසුන්ව ඇද වැටුණාය. සුදු සීයා දුන් හඬ කඩමණ්ඩිය පුරාම දෝංකාරය දුනි. ඊයේ රාත්‍රියේ සුද්දි හොරු ගෙන ගොසිනි.   


ග්‍රාම සේවක, පොලිසිය පැමිණීය ද කිසිම හෝඩුවාවක් සොයා ගත නොහැකි වීය. සුදු සීයා තවත් හතරදෙනෙකු සමග සියලුම ජනපද වටා සුද්දි සොයමින් එළිවෙන තුරු ඇවිද, පුරාණ ගමට ද පැමිණියේය. හරක් හොරා උක්කුවා ඊයේ පාන්දරම මස් ට්‍රැක්ටරයක් පුරවා ගෙන ගිය බවත්, හරක් මරණ ස්ථානය කැළේ මැද ගල්තලාව බවත් ඔවුනට දැන ගන්නට ලැබිණි. සුදු සීයලා එම ස්ථානයට පැමිණෙන විට හොඳටම දහවල් වී තිබුණි. ගල්තලාව මත දුටු දෙයින් සුදු සීයා සිහිසුන්ව ඇද වැටුණි. අද මෙලොව එළිය දකින්නට සිටි සුදුම සුදු පැටියාගේ ලේ තැවරුණු, තුවාල සහිත සිරුර ගල්තලාව මත දමා තිබුණි. බල්ලෝ ද කාක්කෝද මස් වැදලි එහේ මෙහේ අඳිති. ගල්තලාව පහළින් දුමක් නගිණු දුටු පිරිස එහි යන විට එහි සිටි දෙදෙනා පැන දිවූහ. සුද්දීගේ හම උඩින් ඇද යට මැස්සේ ඔවුන් මස් වේළමින් සිට ඇත. පොලිසිය කොතෙක් උත්සහා කළ ද වරදකරුවන් සොයා ගත නොහැකි විය.   
සුදු සීයා සුදු ආච්චි සමග පන්සලේ බෝ සමිඳුන්ට තම දුක පවසා, අසල ගමක ප්‍රසිද්ධ දේවාලයක් වෙත ගොස් පුරා තුන්වරුමක්ම පළි ගැසූහ. දින තුනක් පමණ ගෙවී යත්ම කැලේ මැද ගසකට යට වී මිනිසුන් දෙදෙනෙකු මැරී ඇති ආරංචිය පැතිර ගියෙන් සුදු සීයා ද ඒ දෙසට ගියේය. පුරාණ ගමේ උක්කුවා කැලේ මැද කිතුල් කපා රා බීමට පුරුදුව සිටියේය. ඔහුට අලුත හමු වූ යාළුවාට ද රා ටිකක් දීමට සිතූ උක්කුවා ඔහුද කැටුව කිතුල වෙත ගියේය. කලින් දින වට වැස්සෙන් අවට මඩ වී තිබුණි. ඇළ ඉවුරේ තිබූ ගල මත වාඩි වී සිටින්නට යහළුවාට පැවරූ උක්කුවා, ඇ​ෙළ් අනිත් ඉවුරේ තිබූ කිතුළට සුපුරුදු පරිදි නැග්​ගේය. අඩි තිහක් පමණ උස ගසේ මුදුනටම නැග සුව පහසුව අත්ත උඩ වාඩි වී යහළුවා සමග බීමට ප්‍රථම තමා රා කෝප්පයක් පානය කළ යුතු යයි සිතා මුට්ටිය වසා තිබූ බෙලෙක් කෝප්පයෙන් එකක් රා පුරවා ගෙන බීමට කෝප්පය කටේ තබා ගත්තා පමණි. මඳ සුළඟක් හමා ගියේය. ජල බරාස් හඬ නඟමින් පත කිතුළ බිම සිටි එකාගේ ඇඟ මතට පතබෑවිණි. කටේ ගසා ගත් කෝප්පය ගසටත් හිස පොළොවටත් තද වීමෙන් උක්කුවාගේ කට දෙකට කැපී ලේ බේරෙයි. කකුලක් අතක් පපුව සම්පූර්ණයෙන්ම චප්ප වී ඇත. ගස යට සිටි මිනිසාගේ මුහුණ බේරී ඇත. පය බඩ පපුව ගසට යට වී ඇත. කිසිවකු නොමැති කැළේ ඔවුහු ඊට පසු දින දක්වා දුක් විඳ පරලොව ගොස් ඇත.  බිම සිටි මිනිසා තමා සුද්දී භාර දී ගිය මිනිසා බව සුදු සීයා අඳුනාගත්තේය.


 



බිංගිරිය, කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවකි.   

ගව ඝාතක පවුලටම හදිසි මරණ   


එක්තරා ගමක විසු ඔහු අපි එම්මානුවෙල් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. මෙකී එම්මානුවෙල් දරුණු ගණයේ හරක් ඝාතකයකු වූ අතර ඔහුගේ ජීවනෝපාය වූයේ ගම් නියම්ගම්වල ඇවිද ඉතා අඩු මුදලකට කෙසේ හෝ හරක් මිලදීගෙන දක්කාගෙන විත් තම නිවස පිටුපස ගස්වල බැඳ ගාල් කර ගැනීමය. මෙලෙස හරක් දහ පහළොවක් ගාල් කර ගන්නා එම්මාලුවෙල් එම හරක් දෙන්නා බැගින් ඇඳාගෙන පඩිවෙල ප්‍රදේශයේ මස් කඩයකට ගෙන ගොස් භාර දී අධික මුදලක් ලබා ගනී.   


​ෙමසේ කාලයක් තිස්සේ මෙම ජාවාරමෙහි යෙදුණු ඔහුගේ පවුලේ බිරිඳ ඇතුළු දූ පුතුන් හතරදෙනෙකුගෙන් යුත් පවුල නඩත්තු කෙරුවේ ඔහුගේ මෙම ජාවාරමෙන් ලත් මුදල් වලිනි. පියා විසින් සිදු කරන මෙවැනි පාපකාරී ක්‍රියාවල්වලින් පවුලටම වන විනාශය පිළිබඳ පටිසන් දීම හේතු කොට ගෙන. මේ අතර එම්මානුවෙල්ගේ එක් පුතෙක් යතුරු පැදි අනතුරකින් හදිසියේ මිය පරලොව ගියේය. තවත් පුතෙක් පොල් කැඩීමට ගසකට නැග පය ලිස්සා බිම ඇද වැටීමෙන් සුසුම්නාව කැඩී​ ඔත්පළව සිට මිය පරලොව ගිය අතර එක් දියණියක් දිය නෑමට ගොස් වැවක ගිලී මරුමුවට පත් වූවාය. මේ අතර එම්මානුවෙල්ගේ බිරිඳ ද හදිස්සියේ අංශ භාග රෝගය වැළඳී ටික කලක් එක්තැන්ව සිට මියැදුණු අතර තවත් දියණියක් හොර රහසේම පැන ගිය අතර අවසානයේ මුළු පවුලෙන්ම ඉතිරි වූයේ එම්මානුවෙල් පමණි.   


මේ අතර දිනක් එම්මානුවෙල් හරක් නාම්බෙන් මිලදී ගෙන දක්කා ගෙන එන අතර තුර හරකා එම්මානුවෙල්ගෙන් මිදී කැලෑ වැදුණේ මරණ බය හේතු කොට ගෙනය. හරකා සෙවීමට කැලී වැදුණු එම්මානුවෙල්ට මේ අතර දරුණු සර්පයෙක් දෂ්ට කළ අතර ඔහුට තම නිවසට වත් ඒමට නොහැකිව අතර මඟ ඇද වැටුණේ සර්ප විෂ දරුණු ලෙස ක්ෂණිකව ශරීර ගත වීම නිසාය. ඔහුගේ කෑ ගැසීම් හඬ අසුණු අසල්වාසීන් විසින් එම්මානුවෙල්ව ඔසවාගෙන ඔහුගේ නිවස වෙත රැගෙන ආවද නිසි ප්‍රතිකාර කලට වේලාවට නොකිරීම හේතුවෙන් සර්ප විෂ ශරීර ගත වීම නිසා එම්මානුවෙල් හදිස්සියේ මරු වසඟයට පත් වුයේ කිසිවෙකුත් නොසිතූ මොහොතකය.   


​ෙමලෙස පාපතර ක්‍රියා වල යෙදුණු එම්මානුවෙල්ගේ මුළු පවුලම අකාලයේ මිය පරලොව ගිය අතර ඔහුගේ මෙම පාපතර ක්‍රියා මුළු පවුලටම දිට්ඨධම්මවේදනීය කර්මය අනුව මේ ආත්මයේ දී පටිසන් බැව් කිව හැකිය.   


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

සකස් කළේ   
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්