දඩයමින් සතුටු වූ සාමෙල්ට හිමිවූ ඉරණම


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

ඉලිප්පදෙණිය තිස්සෝගම රූපසිරි ලියනගේ මහතා ලියා එවූ කතාවකි.   

සිඟමනට වැටුණු දඩයක්කාරයා 

කරන කලට පව් මීරිය මීසේ  විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ 

 


වයඹ පළාතේ ගමක තිස්වසරකට පෙර සිදුවූවකි. ආරොන් මස් නොමැතිව බත් නොකයි. ගෙදරට යාබද කැලේ නිසා සතුන් දඩයම් කිරීම ද පහසුය.   


ඔහුගේ බිරිඳ සොපිහාමි සමග දවල් කාලේ ගොඩ ගොවිතැන් කරන ආරොන් රාත්‍රී කාලයේ දඩයමේ යෑම ද කරයි. රට කජු, බඩඉරිඟු, පුහුල්, වට්ටක්කා, මඤ්ඤොක්කා පලදාව කෑමට යාබද කැලේ සතුන් රෑ වෙන කොට හේනට එන නිසා කඳන් බැඳ සතුන් දඩයම් කිරීම ආරොන්ට ඉතාම පහසු කාර්යයක් විය. එවිට ගෙදර කෑමට ද තබාගෙන ඉතිරි වැඩි මස් විකුණා අතමිට සරුකර ගැනීමටත් හැකි විය.   


ආරොන් රෑ දඩයමේ යන අතර සොපිහාමි කසිප්පු කාඩියට ගින්දර ද අරක්කු පෙරීමේ කටයුතු ද සිදු කරන්නීය.   


ආරොන් සොපිහාමි පවුලට කණකොකා හැඬුවේ කළ දේ පලදේ යන සත්‍ය අරුත පසක් කරමිනි.   


තමාම බැඳි ගිනි කඳට අසුවූ තඩි වල් ඌරකුගේ පහර කෑමෙන් ආරොන් මැරෙන තුරුම ජීවත් වූවේ ඇඟපත පුරා සුළු නොවන වණ තුවාලවලින් දුගඳ විහිදී කිහිලි කරු වාරුවෙන් මහ මඟ කඩ පිල් හා සති පොළවල් ගානේ සොපිහාමි සමග සිඟමන් ඉල්ලා ඇවිදිමිනි.   

 



කෑගල්ල බෙලිගල මනහර මහින්ද වෑකඩ මහතා ලියා එවූ කතාවකි.   

අහිංසක සතුන් මරා කෑ පවින් ආබාධිත වෙයි. 

 
අතීතයේ ජීවත් වූ මිනිසුන්ගේ ජීවන උපාය වූයේ ගොවිතැනයි. ඔවුහු සරල දිවි පෙවතක් ගත කළහ. මීට අමතරව හේන් ගොවිතැන සඳහා වැඩි කාලයක් ගත කළහ. සමහර ගැමියෝ සත්ව ඝාතනයට ද යොමු වූහ. පීටර් සිඤ්ඤෝ ගමේ ජීවත් වූ චණ්ඩියෙකි. ඔහුගේ ජීවන උපාය වූයේ ගොවිතැනට අමතරව සතුන් දඩයම් කිරීමය. ඒ සඳහා ඔහු බෙහෙත් කොටන තුවක්කුවක් භාවිතා කළේය. ඔහුගේ උදව්වට ගමේ ගජ මිතුරන් කිහිප දෙනෙක්ද එකතු වූහ.  


සවස පීටර් සිඤ්ඤෝ ගේ ගෙදරට එකතු වන මේ ගජ මිතුරෝ කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් තම්බා ගෙන කා රා අරක්කු බී හොඳ පදමට සප්පායම් වූහ.   


රාත්‍රී යාමේ සතුන් දඩයම් සඳහා මහ මූකලානට යන පීටර් සිඤ්ඤෝ ඇතුළු ගජ මිතුරු නඩය සතුන් දෙතුන් දෙනෙක් දඩයම් කර ගනිති. මූකලානේ ජීවත් වන ඉත්තෑවන් ඌරන් වැනි අහිංසක සතුන්ට ගිනි බිඳිති. මෙම සතුන් මරා මස් කර ගැනීම සඳහා කොළ අත්තක ඔතාගෙන රැ​ගෙන එයි. මෙසේ රැගෙන එන ඉත්තෑවෝ පුළුස්සා මස් කරති. මෙසේ ගෙන එන ඉත්තෑවෝ කණු දෙකක සිටුවා ඒ මැදට ලීයක් දමා සකසා ගත් බාල්කයක ලණුවක් දමා එල්ලා ගිනි මැලයක් දල්වා දුම් ගැසීමට සකසා ගනියි. දුම් ගැසූ ඉත්තෑවා හම් ගසා සකසා ගන්නේ යාළුවන්ගේ උදව්වෙනි. මෙසේ මස් කරගත් කොටස් විකුණා මුදල් ලබා ගනිති. මෙසේ කාලය ගතවිය.  


දිනක් පීටර් සිඤ්ඤෝ විසින් අටවන ලද තුවක්කුවක් තමන්ටම පත්තු වී කකුල් දෙකම ආබාධිත විය. මේ නිසා ඔත්පළ විය. ඔහුට කාලය ගත කිරීමට සිදුවුණේ රෝද පුටුවෙනි. මෙසේ දින සති මාස ගතවිය. පීටර් සිඤ්ඤෝ අංශභාග රෝගී තත්ත්වයට පත්විය. අත් කකුල් පණ නැති විය. ඔහුගේ උදව්වට සිටියේ බිරිඳ පමණි. කලක් යද්දී පීටර් සිඤ්ඤෝ දැඩි ලෙස අසනීප වී ජීවිතයේ අවසන් කාලය ගත කළේය. මරණයට ළංවිය. පීටර් සිංඤ්ඤෝ දින ගණනක් ඌරෙකු මෙන් කෑ ගසා මරණයට පත්විය. අහිංසක සතුන් දඩයම් කළ පව ඔහුට පල දුන්නේය.   

 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.   

දඩයමින් සතුටු වූ සාමෙල්ට හිමිවූයේ රෝද පුටුවයි.   


සාමෙල් දක්ෂ දඩයම්කරුවෙකි. කඳු පාමුල පිහිටි මහ වනයට සතියකට වරක් දෙකක් කොටන තුවක්කු බටය ද රැගෙන අහිංසක සතෙක් දඩයම් කරගෙන ඒම ඔහුගේ පුරුද්දක් විය.  


මළපොතේ අකුරක් ​ෙනාදත් ඔහුට සතුන් මැරීම බරපතළ පවක් බව වැටහුනේ නැත. සතා සීපාවාට ජීවය දී ඇත්තේ උන්ගේ මස් නරක් ​වීම වලක්වාලීමට බව සිතූ ඔහු වන සතුන් මරා තම බිරිඳ හා දරු දෙදෙනා සමග ආහාරයට ගත්තේ ලොකු හපන්කමක් කළ වීරයෙකු ලෙසිනි.


 ගමේ පන්සලට පොහෝ දිනකවත් පා​ නොතබන මේ යුවල දරුවන් එහි යනවාටත් වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. අසල්වැසියන් සාමෙල්ගේ මෙම සතුන් මරාගෙන මස් කෑම හෙළා දැක්කත් මස් වැද්දෙකු වූ ඔහුට ඒ ගාණක් වත් වුණේ නැත. ඔහුට උපදෙස් දෙනවාට වඩා ‘‘කට ගලක උලා ගැනීම හොඳ යයි’’ පැවසූ ගමේ වැඩිහිටියෝ දඬුවම් දීම උඩ සිටින දෙවියන්ටම භාරකර නිහඬ වූවෝය.   


දිනක් සතෙක් මරාගැනීමට මහ කැලයට ගිය සාමෙල්ට අත්වූයේ භයානක විපතකි. කිසිම සතෙකුගේ හෝඩුවාවක්වත් නොලත් සාමෙල් වනය පුරා ගොදුරක් සොයා යාමේදී ගමේ අයෙකු වල් ඌරන් මැරීමට බඳින ලද තුවක්කුවක මරු වැලක් පෑගී වෙඩි වැදී ඇද වැටුණි.  


ඔහුගේ කකුලට​ බරපතළ ලෙස තුවාල වී මරහඬ නගනවිට ඒ හඬ වනය පුරා දෝංකාර දෙන්නට විය. දර හොයමින් වනයේ සැරිසැරූ කාන්තාවන් දෙදෙනෙකුට සාමෙල්ගේ මර හඬ ඇසුණෙන් වනය ඇතුළට ගොස් විපරම් කර බැලුවේ ඔහුගේ පූරුවේ වාසනාවකට මෙනි.  


එක් තැනැත්තියක් ගමට ගොස් සාමෙල් ගේ බිරිඳට හා ගමේ උදවියට මහ කැලේ දී සාමෙල්ට වූ ඇබැද්දිය පවසා ගැමියන් කැඳවා විත් දඬුමැස්සක හොවා සාමෙල් ගෙදරට ගෙන ආවේ බලවත් අසීරුවෙනි. ළඟම ඇති රෝහලෙන් ප්‍රතිකාර ලබා දුන්නත් ​වෙඩි වැදුණ කකුල දණ හිස ළගින් ඉවත් කිරීමට සිදුවූයේ තුවාලයේ බරපතළකම නිසාවෙනි.  


මාස දෙක තුනක් රෝහල්ගතව සිටි සාමෙල් ගෙදර කැඳවාගෙන ආවත් ඔහුගේ පිහිටට වූයේ නගරබද දානපතියෙකු ලබාදුන් රෝද පුටුව පමණි. සතුන් මැරීම මෙලොවදීම ඇස් පනාපිටම පලදෙන බලවත් පාප කර්මයක් බව ‘සාමෙල්ට’ අත්වූ ඉරණමෙන් මනා ලෙස පැහැදිලි වේ.   


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්න​ෙකා්න්​