දකුණු අප්‍රිකාවේ පරිහානිය


 

පරිහානිය කරා වේගයෙන් ගමන් කරන ලොව බොහෝ රටවල සිටින්නෝ සිය දේශපාලන පැවැත්ම සඳහා තක්කඩිකම් හා හොර මැරකම් කරන, වස්තු කොල්ලකන දේශපාලකයින්ය. එවැනි රටවල බහුතර ජනතාව මුහුණ දෙන්නේ අතිශයින්ම ඛේදවාචකයකටය.


අද දිග හැරෙන්නේ මිලියන 30 කට වැඩි ජනසමූහයක් සාගතයෙන් පීඩා විඳින අප්‍රිකාවේ තවත් දේශයකි. ඒ දකුණු අප්‍රිකාවයි. (SOUTH AFRICA)
ප්‍රචණ්ඩත්වය වර්ධනය වී දරිද්‍රතාව ඉහවහාගොස් ජනතා පිබිදීම් තුළින් නොසන්සුන් වාතාවරණයක් බිහිවී ඇති රටවල් කීපයක් පිළිබඳ විස්තර අයි.සී.ජී. හෙවත් ඉන්ටර්නැෂනල් ක්‍රයිසීස් ගෲප් (INTERNATIONAL CRISIS GROUP) ආයතනය මගින් ඉකුත් සතියේ ප්‍රකාශයට පත්කර තිබුණි.


බුර්කිනෝ ෆාසෝ, කොංගෝව, ඉතියෝපියාව, යුක්‍රේනය, බොලිවියාව, ලිබියාව සහ ටියුනීසියාව යන රටවල් මෙම ලැයිස්තුවට ඇතුළත්ය. යටකී සියලුම රටවල් වළපල්ලට ගිය අයුරු මා විසින් මීට පෙර මෙම තීරුව යටතේ විස්තර ඉදිරිපත් කරන ලදී.


ජනපති අගමැති පොරයක් නැති රටක්


එම රාජ්‍යයන්හි නීතියේ ආධිපත්‍යය බිඳ වැටී පාලකයින් පවුල් පාලනයට මුල්තැන දුන් අයුරු විශ්ලේෂණය කළෙමි. අද හඳුන්වා දෙන දකුණු අප්‍රිකාවේ මුළු ජනගහණයෙන් සියයට 55.5% කට වැඩි පිරිසක් එදා වේලවත් පිරිමසා ගැනීමට අපහසු අන්තදුගී අසරණයින්ය. මොවුන්ගෙන් බහුතරයකගේ දෛනික වැටුප ඩොලර් 1 කට අඩුය.


2006 වර්ෂයේදී සියයට 66.6 ක් පමණ වූ දරිද්‍රතාවයෙන් පෙළෙන අයගේ සංඛ්‍යාව 2017 වර්ෂය වනවිට සියයට 55.5 දක්වා අඩුවූ නමුත් දකුණු අප්‍රිකාවේ රාජ්‍ය දූෂණයේ අඩුවීමක් සිදුවී නැත. මෙවැනි රටවල් පෙරට යන්නේ කෙසේද? ලංකාවටත් අත්වී ඇත්තේ මේ ඉරණම නොවන්නේද? ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තහවුරු කරන්නේ. දකුණු අප්‍රිකාවේ සැප විඳින්නේ, මුළු ජනගහණයෙන් සියයට 1 කටත් අඩු පිරිසක් බවයි. ලංකාවේද තත්ත්වය මෙය බව සත්‍යයක් නොවන්නේද?


ලෝකයේ විශාලත්වය අතින් 24 වැනි ස්ථානය හිමිවී ඇත්තේ දකුණු අප්‍රිකාවටය. නැම්බියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, මොසැම්බික්, ස්වාසිලන්තය, ලෙසෝතෝ යන රටවලට මැදිව පිහිටි මේ රට කෝටි 6 කට ආසන්න ජනගහණයකින් සමන්විතය. විශාලත්වය ව.කි.මී. 12,21,037 ක් හෙවත් ව.සැ. 471445 කි.


බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගත්තේ 1961 මැයි 31 දාය. වත්මන් ජනාධිපතිවරයා සිරිල් රැම්පෝසාය. (CYRIL RAMPHOSA) ඔහු දකුණු අප්‍රිකාවේ 5 වැනි ජනාධිපතිවරයාය. එම තනතුරට පත්වූයේ 2018 පෙබරවාරි 15 දාය. මෙහි අගමැතිවරයෙක් නැත. එමනිසා මේ රටේ ජනපති අගමැති පොරයක් නැත.


දකුණු අප්‍රිකාවේ කරුමය


කළු ජාතිකයින්ට අයත් රටක්වූ දකුණු අප්‍රිකාව කාලාන්තරයක් මුළුල්ලේ සුදු ජාතික පාලකයින්ගේ ග්‍රහණයට හසුවී තිබූ අයුරු 1994 මැයි 10 දා ප්‍රථම වරට කළු ජාතික නෙල්සන් මැන්ඩෙලා මෙහි ජනාධිපති තනතුරට පත්වීම, ඔහු 1999 දක්වා එම තනතුර දැරීම ආදිය මෙහි ඉතිහාසයෙන් බිඳකි. නෙල්සන් මැන්ඩෙලා හඳුන්වනු ලැබුවේ ජාතියේ පියා යන විරුදාවලියෙනි.


තම ජාතිය හා රට වෙනුවෙන් සටන් කර සුදු අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී තැලී පොඩිවී වසර 27 ක් සිරදඬුවම් විඳ, ලොවෙන් ඉමහත් සේ පැසසුම් ලබා සම්මාන 250 කට වැඩි සංඛ්‍යාවකින්ද නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලැබූ නෙල්සන් මැන්ඩෙලා වැනි පුද්ගලයෙකු මෙතෙක් ලොව බිහිවී නැත. විටින් විට පෘතුගීසීන්, ඕලන්ද ජාතිකයින් හා බ්‍රිතාන්‍ය ජාතිකයින් අත්පත් කරගෙන තිබූ මේ දේශයට නවෝදය උදාවූයේ නෙල්සන් මැන්ඩෙලා එහි ජනපති වීමෙන් පසුවය.


කෝටි 3 ක් සාගින්නේ


කෝටි 6 ක්වූ ජනගහණයෙන් කෝටි 3 කට වැඩි පිරිසක් එනම් ලක්ෂ 300 ක් පමණ වූ පුරවැසියන් ඉතා දිළිඳු ජීවිත ගත කරමින් කඳුළු සාගරයක් මැද දිවි ගෙවන මෙවන් රටක් වළපල්ලට ගිය රටක් වශයෙන් හැඳින්වීම නිවැරදිය. මේ රට දෙපසකින් යාවී ඇති අත්ලාන්තික් සාගරය සහ ඉන්දියන් සයුරටත් වඩා ගැඹුරු කඳුළු සාගරයක් තුළ ගිලී දිවි ගෙවන මෙහි බහුතර ජනතාව අද මුහුණ දී සිටින බලවත්ම තර්ජනය ඒඩ්ස් මාරාන්තික වෛරසයයි. ඒඩ්ස් එච්.අයි.වී (HIV) වෛරසයෙන් ලොව වැඩිපුරම මියයන රෝගීන් සිටින රටකි දකුණු අප්‍රිකාව.


මෙහි ඒඩ්ස් වෛරසයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව මිලියන 5.5 කට අධිකය. මේ රටේද සිටින්නේ ඒඩ්ස් රෝගය මර්දනය කිරීම සඳහා ගෙන්වන ඖෂධ වලින් පවා ගසාකන දේශපාලකයින්ය.


ඇප්‍රිකා චෙක් (AFRICA CHECK) නැමති මාධ්‍යය කියන පරිදි මෙහි සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම කළු ජාතික අසරණයින්ය. ළමා ජනගහණයෙන් සියයට 45 ක් පමණ කුසට පෝෂ්‍යදායි අහරක් නොමැතිව සාගින්නේ පසුවන බව එම මාධ්‍ය පවසයි.


තරුණ තරුණියන් විරැකියාව තුලින් ඉමහත් අසහනයට පත්ව සිටී. රැකියා විරහිත වූවන්ගේ සංඛ්‍යාව තරුණ ජනගහණයෙන් සියයට 48 ක් පමණ වේ. ලෝක සංවිධාන දුක්විඳින ජනතාවට සපයන සහනාධාර වලින් පවා ගසා කන දේශපාලකයින්ගෙන් අඩුවක් නැති තවත් රටකි. හරියටම ලංකාව වගේමය. නිතරම බලයට පත්වන්නේ හොර දෙටුවන්ය. නීලකාස හොරුය.


නැගෙනහිර කේප්, ලිම්පොපෝ, ක්වාසුලු යන පළාත් වල තත්ත්වය ඉතා දුක්මුසුය. ඉතා දිළිඳු ජන කොටස් දිවි ගෙවන්නේ මේ පළාත්වලය. මෙම පළාත්වලට විදුලිය, ජලය, ගමනාගමන, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී පහසුකම් ලබාදී නැත. සුදු ජාතිකයින් වැඩි වශයෙන් ජීවත්වූ ප්‍රදේශවලට ඈත අතීතයේ සිටම සියලු පහසුකම් ලබාදී තිබේ. ද බෝර්ගන් ව්‍යාපෘති වාර්තාවෙහි (THE BORGEN PROJECT REPORT) දකුණු අප්‍රිකාවේ දරිද්‍රතාවය පිළිබඳ මැනවින් සඳහන් වේ. 2019 ජනවාරි 21 දා ඔක්ස්ෆාම් (OXFAM) වාර්තාවක සඳහන් වී තිබුණේ දකුණු අප්‍රිකාවේ දිළිඳු ජනතාව තව තවත් දිළිඳු වන අතර පොහොසතුන් විෂ්මයජනක අයුරින් ධන කුවේරයින් බවට පත්වන බවයි. (THE RICH KEEP GETTING RICHER) ලංකාවේද සිදුවන්නේ මේ ක්‍රියාදාමය නේද?


හිටපු ජනපති රට කෑ හැටි


දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජැකොබ් සූමා (JACOB ZUMA) ලෝකයේ මෙතෙක් සිටි පාලකයින්ගෙන් දූෂිතම පාලකයෙකු බව කියනු ලැබේ. 78 හැවිරිදි සූමා 2009 මැයි 9 සිට 2018 පෙබ 14 දා තෙක් දකුණු අප්‍රිකාවේ ජනපති ධුරය දැරුවේය. ඊට පෙර එනම් 1999 සිට 2005 දක්වා ඔහු මේ රටේ උප ජනපති තනතුර හෙබවූවේය. 2005 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ගුටන්හි ෆොරස්ට්ටවුන් ප්‍රදේශයේදී 31 හැවිරිදි කාන්තාවක දූෂණය කළ බවට ඔහුට චෝදනා එල්ල විය. එම නඩු විභාගයෙන් ඔහු ගැලවුණේ විනිසුරුවන්ට අල්ලස් දීමෙන් බව හෙළිවිය.


තම බිරියන් සිව්දෙනාට සුරසැප ලබාදීම සඳහා රාජ්‍ය මුදල් හා දේපොළ ඩොලර් මිලියන 246 ක් පමණ අවභාවිත කළ බවට ඔහුට චෝදනා එල්ල විය. එමෙන්ම ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික පවුලක් වූ ගුප්තා පවුල සමග එක්වී මුදල් විශුද්ධිකරණය රාජ්‍ය කොන්ත්‍රාත් ලබාදීම, මහා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කිරීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සැපයූ ණය මුදල් ගසාකෑම ආදී චෝදනා රැසක් ඔහුට එරෙහිව එල්ල විය.


මේ සියලු චෝදනාවලට ඔහු වගකිවයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විය. පාර්ලිමේන්තුව ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවක්ද සම්මත කරගනු ලැබීය. දූෂිත ජනපති සූමා 2018 පෙබරවාරි 14 දා ඉල්ලා අස්විය. දකුණු අප්‍රිකාවේ බහුතර ජනතාව කුසගින්නෙන්, දරිද්‍රතාවයෙන්, ලෙඩ රෝග වලින්, විරැකියාවෙන්, ඒඩ්ස් මාරයාගෙන් ආහාර හිඟයෙන්, දුක් අඳෝනා නගද්දී මෙවැනි පාලකයින් තෝරාපත් කරගැනීම එහි ජනතාව විසින්ම සිදුකරගත් බලවත් වරදක් නොවන්නේද? දකුණු අප්‍රිකාව කබලෙන් ළිපට ඇද වැටුණේ සූමා වැනි පාලකයින් නිසාය.


පොලිස් කොස්තාපල්වරයෙකුගේ පුතා රටේ ඉහළම තැනට පත්වී රට විනාශ කිරීමේ කතාන්දරය මෙවැනි කෙටි ලිපියකින් විස්තර කිරීම අපහසුය. සූමාගෙන් පසුව දකුණු අප්‍රිකාවේ මුල් පුටුවට පත් සිරිල් රම්පෝසා වසර 2 ක කාල සීමාවක් තුළ සිදුකළ පරිවර්තන හේතු කොටගෙන මේ වනතෙක් මේ රටේ කිසිදු ප්‍රගතියක් සිදුවී නැත.

 


හොරකම් කළ මැති ඇමැතිවරු


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටට ජනතාවට ආදර්ශයක් විය යුතු නමුත් මෙහි මන්ත්‍රීවරුන් රාශියක් හොර වවුචර් ඉදිරිපත් කර රාජ්‍ය අරමුදල් වලින් මුදල් වංචා කළ අයුරු හෙළිවිය.
හිටපු ක්‍රීඩා ඇමති ෆිකිල් මබලුලා (FIKLE MBALULA) දකුණු අප්‍රිකානු මුදල් මිලියන 110 ක් වංචා කල හැටි සමාජ සුබසාධන හිටපු ඇමති බට්බිල් ලමිනි (BATHABILE DLAMINI) ඩොලර් 254,000 ක් ගසා කෑ අයුරු, හිටපු බලශක්ති ඇමති ටීනා ජොමට් පැටර්සන් (TINA J PETTERSSON) දකුණු අප්‍රිකානු මුදල් මිලියන 800 ක් අවභාවිත කළ ආකාරයද හෙළිවිය.
දකුණු අප්‍රිකාව අඩියෙන් අඩිය ප්‍රපාතයට ඇද වැටුණේ එහි බලයට පත්වූ බලවතුන්ගේ මෙවැනි දූෂිත ක්‍රියා නිසාය.


අප්‍රිකා මහද්වීපයේ ඉතාමත් දූෂිත පාලකයෙකු වශයෙන් හඳුන්වනු ලබන ජැකොබ් සූමා තම පෞද්ගලික නිවාස සංකීර්ණය සියලු අගෝපාංගයන්ගෙන් සමන්විතව ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් යෙදවීම ඔහුට එල්ල වූ චෝදනා රාශියෙන් එකකි.


දකුණු අප්‍රිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකවූ එ්.එන්.සී. (ANC) සහ ඩී.ඒ. (DA) යන පක්ෂ තම අරමුදල් තරකර ගැනීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ අයුරුද හෙළිවී තිබේ. දකුණු අප්‍රිකාවට කරුමය උරුමවූ හේතූන් රාශියක් මෙසේ හුවා දැක්විය හැක.


හිටපු ජනපති ජැකොබ් සූමා ඉන්දීය සම්භවයකින් යුතුව දකුණු අප්‍රිකාවේ ජීවත්වන ඉන්දියානු පවුලක් වූ ගුප්තා (GUPTA) පවුලේ සහෝදරයින් තිදෙනා වූ අතුල්, අජේ සහ රාජේශ් යන තිදෙනාම රටේ ධනය උත්පාදනය කරන ව්‍යාපාර රාශියක් පවරා, සිදුකළ මුදල් මංකොල්ලය තුළින් රට ආපස්සට ගිය අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන්වේ. ඩොලර් මිලියන 760 කට වැඩි වටිනාකමකින් යුත් රාජ්‍ය දේපොළ එම ගුප්තා පවුලට පවරා දුන් අයුරු හෙළිවිය.


ගිනියාවේ හිටපු ජනාධිපති තියඩෝරෝ ඔබියන්ග්, තම පුතා මාර්ගයෙන් එහි ජාතික ධනය කොල්ල කෑ අයුරුද ලොවට රහසක් නොවේ. බොහෝ ආරාජික රටවල සිදුවන්නේ පවුල් පාලනය තුළින් රට අස්ථාවර කිරීමයි.


ඇන්ගෝලාවේ හිටපු ජනාධිපති හෝසේ එවුවර්ඩෝ සන්ටෝස් තම වැඩිමහල් දියණිය වූ ඉසබෙල් යොදවාගෙන රාජ්‍ය දේපොළ කොල්ලකෑ අයුරු මීට පෙර ලිපියක මම සවිස්තරාත්මකව සඳහන් කළෙමි. ඒ අතර සිරියාවේ ජනපති ඔමාර් අල් බෂීර් පවුලේ ඥාතීන් සමග රාජ්‍ය මුදල් අවභාවිත කළ අයුරුද, චැඩ් දේශයේ ජනපති ඉද්රිස් ඩෙබි, ලයිබේරියාවේ හිටපු ජනපති චාල්ස් ටේලර් ආදීන්ද දූෂණයට වංචාවට මුල්තැන දෙමින් ඥාති සංග්‍රහය සිදුකළ අයුරුද මේ ලිපි පෙළ මගින් මීට පෙර විස්තර ඉදිරිපත් කරන ලදී. වළපල්ලට ගියේ එවැනි පාලකයින් පාලනය කළ රටවල්ය.

 

 

සිරී හීන්පැල්ල 
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි