තොරතුරු හුවමාරු කරන්න වේදිකාවක් හැදූ ට්විටර් සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

  • ජැක් ඩෝර්සි, නෝවා ග්ලාස්, බිස් ස්ටෝන්, එවන් විලියම්ස් ට්විටර් බිහිකළ මහ මොළකරුවන් හතර දෙනා
  • ජැක් ඩෝර්සි විපස්සනා භාවනා ගැන උනන්දුවන්නෙක්.  මස්, මාළු ආහාරයට නොගනියි

 
 

මුහුණුපොත හෙවත් ෆේස්බුක් යනු අද වනවිට ලෝකයට අලුත් දෙයක් නොවේ. 2004 දී බිහි වූ ෆේස්බුක් අන්තර්ජාල පිටුව ලෝකය ග්‍රහණය කරගෙන ඇති අයුරු කෙසේ ද කියා ඔබට අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. අද අප කතා කිරීමට සූදානම් වන්නේ ෆේස්බුක් ගැන නම් නොවේ. ෆේස්බුක් නිර්මාණය වී දෙවසරකට පසු තවත් අන්තර්ජාලයේ පිටුවක්​ ලෙස නිර්මාණය වූ ට්විටර් (ට්විටර්) Twitter ගැනය.   


​ෆේස්බුක් (Facebook) සලකුණක් ලෙස ඉස්මතුව පෙනෙන්නේ නිල් පසුබිමක සුදු පැහැ රැගත් අකුරින්ය. එලෙසින් නීල ගඟන තලය සිසාරා පාව යන සුදු වළාකුලක් සේ ෆේස්බුක් ලෝකය වෙලා ගනිද්දී, ට්විටර් (Twitter) මතු වූයේ සුදු පුළුන් කැටියායකින් මතු වූ නිල්වන් අකුරු පෙළකිනි. එහි ලාංඡනය වූයේ පක්‍ෂිකයකුගේ රුවකි. එම පක්‍ෂියාගේ හොට විවරව තිබෙනු දැකගත හැකිය. එයින් ප්‍රකාශ කරන්නේ පක්‍ෂියා හඬ නැඟීම යන්නය. ට්වීට් (Tweet) යන්නෙහි අරුත වන්නේ කුරුලු හඬ හෙවත් නද යන්නය. හැබැයි මෙහිදී හඬ නංවන්නේ, හෙවත් අදහස් ප්‍රකාශ කරන්නේ පක්‍ෂීන් නම් නොවේ. ට්විටර්හි ගිණුම් සාදාගෙන එය පරිශීලනය කරන මිනිසුන්ය. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප විස්තර කරන්නේ සමාජ මාධ්‍ය ප්‍රකාශන අන්තර්ජාල පිටුවක් ලෙස නිර්මාණය වූ මෙම ට්විටර් ගැනය.   


මුලින්ම අප මෙම ට්විටර් (Twitter) ගැන විපරම් කර බලමු. ෆේස්බුක් යනු වයස් භේදයකින් තොරව බොහෝදෙනා හට තමන්ගේ අදහස් තොරතුරු ඡායාරූප විකාශය කරගැනීමේ අවකාශය ඇති සේම, මුදල් ගෙවා ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස ද පරිශීලනය කළ හැකි සමාජ මාධ්‍යයකි. මෙම ට්විටර් ඊට තරමක් වෙනස්ය. එනම් පරිශීලන ක්‍රමවේදයන්හි විවිධ වෙනස්කම් දැකගත හැකිය. ට්විටර්හි දැකගත හැකි විශේෂම දේ වන්නේ අදහස කෙටි පණිවුඩයක් මගින්, තම පිටුව (ගිණුම) ඔස්සේ ප්‍රචාරය කරවාගත හැකි වීමය. එය ට්විටර් (Twitter) කරනවා යැයි කිව හැකිය. සමාජය වෙත යමකු පණිවුඩ හුවමාරු කරගන්නා අපූරු ක්‍රමයක් ලෙස ට්විටර් සඳහන් කළ හැකිය. එහිදී ද වයස් භේදයක් නොමැති බව සඳහන් කළ හැකි වුවත් ට්විටර් මගින් ලෝකය වෙත අදහස් ප්‍රකාශ කිරීමට මූලික වී ඇත්තේ, නොඑසේ නම් පෙරමුණ ගෙන ඇත්තේ ලෝකයේ දේශපාලන චරිත මෙන්ම විවිධ අංශවලට අයත් ලෝ ප්‍රකට තරු චරිතය. ට්විටර් ඔවුනගේ අදහස් ලෝකයට මුදාහරින ප්‍රධාන වේදිකාවක් යැයි සඳහන් කළ හැකිය. සරලව කිවහොත් ලෝක දේශපාලනයේ නියැළී සිටින චරිත මෙන්ම විවිධ ක්‍ෂේත්‍රවලට අයත් තරු චරිත තම අදහස් නිරන්තරයෙන් ප්‍රකාශ කරන සමාජ මාධ්‍ය තෝතැන්න බවට පත්ව ඇත්තේ මෙම ට්විටර්ය.   


​මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, ඉංග්‍රීසි බස හොඳින් හැසිරවීමට හැකියාව ඇති බොහෝදෙනා ට්විටර් හා ගොනු වී සිටීමය. ලෝකයේ සල්ලිකාර හෙවත් ධනවත්, ප්‍රභූ පැලැන්තියේ අය ට්විටර් වටා ගොනු වී සිටීමට එය ද හේතුවක් විය හැකිය. ඉංග්‍රීසි බස ගැන නිපුණත්වයක් ඇති බොහෝදෙනා තම පණිවුඩ මුදාහැරීම මගින් භාෂාවේ හරඹ පාන බව ද විටෙක දැකගත හැකිය. ​ලෝ ප්‍රකට තරු ඔවුන්ගේ පුද්ගලිකත්වයට එහා ගිය අදහස් සමාජයට මුදාහරින බව ද පෙනෙන දෙයකි. ​ලෝකයේ ලොකු කුඩා බාල මහලු හැමෝටම තමා දරන දේශපාලන මතයක් ඇත. මෙම ට්විටර් යනු එක්තරා විදිහකට දේශපාලනයක් ඇති තැනකැයි ද කිව හැකිය. ​ලෝක බලවතුන් විටෙක විවිධ දේශාන්තර කරුණු අරබයා මත පළ කරන හැටි ද ​චෝදනා, යෝජනා එල්ල කරන අයුරු ද දැකගත හැකිය. මෙලෙසින් ලෝක දේශපාලනයේ වේදිකාවක් ද වූ මෙම ට්විටර් බිහි කළේ කවුද?   


එක්තරා දිනෙක අන්තර්ජාල සේවා සපයන සමාගමක, අධ්‍යක්‍ෂ මඬුල්ල ඉදිරියේ ඔවුන් නිර්මාණය කළ යුතු අලුත් දේ පිළිබඳව කතාබහක නියැළෙමින් සිට ඇත. මේ අවස්ථාවේ නිව්​ෙ‌යා්ර්ක් සරසවියේ උපාධි අපේක්‍ෂකයකුව සිටි, ජැක් ඩෝර්සි අපූරු අදහසක් ඉදිරිපත් කළේය. කෙනෙක් විසින් යවන ලද කෙටි පණිවුඩයක් තවත් පිරිසකට එකවර දැක බලාගෙන ඊට ප්‍රතිචාර දැක්වීම යනු එම ක්‍රමය ලෙස සරලව හැඳින්විය හැකියි. මෙම සේවාවේ මුල් ව්‍යාපෘතියේ කේත නාමය ලෙස හඳුන්වා තිබුණේ ‘Twttr’ යන අක්ෂරය. මෙතැන සිටි විලියම්ස්, පසුව මේ නාමය වෙනස් කළ යුතු යැයි කියා සිටියේය. එවිට අනෙක් මිතුරා වූ නෝවා ග්ලාස් තවත් අදහසක් ඉදිරිපත් කළේය.


නිර්මාණ ක්‍රියාවලියන්හිදී කේත මෙන්ම මුර පද භාවිත කළ යුතු බව ඔබ දන්නා දෙයකි. එනයින් මෙම අලුත් වැඩේ පටන්ගත් පසු එය පවත්වාගෙන යාම සඳහා 10958 යන කෙටි කේතය මෙය නිර්මාණය කළ පරිගණක මොළකරුවන් විසින් යොදාගත් අතර, පසුව භාවිතයේ පහසුව උදෙසා 40404 ලෙස එය යොදාගෙන තිබේ. ට්විටර් වෙබ් පිටුව සඳහා නාමය ඒ වනවිටත් වෙනත් අන්තර්ජාල සමාගමකට ලියාපදිංචි නාමය ලෙස වෙන් කරගෙන තිබිණි. එසේ වෙනත් සමාගමක් වෙන් කරවාගෙන තිබූ නාමය මිලදී ගැනීමට පසුව මෙම ‘ට්විටර්’ කණ්ඩායමට හැකි විණි. මෙලෙසින් නිර්මාණය කරගත් ‘ට්විටර්’ නව අන්තර්ජාල වෙබ් පිටුවේ ප්‍රථම කෙටි පණිවුඩය ලෙස 2006 මාර්තු 21 වැනිදා ජැක් ඩොර්සි විසින් “මගේ ට්විටර් සැකැසීම මේ දැන් සිදු වූවේ” යැයි කියා මුදාහැර සිටියේය.   


“අපි අපේක්‍ෂා කළ වචනය ‘Twitter’ ලෙස දැන් අපට ලැබී තිබෙනවා. ඒක හරි මරු” යනුවෙන් ඩෝර්සි පවා තිබේ. මේ අනුව ට්විටර් බිහි කිරීමට මූලිකව අන්තර්ජාලය හරහා වැඩ පෙන්වන හොඳ මොළකරුවන්

හතරදෙනකුගේ දායකත්වය ලැබී ඇත. එනම් ‘ට්විටර්’ නිර්මාතෘවරුන් ලෙස හතරදෙනකුගේ නාමය සඳහන් වේ. කවුද මේ රජ වැඩකාරයෝ සිව්දෙනා යන්න අපි මීළඟට බලමු.   

 


 

ජැක් ඩෝර්සි   


ජැක් පැට්ට්‍රික් ඩෝර්සි උපත ලැබුවේ 1976 නොවැම්බර් 19 වැනිදා මිසෝරි ප්‍රාන්තයේ ශාන්ත ලුවිස්හිදීය. ටිම් හා මාර්සියා යුවළගේ පුතු වන ඩෝර්සි, ඉංග්‍රිසි, අයර්ලන්ත සහ ඉතාලි සම්භවයක් ඇති පවුල් පසුබිමකට අයත්ය. බොහෝ විට ඩෝර්සි හට පරිගණක අංශයේ ආභාෂය එන්නට ඇත්තේ පියාගෙන් විය හැකි වන්නේ, ඔහුගේ පියා විද්‍යාත්මක අංශයේ නිර්මාණ ශිල්පියකු ලෙස කටුයතු කර ඇති නිසාය. කුඩා කාලයේ සිට ඩෝර්සි හැදී වැඩුණේ, කතෝලික පල්ලියට සම්බන්ධ පරිසරයකදීය. ඔහුගේ මාමා එවකට කටයුතු කළේ ඔහියෝ පළාතේ සින්සිනාටි නගරයේ කතෝලික දේවස්ථානයක පූජකවරයකු වශයෙනි. ඒ ආභාෂය නිසා ඩෝර්සි පාසල් අධ්‍යාපනය ලැබීමට මුලින්ම ගියේ කතෝලික දහම මූලික වූ පාසලක් වෙතය. පාසල් අධ්‍යාපනය සමයේ උසස් පෙළ පන්තියේ යෞවනයකුව සිටි අවදියේදී ඔහු විලාසිතා නිරූපණ ශිල්පියකු ලෙස ද කටුයතු කර තිබිණි. වයස අවුරුදු 14 පසු වූ අවිධියේදී කුලී රථ සේවාවක් සහ භාණ්ඩ බෙදාහැරීමේ සේවාවක් පවත්වාගෙන යාමට උනන්දු වූවෙක් බව සඳහන් වේ. එකල කුලී රථ සඳහා ඔහු විසින් හඳුන්වා දුන් මෘදුකාංග සැකැස්මක්, අදට ද ඒ පළාතේ ටැක්සි රථ භාවිතයේදී යොදා ගන්නා බව ද සඳහන් වේ. ට්විටර් නිර්මාණය කිරීම සඳහා පුරෝගාමී වූ මහ බල කණුව මෙම ජැක් ඩොර්සිය. එහෙත් ට්විටර් (Twitter) යනු ඔහුගේ නිර්මාණ ක්‍රියාවලියේ අතිශය ප්‍රථමය නම් නොවීය. ඊට පෙර ක්‍ෂුද්‍ර මෘදුකාංග අංශයේ මෙන්ම මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලි සහ සේවා සඳහා අවැසි වන විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ඔහු දායකත්වය ලබාදුන්නේය.

   
ඩෝර්සි ට්විටර්හි සමාරම්භක පුරෝගාමියා පමණක් නොවන අතර, ස්ක්වයාර් (Square) ඉන් කෝපරේෂන් ආයතනයේ ද සමාරම්භකයා වෙයි. ජංගම දුරකතනය ඔස්සේ මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේදී සේවා ලබාදෙන සමාගමක් ලෙස Square නම් කළ හැකිය. ඩෝර්සිගේ පුද්ගලික ජීවිතය ගැන කතා කළොත් ඔහුගේ පෙම්වතිය කවුද, ඔහුගේ විවාහක බිරිඳ කවුද යන්න කිසිම තැනක සඳහන් නොවූව ද ඒ ගැන ඕපාදූප නම් පැතිර ඇත. චිත්‍ර ශිල්පිනියක වන කේට් ග්‍රීර් සමග නොගැළැපෙන සම්බන්ධයක් තිබූ බවට වසර කිහිපයකට පෙර දී ඕපාදූප පුවත් පළ වූයේ ඡායාරූප ද සමගය. ඉන් පසුව නිරූපිකාවක වන ලින් කෝර්නීල් සහ නිළියක වන ලිලී කෝල් සමග සම්බන්ධයක් තිබූ බවට ද පුවත් පළවුණි. කෙසේ වෙතත් ඔහු නිශ්චිතව ඒ කාරණා ගැන කිසිවක් පවසා නැත. 2012 දී පමණ ඔහු සැන්​ෆ්‍රැන්සිස්කෝව වෙත සංක්‍රමණය වූ අතර, රැකියා කළ ස්ථානයට ගියේ පා ගමනින් වීම විශේෂත්වයකි. එය එසේ මෙසේ දුරක් නම් නොවුණි. සැතැපුම් පහක දුර ප්‍රමාණයක් විය.   
“ජීවිතයේ වඩාත් පැහැදිලිම සහ නිරවුල්ම කාලය වන්නේ මම මේ විදියට ඇවිදගෙන යන කාලයයි.” යනුවෙන් ඩෝර්සි පවසා තිබිණි. මේ විදියට පා ගමනින් යන අතරවාරයේදී රැප් ගායක කෙන්ඩ්රික් ලමාර්ගේ ගීතවලට මෙන්ම ප්‍රංශ රේඩියෝ චැනලයේ ගීතවලට සවන්දීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශය විය. ට්විටර් (Twitter) ලෝක දේශපාලන බලවතුන්ගේ මෙන්ම චරිතවල, අදහස් ප්‍රකාශ කරන වේදිකාවක් වූවා සේම, ජැක් ඩෝර්සි හට ද දේශපාලනයක් තිබේ. ඔහු ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට මූල්‍යමය වශයෙන් ආධාර කළ බව වාර්තා සඳහන් කරයි. 2020 මෙවර මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී (Democratic) පක්‍ෂයේ අපේක්‍ෂිකාවක වූ, ටුල්සි ගැබර්ඩ් සහ ඇන්ඩෲ යංග් හට වෙසෙසින් මූල්‍ය ආධාර හා උපකාර කළ බව සඳහන් වේ. දේශපාලනයට පමණක් නොව සමාජ සත්කාර වැඩ සහ ව්‍යාපෘති සඳහා ද ජැක් ඩෝර්සි ඩොලර් ලක්‍ෂ ගණනින් ලබාදුන් චරිතයකි. මෙම කොවිඩ් වංසගතය හමුවේ ද ඩෝර්සි අහක බලාගෙන නොසිටියේය. උපකාර අවැසි ගැහැනු ළමුන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය කටයුතු සඳහා මෙන්ම විවිධ සමාජ සත්කාර භාරයන් සඳහා මිලියන 24ක් සහ තවත් මිලියන ගණනාවක් ලබාදීම සිදු කර තිබේ. බොස්ටන් සරසවියේ වර්ග වාදය තුරන් කිරීම සඳහා පර්යේෂණ සිදු කෙරෙන මධ්‍යස්ථානය වෙත ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර තිබේ. ට්විටර් බිහි කිරීමට මුල් වූ චරිත හතර වෙතින් මෙම ඩෝර්සි ගැන කතා කළේ ඔහුගේ පුද්ගලික ජීවිතය අනෙක් අයගේ ජීවිතවලට සාපේක්‍ෂව වෙනස් ස්වරූපයක් ගත් නිසාවෙනි. අන්තර්ජාලය ඔස්සේ තාක්‍ෂණය හා ගැටෙමින් මහ වැඩ කළ මේ ජැක් ඩෝර්සි 2019 දී විපස්සනා භාවනා ගැන කියාදෙන ඉන්දීය ධර්මාචාර්යවරයකු වන, සත්‍ය නාරායන් ගොයෙන්කාතුමා යටතේ දින 10ක භාවනානුයෝගී වැඩසටහනට සම්බන්ධ වී එය සාර්ථකව නිම කළේය. ඩෝර්සිගේ ජීවිතය ගමනාන්තගත වන්නේ කොතැනට ද කියා දැන් ඔබට පැහැදිලි කරගත හැකිය. 2008 දී පමණ ලොව පරිගණක අංශයේ නව සොයා ගැනීම් සිදු කළ ප්‍රමුඛතම නවෝත්පාදකයින්ගේ ලයිස්තුවට ඔහු ඇතුළත් වූයේ ලාබාලතම වයසේ චරිතයක් ලෙසය. ඉනික්බිතිව තවත් සම්මාන ඇගැයීම් රැසක් ඔහුගේ නාමය හමුවේ ලැබී තිබේ.   


ඔහුගේ පරිච්ඡේදය දැන් මොහොතකට අවසන් කොට, ට්විටර් බිහි කිරීමට පුරෝගාමී වූ අනෙක් තිදෙනා කවුදැයි බලමු.   


නෝවා ග්ලාස්   


ට්විටර් යන නාමය සහ මෙම අන්තර්ජාල පිටුව නිර්මාණය කිරීමට සංකල්ප ගෙනා චරිතයක් ලෙස නෝවාගේ නාමය සඳහන් කළ හැකිය. ඇමෙරිකාවේ වෙසෙන තාක්‍ෂණ හා තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ හොඳ මොළකාරයෙකි.   


බිස් ස්ටෝන්   


ට්විටර් (Twitter) සමාරම්භකයකු වන ක්‍රිස්ටෝපර් අයිසැක් බිස් ස්ටෝන් යනු ජැක් ඩෝර්සි සමග ට්විටර් (Twitter) හි පේටන්ට් උරුමය දරන අනෙක් තැනැත්තාය. ජෙලි (Jelly) ඇප් එක නිර්මාණය කළ සහ එම සමාගම ඇරැඹි සම නිර්මාතෘවරයා වන්නේ ද ඔහුය. ස්ටෝන් යන්නෙහි තේරුම පාෂාණයකි. නැතහොත් ගලකි. මේ ස්ටෝන් තාක්‍ෂණික අංශයේ තවත් මොළකරුවකු වුව ද නාමය මහ පොළොවට අරුත් ගන්වන්නට උත්සාහ ගන්නා චරිතයකි. සත්ව හිමිකම් වෙනුවෙන් පෙරදැරිව කටයුතු කරන ස්ටෝන් නිර්මාංශ චරිතයකි. පරිසරවේදියකු සහ දුප්පත්කම තුරන් කිරීමට මෙන්ම සෞඛ්‍ය හා අධ්‍යාපනය නගාසිටුවීමට පෙරදැරිව කටයුතු කරන මානව ක්‍රියාකාරිකයෙකි. ඔහු කැලිෆෝර්නියාවේ වෙසෙන්නේ බිරිඳ ලිවියා සහ පුතු සමගය. බිරිඳ සමග ස්ටෝන්, බිස් සහ ලිවියා පදනම නමින් සමාජ සත්කාරයන් උදෙසා පදනමක් ස්ථාපිත කර තිබීම ද විශේෂත්වයක් නොවේ ද?   


එවන් විලියම්ස්   


පරිගණක ක්‍ෂේත්‍රය හා සබැඳි සේවා ලබාදෙන සමාගම් කිහිපයක් බිහි කිරීමට දායකත්වය ලබාදුන් චරිතයකි. ට්විටර් බිහි කිරීමෙන් පසුව එහි සභාපති සහ ප්‍රධාන විධායක භූමිකාවට පණ දී තිබේ. මේ විලියම්ස් තම මිතුරා වන් ස්ටෝන් මෙන්ම නිර්මාංශ චරිතයකි. මස් හෙවත් මාංශ වෙනුවට ශාක පදනම් කරගත් ආහාර නිපදවීම ගැන සිතා කටයුතු කරන අයෙකි. බිරිඳ සාරා සහ දරු දෙදෙනා සමග ඔහු ජීවත් වන්නේ සැන් ​ෆ්‍රැන්සිස්කෝවේය. පසුගිය දා පැවැති ඇමෙරිකානු ජනපති මැතිවරණයේදී, ට්විටර් ඍජුවම ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළේ යැයි හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා එල්ල කළේය.   
එය එසේ වී නම් ඊට විපාක ලැබේවි යැයි පවසා ඇති විලියම්ස්, නිදහසේ මිනිසුන් හට කතා කළ හැකි වේදිකාවක් තිබීම නිසා, ලෝකය වඩාත් යහපත් වන බවය.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ