තේ කෝප්පයකට විදේශිකයා දුන් ලක්ෂ දෙකේ තෑග්ග


ටී සෙන්ටර්   

 

 

 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන්ගෙන් ඉරිතලා දෙදරාගිය ශ්‍රී ලංකාවේ සංචාරක ‍ක්ෂේත්‍රය ක්‍රමයෙන් පණ ලබමින් තිබේ. විදේශිකයන් ආකර්ෂනය කරන දිවයිනේ සංචාරක කලාප අතර සුවිශේෂ සංචාරක කලාපයක් වන ඇල්ල ප්‍රදේශයද නව ජීවයක් ලබමින් තිබේ.   


ලොව හොඳම ඔක්සිජන් වායුව ඇති ප්‍රදේශ අතරට අපේ රටේ ඇල්ල ප්‍රදේශයද ඇතුළත්ව තිබීම, මෙන්ම දියඇලි කදුවැටි උස් කඳුමුදුන්, මහා ප්‍රපාත ඇතුළත් සොබාදහමේ අපූරු නිමැවුම්, නයින් ආච් හෙවත් ආරුක්කු නවයේ පාලම වැනි  දුම්රිය මගේ විස්මිත නිමැවුම් මෙන්ම ඓතිහාසික පූජනීය ස්ථානයන් ඇල්ලට හිමිවීමද මේ අකාර්ෂයට හේතු වී ඇත.   
දකුණු ආසියාවේ හොඳම අවන්හල ලෙස LONELY PLANET සඟරාව විසින් හඳුන්වාදී ඇති ඇල්ල CHILL අවන්හල TRIP ADVISER සඟරාවේ මේ වසරේ මේ ​වන විට වැඩිම රිවීව් සංඛ්‍යාවක් ලබා ඇති අවන්හල වෙයි.   


එමෙන්ම WORLD LUXURY HOTEL PROGRAM විසින් පැවැත්වූ ලෝකයේ හොඳම කඳුරට සුඛෝපභෝගී හෝටලය ලෙස ඇල්ල - ‘‘98 ඒකර්ස් ’’ නම් කර තිබේ.   
එමෙන්ම එම සංවිධානය විසින්ම ඇල්ලේ- සීක්‍රට් හෝටලය ශ්‍රී ලංකාවේ වඩාත්ම සුන්දර පරිසරයක් සහිත හෝටලය ලෙස නම් කර තිබේ.   


ලොවේ හොඳම ආගන්තුක සත්කාර සහිත සංචාරක නවාතැන (Homestay) ලෙසට නම් කරනු ලැබ ඇත්තේ ඇල්ල ටනල් ගැප් හෝම්ස්ටේ සංචාරක ගෘහයයි.   


මේ අතර විදේශීය සංචාරකයෙක් විසින් You Tube සමාජ මාධ්‍යයට මුදා හරින ලද විඩියෝවක් මේදිනවල ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා සිටී.   


එහි එය නම්කර ඇත්තේ Ella Tea Shop යනුවෙනි.   


මේ​ ​වන විටත් ලොව පුරා ලක්ෂ 6 කට ආසන්න පිරිසක් විසින් නරඹා ඇති එම වීඩියෝවෙන් පෙන්වාදී ඇත්තේ ඇල්ල සුපර් ෆයින් ටී සෙන්ටර් ලොව විශිෂ්ටතම ස්ථානයක් බවයි. මෙම කුඩා තේ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ඇල්ල නගරයේ සිට කි.මී. දෙකහමාරක් පමණ දුරින් වැල්ලවාය මාර්ගයේය.   

 

 


පුංචි ශ්‍රීපාදය ලෙස හැඳින්වෙන උස් කඳුවැටිය හා ඇල්ල රොක් යනුවෙන් හැඳින්වෙන මහා පර්වතයට මැදිව ඇල්ල වැල්ලවාය මාර්ගය අද්දර පිහිටි මේ පුංචි තේ කඩේ පවත්වාගෙන යන්නේ කනගරාජ් තිරුචෙල්වම් විසිනි.   


නොබෝ දිනක ඔහු උදෑසන තේ කඩේ විවෘත කළා පමණි.   


ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි විදේශිකයෙක් ඒ ස්ථානයේ නතර කළේය.   


ඔහු ගේ නම Harald Baldr ය. 

 
රූප සහිතව You Tube හි දැක්වෙන පරිදි එම දෙබස රසවත්ය   


ඔබ කඩේ අරිනවද?   
ඔව්.   
මම ආවට කමක් නැද්ද?   
එන්න සර් කමක් නැහැ.   
මට ආසයි මේ දර්ශන වීඩියෝ කරන්න කමක් නැද්ද?   
කමක් නැහැ සර්.   
ඔයා ළඟ තියෙන තේකොළ හොඳම තේද?   
එන්න බලන්න මා ළඟ තේ වර්ග කීපයක්ම තිබෙනවා.   
ඔක්කොම අපේ ඌව පළාතේ නිෂ්පාදනය කරන තේ.   
තේ කෝප්පයක් කීයද?   
රුපියල් 50 යි.   
(තිරුචෙල්වම් කුඩා වීදුරු අසුරන වල තිබෙන විවිධ තේ වර්ග පෙන්වයි)   
හරිම හොඳයි.   
මම ඇතුළටම එන්නද?   
ඔයා මොනවද මේ උයන්නේ?   
මම පරිප්පුවක් හදනවා.   
ඔයාගේ උදේ කෑමටද?   
නැහැ මම රොටිත් හදලා පරිප්පු එක්ක එන අයට කන්න දෙනවා .   
රොටියක් කීයද?   
රුපියල් 40 යි.   
හොඳයි.   
ඔබ ළගදිද මේක පටන් ගත්තේ   
ඔව් මාස 2ක් විතර ඇති   
කොහොමද පටන් ගත්තේ   
මම බැංකුවෙන් රුපියල් ලක්ෂ 2 ක ණයක් ගත්තා.   
මාසෙකට ණය වාරිකය කීයක් ගෙවනවද?   
රුපියල් දහ දාහයි   
ඔබ හොඳට ඉංග්‍රීසි කතා කරනවා   
ටිකක් පුළුවන් සර්.   
මේ විශේෂ ඇසුරුම් හරිම ලස්සනයි   
මේ විශේෂ තේ පැකට් එකක් කීයටද දෙන්නේ?   
ග්‍රෑම්ස් 400 ක, මේ පැකට් එක රුපියල් 400 යි.   
සාධාරණයි හොඳයි.   
මට බොන්න තේ එකක් දෙන්න   
(තිරුචෙල්වම් ‍තේ එක හදද්දි හැරල්ඩ් අවට පරිසරය වීඩියෝ කරමින් සිය කටහඬද මුසුකරයි)   
(තිරුචෙල්වම් ගරු සරු ඇතිව තේබඳුන කෝප්පය හා සීනි බඳුන ඇතුළත් බන්දේසිය රැගෙන එයි   
මෙන්න සර් තේ එක ---   
(හැරල්ඩ් තේ කෝප්පය රසවිඳියි)   
හරිම රසයි. මොකක්ද මේ රසය   
මේක මසාලා තේ එකක්. ගම්මිරිස්, කරාබුනැටි, එනසල්, කුරුඳු මිශ්‍රකරලා තියෙනවා   
හරිම රසයි   
ඔයාට කව්ද උදව් කරන්නේ?   
මම තනියම කරන්නේ,   
පවුලේ අය?   
නැහැ මම තනිකඩයෙක්.   
වයස කීයද?   
විසි හයයි.   
ලංකාවේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුටද ඇ​මරිකාවේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුට ද කැමති?   
ඇ​මරිකාවේ ----  
මීට පෙර මොනවද කළේ?   
මම මත්පැන් බාර් එකක වැඩකළා. ඒකෙන් අස්වෙලා තමයි මේක පටන් ගත්තේ   
ඇයි මෙහෙම දෙයක් හිතුනේ?   
(තිරුචෙල්වම් බිම බලාගෙන සිනාසෙයි.)   
ඔයාද මේ තේ කොළ නිෂ්පාදනය කරන්නේ?   
නැහැ. මම වෙන තැනකින් මිලදී ගන්නවා.   
මේ පැකට් එකේ මුද්‍රණය කරල තියෙන්නේ නයින් ආච් කියන ආරුක්කු නවය පාලම   
සුපර් ෆයින් ටී සෙන්ටර් බෝඩ් එක නිර්මාණය කළෙත් මම   
කීයද මගේ තේ එකේ ගාන?   
රුපියල් පනහයි.   
(මෙන්න කියා රුපියල් 50 ක් දුන් හැරල්ඩ් වෙ​ළඳ සැලෙන් නික්ම යාමට පෙර,   


හැරල්ඩ් -ඔබට හොඳ අනාගතයක් තියෙනවා හරිම හොඳයි ලබන පාර මම එනකොට දියුණු වෙලා ඉන්න ඕන යැයි සුබපතා අතට අතදී සිය යතුරුපැදිය අසලට යයි   
සිය යතුරුපැදියට නැගී යතුර දමා පණගැන්වීමට උත්සාහ කර නැවත බසියි.   


යතුරුපැදියේ අසුන ඔසවා එහි තුළ වූ මුදල් පසුම්බිය ගනියි.   
ඩොලර් 1100 ක මුදල් නෝට්ටු අතට ගෙන ගණන් කරයි.   


යළි ටී සෙන්ටර් එකට යයි.   


මෙයා හරිම සාධාරණයි හොඳට දියුණු වෙන්න පුළුවන් උත්සාහ වන්ත කෙනෙක් යැයි පවසමින් ඩොලර් 1100 ක මුදල තිරුචෙල්වම්ට දෙයි.   


මේක තියාගන්න. ගිහින් බැංකුවට දාන්න.   


මේක ලෝකයේම හොඳම තේ කඩේ කියල මට හිතෙනවා   


ලබන පාර මං එනකොට ඔයා හොඳට දියණු වෙලා තියෙයි කියන විශ්වාසය මට තියෙනවා කියා යළිත් සුබ පතා යතුරුපැදියේ නැගී අවට දසුන් වීඩියෝ කරමින් යන්නට යයි   
නවීන තාක්ෂණ මෙවලම් සහිත කැමරාවක් උපයෝගිකර ගැනීමත් නිසා මේ මුළු වීඩියෝවම පැහැදිලි දෙබස්ද සහිතව තමන්ටම වීඩියෝ කිරීමට හැරල්ඩ් රුසියෙකි.   
අද මෙම වීඩියෝව යූටියුබ් ඔස්සේ ලොව පුරා ලක්ෂ ගණනක් ජනතාව මේ වන විටත් නරඹා තිබේ.   


අනුන්ට මඩගහන්නත් තමන්ගේම ප්‍රතිරූපය ගොඩනගාගන්නත් සමාජ මාධ්‍ය ජාලා උපයෝගි කරගන්නා මිනිසුන් බහුල අපේ රටවැසියන්ට මේ විදේශිකයා කියාදුන්නේ අපූරු පාඩමක්ය.   

 

හැරල්ඩ් සහ තිරුචෙල්වම්   

 

 

 


කෙසේ නමුත් කඩා වැටුණ සංචාරක කර්මාන්තය නගා සිටුවන බවට පුරසාරම් දොඩන රට කරවන ඇත්තන් සහ වගකිවයුතු ආයතන වලට මෙම කැක්කුම තිබේදැයි යන්න ප්‍රශ්නයකි .   


සංචාරකයන් නිතර ගැවසෙන ඇල්ලේ සුන්දර තම දියඇල්ලක් වන රාවනා ඇල්ලට නුදුරින් පිහිටි විදුලි කණු දෙකේම විදුලි බුබුලු‍ දැවී ගොස් මාස 9 ක් පමණ ගතවීම නිසා එම ප්‍රදේශයම අඳුරේය. 

 
රුපියල් ලක්ෂ 98 ක වියදමින් ඉදිකළ රාවණා ඇල්ල නැරඹුම් වේදිකාව අසල විදුලි කණු සවිකර ඇතත් විදුලි බුබුලු‍ යොදා විදුලිය සැපයුම ලබාදී නැත.   
ඇල්ල නගරයේද බොහෝ ස්ථාන අඳුරේය.   


විදේශීය සංචාකරකයන් හිසමත විදුලි පන්දම් රදවාගෙන නැතිනම් විදුලි පන්දම් අතින් ගෙන ගමන් කිරීම සුළබ දසුනක් වී තිබේ.   


සංචාරක හෝටල් හා ලැගුම්හල් රැසක් පිහිටි මාර්ගය අසල කසළ අංගණය පරිසරයට මෙන්ම සෞඛ්‍යට තර්ජනයක් වී තිබේ.   


ඇල්ල ප්‍රාදේශීය සභාව ඇතුළු වගකිවයුතු රාජ්‍ය ආයතන කුමක් කරන්නේදැයි අපි නොදනිමු.   


ඇල්ලට පැමිණෙන විදේශීය සංචාරකයෝ විදුලිපන්දම් එළියෙන් තවමත් ගමන් කරති.   

 

 

සටහන-ඡායාරූ
බදුල්ලේ පාලිත ආරියවංශ