තුන් බෑ ජටිලයන්ට කර්ම විපාක පල දුන් සැටි


ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මඟපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

 

උහුමීය ගුණතිලක මැටියගනේ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

තුන් බෑ ජටිලයන්ට කර්ම විපාක පල දුන් සැටි   

 

බුදුන් ජීවමාන සමයෙහි දඹදිව උරුවේල ජනපදයේ විරාජමානව සිටි උරුවේල කාශ්‍යප ප්‍රමුඛ තුන් බෑ ජටිලයන් මෙන් මීට කලකට පෙර දකුණු ලක තේ, කුරුඳු හා රබර් වගාවට පිරිසිදු ඇල් වී වගා කෙරෙන පිටියක ගම් හතක් හොල්ලාගෙන සිටි තුන් බෑ අමුඩ කල්ලියක් වූයේය. ඔවුන්ට පිළිවෙළින් සැමියෙල්, දානියෙල් හා වීරසේන වශයෙන් නම් තබමු.   
ඔවුනටද තුන් බෑ ජටිලයින්ට පමණට ​නොවුණත් හත්අට දෙනා බැගින් සහචරයෝද සිටියෝය. උහු කල්ලි ගැසී හොර සුරා පෙරුවෝය. අනුන් මදින කිතුල් රා මුට්ටි බා ගත්තෝය. ගව ගාල්වලට පැන දෙනුන් පැටවුන් කොල්ල කෑවෝය. සතියකට ඒ සතෙක් මරාගෙන කා දැමුවෝය. අහිංසක ගැමියන්ට තඩි බා අතේ පයේ හිරි ඇර ගත්​ෙතා්ය. ​තේ දලු ගෝනි කොල්ල කෑවෝය.   


ළඟපාතින් පොලිසියක් නොවූයෙන් ද මේ තුන් බෑ කල්ලි සමඟ හැප්පීම කළු ගලේ හිස ගසා ගැනීමක් වූ බැවින් ද අසරණ ගැමියෝ තොල කට සපාගෙන මේ අසාධාරණකම් උහුලා සිටියෝය.   


එක වල්ලේ පොල් වුණත් සැමියෙල්, දානියෙල් හා වීරසේනත් සුළු හේතුවක් මත පවා ආරියාදු අැතිකර ගත්තෝය. අළු යට ගිනි පුපුරු මෙන් මේ අරියාදු පැසවද්දී දිනක් අඩි තුනක් පමණ පටු කඳු පාරකදී සැමියෙල් හා දානියෙල්ගේ කල්ලි දෙක දෙපසට මාරු වෙන අතර අයිය මලෝ දෙදෙනාගේ උරහිස් එකට ගැටිණි. මෙයින් හටගත් බහින්බස්වීම හැන්දෑව වනවිට උත්සන්න වූයේ දානියෙල් කැත්තක්ද රැගෙන උන්ගේ මහගෙදර සිට බැන අඩ ගසමින් ඒ අසලම වූ සැමියෙල්ගේ ගෙට කඩා වැදීමෙනි.   


දානියෙල්ගේ ඉලක්කය මඳක් එහාමෙහා වූයේ උළුවහු කණුවේ පාදාසයක් කපා කීරි ගසමිනි. දනියා එතැන පරල වන අතර මෝල ගසක්ද අ​ෙමා්රාගෙන පෑල දොරින් පැන වටෙන් ආ සැමියෙල් තම සහෝදරයාගේ කුඩා මොළයට එල්ල කොට ගැසූ පහරින් ඔහු එතැනම කම්මුතු විය.   


අධිකරණ ක්‍රියාවලියේදී ක්ෂණික කෝපය මත මිනීමැරුම් චෝදනාවකට ලැබෙන්නේ වසර කීපයක සිර දඬුවමක් පමණි. එලෙස මහඋළුගෙදරට පිය නගන සැමියෙල් ඇමතූ වීරසේන ‘‘ගිහින් වරකෝ පොඩි අයියා මරා දාපු තොට මං තව එක සුමානයක් මේ උෟරගහේ බත් කන්ඩ ඉඩ තියන්නේ නෑ’’ යි විවරණ දුන්නේය.   


කිව්වත් වගේ හොඳ කල්කිරියාව මත කලින්ම සිර දඬුවම නිමා කොට ගෙදර පැමිණි සැමියෙල් කෝකටත් හිටියේ හෙවනැල්ලකටත් බියෙනි. ඒ වීරසේන මලයාගේ වීරකම් හොඳින් හඳුනන බැවිනි. වීරසේන ඒකටම ගැළපෙන කොට කඩුවක් හදවාගෙන ​ලෙව්ව වගේ මුවාත තබාගෙන ඉවසිල්ලෙන් බලා සිටියේ නියම අවස්ථාව එළඹෙන තුරුය. ඒ තීරණාත්මක මොහොතත් එළඹුණේ කර්මානුරූප නිමේෂයක් ලෙසිනි. ඒ කටු සහිත වංගු පාරකදීය.   


‘‘හ්ම් දැන් දෙයියන් සිහිකර ගනිං’’   


‘‘උඹට පිස්සුද හිච්චි මලේ? දානියා මා අතින් මැරුම් කාපු බව ඇත්ත. මං ඒක හිතල කරපු දෙයක් නෙමේ. උගේ කැති පාර වළක්කන්න ගිහිල්ල වුණු අත්වැරැද්දක්. අනික අපි තුන්දෙනාම එක බඩවැල කඩාගෙන ආපු උන්. අම්මත් ඒකට සාක්කිනේ මලේ’’   


ඒත් වීරසේනගේ කනට නොවේ ඒ සහෝදරකම් මායිම් වුණේ. ඔහුගේ කෙටි කඩුව හමුවේ සැමියෙල්ගේ පොල් අඩි උරුණඩි වාංගුවල හයිහත්තිය පසුබෑවේය. සැමියෙල්ගේ බෙල්ල කර දණ්ඩටත් තම මරු පහර තුන හතරක් එල්ල කළ වීරසේන කැපුණු ගැඩවිලෙකු මෙන් ඇඹරෙන සිය සොහොයුරා ඉදිරි​ෙය් වැඳ නමස්කාර කොට ‘‘මට පවු නෑ අයියේ, ඕවා උඹ විහින් ඉල්ලා ගත්තු කරුම දෝස’’ කියා සමුගෙන ගොස් ගම දෙවනත් කළේ ‘‘ඕං කතිරිනාක්කේ උඹ කනවැන්දුම් කරපු එකා බෑව්ව’’ යි නෑනන්ඩියට දැනුම් දෙමිනි.

   
හරිහමන් සාක්කියක් නොමැති කල වීරසේනටත් ලැබුණේ සුළු පහේ සිර දඬුවමකි. තුන් වේලටම මස් මාංශ නිවුඩු ඇල් හාල් බත් වැළඳූ වීරසේන තුන් අවුරුද්දක් හිරබතේ රළුවෙන් කොරොස්පන්න වී ගෙදර පැමිණීයේ තැන්පත් තලත්තෑනියෙකු ලෙසිනි.   


මේ අතර කර්මාර පුත්‍රයා දිට්ඨධම්ම වේදනීය කර්ම විධිවිධාන සංග්‍රහයේ වගන්ති සූක්ෂම ලෙස අවුස්සා බලමින් වීරසේනගේ අවසානය කෙසේ සනිටුහන් කළ යුතු දැයි උභතෝකෝටියක පැටලී සිටියේය. එහෙත් වීරසේන පෙර භවයක කරන ලද කුසල පුණ්‍ය ක්‍රියාවක් ඒ අතරින් මතුව ආයේය. දිනක් දවල් බත සප්පායම් වී ඇදි පුටුවක දිග ඇදුණු වීරසේන හැල හොල්මනක් නැතිවම මෙලොව හැර ගොස් තිබුණේ කාගේත් ඇස් වලට වැලි ගසමිනි. ඒත් ඔහුට පංචානන්තරිය පාප කර්මයට සෝච්චමක් අඩු සහෝදර ප්‍රාණඝාතයක අකුසලයට හිමි ආදීනවය නම් මඳකුදු හෝ අඩුවක් නොවන්නට ඇත.      

 



ඉලිප්පදෙණිය තිස්සෝගම රූපසිරි ලියනගේ මහතා ලියා එවූ කතාවක් මෙ​ෙස්ය.   

ඉබ්බන් තැම්බූ අඹු සැමියෝ පොළොන් විසෙන් මරුට


සුවාරිස් රැකියාව වශයෙන් කළේ ගමේ ඇවිද කුලියට ගස් නැග පොල් කැඩීමයි. ඔහුගේ බිරිඳ ඩිංගිරි ගමේ ගොවිපළක වැඩ කළාය.   


සවස් කාලය වනවිට ගෙදරට එකතුවන දෙදෙනා වෙන යම් ක්‍රමයකින් මුදල් උපයා ගැනීමේ ක්‍රමෝපායක් ගැන නිතර කතා බස් කළහ.   


ඒ අනුව ඩිංගිරා තම මතය ඉදිරිපත් කළාය. 

 
“අපේ ගමේ කැලෑ මිනී පිටියේ තිබෙන වතුර පිරුණු පතහේ දැන් ඉබ්බෝ ගොඩක් බෝ වෙලා. දවසකට හතර පස් දෙනෙකු අල්ලා මරා මස් කපා විකුණා ගත්තොත් අපේ අතමිට සරුවෙනවා. එවිට අපි දෙන්නාටම ගෙදර ඉඳන් කාඩියක් දමා අරක්කු පෙරා ගමේ අයට විකුණන්නත් අපි දෙන්නාට බීමටත් ඇති තරම් ඉබි මස් කෑමටත් හැකි වෙනවා.”   
“ඔව්.... ඒකනම් ඇත්තම තමා”. සුවාරිස් ඇගේ අදහස් අනුමත කළේය. ඒ අනුව දෙදෙනා එකතු වී ඊට අදාල වැඩ පිළිවෙළ සකස් කළහ.   


අඩි පහක පමණ වට ප්‍රමාණයෙන් යුතු අඩියක පමණ ගැඹුරැති වළක් කපා සූදානම් කෙරුණි.   


අල්ලන් ආ ඉබ්බන් වළට දමා ඒ මත දර ගිනි පත්තුකර පදමට පුලුස්සා ගැනීමටත් ගිනි සැර වැදුණු ඉබ්බන් වළෙන් පිටතට ඇදී යෑම වැළැක්වීමත් සිදුවන නිසා ඒ ක්‍රමය යොදා ගැනුණි.   


වැඩි කලක් නොයාම ඉබිමස් වෙළෙඳාමත් අරක්කු විකිණීමෙනුත් සුවාරිස් පවුලේ අත මිට මිල මුදල් රැඳීමද වැඩි විය.   


කාලය එසේ ගෙවෙද්දී දිනෙක අල්ලපු ගමේ ගෙදරක උපන්දින පාටියකට ඉබිමස් ඕඩරයක් බාර දුණි. ඒ අනුව සුවාරිස් ඉබ්බන් ඇල්ලීමේ හුරු පුරුදු තැන් සොයා ඇවිද පස් දෙනෙකු අල්ලා උරේක දාගෙන ඉනේ තිබූ බෝතලේ ගෙන අඩියක් ගසා ඉක්මන් ගමනින් ගෙදර පැමිණියේය.   


ඊට පසු දෙදෙනා එකතු වී උරේ ඉබ්බන් වළට හළා දමා ඒ මත දර ගිනි අවුළුවා අවසානේ මැරී පදමට පිලිස්සුණු ඉබ්බන් එකිනෙකා ගොඩ ගෙන ඉබිකටු ගලවා දමා මස් කෑලි කපා බඳුනකට අඩුක්කර කුස්සියමුල්ලේ තැබූවේ මස් ඕඩර්කරු පැමිණි විටදී ඒවා බාරදී මුදල් අයකර ගැනීමේ ​චේතනාවෙනි.   


“ඩිංගිරෝ උඹ ඔතැන සුද්ද කර අතුගා දාපන්” කියා සුවාරිස් වත්ත මුල්ලේ තිබූ පාළු ළිඳ වෙත ගොස් ඉබිකටු උරේ එතුළට හැලුවේය. ඔහු ආපසු ගෙදර එන්නට හැරෙද්දී “අනේ හත් දෙයියනේ මගේ කකුළ මොකෙක්දෝ කෑවෝ” කියා මර හඬ දෙන්නට විය.   


ඒ හඬ ඇසුණු ඩිංගිරා ලන්තෑරුම හා කැති මිට අතේ තියන් පාළු ළිඳ දිහාවට දුවද්දී “අනේ බුදු හත්වලාමේ මගේ කකුළත් කෑවෝ” කියා ඇය කෑ බෙරිහන් දෙන්නට වූවාය.   
මේ කෑ කොස්සන් හඬ කණ වැකුණ ගම් වැසියන් පැමිණ සර්ප වෙදෙකු කැඳවා වෙදකම් කළත් යක්වෙසින් ආ පොළොං දෂ්ටයකින් සුවාරිස් සහ ඩිංගිරාට කලකම් පල දුන්නා කියා මිනී දෙකම වළ දැමූ පසු ගමේ කට කතා පැතුරුණි.     

 


 
මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.   

බලු මරුවා ජලභීතිකාව වැලඳී මරුට බිලි වෙයි. 

 
විසිවසකට පමණ පෙ​ර ගමේගොඩේ පැවැතුණේ සාන්ත සුන්දර දැකුම්කලු පරිසරයකි. ගම මැද පිහිටි රන්වන් කරළින් බර වූ වෙල්යායෙන් හමන මඳ නල ගතසිත විඩාව දුරුකරලීමට සමත් වුණ අතර ගහකොළ සතා සීපාවා හැම දෙනාගේ නෙතට රසඳුනක් වූ බව නොරහසකි.   


අද මෙන් කුඩුකාරයින්, ස්ත්‍රී දූෂකයින්, බාල අපරාධකරුවන් ඇතුළු මිනීමරුවන් බහුල නොවුණත් බේබද්දන් සල්ලාලයින් හා හොරුන් ගම් දනව්වල විරල නොවීය. ගැමි පවුලක හැදී වැඩී උස්මහත් වූ පවට ළැදි අධමයෙකු වූ උක්කුවා තම වියපත් මාපියන්ගේ පිහිටෙන් ජීවත් වූ මෝඩ තකතීරුවෙකි. ගමේ උදවියගේ සුළු වැඩපලක් කර දී අතට මුදලක් සොයා ගත්තද එම මුදල් බීමට හා සූදුවට විය පැහැදම් කරන්නේ ගෙදර වියදමට පවා ශතයක්වත් වැය නොකරමිනි. උක්කුවා කටගොන්නක් බීගත් දිනයට රෑ තිස්සේ අසැබිවදන් කියමින් කෑකෝ ගසමින් ගම පුරා ඇවිදීම සිරිතක් කොටගෙන තිබුණි. ඔහුගේ කෑගැසීම අසා ගමපුරා සිටි දඩාවතේ යන බල්ලන් බුරන්නට වීම නිසා ගම්මුන්ගේ නින්දට සිදුවූයේ ඉමහත් බාධාවකි. මැදියම් රෑ වෙන තුරු බල්ලන්ට පහරදෙමින් කෑගැසීම නතරකර දෑමීමට වෙර දරන උක්කුවාට සිහියට නැගුනේ බල්ලනට වස දී උන් මරා දැමීමේ උපායයි. බත් පාර්සලයකට වස මුසු කර තමා වෙත රාත්‍රී කාලයේ බුරා පනින බල්ලනට දීම නිසා දඩාවතේ යන බල්ලන් කීපදෙනෙක් මියගියත් ඒ මහා බරපතළ පාපකර්මය සිදුකරන්නේ උක්කුවා බවට කිසිම හෝඩුවාවක් දක්නට නොලැබිණි. දිනක් මහ රෑ යාමයේ ගමේ සිටි පිස්සු බල්ලෙක් සපා කෑම නිසා උක්කුවා දරුණු අන්දමින් රෝගාතුර විය. බල්ලා සපා කෑ තුවාලයට වෙදහෙදකම් කලත් දින දෙකතුනක් ගතවීමෙන් නිසි ප්‍රතිකාර නොලැබූ උක්කුවා විස ශරීරගත වී ජලභීතිකා රෝගය වැළදී බල්ලෙකු ලෙස හැසිරී මියගියේය. කාට බොරු කලත් තමාගේ හදවතට බොරු කළ නොහැකිවීම නිසා උක්කුවා කළ බරපතළ පාපය ඔහුට පල දුන්නේ එසේය.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

සකස් කළේ - ප්‍රසන්න සංජීව තෙන්න​ෙකා්න්