තිහේ දශකයේ ලංකාවම මළගමක් කළ මැලේරියා වසංගතය


මාස එකහමාරට ළමා මරණ තුන්දහස් පන්සීයක්

 

 

කොරෝනා වෛරසය අද මුළු ලොවම කම්පාවට පත් කරවමින් මහා වසංගතයක් බවට පත්වී තිබේ. එය ශ්‍රී ලංකාවටද වසංගත තත්ත්වයක් උදාකර ඇත්තේ අතිශය කනගාටුදායක ලෙසටය. ශ්‍රී ලංකාව මීට ප්‍රථම මහා වසංගතයකට මුහුණ පෑවේ මීට වසර අසූපහකට ඉහතදීය.


සති තුනක් වැනි සුළු කාලයක් ඇතුළත ළමයින් පමණක් තුන් දහස් පන්සියයක් මරුමුවට පත් කළ එම වසංගතය ශ්‍රී ලංකාවේ දරුණුතම වසංගතය බවට පත්වීය.
තත්ත්වය උග්‍ර අතට පත්වීම නිසා පුවත්පත්වලට තොරතුරු ලබා නොදීමටද එදා පියවර ගෙන තිබිණි. ඒ බැව් සඳහන් වාර්තාවක් 1935 ජනවාරි 24 වැනිදා දිනමිණ පුවත්පත පළකළේය.
“සති හයක් ඇතුළත ළමයින් 3500 ක් මිය යෑම” යනුවෙන් පළකළ වාර්තාව ඒ අයුරින්ම මෙසේය.
‘‘කෑගල්ල දිස්ත්‍රික්කය මුළුමනින්ම පාළු පිට්ටනියක් වීමේ ලකුණු’’
‘‘මැලේරියා සටන, යුද්ධ හමුදාවත් ඉදිරිපත්වීමට සතුට ප්‍රකාශ කිරීම’’


කෑගල්ලෙන් ලැබී තිබෙන ඉතාම අලුත් ආරංචිවල හැටියට එහි තත්ත්වය තවමත් භයානක බැව් පෙනේ. ආරෝග්‍ය ශාලාවල හා වතුවල මරුමුවට පත් රෝගීන් හැර කෑගලු දිස්ත්‍රික්කයේ ගම් නියම්වල පමණක් ගිය දෙසැම්බර් මාසයේදී 3027 දෙනෙක් මළහ. මෙයින් 2800 ක් පමණ ළදරුවෝය.
ජනවාරි මාසයේ මුල් දෙසතිය ඇතුළත මැලේරියාවෙන් 1976 දෙනෙකු මළ බැව් දැනගන්නට තිබේ. මෙයින් 1478 ක් ළදරුවෝය. මේ නයින් සලකා බලන කල්හි මාස එකහමාරක් ඇතුළත කෑගලු දිස්ත්‍රික්කයේ පමණක් ළමයින් 3500 ක් පමණ මළ බැව් පෙනේ.

 

 

මැලේරියා වසංගතය සමග සටන් කිරීමට ලංකාරක්‍ෂක භට හමුදාවේ සේවය දීමට කැමති බැව් යුද්ධ හමුදා නායක නිලධාරීන් විසින් ආණ්ඩුවට දන්වන ලද නමුත් සෞඛ්‍ය පාලකයින් විසින් එය තවම බාරගෙන නැත.
කොළඹ මහාරෝග්‍ය ශාලාවේ මැලේරියා රෝගීන් සම්බන්ධයෙන් ඊයේ තවත් ප්‍රවෘත්ති පත්‍රවලට තොරතුරු නොදීමට නියමයක් කරගෙන තිබේ.
මැලේරියා වසංගතය පිළිබඳ වැදගත්වූද ශාස්ත්‍රීය වූද කරුණු සහ වෙනත් දේවල් ඊයේ පෙරවරුවේ කොළඹ පැවැත්වූ ආණ්ඩුවේ වෛද්‍යවරුන්ගේ සාකච්ඡා සභාවකදී සලකා බලන ලදී. මේ සාකච්ඡාව ලංකාවේ වතුහිමියන්ගේ සංගමයේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ ශාස්ත්‍රීය උපදේශක ධූරය දරන ලෙෆ්ටිනට් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. ක්ලේමිකා මහතාද විශේෂ ආරාධනා පිට පැමිණ සිටියේය.
ඍතු ගුණය සහ වෙනත් කරුණුවලින් හැඟී යන පරිදි වසංගතය අනාගතයේදී පැමිණිය හැකි තත්ත්වය සඳහා උපක්‍රමද සාකච්ඡාවට භාජනය වූ බවද දැනගන්නට තිබේ.


“බොහොම කනගාටුයි පත්‍රවලට තොරතුරු දීමක් නෑ.” යනු ඊයේ කොළඹ මහා රෝග්‍ය ශාලාවේ සුපිරින්ටෙන්ඩන්ට් මහතාගේ කාර්යාලයට ගොස් ඊයේ පෙර දින මහා රෝග්‍ය ශාලාවට ඇතුළත් කරගත් රෝගීන් ගණන සහ සිදුවූ මරණ ගැන විමසූවීට දිනමිණ නියෝජිතයාට ලැබුණු උත්තරයයි.
ඊයේ උදෑසන වෛද්‍ය සුපිරින්ටෙන්ඩන්ට් මහතා ප්‍රවෘත්ති පත්‍රවලට කිසිදු තොරතුරක් නොදෙන ලෙස තහනම් කොට ස්වකීය කාර්ය මණ්ඩලය වෙත චක්‍රලේඛනයක් යැවුවේය.
අනාගතයේ ඇතිවිය හැකි ඍතු ගුණය ගැන වෛද්‍ය නිලධාරීන් මහත් සැලකිල්ලක් දක්වන බැව්ද දැනගන්නට තිබේ.
බොහෝ කල් ගතවීමට මත්තෙන් වසංගතය අඩුවීමට හෝ දැනට වඩා දරුණු තත්ත්වයකට පැමිණීම හෝ බොහෝ දුරට ඍතු ගුණය පිට රඳා පවත්නා බව සලකති. යනුවෙන් එම වාර්තාවේ සඳහන් කර තිබිණි.
ගංඟාවල මදුරුවන් උපදනා ස්ථානයන් මහත් භීතියට හේතු වන පරිදි වැඩිවේගන එන බැවින් මදුරු පිලවුන් සහිත ගංගා දිය කඩිතිවලට මදුරු මර්දන තෙල් ඉසීමේ වැඩට ලංකා පාබළ හමුදාවේ සේවය ලබා ගන්නා බවද තවත් වාර්තාවක් මගින් පළ කර තිබිණි.
මැලේරියා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ආයුර්වේද වෛද්‍යක්‍රමය මගින්ද දැඩි පරිශ්‍රමයක් ගනු ලැබීය. ඒ සඳහා දිවයින පුරා ආරෝග්‍යශාලා ද ආරම්භකැරිණි. මහනුවර ප්‍රදේශයේදී ආයුර්වේද පුණ්‍යාරෝග්‍ය ශාලාවක්ද පිහිටුවීය. මහනුවරින් ආරම්භ කළ එම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳව පළවූ තවත් වාර්තාවක් මෙසේය.


මහනුවර නගර සභාව තුළ පිහිටි ගම්වල මැලේරියා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා මැලබාර් වීදියේ ආණ්ඩුවේ පාඨශාලාවෙහි ආයුර්වේද වෛද්‍ය සංගමය විසින් පුණ්‍යාරෝග්‍යශාලාවක් විවෘත කරන ලද්දේය. විවෘත කිරීමට පැමිණි මධ්‍යම පළාතේ ආණ්ඩුවේ ඒජන්ත මහතා පිළිගනිමින් ඒ. රත්නායක මහතා කතා කරමින් මහජනයාගේ දැන ගැනීමට භාජනය නොවූ නමුත් ආයුර්වේද වෛද්‍යවරුන් වසංගතය ආරම්භ වූ දා පටන්ම රෝගය පැතිරීම වැළැක්වීමට උනන්දුවෙන් ක්‍රියා කර තිබෙන බවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සාර්ථක භාවය මහජනයාට පෙන්වීම ඔවුන් ආශාවෙන් සිටින බවත් කීවේය. නාරම්පනාවේ වෙද මුහන්දිරම් මහතාද කතා කරමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අනර්ඝත්වය විස්තර කළේය. ඒජන්ත මහතා කතා කරමින් එම දිස්ත්‍රික්කයේ අය සඳහා තුම්පනේ පළාතේ හතරක්ද, හාරිස්පත්තුවේ එකක්ද පාත හේවාහැට එකක්ද, උඩුදුම්බර එකක්ද, තෙල්දෙණිය අසල නුග තැන්නේ එකක් ද, විවෘත කර ඇති බැව් කීය.
කැලණි ගඟ අසබඩ තත්ත්වය යනුවෙන් සඳහන් තවත් ප්‍රවෘත්තියක් මගින් වසංගතය පිළිබඳව පළ කර තිබුණේ මෙසේය.


මේ මාසයේ මුල සති දෙක තුළදී අරණායක ආරෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලබමින් සිට පිටකර හරින ලද අසරණ ස්ත්‍රියක් මගදී මරණයට පත්වීමේ පුවතක් අසන්නට ලැබී තිබේ. දැදුරුඔය, මහ ඔය කැලණි ගඟ යන ගඟ බඩ පළාත්වල කිසිම අඩුවීමක් නොමැතිව දරුණු ලෙස මැලේරියා වසංගතය තවමත් පවතින බව සෞඛ්‍ය ඇමතිවරයා නිකුත් කරන ලද වාර්තාවල සඳහන් වේ. ඒ පිළිබඳව පළ වූ තවත් පුවතක් මෙසේය.
කොළඹ මහා රෝග්‍ය ශාලාවට ඇතුළත්වීම සඳහා පැමිණෙන රෝගීන්ගේ දෙකෙන් පංගුවක් පමණ මැලේරියා රෝගය අලුතෙන් වැලඳුණ අයවෙති. බොහෝ පළාත්වල දුම්රිය සේවකයන් මැලේරියා රෝගය වැලඳී අසනීපව නිවාඩු ලබා සිටින බවද වාර්තා වේ. කෑගල්ල පළාතේ පවතින තද ඉඩෝරය නිසා වැසියන්ගේ දුක්ඛිත තත්ත්වය තව තවත් වැඩිවන බව පෙනේ. තව දවස් කීපයක් වර්ෂාව නොමැතිව මෙසේ පැවැතුණොත් ආහාර ද්‍රව්‍ය බෙදාදෙන සේ වතුරත් බෙදා දෙන්නට වෙනවාට කිසිදු සැකයක් නැත. මේ පළාතේ සාත්තු නිවාස දහ අටක් පමණ විවෘත කර තිබේ. ආධාර දීමේ කණ්ඩායම් රෝගීන්ට ආධාර දීමේ යෙදී සිටිති.
මැලේරියා වසංගතය ශ්‍රී ලංකාවේ ආරම්භය ලෙස 1906 වසර හඳුන්වාදී තිබේ. එය අවුරුදු පහකට වරක් උත්සන්න වී ඇති බැව්ද දක්නට ලැබේ. වරින්වර මැලේරියා හිස එසවීම සිදුවූ වර්ෂ ලෙස 1911, 1914, 1919, 1923, 1928 සහ 1935 ලෙස ඉතිහාසයේ සඳහන් වේ.


1936 වසරේදී මැලේරියා වසංගතය පැතිරීම සිදුවී ඇත්තේ මන්ත්‍රීන් තේරීමේ කාලයට ආසන්නව වීමද විශේෂත්වයකි.


1934 වසරේදී සුළු වශයෙන් ආරම්භ වූ මැලේරියා වසංගතය එම වසරේ ජූලි අගෝස්තු සහ සැප්තැම්බර් මාසය වනවිට ශීඝ්‍රයෙන් පැතිරී ගියේය. එම වසරේ නොවැම්බර් සිට 1935 ජූලි වනවිට ලක්‍ෂයකට ආසන්න පිරිසකට ජීවිත අහිමි වූ බැව් වාර්තාගත වී තිබේ.


මැලේරියා මදුරු මර්දනය කිරීම සඳහා ආරම්භ කළ මැලේරියා මර්දන ව්‍යාපාරය මගින් දියකඩිති සොයා මදුරුනාශක ද්‍රව්‍ය ඉසීම සියලුම ප්‍රදේශවල අඛණ්ඩව සිදු කැරිණි. අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශවල පවා අලි ඇතුන් ගමන් කිරීමේදී ඇතිවන කුඩා වළවල්වලටද මදුරු නාශක ඉසීම් සිදු කර තිබේ. දිවයිනේ ඇතැම් පාසල් ද මැලේරියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් බවටද පත් කරනු ලැබීය.

 

 

 

තිස්ස ජයවර්ධන