තිස් වසරක් ගෙවී ගියත් ඔයා තවමත් මා ළඟමයි මල්ලියේ


විජය කුමාරතුංග 30 වැනි ගුණ සමරුව වෙනුවෙන් සොහොයුරිය ලියූ ලිපියකි.

 

‘අප යන මගෙහි පෙර මඟ සලකුණු විලස ඔබ නිරතුරුව හිඳිනේ’ 


‘ඔබ වැනි කෙසරිඳුන් දෙරණත සිව් දේසේ මියගිය බවක් ලිය වී නැත ඉතිහාසේ’ 


අවසන් නොවෙන ලිවීමක්. ඔයා ගැන ලියන්ඩ තියන දේවල් අවුරුද්දෙන් අවුරුද්ද අලුත් වෙනවා.


ඔයාව මරනකොට ඉපදිලාවත් නොහිටි අය ඔයා ගැන සොයන කොට, තොරතුරු අහනකොට, මගෙ හිතෙන් මට ඈත් වෙලා ඉන්ඩ හිතෙනවා. එක අම්මගෙ බඩේ ඉපදුණ වරදට ද මේ තරම් දුක කියල හිතෙනකොට තරහත් යනවා. ඒ වුණත් මුළු ලෝකෙම විසිරිලා ඉන්න මනුස්ස ගති ඇති අය ඔයා ගැන කතා කරනකොට, මතක් කරන කොට ඔයාගෙම සහෝදරියක් වුණු එක ගැන ආඩම්බරයක්මයි දැනෙන්නෙ. 


ඇයි ඒ මූසල කාලකන්නි ඔයාව අපෙන් උදුර ගත්තේ? අපි ඒ කාටවත් වරදක් කළාද? නැහැ නේද මම කාගෙ කව්ද කියලවත් දන්නෙ නැති සමහර අය වෙලාවකට කියනවා මේ රටේ අනාගතය එක මඟකට ගෙනත්, මිනිසුන්ට සමගි සම්පන්නව ජීවත්වෙන්න පුළුවන් රටක් ගොඩනඟා දෙන්න උත්සාහයක යෙදුණ මිනිහව මරලා දැම්ම කියලා. එතකොට මට දුක පිරුණ සතුටක් දැනෙනවා. ඒ මොකද සාමාන්‍ය ජනතාව ඔයාට තවමත් ආදරෙයි. 


ඒ අවලස්සන මූසල මිනිස්සු අපට කළේ මොන තරම් අපරාධයක්ද? උන්ට ඒ පව ගෙවන්න මෛත්‍රි බුදුන්ගෙන්වත් වරම් ගන්න බැහැ. ඔයාව මරලා දැම්මේ ඔයා ලස්සන හින්දද? හොඳ නිසාද? මේ ලෝකෙට ඔයා වගේ හොඳ සහ ලස්සන අය අවශ්‍ය නැද්ද? මගෙ හැමදාම ඔළුව අවුල් වෙනවා මේවා තේරුම් ගන්ඩ උත්සාහ කරලම. මට ඉවසන්ඩම බැරි දෙය තමයි එදා රට එකම ජාතියක් විදිහට ජීවත් වීමට බලය බෙදිය යුතුයි කියල කතා කරපු ඔයාව, රට ජාතිය පාවා දෙනවා කියල මරා දමපු උනුත් අද බලය බෙදීම ගැන තර්ක විතර්ක කරනවා. වේදිකාවල උන්ගෙ උගුර ලේ රහ වෙනකම් කෑ ගහනවා. 


යම් යම් අයට පිංසිද්ධ වෙන්ඩ උන් රටේ උත්තරීතරය කියන නමුත් කිසිම හික්මීමක්, සදාචාරයක් නැති තැනට රිංගලා, කරපු මිනිස් ඝාතන සහ විනාශ නොදන්නා විදිහට කතා කරනකොට මේ විකාර ලෝකයෙන් ඔයා ගැලවිලා ගිය එක හොඳයි කියලත් හිතෙනවා. මේවා කොහොමද මෙහෙම වෙන්නේ? සොබාදහම දෙන දඬුවම් මේ තරම් ප්‍රමාද මොකද? කීප දෙනෙකුට නම් තද දඬුවම් දුන්න ඔයත් දන්නවා ඇති නේද? ඒත් තව කීප දෙනෙක් ඉන්නවා. අපි කලබල නොවී ඉම්මු. මම ඔයා වෙනුවෙන් දෙවියන්ට පහන පත්තු කරලා දෙවියන්ගෙන් ඉල්ලන්නේ උන්ට ශාප, ඒක පව්. පව් වුණාට කරන්ඩ දෙයක් නැහැ. අපේ අම්මා නම් එදා කිව්වා අපි කලබල වුණාට දෙවියන් කලබල වෙන්නේ නැහැ කියලා. 


ඒ කියන්නේ හිමිහිට දඬුවම් එයි නේද? මට නම් තේරෙන්නෙ ඔයා නැති පාළුව මට එදාටත් වඩා අද දැනෙනවා කියලයි. ඒ මොකද මමත් දැන් වයසයි. ඔයා ගැන ආශාවෙන් තොරතුරු හොයන, ඔයාට අවංකවම ආදරය කරන අය නම් කියන්නේ ඔයා නැවතත් මේ රටේම උපදින්න කියලයි. අනේ මගෙ මල්ලි යම් දහමකට අනුව නැවත ඉපදීමක් තියෙනවා නම් කිසිම කෙනෙකුට මොනම වරදක්වත් නොකරපු ඔයාව මරා දමපු මේ තරම් මූසල මිනිසුන් ඉන්න රටක නම් ආයෙත් උපදින්න එපා. 


මට ඉවසන්න බැරි දුකක් තියෙන්නෙ ඔය එක කාරණාවකටවත් නෙමෙයි. ඔයා වගේ සාධාරණ අහිංසක අය මරා උන් අද හැසිරෙන්නෙ මුළු ජීවිත කාලෙම බණ පොත කියවමින් හිටියා වගෙයි. ඔයා පුදුම අවාසනාවන්ත වකවානුවක මේ ලෝකෙ ඉපදුණාද කියලත් මට හිතෙනවා. එදා මහර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නායකයෝ ඔයාට අමනුස්සකම් කළා. ඔයා නියෝජනය කරපු ඔයාගේ පක්ෂෙ අයත් මහර ඡන්දෙදි ඔයාට දුෂ්ටකම් කළා. ඒ සේරම කළේ ඔයා නියෝජනය කළේ උන්ගෙ පන්තිය නොවන නිසයි. 


මම දැන් ඉස්සරට වඩා මෝරලා දැනුම වැඩි වෙලා. මට තේරෙන සත්‍යය නම්, විජය කුමාරතුංග උපතේ සිට මරණය දක්වාම නියෝජනය කළේ සහ පෙනී සිටියේ දුක් විඳින ජනතාව වෙනුවෙනුයි. මේ රටේ පවතින දුෂ්ට දේශපාලනයට වාසිය තියෙන්නේ රටවැසියා සදාකල්ම දුක් විඳනවා නම් විතරයි. ඒකයි ඔයාලා වගේ අය මරල දම්මලා උන් මතුවෙලා ඉන්නෙ. නමුත් ඔයා වෙනුවෙන් අවුරුදු තිහකට පස්සෙ නෙමෙයි. ලෝකෙ පවතින තාක් කල් සතුටු වෙන්ඩ කාරණාවක් තියෙනවා. ඒ තමයි අර ඔයා උගුර ලේ රහ වෙනකම් කෑගහපු ‘මිනිස් වර්ගයා අතර සමඟිය’ ගොඩනඟන්නට මුන්ට බැරි වුණු උන් උත්සාහ කරනවා. උන් එ්ක සාර්ථකව කළොත් ඔයාට අතහැරුණ ජීවිත ජයග්‍රහණය එකයි. 


හිනහා යන වැඩේ කියන්නෙ අර 1988 පෙබරවාරි 16 වැනිදා අහිංසක ඔයාගෙ කරුණාවන්ත මූණට එල්ල කරලා තුවක්කුවේ කොකා ගස්සවපු උනුත් ඔයාගෙ ප්‍රාර්ථනාව ඵල ගන්වන්න උත්සාහයක යෙදිල ඉන්න බවක් පේනවා. නමුත් මම ඔයාට එකක් කියන්නම්, උන්ගෙ හිත්වල තියෙන්නෙ ප්‍රශ්න ඉදිරිපත් කිරීම මිසක විසඳීමට මාර්ග නෙමෙයි. ඒ නිසා නැවත විජය කුමාරතුංග කෙනෙක් නැහැ ජනතාවගෙ දැවෙන ප්‍රශ්න සහ විසඳුම් කියන්න. 


බුදු දහමට අනුව ඔයා යම් තැනක ඉපදිලා ඇත. මේවා දැකලා ඔයාට කට කොනකින් හිනහවක් යනවත් ඇති. මට ගොඩක් දේවල් තියෙනවා ඔයාට කියන්ඩ. ඔයා එකම අම්මගෙ කුසය ඔයාත් තෝරගත්තෙ ඒකට ගොඩක් පිං. ඔයා ජීවත්ව ඉන්නකොට මොන දේශපාලන පක්ෂයද ඔයාට නපුරුකම් නොකළේ? අදටත් මහර ජනතාව කියනවා එදා ඔයා දිනුවා කියලා. ඒක ඇත්ත කියලා අද ඔය ඉන්න නායකයොත් දන්නවා. එදා හිටපු ජනාධිපති ප්‍රසිද්ධියේම කිව්වා වෙන කවුරු පාර්ලිමේන්තුවට ආවත් විජය කුමාරතුංගට නම් එන්ඩ දෙන්න එපා කියලා නමුත් මහර ඡන්ද දායකයො ඒක ඇහුවෙ නැහැ. ඔයාව දිනෙව්ව කියල ඒ නායකතුමා නැතිවට අද ඉන්න නායකයොත් දන්නවා. 


අන්තිමට මූසලකම් සේරම කරලා, විදුලිය විසන්ධි කරලා බොහොම සුළු ගාණකින් ඔයා පැරදුණා කිව්වා. විහිළුව කියන්නේ එදා තමන් කරපු මූසල හොර වැඩ ගැන මුනිවත රැකපු අය අද වෙනත් අය කරන වැරදි ගැන හොර වැඩ ගැන කතා කරන එකයි. අන්තිමට ඒ වැරදි දේශපාලනය කරපු අයව ඉතාම ආදරයෙන් ඉතිරි කරල මුළු මානව සම්පතටම ආදරය කරපු ඔයාව අර අලුගෝස් තිරිසන් ගති ඇති උන්මරලා දමල අමනුස්ස ගති ඇති රටට ජාතියට ආදරයක් නැති උන්ටම රට පාලනය කරගෙන ඉන්ඩ ඉඩ සලසා දීලා අද බොරුවට හැමදේටම විරුද්ධ වෙවී කෑගහනවා. 


මගේ හිතේ තියෙන දුකට පාළුවට මේවා ලියනවා මිසක් මේ කතා අදට වලංගු නැති බවත් මම දන්නවා. ඒ මොකද, රටේ දුක්විඳින අයට විතරය තාමත් ඔයාව මතක. පාඩුව සහ දුක තියෙන්නෙ මටයි මගෙ දරුවන්ටයි විතරයි. නමුත් එහෙම වුණා කියලා කිසිම ප්‍රශ්නෙකුත් නැහැ. මොකද ඔයා මට වටිනවා වුණාට මේ රටට වටිනවද කියන එකට මා ළඟ උත්තර නැහැ. ඒ මොකද කාගෙ උවමනාවට හරි එදා 1988 පෙබරවාරි 16 වෙනි දා අර තුවක්කුවේ කොකා ගැස්සුවේ කෝටිපතියෙකු නෙවෙයි. බොරුවට විමුක්තියක් ගැන කතා කරන ඒ අළුගෝසුවෙක්ම තමයි. 


මිනීමරුවො මිනිසුන් මරා දමලා අර තට්ටු මාරු දේශපාලන ක්‍රමයකටම ඉඩ අරන් දීලා දැන් බොරුවට කෑගගහ ඉන්නවා. උනුත් පුළුවන් තරම් රට සහ මානව සම්පත විනාශ කරලා දැනුත් වේදිකාවේ ප්‍රශ්න ගැනම කියව කියවා ඉන්නවා. උන්ට උත්තර නැහැ. 


මොනවා කිව්වත් ලිව්වත් දුකයි පාළුවයි මට විතරයි. මුළු පවුල් සංස්ථාවකටම ආදරය කරපු ඔයාව උන් අපට නැති කරලා දැම්මා. රට එදා තිබුණ තැනටත් අන්තයි. සමහර අය පෝසත් වෙලා. ඒත් මුදල්, දේපළ වලින් මිසක් ගති පැවතුම් සහ මනුස්සකම් වලින් නෙවෙයි. ඔයාව මරා දමපු කාලෙටත් වඩා දැන් මිනිස්සු හරිම නපුරුයි. මේවා නොදකින්ඩ ඔයා නැති එකත් හොඳ ද කියලත් හිතෙනවා. මම විශේෂයෙන්ම පෙබරවාරි මාසේ ඔයා ගැනම හිත හිත කල් ගත කරනවා. ධර්මය සත්‍ය නම්, සොබාදහම සත්‍ය නම්, අපි කවදා හරි මුණගැහෙමු නේද? එදාට අර ඉස්සර වගේ අත් දෙක විහිදගෙන ඇවිත් මාව තුරුලු කරගන්න. 


‘දෙවියනි මිනිස් වෙස් ගත් අමනුස්ස ඔවුනට සමා වුව මැනවි. මන්දයත් ඔබට අවුරුදු 1988 කට පසුවද අමනුස්ස මිනිසුන් කොටසක් විසින් ඔබ වැනිම තවත් මිනිසකුගේ මානව වර්ගයාට අහිමි කරන ලදී. 

 

 

 


මේ ආදර සොයුරිය 
රූපා කුමාරතුංග