ත්‍රීවිලයට යටකර බලුපැටියෙකු මැරූ අමනයා


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

 

 

ඇල්පිටියේ එස්.ඒ.ඉසුරු ලක්ෂාන් මහතා ලියා එවූ කතාවක් මෙසේය. 

මවට පියාට හිරිහැර කළ ගයාන්ට මෙලොවදීම විපාක


දකුණු පළාතේ දුෂ්කර ගම්මානයක ජීවත්වූ ගයාන් ඉතා දඩබ්බර කෙලිළොල් වයසේ පසුවන තරුණයෙකි. ගයාන්ගේ මවුපියන් ඔහුව උස්මහත් කළේ මහත් බලාපොරොත්තු ගොන්නක් සිතු තුළ රඳවාගෙනය. මීට වසර කීපයකට පෙර ගයාන්ගේ පියා ගසකින් වැටී ඔත්පල විය. එදා පටන් ඔවුන්ගේ ජීවන බර ගයාන්ගේ මවට උසුලන්නට විය.   
ගයාන් පාසල් වියේදීම තම මාපියන්ට හොර රහසේ මත්පැන් පානයට ඇබ්බැහි වී සිටියේය. දිනක් ඔහු යහළු මිත්‍රයන්​ සමග මත්පැන් පානය කිරීමට ලක ලෑස්ති වූයේ තම පියාගේ ත්‍රිරෝද රථයෙන් ඒ සඳහා යෑමේ අදහසිනි. ගයාන්ට ඒ සඳහා නියමිත දිනය උදාවිණි. ඔහු මාපියන්ට හොර රහසේ ත්‍රිරෝද රථය රැගෙන නිවසින් පිටවීමට සූදානම් වුවද ඔහුට එම ගමන යාමට මව ඉඩ නොදුන්නාය. ගයාන් තම පියා ඔත්පළ නිසා ඔහු පවසන කිසිඳු දෙයක් ගනනකට ගත්තේද නැත. ගයාන්ගේ මව මෙම ගමන වළක්වාලීම සඳහා ත්‍රිරෝද රථයේ යතුර අතට ගත්තද ඔහු මවගෙන් නැවත යතුර ලබා දෙන ලෙස ඉල්ලුවද මව විසින් යතුර නොදීම නිසා මව තල්ලු කර දමා යතුර මවගෙන් රැගෙන ත්‍රිරෝද රථය පණගන්වා ගමන් අරඹන්නට විය.   


ගයාන්ගේ ප්‍රමාදය නිසා ඔහුගේ මිතුරන් ගෙන් වරින් වර දුරකථන ඇමතුම් ලැබෙන්නට විය. ගයාන් එක් අැමතුමකට ප්‍රතිචාර දැක්වීමට ගියේ තමා ත්‍රිරෝද රථයේ ගමන් කරන වේගයද නොසිතාය.   


ඔහු එක් අතකින් ත්‍රිරෝද රථය ධාවනය කරගෙන ඉදිරියට යෑමේදී ත්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන පෙරළී ගියේ ගයාන්ගේ එක් පාදයක අස්ථිද බිඳගෙනය. ගෙදර ගිය ඔහු දුටුවේ ඔහු තල්ලු කිරීමෙන් බිම වැටුණු අම්මාගේ ද කකුල බිඳී ඇති බවය.   


ගයාන් මව සහ පියා කියූ කිසිදු දෙයක් නොඅසා මවටද හිරිහැර කර ගිය ගමනෙන් ඔහුට දින කීපයක් යනතුරු පාදය වාරු නැතිව සිට ඔහුට තම මවට පියාට කළ හිරිහැර වලට ඵල විපාක මෙලොවදීම විඳින්නට විය.   

 



බෙලිඅත්ත දම්මුල්ල ජේ.කණ්ඩම්බි මහතා ලියා එවූ කතාවකි.   

ත්‍රීවිලයට යටකර බලුපැටියෙකු මැරූ අමනයා  


මධ්‍යම පළාතේ දුෂ්කර නගරයකි. සැඳෑයාමයේ මරු විකලයෙන් ධාවනය වූ ත්‍රිරෝද රියකට බලු පවුලක්ම ගොදුරු විය. එක පැටියෙකුගේ දිවි තොර වූ අතර අනෙක් උන් සදාකාලික අාබාධිත තත්තවයට පත්වූහ. මළකුණට ඉව අල්ලමින් වැළපෙන බලු මව ඇතුළු පැටවුන් දුටු සැමගේද නෙතු කඳුළට බරවිය. සතුන් ගැන වගේ වගක් නැති ත්‍රීවීලර් නරුමයා.... පවනට බඳු වේගයෙන් පියඹා ගියේ තම ඉරණම ඔහු නොදැනය. 

 
වංගු සහිත ප්‍රදේශයක් වූ බැවින්..... කිලෝ මීටරයක්වත් දුර ඔහුට ගෙවාගත නොහැකි විය. අධික වේගය නිසා වංගුව නමාගත නොහැකි වූ බැවින්.... අඩි 30 ක පමණ පාතාලයට රිය පෙරළුණි. ශබ්දය ඇසී ළඟපාත කිහිප දෙනෙකු පැමිණියද ඔවුනට කළහැකි කිසිවක් නොවීය. රෑ බෝවේගෙන ඒමත් ප්‍රදේශය ජන ශූන්‍ය වීමත් ඊට හේතුවිය. මහමග යන වාහන නතර කර එබී බැලුවද මරළතෝනී හඩින් කම්පයනක් ලැබුණා පමණි. ඔවුන්ද දුර බැහැර නිවෙස් කරා... රෑ බෝවීමට පෙර ගෙදර යාම අරමුණ විය. 

 
පොලිසියට ලද අැමතුමකින් පැමිණ දැඩි අපහසුතාවයකින් පැයක පමණ කාලයක් වෙහෙසීමෙන් පසුව තිදෙනෙකු ගොඩට ගැනිණි. සෑම දෙනාගෙම අත් පා කැඩී බිඳී තිබුණු අතර රියදුරුගේ හිසද කුඩුපට්ටම් විය. ඊට හේතුව පාතාලයේ තිබූ ගල්ගෙඩි වල හිස වැදීමෙනි.   


බලු පැටියාගේ හිස පොඩිකර බලු පවුලම අබ්බගාත කළේ මොහුගේ රථය බව එතැනට පසුව එක්රොක් වූ අයගෙන් දැන ගැණිනි. අධික රුධිර වහනය නිසා රෝහල් කරා ගෙනයන විටත් රියදුරු අවසන් හුස්මපොද ද මුදවා හමාරය. අනෙක් දෙදෙනාද රෝහල් ගත කෙරුණද ත්‍රීවිලරයේ යටිපස සඟවා තිබූ ගංජා හමුවීමෙන් රෝහලෙන් බන්ධනාගාරයට මගද හෙළිවිය.   


ආදි මානවයා ආහාරයට මිස අහිංසක සතුන් නිරපරාදේ මරා දමා නැත. ඔවුන් ආගම දහමට නැඹුරු නොවුණද යුක්ති ධර්මයට ගරු කළෝය. සියලු සතුන් තුරු ලතාවන්ටද මිහිකත උරුමය. ගුරුත්වා බලය නිසා පුළුන් රොදකටවත් අපේ වායුගෝලය අභිබවා යා නොහැකිය. මහමග මාරුවන්නන් අතර සතා සිවුපාවන්ද සිටින බව රියදුරන්ට මතක් කළ යුතු නැත. එබැවින්... සතුන් හිතාමතාම යටවීමට ඉඩ හැරීම නීතියට එකඟ වුවද යුක්ති ධර්මයට පටහැනි බව පසක් කර ගත යුතුය.   



අලව්වේ රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවකි.   

කබරගොයින් බෝ අත්තේ එල්ලා මැරූ කුසල් හාමි පොළොං විසෙන් මරුට 

 
එක්තරා පිටිසර ගමක මහ ගල්තලාවක් මත හොඳින් වැඩුණු විශාල බෝධි වෘක්ෂයක් විය. එය පෙනුමෙන් ශතවර්ෂ ගණනාවක් පැරණි යැයි සිතිය හැකිය. ගල්තලාවට සෙවණ දෙමින් අතුපතර වැඩී දසත විහිදී ගොසිනි.   


මේ බෝධි වෘක්ෂය ​මේ ගල් තලා​ෙව් විරාජමානව වැඩ සිටින්නේ ස්වභාවධර්මයේ පිහිටියක්ද රෝපණය කිරීමෙන් ද නොඑසේ නම් පුරාණයේ විහාරස්ථානයක්වත් තිබීමෙන් දැයි විමසූ විට වැඩිහිටියන් පැවසුවේ මෙවන් පුවතකි.   


දැනට පරම්පරා හතරකට පහකට පෙර ගමේ මුතුන්මිත්තන් ළමා අවදියේදී සෙල්ලම් කර ඇත්තේ යාබද වෙල් ඉපනැල්ලේය.   
දිනක් ළමා ළපටියෝ වෙල් ඉපනැල්ලේ සෙල්ලම් කර ගල්තලාවට පැමිණ ගිමන් හරිමින් සිටියදී එක් පිංවන්ත දරුවෙක් යෝජනාවක් ගෙනාවේය. ගල්තලාව මැද පස් සහිත සුදුසු තැනක් දැක එහි බෝ පැලයක් සිටුවීමටය. එයට ළමයින් සියල්ලෝම එකඟ වූහ.   


පසු දින ගල්තලාවට රැස්වූ ළමා ළපටියෝ බෝ පැලය රෝපනය කිරීමට පුන් පොහෝ දිනයක් නියම කර ගත් අතර පෙරහැරක් සූදානම් කළහ. ගමේ පන්සලේ බෝ සෙවණෙන් ළපටි ප්‍රාණවත් හොඳින් වැඩුණු බෝ පැලයක් ගලවා ගෙන පාත්තරයක් තරමේ මැටි මුට්ටියක හිඳුවා තබා නිවෙස්වලට ගියහ. දිනපතා පැමිණ බෝපැලයට සාත්තු කළහ. ළමා ළපටියන්ගේ මේ ක්‍රියා කිසිවක් වැඩිහිටියෝ නොදත්හ.   


පුන්පොහෝ දිනය උදාවිය. ළමෝ පන්සලේ බෝ සෙවණට එක්රැස් වූහ. උණ කොටවලින් සෑදූ දඬු බෙර ඉනේ බැඳගෙන ශබ්ද පූජා පවත්වමින් මල් රැගෙන සාදුකාර දිදී බෝපැලය රැගත් පෙරහර ගමන් අැරඹීය. ගල්තලාවට ළඟා විය. දන්නා තරමින් පිරිත් සඡ්ඣායනා කරමින් තුන්වරක් භූමිය පැදකුණු කොට බෝ පැළය වඩා හිඳුවා ගල්තලාව මැද රෝපණය කරන ලදී.   


අද ඔවුන් වැඩිහිටියන් වී මෙලොව හැර ගොසිනි. ඔවුන් රෝපණය කළ බෝධීන් වහන්සේ අදත් විරාජමානව වැඩ සිටිති. ඇතැම් මැදියම් රාත්‍රී වල නන් පැහැ එළි බෝධියට ඉහළ අහසේ භ්‍රමනය වනු දක්නා ලදී. දරුවන්ගේ අපල උපද්‍රව වලදී බෝධීන් වහන්සේගේ පිහිට ලැබුණු බවත් ගැමියෝ කියති.   


දැනට දසක දෙකකට පමණ පෙර කළුහාමි නැමති ගොවිතැනින් ජීවිකාව ගෙන ගිය පුද්ගලයෙකු මේ ගමේ සිටියේය. ඔහුගේ කුඹුර පිහිටියේ ගල්තලාව අද්දරය. ගල්තලාව දිගේ දුවන තලගොයින්, හාවුන්, වෙල්යායේ ඉබ්බන්, වක්කඩේ තිත්තයින්, කුරුලු කොබෙයියන් මරාගෙන කෑවේය. 

 
දිනක් කළුහාමි කුඹුරට එද්දී කබරගොයෙක් කුඹුරේ සැරිසරනු දැක ගොයම තැලී ඇතැයි මහත් කෝපයෙන් ලොකු පොල්ලක් ගෙන පසුපස එලවා පහර දුන්නේය. කබරගොයා අඩපණ විය. බෙල්ලට ලොකු වැලක් දමා ඇදගෙන විත් ගල්තලාවට නැමී තිබූ බෝ අත්තක එල්ලා දැමීය. ගැහනෙ දඟලන කබරගොයා බොහෝ සේ දුක්විඳ නිහඬ විය. කළුහාමි මහත් සතුටින් දිග සුසුමක් හෙළීය. එදාසිට කුසල් හාමි දකින දකින කබරගොයින් අල්ලා බෝ අත්තේ එල්ලා මැරුවේ සතුටිනි. සතුන් ඝාතනය සතුටින් සිත සැහැල්ලු කරගත්තත් ආත්මය පාපයෙන් පිරී ඉතිරී ඇති බව නොදත් කළුහාමි දිනක් ගල්තලාවේ බෝ සෙවණේ ගිමන්හරිමින් සිටියදී අසල ළැහැබේ තුඹසින් එළියට ඇදුනු දැවැන්ත පොළඟකු වෙලා ගෙන දෂ්ඨ කරන ලදී. සිහිසුන්ව ගල්තලාවේ දිගා වී සිටි ඔහු දුටු ගැමියන් විෂ වෙදැදුරු වෙත ගෙන යනු ලැබීය. පොළොන් විෂෙන් අැස් කන් නාසා පුපුරා මිනිස් සිරුරේ නවදොරින්ම ලේ ගලමින් දැකීමටත් අප්‍රසන්නව දුක් විඳ අවසන් ගමන් ගියේ පව්කාර දිවිය නිමා කරමිනි.   


මෙබදු කතා ඔබත් දන්නේ නම් එ්වා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්