ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් ළමා මනස සුවපත් කරමු


 

 

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරන ලද කාලයේ හා ඉන්පසුව උපත ලැබූ දරුවෝ යුද්ධය ගැන මෙලෝ හසරක් නොදනිති. බෝම්බය යන වචනය ඇසෙන විට යුද අත්දැකීම් ඇති වැඩිහිටියන්ගේ මෙන් ඔවුන්ගේ හදගැස්ම වේගවත් නොවේ. මෙම ප්‍රහාර මාලාව හා ආගමික ත්‍රස්තවාදය ඔවුන්ට භයානක අලුත් අත්දැකීමකි. 


උදෑසන සිට නොනවත්වා සජීවී පුවත් විකාශන මගින් ගලා ආ දසුන් හා විස්තර විචාරත්, වැඩිහිටියන් රූපවාහිනිය වටා රොක් වී කරන කතාබස් ද ඒ පුංචි හිත්වලට මහා බරක් එකතු කරන්නට ඇත. ත්‍රස්තවාදීන් සිය දරුවන් උකුලේ තබාගෙන සමාජ මාධ්‍යවලට මුදාහළ වීඩියෝ වැඩිහිටියන් නරඹන විට ඔවුන්ද දකින්නට ඇත. ත්‍රස්තවාදී මව්වරු බෝම්බ පුපුරවාගත් විට හමුදාව විසින් බේරාගනු ලැබූ දරුවන් ඔවුන් දකින්නට ඇත. ලංකාවේ විද්‍යුත් මාධ්‍ය විපතට පත්වූවන් වෙළෙඳාම් කළ අයුරු දකින්නට ඇත. මෙවන් පසුබිමක දරුවන්ට එයින් ඇතිවන බලපෑම කෙබඳුද හා එය පැහැදිලි කර දෙමින් ඔවුන්ගේ මානසික තත්ත්වය ගොඩ නංවන්නේ කෙසේද යන කරුණු පිළිබඳව අපි කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ළමා හා නව යොවුන්විය මනෝවෛද්‍ය විශේෂඥ උදේන ආටිගල මහතාගෙන් විමසුවෙමු. 


“පෙර කිසිදාක ත්‍රස්තවාදී අත්දැකීම් නැති දරුවන්ට මෙම බෝම්බ පිපිරීම් සමඟ, සමාජයේ ඇතිවූ භීතිය හා නොසන්සුන්තාව බලපාන ආකාරය ඉතා පුළුල් පරාසයක සිට විග්‍රහ කිරීමට පුළුවනි. දරුවාගේ වයස, ත්‍රස්තවාදී ක්‍රියා ඍජුව බලපෑවාද නැද්ද, ඔවුන් මේ සිදුවීම්වලට කොපමණ නිරාවරණය වී තිබෙනවාද යන කාරණා මත බලපෑම විවිධාකාර විය හැකියි. 


රූපවාහිනී අන්තර්ජාල භාවිතය හා පවුල, වටාපිටාව, පාසල, සමාජය හා සමාජ මාධ්‍ය යන විවිධ ආකාරවලින් දරුවන්ට ඍජුව හා වක්‍රව තොරතුරු ලැබෙන අතර ඒවා වටහා ගැනීමට හැකි වයසක සිටීම තීරණාත්මක සාධකයක්. සාමාන්‍ය පිළිගැනීමට අනුව මරණය යන සංකල්පය වැටහෙන්නේ අවුරුදු පහට වැඩි දරුවන්ටයි. 


මාපියන් හා අවට සිටින වැඩිහිටියන් ඇතුළු අනෙක් අය මෙම සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වූ අන්දම දරුවන් කෙරෙහි වැඩිපුර බලපෑමට හේතුවිය හැකියි. කතා කිරීමට නොහැකිව කම්පනයට පත්වූ මාපියන් දකින දරුවෝ බොහෝ සෙයින් පීඩනයට පත් වෙනවා. 


රටේ ඇතිවූ තත්ත්වය හමුවේ දරුවන් තුළ කිසියම් මානසික පසුබෑමක්, ගැටලුවක් හෝ භීතියක් ඇතිවී තිබේදැයි යන්න ඔවුන්ගේ හැසිරීමෙන් සොයාගත හැකියි. සිදුවීම්වලට ඍජුව නිරාවරණය වූ දරුවන්ට ඇතිවූ මානසික බලපෑම ඉතා වැඩිය. 


ගැටලුවක් ඇතිවූ විට සමහර දරුවන් ඉක්මනින් එය විසඳා ගන්නා නමුත් තවත් පිරිසකට එසේ කිරීම අපහසුයි. ඔවුන් තම ගැටලුව ගැන නිරන්තරව සිතිවිල්ලෙන් කාලය ගත කරන බැවින් ඔවුන්ට ඇතිවන බලපෑමත් වැඩියි.” වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. 


කුඩාම දරුවන් සිය ගැටලු දෙමාපියන්ට නොකියන අතර ඔවුන්ට කිසියම් හෝ ගැටලුවක් ඇතිවී තිබේද නැද්ද යන්න සොයාගැනීමට හැකිවන්නේ ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙනි. තරමක් වයස දරුවන් සිය ගැටලු වාචිකව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇත.


 
මානසික බලපෑමක් ඇති වී නම් පෙන්නුම් කරන ලක්ෂණ කිහිපයක් 


පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම 
නින්ද නොයාම හෝ නින්දේ වෙනස්කම් ඇතිවීම 
හදිසියේ බියට පත් වීම 
සාමාන්‍ය ක්‍රියාශීලී බව නොමැතිවීම 
අධික ලෙස කෝපයට පත්වීම 
මිතුරන් ඇසුරෙන් දුරස් ව තනිව කාලය ගත කිරීම යනාදිය 


ඔවුන්ට සිය මානසික කම්පනය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වුවද දෙමාපියන් සිටින්නේද කම්පනයෙන් හා වියවුලට පත් වී නම්, දරුවෝ සිය ගැටලු මාපියන් හෝ වෙනත් වැඩිහිටියෙකු හා බෙදාගැනීමට ඉදිරිපත් නොවෙති. එසේ පිට කරගැනීමට නොහැකිව, මානසික පීඩනය දරාගත නොහැකිව සිටින විට ඔවුන් හිස කැක්කුම්, උදරාබාධ ආදී කායික රෝග පිළිබඳව පැමිණිලි කිරීමට පුළුවනි. එම නිසා වැඩිහිටියන් දරුවන් ගැන දැඩි අවධානයෙන් පසුවිය යුතුය. 


‘‘කිසියම් දරුවෙකු මරණයක් ඇසින් දුටුවා නම්, ඒ සිදුවීම නැවත නැවත අත්විඳින තත්ත්වයක් තිබෙනවා. ඔවුන් එම මියගිය අය සමඟ කතා බස් කරන බවක් පෙන්නුම් කරන්න පුළුවනි. ඔවුන් මැවී පෙනෙන බව කියන්නට පුළුවන්. ඒ පුද්ගලයින් ලෙස හැසිරෙන්න පුළුවන්. තමන්ගේ වයසට වඩා බාල වයසක හැසිරීමක් එක්වර පෙන්වීමත් තදබල මානසික බලපෑමකට ලක්වූ බව සොයාගැනීමට හැකි ලක්ෂණයක්. වයස අවුරුදු දහයක දරුවෙක් කුඩා ළමයෙක් මෙන් හැසිරීම, අම්මා වඩා ගැනීමට, ආහාර කැවීමට අවශ්‍ය වීම වැනි ලක්ෂණ පෙන්නුම් කළ හැකියි. එවන් දෑ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ සුරක්ෂිත බව ඇති කරගැනීමයි. එය ඔවුන් සිතාමතා කරන දෙයක් නොවේ. මානසිකව සුරක්ෂිත බව ඇති කරගැනීමට නිරායාසයෙන්ම එවැනි හැසිරීම් ඇති විය හැකියි.’’ 


මෙවැනි ලක්ෂණ එකවර මතු නොවී, කාලයක් ගත වීමෙන් පසුව වුවද මතුවිය හැකි බැවින් එළඹෙන ඉදිරි කාලයේදී වැඩි වශයෙන් දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බව වෛද්‍යවරයා අවධාරණය කළේය. 


දරුවන්ගේ මානසික තත්ත්වය හා හැසිරීම ගැන මාපියන් හා වැඩිහිටියන් විමසිලිමත් වීම අත්‍යවශ්‍යම කාරණයකි. ඔවුන් වෙනුවෙන් කිසිවෙකු සිටින බව දැනවීම අතිශය වැදගත්ය. මාපියන් හා වැඩිහිටියන් පවා පසුවන්නේ ආරක්ෂාව පිළිබඳ සැකය හා බිය ඇතිව වුවත් ඒ බව දරුවන්ට හැඟවිය යුතු නොවේ. එයින් සිදුවන්නේ දරුවන් රටේ පවතින තත්ත්වය ගැන තවදුරටත් බියට පත් වීම හා මානසිකව අනාරක්ෂිත වීමයි. එම නිසා දරුවන්ගේ සුරක්ෂිත බව ඇති කිරීම කෙරෙහි වැඩිහිටියන්ගේ මානසික තත්ත්වය නැවත ගොඩනංවා ගැනීම අතිශය වැදගත් වේ. එසේ සාමාන්‍යකරණයෙන් පසුව ගැටලු සහිත දරුවන් හඳුනාගෙන අවශ්‍ය උපකාර කළ යුතුය.

 

පවතින තත්ත්වය පිළිබඳව දරුවන්ට පිළිතුරු දීම 


පවතින වාතාවරණය පිළිබඳව දරුවෙක් කිසියම් ප්‍රශ්නයක් ඇසුවහොත් හෝ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියහොත් එයට ගැළපෙන ආකාරයේ පිළිතුරක් ලබා දිය හැකිය. එනම්, ඔවුන්ගේ වයසට ගැළපෙන හා වැටහෙන ආකාරයෙනි. මෙම පිළිතුර ඔවුනට දරාගැනීමට හැකි මට්ටමේ පැහැදිලි කිරීමක් විය යුතුය. එසේ පැහැදිලි කිරීම් කරන අතර කළ යුතු වැදගත්ම දෙය නම්, මේ තත්ත්වය දරාගත හැකි තත්ත්වයක් බවත්, මෙම ගැටලු වැඩිහිටියන්ට විසඳාගත හැකි බවත් යන හැඟීම හා පණිවිඩය ඔවුනට ලබාදීමයි. දරුවන්ගේ අවශ්‍යතාවලට සංවේදීව කතා කිරීමද වැදගත්ය.  


ප්‍රවෘත්ති දැනගැනීමේදී හා සමාජ මාධ්‍ය හැසිරවීමේදී මාපියන් හා වැඩිහිටියන් ක්‍රියා කළයුතු ආකාරය 


මාපියන් දරුවන් සමඟ එකට සිටිනා අවස්ථාවල දරුවන් ද බලා සිටියදී ත්‍රස්ත ප්‍රහාරවල සුන්බුන් හා ලේ වැගිරවීම් සහිත දසුන්, ප්‍රවෘත්ති ආදිය නැරඹීම හා වැඩිහිටියන් අතර කතාබස් හා වාද විවාද සුලබව සිදුවන්නකි. මෙතැන සිටින දරුවෝ මේ සියල්ල බලා සිටින අතර වැඩිහිටියන්ගේ කතාබස් ද සිත්වල ධාරණය කර ගනිති. වැඩිහිටියන් වෛරී ලෙස කතා බස් කරන්නේ නම් ඔවුන්ගේ දෘෂ්ටිකෝණ හා මතවාද දරුවන් ඒ අයුරින්ම පිළිගනිති. එබැවින් එසේ දරුවන් සමඟ එවන් ප්‍රවෘත්ති හෝ වීඩියෝපට ආදිය නරඹන්නේ නම්, ඒ පිළිබඳව ඔවුනට පැහැදිලි කිරීමක් ලබා දිය යුතුය. 


රටේ පැවති බිහිසුණු වාතාවරණය වැඩිහිටියන්ටද දැඩි ලෙස බලපෑ නමුදු දරුවන් ගැන සිතා ඔවුන් එය දරාගත යුතුව තිබේ. දරුවන් සමඟ ඒ පිළිබඳව කතාබස් කිරීමේදී හෝ ඔවුන්ට කරුණු පැහැදිලි කර දීමේදී තනිව එය සිදුකළ නොහැකි බව හැඟේ නම්, වැඩිහිටියෙක් වුවත් වෙනත් අයෙකුගේ හෝ කණ්ඩායමක උදව් උපකාර ලබාගත හැකියි. අවශ්‍ය නම් මානසික ප්‍රතිකාරවලට යොමු විය හැකිය. ලංකාවේ පවතින සාම්ප්‍රදායික උපකාර පද්ධතිය වුවද භාවිත කළ හැකිය. 


රූපවාහිනී ඇතුළු විද්‍යුත් මාධ්‍යයන්හි ප්‍රහාර පිළිබඳ දසුන් හා ත්‍රස්තවාදී ක්‍රියා ආදිය නිතර ඇස ගැටෙන විට නව යොවුන්වියේ දරුවන්ට එය සාමාන්‍යකරණය වී ඉන්පසු ඔවුන්ද එබඳු ප්‍රචණ්ඩ ක්‍රියා කෙරෙහි නැඹුරු විය හැකිය. ඒවා අනුකරණය කළ හැකියි. 


සුළු කණ්ඩායමක් කළ ක්‍රියාවෙන් මුළුමහත් සමාජයක්ම මැනීම සිදු නොකළ යුතු බවත් නව යොවුන්වියේ දරුවන්ට පැහැදිලි කිරීමත් වැදගත්ය. 


සමාජය නම් නිතර වෙනස්වන ප්‍රපංචයේ හැසිරීම, සමාජ විද්‍යාඥයෙකු තරම් හොඳින් අර්ථකථනය කළ හැකි වෙනත් පිරිසක් නැති තරම්ය. එබැවින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර මහතාගෙන්ද අපි මේ පිළිබඳව විමසීමක් කළෙමු. 


“මෙය පාසල් දරුවන්ට බලපාන අංශ කිහිපයක් තිබෙනවා. මෙම සිද්ධීන් සමඟ ජන ජීවිතය හා සබැඳි පාසල් සංස්කෘතියට විශාල බලපෑමක් ඇතිවුණා. මාපිය ප්‍රාර්ථනා හා බලාපොරොත්තු, මිත්‍ර සම්බන්ධතා, ගුරුවරුන් හා සිසුන් අතර ඇති සම්බන්ධතාව ඇතුළු මුළුමහත් පාසල් සංස්කෘතියම අර්බුදයට ලක් වුණා. 


අද බොහෝ දෙනෙක් අධ්‍යාපනය සලකන්නේ සමාජයේ ඉහළට ගමන් කිරීමේ මාර්ගයක් ලෙසයි. වෙන කවදාටත් වඩා වත්මන් සමාජයේ ජීවත්වෙන දරුවෝ මෙම අධ්‍යාපන කඩයිම් පසු කිරීමට තියුණු තරගයක යෙදෙති. මෙම සිදුවීම් සමඟ එම සමස්ත ක්‍රියාදාමය බිඳ වැටී, ව්‍යාකූල වූ අතර විභාග ප්‍රමාද වීම ආදී කටයුතු නිසා මාපියන්ගේද මානසිකත්වය කඩා වැටුණා. 


පාසල් දරුවන්ගේ ලෝකය අහිංසකයි. ඔවුන්ගේ ලෝකය තුළ දේශපාලනය, බෝම්බ හෝ වාර්ගිකත්වය යන කිසිවක් නොමැතියි. ඔවුන් කැමති වුණත් අකමැති වුණත් මෙම සිදුවීම් ඔවුන්ට බලපාන අතර එයින් ඔවුන් කම්පනයට පත් වෙනවා. එම ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වී තිබෙන ආකාරයටම සමාජ බිය, සමාජ වෛරය හා සමාජ ගැටුම් ඇති වෙනවා. බෝම්බ පිපිරීමත් සමඟ වැරදි ආකල්ප හා මතවාද පැතිරීම අනර්ථකාරී ක්‍රියාවක්. සමස්ත මුස්ලිම් ප්‍රජාව මෙම බෝම්බ ප්‍රහාරයට වගකිව යුතුයි යන්න එවැනි එක් මතවාදයක්. ඒවා අවසානයේදී දරුවන්ට අහිතකර ලෙස බලපානවා. මේ අවස්ථාවේදී මාපියන් කටයුතු කරන්නේ කෙසේද යන්න ඔවුන් විමසිල්ලෙන් බලා ඉන්නවා” මහාචාර්යවරයා පැවසීය. 
“සමාජ අගනාකම් හා වටිනාකම් පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධවේ. ජාතියෙන් ජාතියට විවිධයි. නමුත් අප සියල්ලන්ටම හොඳ හිත හා සහජීවනය, වැඩිහිටියන්ට සවන් දීම, අනුන්ට උපකාර කිරීම වැනි පොදු වටිනාකම් හා අගනාකම් තිබේ. මේවා වැඩක් නෑ නේද, මේ ආගම් නිසා නේද මෙවැනි ගැටලු ඇති වුණේ ආදී වශයෙන් කුඩා ළමයින්ට සිතෙන්නට පුළුවනි. 


‘‘සති කිහිපයක් තුළ මරාගෙන මැරෙන්නට හිත හදාගත හැකි පිරිසක් මේ සමාජය විසින් නිර්මාණය කර තිබෙනවා. එය මේ සමාජයේම නිෂ්පාදනයක්. නමුත් පාසල් ශිෂ්‍යයෙකුට විභාග ආදියට මුහුණ දී තම ජීවිතය හදාගැනීමට වසර 13ක් ගත වෙනවා. එම ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන්නේ දෙවියන් සඳහායි. එය ආගමික මූලධර්මවාදයක ප්‍රතිඵලයක්. මෙය බලපාන්නේ ළමයින්ගේ මනසට. මෙවැනි අදහස් ඔවුන්ට තර්කානුකූලව සිතන්නට නොහැකි වුණොත් මනසට යන්නේ වැරදි ආකල්ප හා වැරදි පූර්වාදර්ශයක්.’’ 
සමාජය මේ තරම් දරුණුද? මේ ආගම්වලින් කරන්නේ මෙයද වැනි ගැටලු එම දරුවන්ගේ සිතට නැගෙන්නට පුළුවන්. අන්තර් ආගමික සහජීවනය ඔවුන්ගේ සිත්වල ඇති කිරීම ඉතාම දුෂ්කරයි. කොපමණ පුද පූජා පැවැත්වුවත් අන්තර් ආගමික සහජීවනය ඇති කරන්නට නොහැකියි. මන්ද එය සිත තුළින්ම පැමිණිය යුතු දෙයක්. මේ නිසා දරුවන් අතර, විවිධ ජාතීන් ඉගෙනගන්නා පාසල් අතර තිබෙන අන්තර් ආගමික සහයෝගිතාව නැති වෙනවා. මේ තත්ත්වය ශිෂ්‍ය ප්‍රජාවට හා ඔවුන්ගේ පෞරුෂයට හානිකරයි. ඔවුන් ලෝකය දෙස බලන ආකාරය, ගති පැවතුම්, රුචිකත්වය, ආකල්ප හා විඳ දරා ගැනීම ආදී සියල්ලම අනුසාරයෙන් ඒ පුද්ගලයා ගැන කරන සමස්ත තක්සේරුව පෞරුයයි. අධ්‍යාපනයේ පරමාර්ථය දරුවෙකුට සමතුලිත පෞරුෂයක් ඇති කිරීමයි. මෙවැනි දැවැන්ත විපර්යාසයක් නිසා කුඩා දරුවෙකුගේ මනස, ඔවුන්ගේ ආකල්ප වෙනස්වෙනවා. අනාගතය ගැන අවිනිශ්චිතව සිතීම, සාරධර්ම වෙනස් වීම ආදිය තුළින් ශිෂ්‍යයාගේ පෞරුෂය බිඳ වැටෙනවා. මෙය දිගින් දිගට සිතන්නට ගතහොත් උසස් පෙළ ආදී විභාගවලට සූදානම් වෙන දරුවන්ට අවශ්‍ය මානසික ශක්තිය ධෛර්යය ඇති කරගන්න මෙම කම්පනකාරී වටාපිටාව බාධා වන්නට පුළුවන්. ඒවා බෝම්බ පිපිරීමත් සමඟ ශිෂ්‍ය ප්‍රජාවට ඇතිවූ සමාජ සංස්කෘතික හානි ලෙස හැඳින්විය හැකියි. 


කුඩාම දරුවන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ගතවෙන්නේ වැඩිහිටියන් හෝ භාරකරුවෙකු සමඟයි. දරුවන්ට දැනෙන්නේ මෙය මහා පිපිරීමක් යන්න මිස මෙය ආගමික මූලධර්මවාදයක් ද ආදිය ඔවුන්ට සිතෙන්නේ නැහැ. එවිට ඔවුන්ගේ සිත තුළ ඇතිවෙන්නේ විශාල සමාජ බියක්. පාසල් යන්නට බිය ඇතිවේ. ඒ මානසික බිය කුඩා දරුවෙකුගේ සිතට ඇතුළු කිරීම පෞරුෂය වර්ධනයට අහිතකර තත්ත්වයක්​. වෙනදාට වඩා මාපියන් ඔවුන් ගැන සැලකිලිමත් වෙන බව ඔවුන් දකිනවා. මම අනාරක්ෂිතයි නේද යන සිතුවිල්ල ඔවුන්ට ඇති​ වෙනවා. වෙනදාට පාසල් යාමට දිරිමත් කරන මාපියන්ම යම් යම් දිනවලදී නිවසේ නතර වෙන ලෙස කියන විට කුඩා දරුවා ඒ ගැන වැඩිදුර කල්පනා කරනවා. එමනිසා කුඩා දරුවෙක් වර්ධනය වෙන කාලය තුළදී සිදුවෙන මෙවැනි සිද්ධි ඔවුන්ගේ මනසට ඉතා තදින් බලපානවා. මේ තත්ත්වයෙන් දරුවන්ට සිදුවෙන හානිය අවම කරන්නට කළ හැකි පළමු දෙය වන්නේ තමා අනාරක්ෂිත නොවන බව දරුවාගේ සිතට දැනවීමයි. 


මේ අවස්ථාවේදී හමුදාව ඉතා දක්ෂ ලෙස, වාර්ගික ගැටුම් ආදිය ඇති නොවන පරිදි මෙය සමනය කළා. පාසල් ආරම්භ කළේ මෙය කළ හැක්කක්ද යන අවිනිශ්චිතතාව සමඟයි. නමුත් පාසල් විවෘත කළේ හොඳින් සොයා බැලීමෙන් පසු ස්ථාවර සහතිකයක් ලබාදීමෙන් පසුවයි. මේ වනවිට මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් හා වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන, නිසි ආරක්ෂක පියවර ගෙන තිබෙන නමුත් ඒ පණිවිඩය තවම දරුවන් වෙත සන්නිවේදනය නොවීමක් දක්නට ලැබෙනවා.  


‘‘මාපියන් සිතන්නේ තවමත් තත්ත්වය අනාරක්ෂිත බවයි. මාපියන්ගේ භීතිය දරුවන්ට පෙන්විය යුතු නැහැ. එවැනි දේවල් දරුවන්ගේ මනසට ඇතුල් කිරීම හානිකරයි. දරුවන් ඉදිරියේ මෙවැනි දේ ගැන බරපතළ සාකච්ඡා නොකළ යුතුයි. ලේ වැගිරුණු මළසිරුරු ආදිය රූපවාහිනියේ නැවත නැවතත් පෙන්වන දර්ශන ආදිය දරුවන්ට නොපෙන්විය යුතුයි. මෙම දසුන් ගැන දරුවන් ඉදිරියේ සාකච්ඡා නොකළ යුතුයි. දරුවන්ගේ මනස දූෂිත නොකිරීමේ වගකීම මාපියන් වෙත පැවරෙනවා.’’ 


ඉස්ලාම් දහම අදහන සියලු දෙනාම මෙයට වගකිව යුතු නැති අතර මුස්ලිම් ප්‍රජාවට චෝදනා කිරීම නිරර්ථක ක්‍රියාවක්. මන්ද මෙතැන තිබෙන්නේ ඉස්ලාම් මූලධර්මවාදය හා ඉස්ලාම් අන්තවාදයයි. ඉස්ලාම් ආගම නියෝජනය කරන්නේ වෙනම කණ්ඩායමක්. මෙය සීමිත පිරිසක් විසින් සාම්ප්‍රදායික ඉස්ලාම් ලබ්ධිකයන්ටද එරෙහිව ඔවුන් අතරත් ගැටුම් නිර්මාණය කළ ක්‍රියාවක් බව අප තරුණ දරුවන්ට වටහා දිය යුතුයි. 


බෝම්බකරුවන් සියලුම දෙනා අවුරුදු 40ට අඩු අයයි. ඔවුන් විදෙස් රටවල ශිෂ්‍යත්ව ලබාගෙන, ඒ රටවල නීතිය ගැන අධ්‍යාපනය ලබා මෙහි පැමිණ සාම්ප්‍රදායික මුස්ලිම්වරු හා ඔවුන්ගේ මත අභියෝගයට ලක් කරමින්, නව මතවාද නිර්මාණය කරගනිමින් අන්තවාදය කරා යොමුවුන පිරිසක්. එනිසා අප මුස්ලිම්වරුන්ට වෛර කිරීමෙන් ඵලක් නැති බවත්, මෙය අන්තවාදී ක්‍රියාවක් බවත් වටහා ගැනීමට හැකි වයසක සිටින දරුවන්ට වටහා දිය යුතුව තිබෙනවා. බෞද්ධාගමෙත් මූලධර්මවාදීන් සිටිනවා. සිංහල බෞද්ධයන්ට මේ රටේ හැම දෙයක්ම උරුම විය යුතුයි කියා සිතන බෞද්ධ ගිහි පැවිදි දෙපක්ෂයකුත් ඉන්නවා. ඒ නිසා අප ඒ සමාජ යථාර්ථයන් වටහා ගත යුතුයි. 


බෞද්ධයන් බහුතරයක් සිටින ශ්‍රී ලංකාවේ සිංහලයන්ගේ ජාතික උත්සවය වෙසක් උත්සවයයි. එය ආගමික උත්සවයක් පමණක් නොවේ, සිංහල බෞද්ධයාගේ ජාතික උත්සවයක්ද වෙනවා. සිංහල අලුත් අවුරුද්ද මෙන් නොවේ, එයට වසර ගණනාවක ඉතිහාසයක් තිබෙනවා. වෙසක් උත්සවය කියන්නේ විදුලි පහන් දැල්වීම හෝ කුඩු එල්ලා අලංකාර කිරීම නොවේ, එතැනින් ඔබ්බට ගිය දෙයක්. බුදුරජාණන් වහන්සේ තමාටම පහනක් වෙමින් ලබාගත් ඥානය ලෝකයාටත් බෙදා දුන්නා. අද තිබෙන වෙසක් උත්සවයෙන් ඒ පණිවිඩය ලබා දිය නොහැකියි. ඛේදවාචකයකින් පසුව සමරන මෙවර වෙසක් උත්සවයේදී අපේ ජීවිතය අපට පහනක් කරගෙන අනෙක් අයටත් පහනක් වෙන්නේ කෙසේද යන බුද්ධ චරිතයෙන් ලබාගත් පණිවිඩය අප ජීවත්වන සමාජයට දිය යුතුයි.” මහාචාර්යවරයා අවධාරණය කළේය. 


 මෙරටෙහි අනාගතය භාර ගැනීමට සිටින මල් කැකුළු වැනි දූ දරුවන්ගේ සිත් විස කවා දූෂණය නොකිරීම අනාගතය ගැන සිතන පුරවැසියන්ගේ වගකීමකි. ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු වූ අවස්ථාවන්හිදී ඒවා වටහා ගැනීමට තරම් අවබෝධයක් ඇති වයසක සිටින දරුවන්ගේ මුළු ජීවිත කාලය පුරාම ඒ අඳුරු දිනය මතකයේ රැඳෙනු ඇත. ත්‍රස්තවාදී බලපෑම් නිසා දරුවන්ට ඇති වූ මානසික පීඩනය යම් දවසක ඒ දරුවන් මානසික රෝගීන් කිරීමට පවා බලපෑ හැකිය. එබැවින් අද දවසේ රටේ දේශපාලන තත්ත්වය කෙබඳු වුවද, සිදුවන සියල්ලම, වාර්තා වෙන ආකාරයෙන්ම දරුවන් වෙත ලබා නොදී, කිසියම් වාරණයකින් යුතුව, ඔවුන්ගේ වයස් මට්ටම්වලට ගැලපෙන පරිදි හා අවබෝධ කරගැනීමට හැකි පරිදි පැහැදිලි කරදීම මාපියන් වැඩිහිටියන් ඇතුළු සමස්ත සමාජයේම වගකීමකි. ඒ සියල්ලටම වඩා, අන්තවාදයේ බීජ ඒ ළපටි සිත්වල රෝපණය නොකිරීම වැදගත්ය.     

 

 

 

සටහන - නිසංසලා දිසානායක