තහනම් ගෙඩි නම් මිහිරිම තමයි ඒත්...


ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි

ගාල්ල උණවටුන දීපාල් පෙරේරා මහතා ලියා එවූ කතාවකි.  

එකම වැඩිහිටි නිවාසයට ගිය මව සහ දියණිය  


ඇය නමින් ඇග්නස්ය. ඇයගේ ස්වාමිපුරුෂයා රොබට්ය. ඔහු එදිනෙදා කුලී වැඩ කරමින් පවුල් ජීවිතය සතුටින් ගෙන ගියේය. නමුත් විවාහයෙන් සිව් වසරකට පසු රොබට් මියගියේ රිය අනතුරකට ලක්වීමෙනි. එවිට ඇග්නස් එක් දරු මවකි.  


රොබට්ගේ මියයාමෙන් පසු තරුණ වියේ පසු වූ වූ ඇග්නස් වෙත විවාහ යෝජනා පැමිණිය ද ඇය ඒවා සතුටු සිතින්, සිත් නොතළා බැහැර කළාය. ඒ තම එකම දියණිය වූ සුරංගනීගේ අනාගතය ගැන සිතමිනි. ස්වාමියාගේ මරණින් පසු ගමේ කොප්පරපළේ කුලී වැඩට ගිය ඇග්නස් හිමිදිරියේ අවදිව කඩයප්පන් තම්බා හන්දියේ තේ කඩයට ගෙන ගියේ ද සුරංගනීගේ අධ්‍යාපන කටයුතු සඳහා දිනෙන් දිනම යන වියදම අධික වීම නිසාය.  


ඇග්නස් දිවා, රෑ නොබලා කුසට ආහාරයක් නොමැතිව හෙළු දහඩිය මහන්සියේ ප්‍රතිඵල ලැබුණේ සුරංගනී පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් පිටවී රජයේ රැකියාවකට ගිය පළමු දිනයේය. කෙටි කලක් තුළ පරිපාලන සේවා විභාගය ද සමත් වූ ඇය පරිපාලන සේවයේ රැකියාවකට යාමෙන් පසු අමාත්‍යාංශයක උසස් නිලධාරියකු සමග විවාහ ගිවිස ගත්තාය. අනතුරුව නගරයේ නිවසක් මිලදී ගෙන එහි පදිංචියට ගියේ මවට ද නොකියාමය.  


නිවසේ තනි වූ ඇග්නස් සුපුරුදු පරිදි රැකියාවට යමින් ගමේ කා සමගත් සුහදව ඇසුරු කරමින් දැහැමි ජීවිතයක් ගත කළාය. නගරයේ පදිංචියට ගිය සිය එකම දියණිය විවාහයෙන් පසු තමා බැලීමට නොපැමිණීම පිළිබඳව කිසිවකු සමග දියණියට දෝෂාරෝපණය ද නොකළාය. විවාහයෙන් වසර පහළොවකට පමණ පසු දිනයේ හදිසියේම නොතාරිස්වරයකු සමග පැමිණි සුරංගනී මවගේ නමට තිබුණු ඉඩම සහ නිවසේ අයිතිය ඇයගේ නමට ලියවාගෙන යන්නට විය.  


ඉන් සති දෙකකට පමණ පසු එම ඉඩම මිලදී ගත් පුද්ගලයා පැමිණ තමා මෙම නිවස මිලදී ගත් බව පවසමින් හැකි ඉක්මනින් මෙම නිවසින් පිටව යන ලෙස අණ කළේය. අනතුරුව ගම්වැසියන් විසින් ඇග්නස්ට වැඩිහිටි නිවාසයක නැවැතීමේ පහසුකම් සලසා දෙන්නට විය. එහි පාලකයන්ගේ ද සිත් දිනා ගනිමින් කටයුතු කළ ඇග්නස් ඉන් වසර පහළොවකට පමණ පසු මෙලොව හැර යන්නට වූවාය. එම පුවත තම එකම දරුවා වූ සුරංගනී වෙත දන්වා යවන ලද නමුත් ඇය නොපැමිණීම නිසා ගම්වැසියන්ගේ සහාය ද ඇතිව වැඩිහිටි නිවාසයේ නිලධාරි මඬුල්ල අවසන් කටයුතු සිදු කළේය.  


ඉන් දශක දෙකකට පමණ පසු එක් දිනක උදෑසන වැඩිහිටි නිවාසයේ පාලක මහතා මා වෙත දුරකතන ඇමතුමක් දී පැවැසුවේ පැමිණ හමුවන ලෙසය. පසු දින උදෑසනම මා ඔහු හමුවීමි. එවිට ඔහු පැවැසුවේ ඇග්නස් සිටි කාමරයේ මාගේ හිතවතියක් සිටින බවත් ඇය මා පිළිබඳව විමසූ බැවින් ඇය හමුවී එන ලෙසය.  
මම වහ වහා ඇය හමුවීමට ගියෙමි. එහි ගිය විට මම දුටු දර්ශනයෙන් මම සලිත වීමි. එදා ඇග්නස් සිටි කාමරයේ ඇඳ උඩ අද සිටින්නේ සුරංගනීය. ඇය මා දුටු විගස මට කියා සිටියේ මම අම්මාට කළ දේම ඇගේ දරුවන් ඇයට ද කළ බවය.  

 



ගුණතිලක මැටියගනේ මහතා ලියා එවූ කතාවකි.  

තහනම් ගෙඩි නම් මිහිරිම තමයි ඒත්...  


අපි අපේ කට ලේසියට අනුව ඔහුට පෙළපතින් උරුම වූ නාමය සංගිරාහාමි යැයි සිතා ගනිමුකෝ. ඊට කලකට පසු ගැටවර වියේදී එනම් ඔහු ප්‍රේම් ජයන්ත් මාදිලියේ කොණ්ඩයක් නඩත්තු කරන කාලයේ (ඔහු එකල කියා තිබුණේ ඒ විදියට කොණ්ඩය හදාගත් පසු රෑට නිදාගන්නටත් ලෝබ හිතෙන බවයි.) වෙනස් කරගත් නම සුරවීර යැයි ද සිතා ගනිමුකෝ. ඊටත් පසුව හොඳින් අත මිට පිරුණු වාසනාවන්ත ව්‍යාපාරික නමට පරව සිංහසිරි මහත්තයා ලෙසිනුත් පතල වුණායි කියමුකෝ.  


කොහොම වෙතත් ඔහුගේ පූරුව වාසනාව කෙටුම්පත් වී තිබුණේ තම පාරම්පරික යකඩ කුට්ටියකත් තුන හමාරේ මිටියත් මත නොව බොක්ස් කැමරාවක දළ සේයා පටයක යැයි කිව්වොත් නිවැරැදියි. හයේ හතේ කැලෑසිවලින් එහාට ගොඩ යන්නට අත හිතක් නොලද ඔහුට චිත්‍ර හා අකුරු කලාවට සහජ හුරුවක් නම් තිබුණා. ඔහු ඒ පිටයි බෝවත්ත හන්දියේ ආරියමාලා බයිස්කෝප් මඩුවේ අතවැස්සෙකු ලෙස බැඳුණේ. ප්‍රොජෙක්ටරේ බාර නිකුලස් මාස්ටර් ඔහුට පොල් බූ නැට්ටක් ගානට තලාගෙන ඩිමයි කොළේ ආරියමාලා නමත් දින වකවානුත් චිත්‍රපටයේ නමත් දෙමළ ද හින්දි ද සිංහල ද සීරියල් ද යන වගත් ඒ ඒ සයිස් එකට අඳින හැටි ඉගැන්නුවා.  


ඒ අනුව මඩ්ගාඩ් රහිත පාපැදිය පිටුපස පාප්ප බාල්දියක් බැඳගෙන සැතැපුම් දහයක් පහළොවක පරිධියක් පුරා පාස් බෝඩ් ලෑලිවල පෝස්ටර ඇලෙව්වේ ඔහුයි. ඊළඟට ඔහුට ප්‍රොජෙක්ටර් රූම් එක ගෙදර වගේ වුණා. එහි දළ සේයා පටි අත ගානා ගමන් ඔහුට හිතුණේ ඒ අසලින්ම කප් ගසා සිටි ඇඩ්මන් මහත්තයාගේ ලේකා ෆොටෝ හවුසිය වගේ එකක් ගොඩනගා ගැනීමේ සිහිනයයි. ඔහු එතැන් සිට හිත ඒකාංශ කරගත්තේ ඒ අරමුණ ඔස්සේය.  


ඊටත් කාලෙකට පස්සේ සපරමාදු අපොතිකර මහත්තයා අංශබාගෙන් වැටුණු පසු හෝල් එකේ පාලනයත් අකර්මණ්‍ය වුණා. සංගා එතැනින් ලේකා ෆොටෝ හවුසියට අනුයුක්තයක් හදාගත්තා. පෙට්ටි කැමරාව, ඩාක් රූම් ප්‍රින්ටින්, රීටචින් ෆිනිෂින් විතරක් නොව රාමු වැඩවලත් දැනුම ගුරු මුෂ්ඨි නැතුවම ඇඩ්මන්ඩ් බාසුන්නැහැගෙන් හූරා ගන්න මේ ගැටවරයා සමත් වුණා. ඒ සිල්පදානයේ සුදු පැත්ත මෙන්ම අඳුරු පැත්තක් ද නොතිබුණා නොවේ.   


කෙසේ හෝ සුරවීර පුංචියට ෆොටෝ සාප්පුව පටන් ගත්තේ මැහුම් නෝනා මහත්මියකගේ උදව් ඇතිව. අන්තිමේ ඈ එහි අධ්‍යක්ෂිකාව ලෙසත් ඔහුගේ ඇඹේණිය බවටත් පත්වුණා. ඔවුන් දෙදෙනා දිවා රෑ නොබලා ඉහළ ප්‍රමිතියකින් යුතුව සේයාරූ ලබාදීම හේතුකොට ගෙන ව්‍යාපාරය දිදුලන්නට පටන් ගත්තා. අද කාලයේ මෙන් ඩිජිටල් කැමරා හා අත් කැමරා දුලබ ඒ කාලයේ මැති ඇමැතින් ආ ගිය රැස්වීම්වල ෆොටෝ ලස්සනට කර දුන් සේවයට ප්‍රතිඋපකාර ලෙස ඔවුන්ගෙන් ඔහුට නොයෙක් නොයෙක් ඒජන්තකම් දිගට හරහට ලැබෙන්න ගත්තා. ඔහු නගර කීපයකම කඩ සාප්පු ගණනාවක් ඇරියා. මේවායේ සේවයට ඔහු බඳවා ගත්තේ රූමත් තරුණ ළමිස්සියන්. යහමින් මිල මුදලුත් අතේ දුරින් ලස්සන ළමිස්සියනුත් ගැවැසෙන කොට ඔහුට කළගුණ, උන් හිටි තැන් අමතක වෙන්නට වැඩි දවසක් ගියේ නෑ.  


මුලින්ම ඔහු තම භාර්යාවගෙන් කසාදය කටුගාගෙන ඇගෙන් නිදහස් වුණා. රූමත් ගැහැනු ළමුන් සේවයට ආවාට වැඩි වේගයකින් පිටව ගියේ තමන්ගේ අනාගතේට වටින බොහොමයක් දේ අහිමි කරගෙන. ඔහු මාසයක් ගානේ පත්තර ලුහුඬු දැන්වීම් මගින් පුරප්පාඩු පියවා ගත්තා. නගරයේ සෙසු ධනවත් ව්‍යාපාරික ප්‍රජාව මෙන් කලඑළියට නොබැස්ස හෙතෙම තම රහසිගත සල්ලාල ජීවිතය මනාව සඟවා ගත්තා. ඔවුන් සමග සම්භාෂණ, සුරා සාද අාදී කිසිවකට ඔහු සහභාගි වූයේ නෑ. ඔහුට පත්තියම් ලෙස වැල්පෙනෙල, ළපැටි වඳුරුකුද කරල්, කිරිබදු අල ආදිය තොග පිටින් සපයන්නට වෙනම වට්ටි අම්මලා සිටියා.  


කොච්චර රස මිහිරක් වුණත් ඉවක් බවක් නැතිව විඳීමේ ආදීනව විපාක වශයෙන් ඵල දුන්නේ ඔහු පළමු වරට සමාජ රෝගියෙකු කරමින්. මහ රෝහලේදී ඔහුගේ කුණු ගතට මෙන්ම ඕලාරික සිතට ද පිළියම් කළේ බෝසත් ගතිගුණයෙන් පිරි ජීවකයාණ කෙනෙක්. එතුමා ඉතාම කාරුණිකව මෙයාකාර කාමාතුරයින් දුරාචාරයෙන් මුදවා ගන්න වෙහෙස දැරුවා. ස්ලයිඩ් සේයා රූ මගින් මෙහි බියකරු පැති පෙන්වා දෙමින් සමාජ රෝග ව්‍යාප්තිය අඩුකරලන්න දේශන පවත්වමින් සටන් කළා.  


ඒත් අනික් සිල් පද හතරම රැකගන්න හැකි වුවත් අපේ කතානායකයාට තෙවැනි සිල් පදය රැකගන්න බැරි වුණා. දෙවැනි වතාවේදි ඔහු විශේෂ වාට්ටුවේ එහා මෙහා වුණේ වළසෙක් වගේ හතර ගාතෙන් බවට ඔහුට කුලියට උපස්ථානෙට හිටපු සේවකයා සාක්ෂි දරනවා. කිසිම අමුත්තෙකුට රෝගියා බලන්න යාම තහනම් වුණා.  


ඔහුගේ මිථ්‍යා විශ්වාසය වූයේ මේ තමන්ට ඉරිසියාවට විරුද්ධවාදීන් විසින් කරන ලද බැඳපු බන්ධනයක් බවයි. ඔහු ඒ හදි හූනියම් කපන්නන් සඳහා විශාල මුදල් කන්දරාවක් යට කළා.  


බෝධිසත්ව ජීවකයාණෝ ඔහුට බණදහම් පැත්තෙනුත් කරුණු කාරණා උලුප්පා පෙන්වා ආයෙත් මේ භයානක ලෙඩේ මතුකරගත්තොත් පිළියම් නොමැති බව ඒත්තු ගැන්නුවා. ඒත් කාම රස තෘෂ්ණාවෙන් ඉහ වහා ගිය ව්‍යාපාරිකයා යළි උග්‍ර සමාජ රෝග වෛරසයම වැළඳ ගත්තේ ගඟේ යන ඇත් කුණ රස කර කර කන කාක්කෙකු පරිද්දෙන්. ඔහු ඒ ඇත් කුණ මෙන් ස්ත්‍රී සිරුරම මහෝඝයක් කරගනිමින් එහිම ගිලි ගිලී සැනහුණා, නැහුණා.  


තම රහසිගත සල්ලාල ජීවිතය වගේම ඔහු මෙලොවින් සමුගන්නා අවස්ථාවත් පැවැත්වුණේ රහසිගතව. බුදු දහමින් පෙන්වා දෙන උපේක්ෂාකාමී ගිහි ජීවන ප්‍රතිපදාව ගැන මළපොතේ අකුර නොදත් සිංහසිරි මහත්තයාටත් අහිංසක ගැහැනු ළමයින් අමාරුවේ දැමීම හා අසීමාන්තික කාමසුඛල්ලිකානු යෝගයේ දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දුන්නෙ එයාකාරයටයි.  

 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.  

මස්වැද්දාට පව්කම් පළදෙයි


ගමේ ගොඩේ මරණයක් සිදුවූයේ කර්මානුරූපව වියපත්ව ජීවිතයේ ආයු කාලය ගෙවා අවසන් කළ අයෙකුගෙන් පමණි. දවස පුරා දහඩිය මහන්සියෙන් කය වෙහෙසා තම ගොවිතැන් සහ වගාවන් කළ ගැමියන් හා ගේදොර වැඩ ඇතුළු දරු මල්ලන්ගේ කටයුතු කළ ගැමියන්ට ද නිරෝගීමත් දිගු කල් ජීවිත ගතකිරීමේ වාසනාව පෑදී තිබුණි.  


මෙවන් සාමකාමී සුහද පරිසරයක් පැවැතුනත් ගමේ හොරුන්, බේබද්දන්, සල්ලාලයින් හා මස් වැද්දන් සිටි බව පැහැදිලි කරුණක් විය. මසක්, මාළුවක් නැතුව බත් කෑමට නොහැකි ගමේ ගැමි ගෙදරක වාසය කළ පස් පවට යොමුවී දිවි ගෙවූ ගුණපාල ගැමියන් හැඳින්වූයේ “ගුණයා” නමිනි. ගම අසල කැලෑවට වැදෙන ඔහු මොනයම් හෝ වන සතෙක් දඩයම් කිරීම සතිපතා සිදු කරන පුරුද්දක් විය. 

 
එදින හවස් යාමයේ ගිනිබටය ද මන්නා කොටය ද රැගෙන ඔලගුව ද කර එල්ලගෙන වනයට රිංගූ ගුණයා පැය කිහිපයක් කැලෑවේ කරක්ගැහුවත් කිසිදු වන සතෙක් මුණගැසුණේ නැත. හාවුන්, වල් ඌරන්, තලගොයි, ඉත්තෑවුන්, මුගටින්, කබල්ලෑවන් හා උගුඩුවන් බහුලව සිටින කැලෑවේ කිසිදු සතා සීපාවෙක් හමු නොවීම පුදුමයට කරුණක් වුවත් “ගුණයා” වැඩේ අත හැරියේ නැත.   


එදින “දඩ මස්” සඳහා වඳුරෙක් හෝ මරා ගැනීමට අදහස් කළ ඔහු වඳුරු රංචුවක් කෑ කෝ ගසමින් ඉදුණු අඹ කඩාගෙන කමින් සිටි කැලෑවේ තිබුණ දැවැන්ත අඹ ගසක් යටට පියමන් කළේය. “වඳුරු මස්” ප්‍රියතම කෑමක් නොවුණ මේ පව්කාරයාට එදින කළ යුතු වෙනත් විකල්පයක් තිබුණේ නැත.  


නොබෝ වේලාවක් වඳුරන් දෙස බලා සිටි ගුණයා එක් වරම ගිනි බටය එල්ල කර වඳුරෙකු මරා ගැනීමට කොකා ගැස්සුවේය. එහෙත් කරුමයක හැටි වනය දෙවනත් කරමින් මහත් වූ හඬ නංවා ගිනි බටය පුපුරා ගුණයාගේ හිස කුඩු පට්ටන් වී කිසිදු හාවක් හූවක් නොතබා ලේ විලක් මැද නිමේෂයකින් ඇද වැටී මියගියේය.  


වෙඩි හඬ ඇසුන වනයේ ඈත සිටි දර කැපූ ගැමියෙක් ඒ අසලට එන විටත් පෙරහර ගොස් හමාර වී තිබුණි. කැලෑ දර සෙවීම පසෙකට ලා වහාම ගමට ගිය ගැමියා සියලු විස්තර ගමේ උදවියට පවසා තරුණයින් කිහිපදෙනෙක් සමග නැවත අනතුර සිදු වූ තැනට ගොස් දඬු මැස්සක තබා ගුණයාගේ ‘මළ කඳ’ ඔහුගේ නිවස කරා ගෙන ගොස් පසුවදා අවසන් කටයුත සිදු කළහ.  


මස් වැද්දාට ඵල දුන්නේ ඔහු ‘මේ ආත්මයේදීම කරන ලද පාප කර්මය’ බව ගුණයාගේ මළගෙදර පැමිණි ගමේ වැඩිහිටියන් කළ කතාබහේදී පැහැදිලි වූ කරුණක් බවට පත්වී තිබුණි.  


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ‘ඉරිදා ලංකාදීප’යට යොමු කරන්න.  

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්